“පිවිතුරු” ඩීසල් එන්ජින්

පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් අතර සැකැස්ම අතිනුත්, ක්‍රියාකාරීත්වය අතිනුත් අතීතයේ සිටම වැදගත් වෙනස්කම් බොහොමයක් තිබුණා. මේවාට ප්‍රධාන හේතුව වුණේ එම ඉන්ධන වර්ග දෙකට ආවේණික වූ ලක්ෂණයි. ඉතා පහසුවෙන් දහනය වන සුළු පෙට්‍රල් වාෂ්පය අඩු පීඩනයක් හා උෂ්ණත්වයක් යටතේ විදුලි පුළිඟුවකින් ගිනි දල්වන්න පුළුවන්කම තිබුණත්, වාෂ්පශීලී බවින් අඩු ඩීසල් සඳහා එය ඉබේ ගිනි ගන්නා තරම් ඉහළ උෂ්ණත්වයක් සහ අධික පීඩනයක් දරාගත හැකි එන්ජිමක් අවශ්‍ය වුණා. කොහොම වුණත් ඩීසල් ඉන්ධනය සතු ශක්ති ප්‍රමාණය ඉහළ නිසා එය නිතැතින්ම ඉන්ධන කාර්යයක්ෂමතාව අතින් ඉහළින් තිබුණා.

ඩීසල් සතු කාර්යයක්ෂමතාව හා ආරක්ෂාව නාට්සි U boat සබ්මැරීනවල සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් (thecollectorsshowcase.com)

කාර්යයක්ෂමතාවෙන් ඉහළ නිසාම ඩීසල් එන්ජිමක පවතින ආර්ථික වාසිය ඉතා ඉහළ යි. ඉන්ධන වියදම අවම කරන්න තිබුණු විශාල පෙළඹවීම නිසා ලොව විශාලතම වාහන සමාගම් ඩීසල් එන්ජිමක පවතින විවිධ අඩුපාඩු මඟහරවා ගන්න නොගත් උත්සාහයක් නැහැ. එහිදී ප්‍රධානතම අවශ්‍යතාවක් වුණේ ඩීසල් එන්ජින් නිසා සිදු වන වායු දූෂණය අවම කිරීමයි. නමුත් මෙයට සාර්ථක, මිලෙන් අඩු විසඳුමක් සොයා ගන්න බැරි බවක් තමයි පෙනෙන්න තිබුණේ.

කොහොම නමුත් 2009 දී ජර්මනියේ විශාලතම වාහන නිෂ්පාදන සමාගම වන ෆොක්ස්වැගන් ආයතනය මේ උභතෝකෝටිකය විසඳූ බව ලෝකයට ප්‍රකාශ කළා. සුවිසල් ප්‍රචාරණ වැඩසටහනක් දියත් කරමින් ඔවුන් ලොවට කියා සිටියේ ලොව මුල් වරට පිවිතුරු ඩීසල් එන්ජින් අඩු මිලකට තනන්න තම ආයතනය සමත් වූ බව යි. මේ කතාව එකල තිබුණු බොහෝ වාහන පරීක්ෂාවන්ගෙනුත් තහවුරු වූ නිසා ෆොස්ක්වැගන් වාහනවලට ලොව පුරාම විශාල ඉල්ලුමක් නිර්මාණය වුණා.

(autocar.co.uk)

කොහොම නමුත් මෑතක දී තහවුරු වුණේ ඔවුන් ඉතා සූක්ෂම වංචාවක් සිදු කර ඇති බව යි. මෙය හෙළිදරව් වීමත් එක්ක ලෝක ඉතිහාසයේ වාහන සමාගමක් ලැබූ විශාලතම අපවාදයට මුහුණ දෙන්න ෆොක්ස්වැගන් ආයතනයට සිදු වුණා. ඉතා සූක්ෂමව මුළු ලෝකයම නොමඟ යැවූ, ලොව විශාලතම වගේම දරුණුතම අපරාධයක් ලෙස සැලකෙන ෆොක්ස්වැගන් සමාගමේ “පිවිතුරු” ඩීසල් වංචාව ගැන Roar සිංහල Gold හි මුල්ම ලිපි පෙළේ ආරම්භක ලිපියෙන් අපි ගැඹුරින් සලකා බලනවා.

ඩීසල් එන්ජිමේ NOx ගැටළුව

ඩීසල් කියන්නේ ස්වභාවයෙන්ම ඉතාම හොඳ ඉන්ධනයක් කියා සලකන්න හේතු බොහොම යි. පෙට්‍රල් වගේ වාෂ්ප වී අපතේ නොයන නිසාත්, පහසුවෙන් ගිනි නොගන්නා නිසාත් එය ඉතාම ආරක්ෂාකාරීයි වගේම සාපේක්ෂව අඩු මිලකට නිපදවිය හැකි වීමත්, ඒකක ප්‍රමාණයක ශක්තිය අතින් ඉහළ වීමත් නිසා කාර්යයක්ෂමතාව සහ වටිනාකම අතිනුත් එය අපූරු යි. කොහොම වුණත් ඩීසල් සතු මේ අධික ශක්තිය පිරිසිදුව ලබා ගත හැකි ක්‍රමයක් නොතිබීම අතීතයේ සිටම ගැටළුවක් වී තිබුණා.

ඩීසල් එන්ජිමක් ස්වභාවයෙන්ම වැඩි දුම් ප්‍රමාණයක් පිට කරනවා (arvandplak.ir)

මෙයට හේතුව වෙන්නේ ඩීසල් ඉන්ධනය සතු ලක්ෂණයක්ම යි. පහසුවෙන් වාෂ්ප නොවන නිසාත්, පහසුවෙන් ගිනි ඇවිලෙන්නේ නැති නිසාත් ඩීසල් දහනය කරන්න අධික උෂ්ණත්වයකින් යුතු වාතය අවශ්‍ය වෙනවා. මෙය එන්ජිමක දී කළ හැකි ප්‍රායෝගික ක්‍රමය වෙන්නේ අධික පීඩනයකින් තෙරපීම යි. මේ විදිහට අධික ලෙස උණුසුම්, අධි පීඩිත වාතයට ඩීසල් විදීමෙන් ඩීසල් සතු ශක්තිය ඉතා හොඳින් ලබා ගත හැකියි. කෙසේ නමුත් මේ අධික උෂ්ණත්වය සහ පීඩනය නිසා ඩීසල් පමණක් නෙවෙයි, වාතයේ අඩංගු නයිට්‍රජන් වායුවත් සුළු වශයෙන් දහනයට ලක් වෙනවා.

එහි ප්‍රතිඵලය වෙන්නේ කාබන්ඩයොක්සයිඩ් පිටවීම අතින් අවම වුණත් ඩීසල් එන්ජිමක් නිසා නයිට්‍රජන් දහනයේ අතුරු ඵල පිටවෙන්නට පටන් ගැනීම යි. නයිට්‍රජන් ඔක්සයිඩ් (NO) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) ප්‍රධාන මේවා NOx කියා පොදුවේ හැඳින්වෙනවා. වාතයට බරපතල හානියක් සිදු කරන්නට NOxවලට ඇති හැකියාව නිසා ඇමරිකාව ඇතුළු විශාල වාහන ගහනයක් සහිත රටවල් එන්ජිමකින් නිකුත් විය හැකි උපරිම NOx ප්‍රමාණයට දැඩි සීමා පනවා තිබෙනවා.

NOx පිටුදකින විසඳුම්

NOx බිඳින පරිවර්තක පද්ධතියක් (licdn.com)

මේ විදිහට NOx පිට වීම අවම කරන්න විවිධ විසඳුම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එයින් වඩාත්ම සාර්ථක ක්‍රමය වන්නේ එන්ජිමේ නිපදවෙන NOx යළිත් නයිට්‍රජන් වායුව බවට සහ වෙනත් ඔක්සයිඩයක් (උදා : ජලය) බවට රසායනිකව පරිවර්තනය කරවීම යි. මේ සඳහා යොදා ගන්නේ උත්ප්‍රේරක හෙවත් catalyst සහිත පරිවර්තක පද්ධතියක්. මේ ක්‍රමය අතිශයින්ම සාර්ථක වුණත් ඒ පද්ධතිය සඳහා ඉහළ මිලක් වැය වෙනවා. මේ නිසා මිල අඩු, මහා පරිමාණයෙන් නිකුත් කෙරෙන වාහනවලට එය සුදුසු වන්නේ නැහැ.

අනෙක් විසඳුම වන්නේ පිටාර වායුවේ සංයුතිය විශ්ලේෂණය කර අවස්ථාව අනුව ඩීසල් දහන ක්‍රියාවලිය ඉලෙක්ට්‍රොනිකව පාලනය කිරීම යි. නවීන වාහන සියල්ලේම වගේ එන්ජින් කළමනාකරණ පද්ධතියක් ඇතුළත් වන නිසා මේ කටයුත්ත ඉතා පහසුවෙන් සිදු කරන්න පුළුවන්. කොහොම නමුත් එහිදී ඩීසල්වල කාර්යයක්ෂමතාව සහ එන්ජිමේ ජවය යම් තරමකින් පහත හෙළන්න සිදු වෙනවා. මේ නිසා ඒ ක්‍රමයට ඩීසල් එන්ජිමක සැබෑ වාසිය ලබා ගන්න අපහසු යි.

මේ උභතෝකෝටිකය විසඳන්න නොහැකි වීම නිසා මිලෙන් අඩු, මහා පරිමාණයෙන් නිපදවන ඩීසල් කාර්වල NOx පිට වීම අවම කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒවායෙන් සිදු වන වායු දූෂණය නිසා ඒවාට එරෙහිව විවිධ බදු පැනවීම ආදිය මඟින් ඩීසල් වාහන අධෛර්යමත් කරන්න ඇමරිකාව කටයුතු කර තිබුණා.

ඇමරිකානු වාහන වෙළඳපොළ සහ “පිවිතුරු” ඩීසල් එන්ජිමකට තිබූ ඉල්ලුම

ඇමරිකාව තුළ තනිකරම කාර් අනුබද්ධ වූ සංස්කෘතියක් තිබෙනවා. (autoweek.com)

ඇමරිකාව කියන්නේ අදටත් ලොව පවතින සුවිසල්ම වාහන වෙළඳපොළක්. රටක් වශයෙන් ඉතාම විශාල නිසාත්, දියුණු මාර්ග පද්ධතියක් තිබෙන නිසාත්, ඕනෑම අයෙකුගේ ආදායම බොහෝ විට වාහනයක් මිල දී ගන්න ප්‍රමාණවත් නිසාත්, නිසි වයස එළඹුණු වහාම පෞද්ගලික වාහනයක් තබා ගැනීම මූලික වූ සංස්කෘතියක් තිබීම නිසාත් එරට සෑම වසරකටම වරක් වාහන මිලියන ගණනක් අලෙවි වෙනවා. මේ නිසා ඇමරිකානු වාහන වෙළඳපොළේ වැඩි වාසියක් ලබා ගන්න හැකියාව තිබීම ඕනෑම වාහන සමාගමකට ධන උල්පතක්.

කොහොම නමුත් අධික වාහන භාවිතය නිසා ඇමරිකාවේ වාතය දූෂණය වීමෙන් වළක්වා ගන්න දැඩි නීතිත් පනවා තිබෙනවා. ඒ අනුව යම් නිර්දේශිතයන් ඉක්මවා කටයුතු කරන වාහනවලට අධික බද්දක් පැනවෙනවා. ඩීසල් එන්ජිමක් සහිත කුඩා කාර් කිසිවකට ඇමරිකාවේ හරිත වාහනයක් (green car) කියන සහතිකය ලබා ගන්න නොහැකි වුණේ මේ නිසා යි.

මේ නිසා කුමන ක්‍රමයකට හෝ අඩු මිලට, NOx පිටවීම අඩු ඩීසල් එන්ජිමක් නිපදවන්න වාහන සමාගම් අතර ඇති වුණේ විශාල තරගයක්. ඩොලර් මිලියන සිය ගණන් ඊට අදාළ පර්යේෂණ කටයුතු සඳහා යොදවන්න විශාල වාහන සමාගම් කටයුතු කළේ එය සාර්ථක වුවහොත් ලැබෙන අධික ප්‍රතිලාභය ගැන හොඳින් වටහා ගත් නිසා යි.

ෆොක්ස්වැගන් කාර් හරිත වාහන ලෙස සහතික වෙයි

හරිත වාහනයක් ලෙස සහතික වූ Volkwagen Jetta TDi (superstreetonline.com)

කාලයක් තිස්සේ තිබුණු තරගය නිමා කරමින් ලෝක ප්‍රසිද්ධ ෆොක්ස්වැගන් සමාගම ඔවුන්ගේ නවතම TDi වර්ගයේ ඩීසල් එන්ජින් මේ හපන්කම කළ බව කියා සිටියා. 2009 ෆොක්ස්වැගන් Jetta කාරය, 2010 ෆොක්ස්වැගන් Golf කාරය ඇතුළු ඩීසල් කාර් ගණනාවක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒවායේ NOx පිටවීම අඩු බව තහවුරු වීමත් එක්ක ඒවා හරිත වාහන ලෙස තහවුරු කරන්න ඇමරිකානු පරිසර ආරක්ෂණ අධිකාරියත් කටයුතු කළා. ඒ සමගම අදාළ කාර්වලටත්, ෆොස්ක්වැගන් සමාගමේ අනික් වාහනවලටත් අති විශාල මූල්‍ය වාසි ප්‍රමාණයක් හිමි වුණා.

ප්‍රචාරණය අතිනුත් තම ජයග්‍රහණය ගැන ලෝකයට කියන්න ඔවුන් අමතක කළේ නැහැ. තමන් “පිවිතුරු” ඩීසල් වාහනයක් තැනීමේ රහස් වට්ටෝරුව සොයා ගත් බවත්, ඩීසල් වාහන අපිරිසිදු බවට තිබූ මතය වෙනස් කරගන්නට කාලය පැමිණ ඇති බවත් කියමින් ඔවුන් දැවැන්ත ප්‍රචාරණ වැඩසටහනක් දියත් කළා. ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය වූයේ වැඩිහිටි කාන්තාවන් තිදෙනෙක් ඩීසල් කාර් ගැන වාද කරන වෙළඳ දැන්වීම යි. ඩීසල් වාහන අපිරිසිදු වුණාට ෆොක්ස්වැගන් TDi එන්ජින් සහිත ඩීසල් වාහන එසේ නොමැති බව ඒත්තු ගන්වන්නට මේ ප්‍රචාරණය විශාල ලෙස දායක වුණා.

ඒ සමගම ඇමරිකානු කාර් වෙළඳපොළ තුළින් සුවිසල් ලාභයක් ලබන්නත්, කුඩා කාර් අලෙවියේ සැලකිය යුතු වෙළඳපොළ ප්‍රතිශතයක් අත්කරගන්නත් ෆොස්ක්වැගන් සමාගම සමත් වුණා. ඔවුන්ගේ කොටස් මිල, ආදායම වගේම, ජනප්‍රියත්වයත් බොහෝ සෙයින් ඉහළ ගියා.

වංචාව හසුවීම

කොහොම වුණත් මුල් කාලයේ සිටම ෆොක්ස්වැගන් සමාගමේ වාහන ගැන සමහරුන්ට කුකුසක් ඇති වී තිබුණා. මේ වාහන පර්යේෂණයට ලක් කරපු මුල් කාලයේදීම පර්යේෂණාගාරයේ දී එන්ජිම ක්‍රියාත්මක කළ විට පිටවන NOx ප්‍රමාණයත්, සාමාන්‍ය ලෙස ධාවනය කරන අතර පිටවන NOx ප්‍රමාණයත් අතර අසාමාන්‍ය තරම් ඉහළ අනුපාතයක් ඇති බව පෙනී යාමත් එක්ක ඒ ගැන පර්යේෂණයක් කරන්න ඇමරිකාවේ බටහිර වර්ජිනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් කටයුතු කළා.

වංචාව හසුකරගත් පිරිස (spiegel.de)

ඔවුන් මේ බව ෆොක්ස්වැගන් සමාගම වෙත දන්වා යැවුවත් ඔවුන් දිගටම ප්‍රකාශ කළේ එය පර්යේෂණයේ ගැටළුවක් විය හැකි බව යි. කිහිප වරක් වෙනස් පර්යේෂණ කිරීමෙන් පසුවත් ප්‍රතිඵලය එකම වූ පසුව ඔවුන් තම වාහනවල යම් නිෂ්පාදන දෝෂයක් තිබිය හැකි බව පවසා එය නිවැරදි කිරීම සඳහා යම් වාහන ප්‍රමාණයක් නැවත ගෙන්වා සැකසුම් කිහිපයක් ද සිදු කළා. නමුත් ප්‍රතිඵලයේ වැඩි වෙනසක් තිබුණේ නැහැ.

වැඩිදුරටත් කළ පර්යේෂණවල දී අදාළ ෆොක්ස්වැගන් වාහනවල ඉදිරි රෝදය හරවන අවස්ථා හඳුනාගෙන එන්ජිමේ NOx පාලනය ඉවත් කරන්නත්, එසේ නොවන අවස්ථාවල දැඩි NOx පාලක යොදවන්නත් ෆොක්ස්වැගන් සමාගම සූක්ෂම කටයුතු කර ඇති බව තහවුරු වුණා. එපමණක් නෙවෙයි, මෙය හිතාමතාම ඇතුළත් කිරීමෙන් පසුවත් තාක්ෂණික දෝෂයක්යැ යි පවසමින් කාලය නාස්ති කරන්නටත්, කැඳවූ වාහනවල පවා අදාළ වංචනික ක්‍රමය වැඩිදියුණු කරන්නටත් කටයුතු කළ බව පෙනී ගොස් තිබුණා.

හානියේ තරම

(pressassociation.io)

අදාළ NOx පාලක ක්‍රියාත්මක විට එය ඇමරිකානු හරිත වාහනවල ප්‍රමිතීන්ට අනුකූල වුණත් සාමාන්‍ය ධාවනයේ යෙදෙන අවස්ථාවල NOx පිටවීම ප්‍රමිතීන් මෙන් 40 ගුණයක් පමණ ඉහළ බව පසුව තහවුරු වුණා. වසර කිහිපයක් තිස්සේ පාරිභෝගිකයන් රවටමින් අතිශයින්ම දූෂිත වාහන 500,000කට අධික ප්‍රමාණයක් ඇමරිකාව තුළ ධාවනයේ යෙදවීම ගැන ඍජුවම චෝදනා නැගුණේ ෆොක්ස්වැගන් ආයතනයට යි. ඇමරිකාව තුළත් ලෝකය පුරාමත් වාහන මිලියන 11ක අදාළ NOx පාලක යොදා ඇති බව ඔවුන් පිළිගැනීමත් එක්ක මුළු ලෝකය පුරාම ෆොක්ස්වැගන් වාහන ගැන විශාල අප්‍රසාදයක් ඇති වෙන්න ගත්තා. අදාළ රටවල වාතයේ ගුණාත්මකබවට මේ නිසා සැලකිය යුතු හානියක් එල්ල වී ඇති බව කියවෙනවා.

අවසානයේ දී හානිපූර්ණය වෙනුවෙන් යූරෝ මිලියන 6.7ක් වෙන් කරන්නට ෆොස්ක්වැගන් ආයතනයට සිදු වුණා. ඔවුන්ගේ කොටස් මිලත් 30%කින් පමණ පහත වැටුණා. වසර 15ක් තිස්සේ ලාභ ලබමින් තිබූ ෆොක්ස්වැගන් ආයතනය එක කාර්තුවක් තුළ ඩොලර් බිලියන 3ක් පමණ පාඩු ලබන ආයතනයක තත්ත්වයට පත් වෙන්න සිදු වුණා. ෆොක්ස්වැගන් සමූහයේ ප්‍රධානී මාටින් වින්ටකොන් මේ හේතුවෙන් ඔහුගේ තනතුරෙන් විශ්‍රාම ගත්තා. ඇමරිකාව තුළ විකුණන ලද NOx පාලක සහිත ඕනෑම ෆොක්ස්වැගන් වාහනයක් නැවත භාර දී මුළු මුදලම ඒ වෙනුවෙන් ලබා ගැනීමටත් මහජනතාවට අවස්ථාව හිමි වුණා.

අවසාන ප්‍රතිඵලය

පසුව පෙනී ගියේ තවත් යුරෝපීය කාර් සමාගම් ගණනාවක් මීට සමාන වංචාවන් සිදු කර තිබූ බව යි. ඇමරිකාවටත් වඩා එයින් යුරෝපයට තිබූ බලපෑම ඉහළ බව පෙනී ගොස් තිබෙනවා. කොහොම නමුත් ඩීසල් වාහන අලෙවියේත්, දිගුකාලීනව ගත් විට ෆොක්ස්වැගන් කාර් අලෙවියේත් සැලකිය යුතු බිඳ වැටීමක් ඇති වී නැහැ.

ෆොක්ස්වැගන් සමාගම පාඩුවක් ලැබුවේ 2015 දී පමණයි. (statista.com)

ගැටළු ගණනාවකට මුහුණ දෙන්න සිදු වී තිබුණත් අවසාන වශයෙන් සියල්ල ෆොක්ස්වැගන් ආයතනයට සුභදායී ලෙස විසඳී ඇති බව පෙනෙන්න තිබෙනවා. ඔවුන් ඇමරිකානු වෙළඳපොළ තුළ වැඩි ප්‍රතිශතයක් අයත් කරන්න දැරූ උත්සාහය ඉතා සාර්ථක වුණා. දැන් නැවතත් ඔවුන් අධික ලෙස වාහන අලෙවියෙන් ලාභ ලබන්න පටන් ගෙන තිබෙනවා. ෆොක්ස්වැගන් වැනි සමාගමක් බිඳ වැටීමේ ආර්ථික හානිය නිසාම ජර්මනිය ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නත් අදිමදි කරන බවක් පෙනෙනවා.

අවසානයේ සියලු දේවල් සලකා බලා මුදල් සහ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් මහා විශාල වංචාවක් සිදු කර, එය දැන දැනම සඟවමින් ලෝකයට විෂ වායු එකතු කිරීමෙන් පසුවත් වැඩි අපහසුවක් නැතිව එයින් බේරී යන්න ෆොක්ස්වැගන් සමාගමට හැකි වුණා. සුවිශාල සමාගමකට අවශ්‍යතාව අනුව ඕනෑම දෙයක් සිදු කර බේරී යාමට තිබෙන හැකියාව ගැන හොඳ උදාහරණයක් ලෙස මෙය සලකන්න පුළුවන්.

“පිවිතුරු” ඩීසල් එන්ජින්කවරයේ රූපය : whichcar.com

Related Articles

Exit mobile version