ජීවිත කාලය පුරා අපි හැමෝම, හැම මොහොතකම කරන දෙයක් තමයි හීන දැකීම. සමහරු ජීවත් වෙන්න හීන දකිනවා. ඒ අතරෙ තවත් සමහරු හීන දකින්නම ජීවත් වෙනවා. ඒ හීනවලින් කීයෙන් කීයක් අපි ජීවත්වෙන මේ මහ පොළොවෙ යථාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් ද කියන කාරණය ගැටළුවක් තමයි. ඒත් අපිට බැහැ හීන දකින එක නවත්තගන්න. La La Land කියන්නෙත් එහෙම හීන දැකපු; නින්දක්, විවේකයක් නැතුව ඒ හීන පස්සෙ දුවපු දෙන්නෙක් ගැන ඉතාම ආදරණීය කතාවක්. සෙබස්තියන් සහ මියාගෙ හීන, එහෙමත් නැත්නම් බලාපොරොත්තු එකිනෙකට වෙනස්. ඒ දෙන්නගෙ ගමනත් එකිනෙකට වෙනස්. හැබැයි ඒ දෙන්නටම පොදු එක දෙයක් තිබුණා. ඒ තමයි තමන්ගෙ හීනය ගැන තිබුණු නොසංසිඳෙන ආදරය.
හීන සහ බලාපොරොත්තු පොදිබැඳගෙන අපි ගෙවන මේ ජීවිතය හමුවීම්, වෙන්වීම් සහ අහම්බයන්ගෙන් පිරුණු පිටපතක් බව අපටම ආයෙ ආයෙත් මතක් කරන La La Land සම්මානනීය ඉංග්‍රීසි චිත්‍රපටය ගැනයි මේ සටහන.
La La Land සැකෙවින්…
චිත්‍රපටය ඇතුළෙ අපට මුණගැහෙනවා ප්‍රධාන චරිත දෙකක්. එක්කෙනෙක් මියා. පුංචි කාලෙ ඉඳලම නිළියක් වීමේ හීනයක් එක්ක ජීවත්වෙන එයා තමන්ගෙ හීනය නඩත්තු කරන්නෙ කොෆීෂොප් එකක සේවිකාවක් විදියට වැඩකරන අතරෙ. තිර පරීක්ෂණ ගණනාවකට ගියත් ඒ කිසිම තැනකින් මියාට සතුටුදායක ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ. හැබැයි මොන තරම් ප්‍රතික්ෂේප වුණත්, බලාපොරොත්තු විරහිතභාවයේ පතුලටම කඩාගෙන වැටුණත් එයා තමන්ගෙ හීනය අතාරින්නෙත් නැහැ. ඔය අතරවාරයේ ඉතාම අහඹු සිදුවීම් කිහිපයක් නිසා මියාට මුණගැහෙනවා සෙබස්තියන් කියන තරුණ පියානෝ වාදකයව. සෙබස්තියන් කියන්නෙ ජෑස් සංගීත පිස්සෙක්. ඒ වගේම, එයාටත් තියෙනවා තමන්ගෙම හීනයක්. මේ දෙන්නා මුණගැහෙන්නෙ තරු පිරුණු නගරයක. ඒ තාරකා නගරය ඇතුළෙ හැමෝම කරන්නෙ තමන්ගෙ හීන හොයන එක. ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන එක.
සෙබස්තියන් කැමති පැරණි ජෑස් සංගීතයට වුණාට සංගීතය සම්බන්ධයෙන් මියාගේ කැමැත්ත තියෙන්නෙ වෙන තැනක. හැබැයි තමන් කැමති සංගීත ශෛලියට කවුරු කැමති වුණත්, අකමැති වුණත් සෙබස්තියන්ට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එයාට තමන්ගෙ රැකියාව පවා එක වෙලාවක අහිමි වෙනවා ඒ හිතුවක්කාරකම නිසා. කොහොම වුණත් දෙන්නා අතරෙ හටගන්න ආදරණීය බැඳීමට ඒ කිසිම නොගැලපීමක් අදාල වෙන්නෙ නැහැ. දවසින් දවසම තමන්ගෙ තාරකා හීනයෙන් ඈතට යන්න මියාට සිද්ධ වුණත් සෙබස්තියන් නිතරම මියාව ධෛර්යමත් කරනවා. ඔය අතරෙ සෙබස්තියන්ට ආරාධනාවක් ලැබෙනවා සංගීත කණ්ඩායමකින්. තරමක් අකමැත්තෙන් වුණත්, මියා වෙනුවෙන් සෙබස්තියන් ඒ අවස්ථාව ගන්නවා. හැබැයි එයාගෙ ලොකුම හීනය තමයි තමන් කැමති සංගීතය වාදනය වෙන, තමන්ගෙම අවන්හලක් ආරම්භ කිරීම.
මියාත් සෙබස්තියන්ට සහ එයා එක්ක බැඳුණු හැම දෙයකටම ආදරය කරනවා. කොටින්ම තමන් එච්චර කාලයක් අකමැති වෙලා හිටපු ජෑස් සංගීතයට පවා. කාර්යයබහුල වීමත් එක්ක දෙන්නා ටිකක් ඈත් වුණත් එකිනෙකා වෙනුවෙන් උදව් කරගැනීම නතර වෙන්නෙ නෑ. අවුරුදු කීපයක් ඇතුළත මියා වගේම සෙබස්තියනුත් තමන්ගෙ හීන දිනාගන්නවා. හැබැයි ඒ වෙනකොට ඒ දෙන්නට දෙන්නා ගොඩාක් මඟහැරිලා. සියුම් වේදනාවක් එක්ක වුණත් සෙබස්තියන්, මියා ප්‍රේමය අර තරු පිරුණු අහසේ, තරු අතර සදාකාලික කරමින් තමයි චිත්‍රපටය කෙළවර වෙන්නෙ.
පිරිවර සහ පසුබිම
La La Land කියන්නේ ආදරය වගේම සංගීතයත් පිරිලා ඉතිරිලා යන කෘතියක්. තිර පිටපත ලියමින් මේ සංගීතමය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ඩේමියන් චැසල් කියන තරුණ අධ්‍යක්ෂවරයා. Grand Piano (2013), Whiplash (2014) වගේ චිත්‍රපටය බලපු අයට නම් ඩේමියන්ව අමතක වෙන්න විදියක් නැහැ. එයා අධ්‍යක්ෂණය කරන නිර්මාණවල නිතර මුණගැහෙන විශේෂත්වයක් තමයි සංගීතය ඉතාම ප්‍රබලව යොදා ගැනීම. වෙනත් විදියකට පැහැදිලි කළොත්, සංගීතය කියන්නෙ ඩේමියන්ගෙ චිත්‍රපටවල ප්‍රධාන භූමිකාවකට පණදෙන නළුවෙක්. Sound of Music, Evita වගේ සංගීතමය චිත්‍රපට ආයෙ ආයෙත් අපේ මතකයට නංවන La La Land චිත්‍රපටයට ඒ ආකෘතිය හරහා සිය ගුණයක අලංකාරයක් එකතු කරන්නෙ ජස්ටින් හර්විට්ස් කියන තරුණ සංගීත අධ්‍යක්ෂවරයා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණදෙන රයන් ගොස්ලින් (සෙබස්තියන්) සහ එමා ස්ටෝන් (මියා) දෙන්නගෙ රංගනයන් ගැනත් කතා නොකරම බැහැ. එමා ස්ටෝන්ට 89 වෙනි ඇකඩමි සම්මාන උළෙලෙදි හොඳම නිළියට හිමි සම්මානය පවා ලැබෙනවා ඒ රංගනය වෙනුවෙන්. ඒ වගේම සෙබස්තියන්ගෙ චරිතයත් සෑහෙන්න මහන්සි විය යුතු එකක්. සංගීතය ගැන මූලික හැදෑරීමක්වත් නැති කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් රංගනයට අමතරව සංගීතඥයෙක් විදියටත් කටයුතු කරන Ryan Gosling ඒ අභියෝගය සාර්ථකව භාරගන්නවා.
ඒ අවුරුද්දෙ පැවැත්වුණු ප්‍රධානපෙළේ සම්මාන උළෙල හැම එකක්ම පාහේ ආක්‍රමණය කරන La La Land සම්මාන ලේඛනයට ඇකඩමි සම්මාන හයක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතක් සහ තවත් සම්මාන, නිර්දේශවීම් රැසක් ඇතුළත්. සිනමා භාෂාව හැසිරවීම කියන කාරණයෙදි අධ්‍යක්ෂකවරයා මොන තරම් දැනුවත්ද කියන කාරණය තහවුරු වෙන අවස්ථා චිත්‍රපටය පුරාම අපට මුණගැහෙනවා. රූප සංරචනය, වර්ණ, සංකේත භාවිතය වගේ හැම දෙයක්ම La La Land වෙනුවෙන් ඉටුකරන්නෙ උපරිම සාධාරණයක්. චිත්‍රපටයේ ලස්සනම තැනක් තමයි සෙබස්තියන් සහ මියා තරු පිරුණු අහසක නටන දර්ශනය. එතන, ඒ කෙටි දර්ශනය ඇතුළෙ තියෙනවා මුළු චිත්‍රපටයම.
බැඳීම්, මිදීම් සහ ප්‍රේමණීය අහම්බයන්…
හීන හැබෑ කරගන්න නම් අමාරුම තැන්වල පවා අතනෑර හිඳීම ඉතාම වැදගත් බව තමයි La La Land අපට කියන්නෙ. කිසි දෙයක් ඉබේ සිද්ධවෙන්නෙ නැහැ. අපි ඒ දේවල් වෙනුවෙන් මහන්සි නොවුණොත්, කැපකිරීම් නොකළොත් හීන හීන විදියටම ඉතුරු වෙයි. කාලය අපිව අතහැරලා ඉස්සරහටම යයි. ඒ නිසා වැදගත්ම දේ තමයි, මොන තරම් අමාරු වුණත් අතනෑර තමන්ගෙ අරමුණ එක්ක හිඳීම. වෙන විකල්පයක් නැහැ. ඒ දරාගැනීම සහ කැපකිරීම ඇතුළෙ තමයි ජයග්‍රහණය තියෙන්නෙ.
ඒ වගේම, එහෙම අසීරු මොහොතක ආදරණීය උරහිසක් කියන්නෙ මොන තරම් සහනයක් ද කියන කාරණය ගැනත් La La Land අපට මතක් කරනවා. බැඳීම් කියන්නෙ මොන වගේ දෙයක් ද කියන ප්‍රශ්නය කෙනෙකුට නිරාකරණය කරගන්න අවශ්‍ය නම් ඒ කෙනා නොවැරදීම බැලිය යුතු චිත්‍රපටයක් තමයි La La Land. අල්ලාගැනීම වගේම අත්හැරීමත් ආදරයටම අයිති දෙයක් බව සෙබස්තියන් සහ මියා නැවත නැවතත් අපට කියන්නෙ හරිම ආදරණීය විදියට. ඒ දෙන්නගෙ හැම තීරණාත්මක මුණගැහීමක්ම අහම්බයක්. හැබැයි ඒ අහම්බයන් හරිම ආදරණීය යි.
කිසි දෙයක් සිද්ධවෙන්නෙ කළින් සකස් කළ සැලසුමකට අනුව නෙමෙයි. ඒක තමයි ජීවිතේ හැටි. බැඳීම් සදාකාලික නොවෙන්න ඉඩ තියෙනවා. ඒත් ආදරය සදාකාලික යි. තරු පිරුණු අහසක ඇවිදින අතරෙ මියා සහ සෙබස්තියන් එහෙම කියන බව අපට ඇහෙන්න ගන්නවා.
තොරතුරු සහ සේයා රූ – www.lalaland.movie, www.imdb.com