මෙරට පවතින ළමා අයිතිවාසිකම් නීති රාමුව පිළිබඳව කථා කිරීමේදී අමතක කළ නොහැකි ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳව ලිපියක් අප Roar පාඨක ඔබ වෙත ගෙන ආවෙමු. එම ලිපියෙන් අප පොරොන්දු වූ පරිදිම ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය තුළ පවත්නා සුවිශේෂ ළමා අයිතිවාසිකම් කිහිපයක් පැහැදිලි කර දෙන්නට අප මෙම ලිපිය තුළින් අපේක්ෂා කරන්නෙමු.
පෞද්ගලිකත්වයට ඇති අයිතිය
ඕනෑම පුද්ගලයකුට නිදහසේ ජීවත් වීමට මෙන්ම සිය පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට අයිතියක් පවතියි. එම අයිතිය ළමුන්ට ද හිමි විය යුතු බව ප්‍රඥප්තියේ දහසය වන ව්‍යවස්ථාව පැහැදිලි කරයි. කිසිදු ළමයෙකුට සිය පෞද්ගලිකත්වය, පවුල සහ ලිපිගොනු යනාදිය පිළිබඳ අත්තනෝමතික මැදිහත් කිරීම් වලට භාජනය කිරීමට යටත් නොකළ යුතු බවට ද, තම ගරුත්වයට සහ කීර්තියට හානි පමුණුවනු ලැබීමෙන් වැළකී සිටීමට නෛසර්ගික අයිතියක් හිමි වන බව එම වගන්තිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී. එවැනි අත්තනෝමතික මැදිහත් වීම් වලින් වැළකී සිටීම පිණිස නීතියේ ආරක්ෂාව සහ පිහිට පැතීමට ද ඕනෑම ළමයකුට අයිතිවාසිකමක් හිමි වන බව එහි සඳහන් වේ.
එනමුත් මෙම අයිතිවාසිකම කඩ වන අවස්ථා අප සමාජය තුළ එමටය. විශේෂයෙන්ම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන් හරහා එවැනි අවස්ථා සිදු වනු අප දැක ඇත්තෙමු. වයස අවුරුදු 18ට අඩු කිසිදු පුද්ගලයකුගේ මල සිරුරක ඡායාරූපයක් මුද්‍රිත මාධ්‍යයන් කිසිවක පළ කිරීම සපුරා තහනම් වේ. එමෙන්ම, වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකු යම් අපරාධයකට සැක පිට අත් අඩංගුවට ගනු ලබන කිසිදු අවස්ථාවක ඔහුගේ හෝ ඇයගේ නම සහ ඡායාරූපය මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීම මාධ්‍ය සදාචාරයන්ට සපුරාම පටහැනි බව පිළිගත් නියමයකි. නමුත් පසුගිය දින වල සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර මෙන්ම, එම සිදුවීමට සැක පිට අද් අඩංගුවට ගන්නා ලද පාසල් සිසුවාගේ ද පෞද්ගලික තතු රට පුරා විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරණය වූ බව නොරහසකි. දැනුවත් ව හෝ නොදැනුවත් ව එම දරුවන්ගේ පෞද්ගලිකත්වයට මාධ්‍ය ජාල මගින් හානි කෙරිණ. නමුත් ඒ පිළිබඳ හඬක් නැගීමට මහජනතාව පවා පමා වීම ඒ සියල්ලටම වඩා ශෝක ජනක ය.
සෞඛ්‍ය අයිතීන්
සියලුම රෝගී තත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළුව, සිය සෞඛ්‍යය සම්බන්ධයෙන් ළමයකුට ලබා ගත හැකි ඉහළම තත්තවයන් හා පහසුකම් භුක්ති විඳීමට ඔහුට හෝ ඇයට පූර්ණ අයිතිය හිමි වන බව විසි හතර වන ව්‍යවස්ථාව ප්‍රකාශ කර සිටී. ඒ සඳහා මග පෑදීම රජයෙහි වගකීමක් බව ඉන් වැඩි දුරටත් අවධාරණය කෙරේ. එමෙන්ම, ළමුන්ගේ සෞඛ්‍යයට හානි පමුණුවන යම් පාරම්පරික සිරිත් වේද, ඒවා සමාජයෙන් දුරලීමට රජය යෝග්‍ය පියවර ගත යුතු බවද එහි සඳහන් වේ. ගැහැණු ළමුන් වැඩි විය පත් වූ විට සහ ඔවුන්ගේ ඔසප් දින වලදී ඔවුන්ට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන් ශරීරයට ලබා දෙන මාර්ගයන් අවහිර කරන සිරිත් හා සම්ප්‍රදායන් මීට උදාහරණයකි. “කිල්ලට” හසු වීමේ බිය හේතුවෙන් ඔවුන්ට බිත්තර වැනි සත්ව ප්‍රෝටීන් සපයන ආහාර ලබා නොදීමට ඇතැම් මවුවරු පියවර ගනිති.
එමෙන්ම, ඔසප් දිනයන්හිදී ස්නානය කිරීමෙන් වළකින ලෙසද ඇතැම් මවුවරු සිය දූවරුන්ට උපදෙස් දෙති. කන්‍යා භාවය අහිමි වේ යැයි බියෙන් සිය දියණියන්ට ක්‍රීඩා කටයුතු වල නියැලීමට හා බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් වල නියැලීම තහනම් කරනා මවුවරුන්ද තවමත් අප අතර නැත්තේ නොවේ.
එවැනි මතවාදයන් දුරලා, ගැහැණු ළමුන්ටද සිය සෞඛ්‍ය තත්වය හා ආත්ම විශ්වාසය වඩවාගෙන සමාජයට යෑමට මග පෑදීම රජයේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පමණක් නොව, මුළු මහත් සමාජයේම වගකීමක් වන බව මතකයේ තබාගත යුතුය.
පරිසර දූෂණයේ අන්තරායකර ප්‍රතිඵල සහ අවදානම් තත්වයන් සලකා බලමින්, පහසුවෙන් ලඟා කරගත හැකි තාක්ෂණය උපයෝගී කරගනිමින් සහ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර හා පිරිසිදු පානීය ජලය සපයා දීම මගින් රෝගී තත්වයන් සහ මන්දපෝෂණය දුරලීමට රජය පියවර ගත යුතු බව ද එහි සඳහන් වේ.
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සිය තිස් දෙවන ව්‍යවස්ථාව හරහා ළමුන්ගේ ආර්ථික අයිතීන් තහවුරු කරන්නට පියවර ගෙන ඇත. මෙය ළමුන්ගේ සෞඛ්‍ය අයිතීන් හා සබැඳේ. ළමයාගේ අධ්‍යාපනය අවහිර කරන ආකාරයේ රැකියාවන් සඳහා ඔවුන්ව අනුයුක්ත කිරීම මෙන්ම, ළමයාගේ සෞඛ්‍යයට, මානසික හා ශාරීරික සුවතාවයට මෙන්ම සදාචාරාත්මක හෝ සාමාජීය වර්ධනට හානි පමුණුවන්නාවූ කර්තව්‍යයන් ඔවුන් වෙත පැමිණවීම ද ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වේ. එමෙන්ම, ළමයකු සේවා නියුක්තියේ යෙදිය යුතු අවම පැය ගණන ද නිසැකව දැක්විය යුතු බව එහි සඳහන් වේ.
සංස්කෘතිකමය අයිතීන්
ප්‍රඥප්තියේ තිස් වන ව්‍යවස්ථාව ළමුන් සතු වන සංස්කෘතිකමය අයිතිවාසිකම්හි පරාසය පැහැදිලි කරයි. යුනිසෙෆ් සංවිධානය ඇතුළු අන්තර්ජාතික ප්‍රජාව මෙම අයිතිය පිළිබඳව ඉතා ඉහළ අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයකි. මෙම වගන්තියට අනුව, ඕනෑම ළමයකුට තම සංස්කෘතිකමය සහ ආගමික අනන්‍යතාවය කියා පෑමට අයිතියක් හිමි වේ. තමා අයත් වන්නේ රටේ බහුතරයට ද එසේත් නැත්නම් සුළුතරයට ද යන්න සලකා නොබැලිය යුතු බව එතුළින් පැහැදිලි වේ. මෙම අයිතිවාසිකම ඉස්ලාම් ආගම අදහන බහුතරයක් වෙසෙන රටවල් වලින් ප්‍රතික්ෂේප කොට ඇත. මාලදිවයින ඊට නිදසුන් සපයයි. ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ මාලදිවයින යනු ඉස්ලාමික රාජ්‍යයක් වන බැවින් එහි උපදින සෑම මාලදිවයින් ජාතික දරුවකුම මුස්ලිම් විය යුතු බවයි. වෙනත් ආගම් ඇදහීම සඳහා නිදහස ඔවුන් හට ලබා දී නොමැත.
ඉහත සඳහන් වන අයිතීන් යනු ප්‍රඥප්තිය තුළ ඇති අයිතීන් අතුරින් කිහිපයක් පමණි. ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ඇප කැප වී කටයුතු කරනා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සංවිධාන බොහෝය. මෙකී සියළු ආයතනයන්හි ඒකායන අරමුණ ඉතා පැහැදිලි ය. නමුත් යතාර්ථය කුමක්දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
උපදින්නට පෙර සිටම සිය අනන්‍යතාවය මෙන්ම තමාට හිමිවිය යුතු මූලික අයිතීන් පවා අහිමි ව යන ළමුන් එමටය. ළමා නිවාස තුල වෙසෙන ළමුන් පිළිබඳ, උපන් සැණින් මහ මග දමා යන ළමුන් ගැන කථා කරන්නට සිටින්නේ අතලොස්සකි. සිය මව්වරුන් සිර දඬුවම් වලට යටත් වීම හේතුවෙන් ඔවුන් සමග සිර භාරයේ වෙසෙන ළමුන් ගැන සමාජයට මතක නැත. ප්‍රසිද්ධ ආගමික ස්ථානයන් අසල ගැවසෙමින් සිඟමන් යදින ළමුන් දෙස බොහෝ දෙනා බලන්නේ පිළිකුලෙනි. ඉතා අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන දරුවන් අප රට තුල කොතෙක් වේද? බස්නාහිර පළාත තුලම එවැනි පාසල් විශාල සංඛ්‍යාවක් පවතින බව වගකිව යුතු නිලධාරීන්ට පවා අමතකව ගොස් ඇත, එය ඉතා ශෝක ජනක ය. සිය මව ඊඩ්ස් රෝගියෙකැයි යන හේතුව මත දරුවන්ට පාසල් අහිමි වී සමාජයෙන් ද කොන් වීමට සිදුවුනු අවස්ථාවන් එකක් නොව, දෙකක්ම මෑතකදී වාර්ථා විය. 21වන සියවස වැනි යුගයක අප වෙසෙන්නේ කොතැනදැයි අපම දෙවරක් සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.
සෑම දරුවකුම සමාන අයිතිවාසිකම් සහිතව යහපත් ජීවිතයක් ගත කළ යුතුය යන්න නීති පොත් තුළ පල් විය යුතු තවත් එක් වාක්‍යයක් නොවේ. රට දැයෙහි අනාගතය භාරගන්නට සැරසෙන ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි යමක් වේද, එය සද්භාවී චේතනාවෙන්ම ඉටු කිරීමට අප වග බලාගත යුත්තේ එබැවිනි.
මූලාශ්‍ර: කොළඹ විශ්වවිද්‍යාලයීය මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය මගින් පළ කරන ලද මුද්‍රණ ඇසුරිණි.