ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය තවත් දින කිහිපයකින් පැවැත්වෙනවා. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 16ක් පමණ සුදුසුකම් ලබා තිබෙනවා. 1982 දී පැවති පළමු ජනාධිපතිවරණය සමග සන්සන්දනය කරද්දී, ඡන්දදායකයින් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොසින් තිබෙන බව යි පෙනී යන්නේ.
කෙසේ වෙතත්, ඇතැම් ශ්‍රී ලාංකිකයන් ඡන්දය හිමි වයස් සීමාව පසු කළ ද ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. මීට විවිධ හේතු බලපානවා. අද අපි විස්තර කරන්නේ අන්න ඒ කණ්ඩායම් ගැන යි.
18+
ශ්‍රී ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ පුද්ගලයන්ට ඡන්ද බලය හිමි වනවා. නමුත් ඡන්ද හිමි නාම ලේඛනය පළ කෙරෙන්නේ සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යි. එහි දී එම වසරේ ජූනි 1 වනදාට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ වූවන් පමණක් ඇතුළත් වනවා. තවද, මෙවර ජනාධිපතිවරණයේ දී භාවිතා කෙරෙන්නේ 2018 ඡන්ද හිමි නාමලේඛනය යි. එහෙයින් 2018 ජූනි 1 වෙනිදාට පෙර උපන් අයට පමණක් මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැකියි.
ගමනාගමනය සීමා වූවන්
මේ පිරිසට ඡන්ද බලය තිබුණ ද, ප්‍රායෝගික හේතූන් මත ඡන්දය පාවිච්චි කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. විවිධ හේතු නිසා ඡන්ද පොළ වෙත යන්නට බැරි පිරිස මීට අයත් වනවා. ඡන්දය දවසේ රෝහල්ගත වී සිටින අයත්, වැඩිහිටි නිවාසවල නේවාසිකයනුත් මේ අතර වනවා. විශේෂයෙන්ම වැඩිහිටි නිවාසය තිබෙන්නේ අදාළ තැනැත්තාට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්දපොළෙන් ඈතක නම් මෙම තත්ත්වය ඇති වීමේ ඉඩකඩ ඉහළ යි.
අත්‍යවශ්‍ය සේවා සහ වෙනත් රැකියා හේතු
අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ටත්, වෙනත් රැකියාමය හේතූන් නිසා ගැටළු මතු වන්නන්ටත් මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැටළු මතු වනවා.
වෛද්‍යවරුන් සහ හෙදියන්, ධීවරයින්, වතු කම්කරුවන්, වැඩමුර අනුව රාජකාරි කරන ආරක්ෂක අංශවල පිරිස්, රේගු නිලධාරීන් මෙන්ම ගුවන්තොටුපල, වරාය, දුම්රිය සහ බස් සේවකයන් ආදීන්ට මෙසේ ගැටළු මතු විය හැකියි.
තවද, බන්ධනාගාර සේවකයන්, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්, මැතිවරණ රාජකාරිවල සහ නිරීක්ෂණ කටයුතුවල නිරත වන නිලධාරීන්, මැතිවරණ කටයුතු සම්බන්ධව වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යවේදීන් යනාදීන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැටළු මතු විය හැකියි.
මැතිවරණ රාජකාරි සිදුකරන රාජ්‍ය නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවාවන් හි යෙදෙන නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට තැපැල් ඡන්ද හිමි වනවා. නමුත්, ප්‍රායෝගික හේතූන් මත ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන් අතරින් ද ඇතැමෙකුට නොහැකි විය හැකියි.
විදේශගත ශ්‍රී ලාංකිකයන්
රැකියා හෝ අධ්‍යාපන කටයුතු උදෙසා මෙන්ම, සාමසාධක හමුදා සාමාජිකයන් ලෙස යනාදී වශයෙන් විදෙස්ගත වූ ලාංකිකයන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇතැම් රටවල් විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය දීමට විවිධ ක්‍රම සකසා තිබෙනවා. ඒ ඒ රටවල තානාපති කාර්යාලවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීම, අන්තර්ජාලයෙන්, ෆැක්ස් මඟින් හෝ තැපැල් ඡන්ද මඟින් හෝ ඡන්දය භාවිතා කිරීමේ ක්‍රම සැකසීම මේ අතර ප්‍රධාන යි. එහෙත් ශ්‍රී ලංකාව මේ පිළිබඳ මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් සකසා නැහැ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇස්තමේන්තු අනුව 2017 දී විදෙස්ගත වූ ශ්‍රමිකයන්ගෙන් සියයට 55ක් නුපුහුණු සහ ගෘහසේවිකා යන අංශවලට අයත් වූවන් වූ අතර, වසරකට මැදපෙරදිග සහ වෙනත් ප්‍රදේශ කරා 200,000ක පමණ ශ්‍රමිකයන් පිරිසක් පිටත් වනවා.
නිවෙස් අහිමි පුද්ගලයන් සහ අවතැන් වූවන්
1980 අංක 44 දරන ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ පනත අනුව පදිංචි ලිපිනයක් නොතිබීම ඡන්දය අහිමි වීමට හේතුවක් වනවා. ලිපිනයක් නොමැති පිරිස්වලට අමතරව අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ ජනයා ද ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ගැටළුවලට මුහුණ දෙනවා. තම ඉඩකඩම් අහිමි වීම, ජාතික හැඳුනුම්පතක් නොමැති වීම, ඡන්දපොළ වෙත යාමේ දී ඇති වන ගැටළු ආදිය මෙහි දී ප්‍රධාන යි.
අවතැන් වූවන් සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමවේදය ලිහිල් කිරීමට අවශ්‍ය නීති සම්පාදනයටත්, ප්‍රවාහන පහසුකම් සැලසීමටත් අවශ්‍ය කරුණු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. නමුත්, ඡන්දය ප්‍රකාශ කිරීම අවතැන් වූවන්ට තවමත් අභියෝගයක්.
නිවාස අහිමි පුද්ගලයන්ට ඡන්ද අයිතිය ලබාදීම කෙරෙහි කිසිදු ක්‍රමවේදයක් මෙතෙක් සැකසී නැහැ. මේ සඳහා නව නීති සැකසීම අවශ්‍ය යි.
මැතිවරණ ක්‍රියාවලියෙන් තමන් ඉවත් කර තැබීම පිළිබඳ යම් පුරවැසියකුට අවශ්‍ය නම් අදාළ දිස්ත්‍රික් නිලධාරියා වෙත හෝ මැතිවරණ ලේකම් කාර්යාලය වෙත හෝ පැමිණිලි කළ හැකියි. එහෙත් දැනටත් සමාජයෙන් කොන් වූ ජීවිත ගෙවන්නන් එවැනි පියවරක් කරා පෙළඹෙනු ඇතැ යි සිතීම අපහසු යි.
සංක්‍රාන්ති ලිංගිකයන්
ශ්‍රී ලංකාවේ අයෙකුට නිල ලේඛනවල සිය ලිංගිකභාවය වෙනස් කිරීමේ නිශ්චිත පටිපාටියක් නැහැ. මේ හේතුව නිසා සංක්‍රාන්ති ලිංගිකයකුට තමන් කැමති ලිංගිකභාවය ඇතුළත් කර හැඳුනුම්පතක් සහ අනෙකුත් ලේඛන සකසා ගැනීම ඉතා අසීරු කටයුත්තක්.
මේ හේතුව නිසා තම පැරණි හැඳුනුම්පත් උපයෝගී කරගෙන ඡන්දය භාවිතා කිරීමට යන සංක්‍රාන්ති ලිංගිකයන් විවිධ ප්‍රශ්න කිරීම්වලට ලක් වන්නට ඉඩ තිබෙනවා. එම හේතුව මත මෙවැනි බොහෝ දෙනා ඡන්දය දීමට යොමු වන්නේ නැහැ.
ලිංගිකත්වය පිළිගැනීමේ සහතිකයක් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය යෝජනා කර තිබුණත්, එය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් පිළිගෙන නැහැ.
කලාපයේ රටවල් මේ වන විට මේ අංශයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. බංග්ලාදේශයේ ඡන්ද හිමි ලේඛනවල තුන්වන ලිංගයකට අයත් වූවන් සඳහා ස්ථානයක් තිබෙනවා.
භික්ෂුණීන්
ශ්‍රී ලංකාවේ පූජ්‍ය පක්ෂය ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත විශේෂ සහතිකයක් ඉදිරිපත් කළ යුතු යි. බෞද්ධ භික්ෂුවකට නම් මෙය සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය හෝ වනවා.
නමුත්, භික්ෂුණී සාසනය ලංකාවේ මෙතෙක් නිල පිළිගැනීමට ලක්ව නැහැ. එහෙයින් ඔවුන්ට හැඳුනුම්පතක් පවා ලබාගැනීමේ ගැටළු මතු වනවා. භික්ෂුණීන් විවිධ කරුණුවල දී වෙනස් කර සැලකුම් ලැබීමට මෙය හේතු වනවා.
සරණාගතයින්
ආරක්ෂාව පතා රටින් පලා ගිය සහ විදේශීය රටක නිල රැකවරණ අහිමිව කොටු වී සිටින පිරිස්වලට සිය උපන් රටේ ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ද අහිමි වනවා.
ලංකාවේ පසුගිය යුධ සමයන් හි රටින් පලා ගිය සමහරුන්ට විදේශයන් හි රැකවරණ ලැබුණා. තවත් අය තවම තාවකාලික කඳවුරුවල ජීවත් වනවා. තමිල්නාඩුවේ සහ කේරලයේ ජීවත් වන 90,000 – 100,000ක් අතර වන ශ්‍රී ලාංකික සරණාගතයින් මෙසේ දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් කරනු ලැබ තිබෙනවා.
නැවත ලංකාවට පැමිණෙන මෙවැනි පුද්ගලයන්ට ද නිත්‍ය ලිපිනයක් නොමැති වීම, උප්පැන්න සහතික ආදී ලියවිලි අස්ථානගත වීම වැනි කරුණු මත ජාතික හැඳුනුම්පත් හා අන් ලියවිලි ලබාගැනීම දුෂ්කර වී තිබෙනවා.
ආබාධිත ජනයා
ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සහ ආයතනවලට ප්‍රවේශ වීම සඳහා ආබාධිත ජනයාට ඇති පහසුකම් අදටත් ඇත්තේ දුර්වල තැනක යි. ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කෙරෙන බොහෝ තැන්වල මෙම ගැටළුව මතු වනවා. එමෙන්ම ප්‍රවාහන පහසුකම් ද ඔවුනට ප්‍රශ්නයක් වනවා. පුද්ගලික වාහනයකට ඡන්ද මධ්‍යස්ථානයකින් මීටර් 500කට වඩා ආසන්නයට පැමිණීමට නොහැකි වීම ඊට හේතුව යි.
ආබාධිත ජනයාට වාහනයකින් පැමිණීමේ විශේෂ අවසරයක් ලබාගත හැකියි. එහෙත්, ඊට අවශ්‍ය අමතර ලිපිලේඛන කටයුතු සිදුකිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ.
තවද, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වීමට ඇති ඉඩ ප්‍රස්තාව ද අඩු යි. ඉඳහිට බ්‍රේල් ක්‍රමය, ශ්‍රවණාධාරක ආදිය භාවිතා කරන අවස්ථා ඇතත්, එය ඉතා දුර්ලභ යි.
විශේෂ අවශ්‍යතා ඇති අයට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වෙනත් අයකුගේ උපකාර ලබාගත හැකි ක්‍රමයක් තිබෙනවා. එහෙත් එවිට ඡන්දයේ රහස්‍යභාවය අහිමි වන අතර, ඊට අමතරව ඒ සඳහා ද ලියකියවිලි කටයුතු සිදුකිරීමට තිබෙනවා.
සිරකරුවන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාව අනුව මරණ දණ්ඩනය ආදී බරපතල දඬුවම් පැනවී ඇති අයට ඡන්දය භාවිතා කළ නොහැකියි. මේ අතර, මධ්‍යගත ක්‍රමවේදයක් නොමැති හෙයින් අනෙකුත් සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රායෝගිකව අපහසු යි.
පරිපාලනමය හේතු
මෑතකාලීනව ඡන්ද හිමි නාම ලේඛනයේ තම නම නොමැති වීම පිළිබඳ මෙන්ම, ඡන්ද කාඩ්පත් නොලැබීම පිළිබඳ ද පැමිණිලි විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු දකින්නට ලැබෙනවා.
මොවුන් සමහරෙක් චෝදනා කරන්නේ ග්‍රාම නිලධාරීන් විසින් මෙසේ නම් කපා දමා ඇති බව යි. මෙවන් සිද්ධීන් පිළිබඳ සොයා බලන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහෙත්, ඡන්දදායකයා වෙත ලැබෙන විසඳුම් පිළිබඳ ඇතැම් විට පැහැදිලි නොවිය හැකියි.
ඡන්ද බලය අහිමි වන අයගේ ප්‍රශ්නය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. මේ පිළිබඳ ඇතැම් සමාජ ක්‍රියාකාරීන් දිගටම කරුණු දක්වනවා. වඩා වැඩි සහභාගීත්වයක් තහවුරු කිරීමට උපක්‍රමික සැලසුම්, නෛතික ප්‍රතිසංස්කරණ මෙන්ම රාජ්‍ය සහ පළාත් පාලන මට්ටමේ ආයතනික ක්‍රියාවලියක් අවශ්‍ය යි. නමුත්, මෙවන් උත්සාහයක ප්‍රතිඵලය වඩා අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් වනු ඇති.