නිදා සිටින යක්ෂයෙක් අසල අවදි ව සිටින නගරයක්

තායිපේ යනු ආසියාවේ සංවර්ධිත ම රාජ්‍යයක් වන තායිවානයේ අගනුවර යි. ඉතා දියුණු සහ ජනාකීර්ණ නගරයක් වන තායිපේ හි නගරවාසීන්ට සිය විඩාබර නාගරික ජීවිතයෙන් මොහොතකට මිදී නිදහස විඳිය හැකි ස්ථාන ඕනෑ තරම් තිබෙනවා. ඒ අතර, වෙනත් නගරයක වෙසෙන වැසියකුට නොලැබෙන අන්දමේ දුර්ලභ දායාදයක් තායිපේ නගරවාසීන් සතු යි. මේ දායාදය, “යැන්මින්ෂැන් ජාතික වනෝද්‍යානය” ලෙස හඳුන්වන අතර, තායිපේ නගර සීමාව ආසන්නයේ ම එය පිහිටා තිබෙනවා.

වනෝද්‍යානය සහ තායිපේ නගරයේ පිහිටීම – google Maps

උණු දිය සහිත තටාක

වර්ග සැතපුම් 42 ක් පමණ වපසරියක විහිදී තිබෙන මෙම වනෝද්‍යානයේ “ෂයෝකං” නමැති ස්ථානය, භූ විද්‍යාත්මකව ඉතා සුවිශේෂී වෙනවා. එම ස්ථානයේ පාෂාණවල ඉරි තැලීම් දක්නට ලැබෙන අතර, එම පැළුම් තුළින් නිරන්තරයෙන් වාෂ්ප පිටවෙන අයුරු දකින්න පුළුවන්. එමෙන්ම, උණු දිය සහිත තටාකත් ඒ අශ්‍රිත ව නිර්මාණය වී තිබෙනවා. සල්ෆර්වලින් හමන තියුණු දුර්ගන්ධය නිසා එහි වාත්‍රාශය එතරම් පිරිසුදු නැහැ. කොතරම් ආන්තික පරිසරයක් වුණත් මේ අපූර්ව ස්ථානය නැරඹීමට සංචාරකයන් පැමිණෙනවා.

ඉතා ජනාකීර්ණ නගරයක් ආසන්නයේ වනෝද්‍යානයක් පැවතීම දුර්ලභ කාරණාවක් ලෙස සැලකිය හැකි යි. සාමාන්‍යයෙන් අගනුවරක් වටා තදාසන්න නගර බිහිවන හෙයින්, ස්වභාවික වාසස්ථාන රැක ගැනීම තරමක් දුෂ්කර යි. ඒ නිසා ම දශක ගණනාවක් පුරා තායිපේ නගරවාසීන් “යැන්මින්ෂැන්” වැනි ජාතික වනෝද්‍යානයක් තම නගර දොරකඩ අසල තිබීම වාසනාවක් සේ සැලකුවා. ඔවුන් එය රැක ගැනීමට වෙහෙසුණා. අද මේ අපූරු ස්ථානය “වාසනාවක්” ලෙස දැකිය හැකි ද යන්න වග නම් සැක සහිත යි.

ගිනිකන්දක මැග්මා කුටීරයක් පිහිටන ආකාරය ගැන දළ අදහසක් ගත හැකි නිරූපණයක් – www.researchgate.net 

නිද්‍රාවට පත් යක්ෂයෙක්?

වනෝද්‍යානය අසල පිහිටි “ෂයෝකං” නමැති ස්ථානයේ භූතාපජ ක්‍රියාකාරකම් සුලබ ව ඇති වෙනවා. එහි පෘෂ්ඨයේ ස්වභාවික විවර ඇති අතර, ඒ හරහා භූගර්භයෙන් නිපදවෙන වායු පිටවීමට ඉඩකඩ සපයා දෙනවා. වනෝද්‍යානයේ ඇති කඳු මුදුන් 20 න් පමණ සමන්විත “Datun” ගිනිකඳු සමූහයේ කොටසක් ලෙස පවතින මෙම ස්ථානය ගැන භූ විද්‍යාඥයන් බොහෝ දේ දැන සිටියා. ඔවුන් මෙම ප්‍රදේශයේ පවතින වායු විවර සහ උණුදිය උල්පත් හඳුනා ගෙන තිබුණේ අතීතයේ එක් අවධියක සක්‍රීය ව පැවති යමහල් ක්‍රියාකාරීත්වයක ශේෂයන් ලෙසට යි. පිපිරීමක් හෝ සක්‍රීය වීමක් ගැන ඓතිහාසික සාක්ෂි නොමැති නිසා මෙම කඳු පංතිය අක්‍රීය වූ සහ අනාගත අවදානමක් නොමැති යමහල් ලෙස හඳුනා ගෙන තිබුණා.

 2017 පෙබරවාරි මාසයේ දී තායිවානයේ ගිනිකඳු නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂක ලෙස සේවය කරන ලින් චෙංග්-හොංග්, “Datun” කඳු වැටියට යටින් තවමත් මැග්මා කුටියක් පැවතිය හැකි බව වාර්තා කළා. අතිශය කාර්යබහුල මෙන් ම, රටේ අගනුවරට කිලෝමීටර් 15 ක් පමණ ඔබ්බෙන් පිහිටි මේ කඳුවැටිය සම්බන්ධයෙන් ඔහු ගෙන ආ තර්කය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි යි. යමහල් පද්ධතිය තවමත් සක්‍රීය නම් ඉන් බලපෑමට පත්විය හැකි මිනිසුන් ගණන මිලියන පහක් පමණ වෙනවා. ඉතා නරක ම විදාරණයක දී උණුසුම් ලාවා වනෝද්‍යානය පාමුල පිහිටි නිවාස වෙත කෙළින් ම ළඟා විය හැකි අතර, තායිපේ නගර මධ්‍යය අළුවලින් සෑදුණු වලාකුළුවලින් වැසී යා හැකි යි.

ෆ්‍රෙයැටික් ආකාරයේ පිපුරුමක් සිදු වන අයුරු – volcanohotspot.wordpress.com 

තර්ජනයට පෙර සූදානම

 ගිනි කඳු නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂකවරයා සිදු කළ අනාවරණය හමුවේ තායිවාන රජය වහාම ක්‍රියාත්මක වුණා. වනෝද්‍යාන ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හැකි තරම් නිරීක්ෂණය කරන ලෙස රජයෙන් විද්‍යාඥයන්ට නියෝග ලැබුණු අතර, තායිවානයේ කාලගුණ විද්‍යා සහ පුරෝකථන ඒජන්සියේ නිලධාරීන්, සම්බන්ධ විය යුතු වෙනත් රාජ්‍ය ආයතන සහ විද්‍යාඥයන් සමඟ එකට කටයුතු කිරීමේ අවකාශයත් රජය සලසා දුන්නා. මේ සියල්ලේ ම අවසාන අරමුණ වූයේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් තායිපේ ආශ්‍රිත ව ගොඩනැංවීම යි. 2018 මැයි මාසයේ පමණ ඇරඹුණු මේ වැඩපිළිවෙළ ඉන් වසර දෙකකට පසු, එනම්, 2020 සැප්තැම්බර් මාසයේ දී මහජනතාවට එළිදැක්වීමට අදාළ පාර්ශව සමත් වුණා.

තායිපේ සුන්දර ස්ථානයක් කරන අක්‍රීයයැ යි කළින් සැලකූ යමහල් පද්ධතිය ගැන හොඳින් ම දන්නා පුද්ගලයා වන්නේ ලින්. තම ජීවිතයේ දශක දෙකක් ඔහු එම ප්‍රදේශයේ පර්යේෂණ හා නිරීක්ෂණ වෙනුවෙන් කැප කළා. ඔහු එතෙක් නිහඬ ව එක් කළ දත්ත මත පදනම් වී නිවැරදි ම මොහොතේ සිය හඬ අවදි කිරීමට ක්‍රියා කළ නිසා අද තායිපේ නුවර පූර්ව අනතුරු හැඟවීමේ පද්ධතියක ආරක්ෂාව යටතේ සිටිනවා. අක්‍රීය යමහල් පද්ධතියක් ලෙස විද්‍යාඥයන් සහ ප්‍රදේශවාසීන් තුළ ගොඩනැඟී සිටි විශ්වාසය එක මොහොතින් බිඳ දැමීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒ සඳහා ශක්තිමත් විද්‍යාත්මක සාධක අවශ්‍ය වෙනවා. ලින් ඒ තීරණාත්මක මොහොත දක්වා පැමිණි ගමන් මඟ දැන් අපි විමසා බලමු.

අවදානම අනාවරණය කිරීමේ වගකීම කරට ගත් ලින් චෙංග්-හොංග් – www.bbc.com 

“හිලීයම්-3”

ලින් මුල දී උනන්දුවක් දැක්වූයේ භූමිකම්පන සංසිද්ධීන් ගැන යි. පසුව ඔහු ගිනි කඳු අධ්‍යයනයට වඩාත් ඉඩහසර වෙන් කරමින් “Datun” කඳුවැටියේ සිදු කළ පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කළා. මෙම පර්යේෂණවලින් කඳු වැටියේ පිහිටා ඇති උණුදිය උල්පත්වලින් පිටවන වායුවේ සංයුතිය විශ්ලේෂණය කර තිබූ අතර, වායුවේ “හිලීයම්-3” යන සමස්ථානිකය අධික ව අඩංගු බව අනාවරණය වී තිබුණා. “හිලීයම්-3” යනු පෘථිවියේ ඉතා ගැඹුරින්, ප්‍රාවරණය තුළින් හට ගන්නා වායුවක්. මේ හේතුව නිසා භූ ගර්භයේ සිදුවන මැග්මා ආශ්‍රිත ක්‍රියාවලිය ගැන පැහැදිලි ඉඟි සපයන හෝ අනතුරු හඟවන සාධකයක් ලෙස “හීලියම්-3” ක්‍රියා කරනවා.

2003 දී ලින් කුඩා අධ්‍යයනයකට නායකත්වය දෙමින් වනෝද්‍යානය පුරා භූ කම්පන මාපක ස්ථානගත කළා. එය යමහල් පද්ධතියක ක්‍රියාකාරීත්වය විමර්ශනය කිරීමෙහිලා අනුගමනය කරන සම්මත ප්‍රවේශයක් බඳු යි. ලින් පුදුමයට පත් කරමින් භූ කම්පන තරංග විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර, ඔහු එම දත්ත ජපානයේ වෙසෙන තම මිත්‍ර විද්‍යාඥයන් වෙත යැවීමට කටයුතු කළා. ලින්ගේ සැකය තවත් ශක්තිමත් කරමින් මෙය ක්‍රියාකාරී ගිනි කන්දකින් ලැබෙන සලකුණු බව ජපන් විද්‍යාඥයන් ද තහවුරු කළා. නමුත්, ලින් තම සැකයට වඩාත් පක්ෂපාත වීමට හදිසි වුණේ නැහැ.

යමහල් ක්‍රියාකාරීත්වයකට කවදා හෝ මුහුණ දීමට සිදු වුවහොත්, ඉන් බලපෑමට ලක්වන ජනගහනය මිලියන පහක් පමණ වෙනවා – edition.cnn.com 

“S තරංග” සහ “P තරංග”

ගිනි කඳු ක්‍රියාකාරකමක් තහවුරු කරන අන්දමේ සාක්ෂි එකතු වෙමින් පැවතුණත්, තායිවානයේ ස්වභාවික පිහිටීම සැලකීමේ දී ලැබෙන සාක්ෂි නොමඟ යවනසුලු විය හැකි යි. තායිවානයත් “පැසිෆික් ගිනි වළල්ල” ලෙස හඳුන්වන කලාපයට අයත් භූමියක්. මේ නිසා තායිවානය වසරකට භූමිකම්පා දහසක් පමණ අත්විඳිනවා. මේ බොහෝමයක් සුළු කම්පන වන නිසා ඒවා මිනිසුන්ට සංවේදනය වන්නේ නැහැ. එසේ නම්, ලින් තවත් මේ ගැන ගැඹුරට ම සෙවිය යුතු වෙනවා.

ලින් මේ තීව්‍ර කම්පන සටහන් භූ ගර්භයේ සිදුවන ක්‍රියාවලිය අනුමාන කිරීම සඳහා යොදා ගත්තා. එහි දී ඔහු කම්පන මඟින් නිපදවෙන විශේෂිත තරංග ආකාර දෙකක් ගැන අවධානය යොමු කළ අතර, ඒවා ප්‍රාථමික තරංග (P තරංග) සහ ෂියර් තරංග (S තරංග) ලෙස හඳුන්වනවා. මෙම තරංග පෘථිවි පෘෂ්ඨයට යටින් ඇති ඕනෑම ද්‍රව ප්‍රදේශයක් (විශේෂයෙන් මැග්මා කුටීර) හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි යි. සාමාන්‍යයෙන් පෘථිවි ගර්භයේ ද්‍රව කලාප S තරංග අවහිර කරන අතර, P තරංග මන්දගාමී ව ප්‍රචාරණය වෙනවා.

වනෝද්‍යානය තුළ මෙතෙක් නිෂ්ක්‍රීයයැ යි සැළකූ කඳුවැටියේ පිහිටි උණුදිය උල්පතක් – www.bbc.com 

ලින් වනෝද්‍යානයේ වෙනත් තැන්වලින් අනාවරණය කරගත් භූ කම්පන සහ “Datun” කඳුවැටිය ආශ්‍රිත ව ලැබුණු භූ කම්පන දත්ත සංසන්දනය කළා. එහි දී “P තරංග” ප්‍රමාද ව පැමිණෙන බවත්, “S තරංග” කිසිසේත් නොපැමිණි බවත්, ඔහුට තේරුම් ගිය අතර, වනෝද්‍යානයේ අනෙක් තැන්වලින් මෙවැනි නිරීක්ෂණයක් දක්නට නොලැබෙන බවත් හෙළි වුණා. ඒ අනුව ගිනි කඳු ප්‍රදේශයට පහළින් තවමත් සක්‍රීය ව පවත්නා මැග්මා කුටීරයක් ඇති බව තහවුරු වුණා. මැග්මා කුටීරයට ඉහළින් ජල‍ය සහ වාෂ්පවලින් සමන්විත සංචිතයක පිහිටීමත් ලින් සොයා ගත්තා.

“ක්‍රියාකාරී ගිනි කන්දක ප්‍රධාන සාක්ෂිය තමයි මේ හමුවුණේ. පර්යේෂකයකු ලෙස මා සතුව ඇති සාක්ෂි ගැන සතුටු වෙනවා. ඒත්, කවදා හෝ අපට ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන කනස්සල්ල ද මට තිබෙනවා.”

සියලු සාධක එකතු කර ගත් පසු ලින් පැවසුවා.

අවදානම කොතරම් ද?

වනෝද්‍යානය අසල ජීවත් වූ වැසියන්ට මෙම පුවත යම් කම්පනයක් ගෙන ආවා. අතීතයේ එක්තරා අවධියක සක්‍රීය යමහල් මෙම ප්‍රදේශයේ තිබුණු බව ඔවුන් දැන සිටියත්, ඒවා පැහැදිලි ව ම දැන් ඇත්තේ නිෂ්ක්‍රීය තත්ත්වයෙන් බව විශ්වාසයක් පැවතුණා. විද්‍යාත්මක සාධකවලටත් වඩා ඔවුන්ට අතීතයේ සිට පැමිණි මතකය, දැනුම ඒ සඳහා ප්‍රමාණවත් වුණා. සොයා ගැනීම්වලින් තැති ගත් ආණ්ඩුව, වහාම අනතුරු ඇඟවීමේ පද්ධතියක අවශ්‍යතාව සඳහා වූ ක්‍රියාවලිය ඇරඹීම පිණිස මැග්මා කුටීරයේ වැඩිදුර අධ්‍යයන, විදාරණයක් සිදුවීමේ අවදානම පිළිබඳ තොරතුරු දිගට ම එක්රැස් කරන ලෙස ලින් ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලා සිටියා.

මැග්මා කුටීරයේ හැසිරීම වඩ වඩාත් අවබෝධ කරගත් විට ගිනි කඳු පිපිරීමක් සිදුවීමේ සම්භාවිතාව ගැන පූර්ව නිගමනවලට එළඹීමට හැකි වෙනවා මෙන් ම, එය කවදා කොතැන සිදුවේ ද යන්න වග ගැනත් තේරුම් ගැනීමට පහසු වෙනවා. ලින්ට තවමත් සිය පර්යේෂණ සම්බන්ධයෙන් ගැටලු ඕනෑ තරම් තිබුණා. ඒ අතුරින් මූලික ම ගැටලුව වුණේ මැග්මා කුටීරයේ විශාලත්වය සහ ගැඹුර ගැන අවබෝධයක් නොතිබීම යි.

වනෝද්‍යානය තුළ පිහිටි “ෂයෝකං” නමැති ස්ථානයේ පිහිටුවා ඇති විද්‍යාත්මක උපකරණ – www.bbc.com 

මේ සඳහා සවිස්තරාත්මක දත්ත රැස් කිරීමේ අවශ්‍යතාවක් මතු වූ අතර, ඒ සඳහා දහස් ගණනක භූ කම්පන සිදුවීම් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වුණා. මැග්මා කුටීරයේ පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට නම් විවිධ කෝණවලින් එලෙස ලැබෙන දත්ත ඉතා මහන්සියෙන් සලකා බැලිය යුතු යි. වසර කිහිපයක් ඇතුළත ඔවුන් ප්‍රමාණවත් තොරතුරු එකතු කර ගත්තා. අවසාන අරමුණ වූ මැග්මා කුටීරයේ ස්වභාවය නිගමනය කිරීමත් ඉන් හැකියාව ලැබුණා. එය ඔවුන් සිතුවාටත් වඩා නොගැඹුරින් පැවතුණු අතර, අනපේක්ෂිත විශාලත්වයක් ඇති මැග්මා කුටීරයක් බව අවබෝධ වුණා. දළ වශයෙන් සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වූ මැග්මා කුටීරයේ මුදුනේ ගැඹුර කිලෝමීටර් 8 ක් පමණ වුණා. විෂ්කම්භය කිලෝමීටර් 12 ක් පමණ වූ අතර, උස කිලෝමීටර් 12 ක් බව අනාවරණය වුණා.

තවත් භයානක සාක්ෂියක්

භූ කම්පන දත්තවලට අමතර ව, ලින් ඇතුළු කණ්ඩායම “ෆ්‍රියැටික් ක්‍රියාකාරකම්” ගැනත් අවධානය යොමු කළා. එය ගිනි කන්දක ක්‍රියාකාරීත්වය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් ගැන අවබෝධයක් ලබා ගත හැකි පිළිවෙතක්. මැග්මා කුටී‍රයේ පවතින නිත්‍ය තාපය හමුවේ රත්වන භූගත වායු, පාෂාණ ස්ථරයේ ඇති අවකාශ හරහා ඉහළට ගමන් කරන අතර, පෘථිවි පෘෂ්ඨය වෙත පැමිණි වහා ම පිපුරුමක් ඇති කරමින් නිදහස් වෙනවා. මේ අයුරින් ම ෆ්‍රියැටික් විදාරණයක දී මැග්මා කුටීරයෙන් රත් වූ ජල සංචිත හරහා ඇති කරන පීඩනයෙන් මහා පිපිරීමක් ඇති කරනවා. ඒ හරහා අළු, විෂ වායු, පාෂාණ කැබලි  නිදහස් විය හැකි යි.

 ලින් අවධ්වනික සංවේදක භාවිත කරමින් එකිනෙකට කිලෝමීටර් 7 ක් පමණ දුරින් පිහිටා ඇති යමහල් විවර දෙකක සහසම්බන්ධය තේරුම් ගැනීමට උත්සහ කළේ මේ නිසා යි. එහි දී ඔවුන්ට නිරීක්ෂණය කිරීමට ලැබුණු ශබ්ද තරංගවල උස් පහත් වීම් අනුව මෙම ගිනිකඳු පද්ධතිය කවදා හෝ “ෆ්‍රියැටික්” ආකාරයෙන් විදාරණය වන බව හෙළිදරව් වුණා.

2018 වනවිට තායිපේ නගරය ආශ්‍රිත ව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමේ අවශ්‍යතාව තහවුරු කරන සාක්ෂි ඕනෑ තරම් ලින් එකතු කර තිබුණා. ඔහු තමාගේ වගකීම නොපිරිහෙළා ඉටුකළ පසු ආණ්ඩුව තම වගකීම වහා ම ඇරඹුවා.

වනෝද්‍යානය තුළ පිහිටි කඳු තරණය කිරීම සංචාරකයන් අතර ජනප්‍රිය වූ ක්‍රියාකාරකමක් – www.bbc.com 

අනතුරු ඇඟවීමේ පද්ධතිය

 මෙම අනතුරු හැඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ තරමක සංකීර්ණ ක්‍රියාවලියක් හරහා යි. “Yangmingshan Seismic Network” ලෙස හඳුන්වන නීරික්ෂණාගාරය එහි කේන්ද්‍රය වන අතර, ස්ථාන හතළිහකින් පමණ දත්ත එකතු කිරීම ඉන් සිදු වෙනවා. එක්රැස් කරන දත්ත ප්‍රධාන මූලාශ්‍ර දෙකක් මත පදනම් වන බව සඳහන්. භූමිතික වෙනස්කම් සහ භූමි පැළුම් හරහා පිටවන වායු, තරලවල රසායනික සයුතියේ වෙනස්කම් එම මූලාශ්‍ර යි. මැග්මාවල හදිසි ඉහළ යෑමක් සිදු වුවහොත්, කම්පනවල වෙනසක් සිදුවන නිසා එය ද අනතුරු හැඟවීමේ සාධකයක් ලෙස සලකනවා.

අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වූ පසු ජනතාව ඊට ප්‍රතිචාර දක්වන ආකාරය ද ඉතා වැදගත්. මේ සඳහා ඔවුන්ට හොඳ පුහුණුවක් සහ අවබෝධයක් ලබා දී තිබිය යුතු යි. ආරම්භයේ දී එය තරමක් දුෂ්කර වුණා. පරීක්ෂණ සරඹයක් අතරතුර තොරතුරු නිසියාකාර ව සන්නිවේදනය නොවූ නිසා කඳුකරය අවට වැසියන් භීතියට පත් වූ පුවතක් ද එකල වාර්තා වුණා. කෙසේ නමුත්, ප්‍රායෝගික ගැටලු සෑහෙන දුරකට විසඳී ඇති නිසා තායිපේ අගනුවරට යමහල් ක්‍රියාකාරීත්වය මත පදනම් වූ ශක්තිමත් අනතුරු හැඟවීමේ පද්ධතියක් දැන් ලැබී තිබෙනවා.

නිහඬ විරුවා ලින්

මේ සියලු ක්‍රියාවලි පිටුපස සිටි නිහඬ විරුවා වූ ලින්ට දැන් ඇත්තේ එක ම ගැටලුවක් පමණ යි. ඒ ගැටලුව වන්නේ තායිපේ නුවර දෙසට හැරී නිදා සිටින මේ යක්ෂයා කවදා අවදි වේවි ද යන්න යි. කෙසේ නමුත්, තමාගේ ඉතිරි ජීවිත කාලය තුළ “Datun” කඳුවැටියෙන් ගිනිකඳු විදාරණයක් අපේක්ෂා කළ නොහැකි බව ඔහු විශ්වාස කරනවා. මීළඟ දශක කිහිපය තුළ එවැනි අවදානමක් හට ගැනීමේ සම්භාවිතාව 1% ක් තරම් අඩු බව ඔහුගේ නිගමනය යි. එහෙත්, මැග්මා කුටීරයෙන් ලැබෙන තාප ශක්තිය ඊට ඉහළින් ඇති ජල සංචිතයට ලැබීම නිසා “ෆ්‍රෙයැටික්” ආකාරයේ පිපිරුමක් වීමේ හැකියාව 10%-20% ක් අතර පැවතිය හැකි බව ඔහු අනුමාන කරනවා. එවැනි පිපුරුමක් හරහා මැග්මාවලින් සිදුවිය හැකි හානිය අවම වුණත්, මාරාන්තික හානි සිදුවීමේ අවදානම අඩු වන්නේ නැහැ.

අද තායිපේ යනු නිදා සිටින යක්ෂයෙක් අසල අවදි ව සිටින නගරයක්. ඔවුන් අස්වසන දෑ වන්නේ අනතුරු හැඟවීමේ පද්ධතිය, හදිසි අවස්ථාවක ලබා දී ඇති උපදෙස් අනුගමනය කිරීම සහ ආපදා කළමනාකරණ අංශ සතු කාර්යක්ෂමතාව පමණ යි. ඒ සියල්ල සමඟින් “යැන්මින්ෂැන් ජාතික වනෝද්‍යානය” නගරයට ලැබුණු මාහැඟි දායාදයක් ලෙස සැලකීමට ඔවුන් අදටත් පුරුදු වී සිටිනවා.

කවරයේ ඡායාරූපය: තායිපේ නගරය උස් ස්ථානයක සිට දර්ශනය වන අයුරු - wallpaperaccess.com/taipei

මූලාශ්‍ර:

www.gns.cri.nz

www.bbc.com 

www.usgs.gov 

Related Articles

Exit mobile version