ලොවෙන් සැඟවී ගිය විශිෂ්ට සොයාගැනීම්

වර්තමානයේ වුව ද නව සොයාගැනීම් කරන්නට විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙනවා. වැදගත් සොයාගැනීමක් කළ විට එය සිදුකළ ආකාරය පිළිබඳ සියළු වාර්තා තැබීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. ඒ එම නිෂ්පාදනය අපහසුතාවයකින් තොරව නැවත නැවතත් නිපදවීම සඳහා යි.

මීට වසර දහස් ගණනකට පෙර සිටම මිනිසුන් ඉතා වැදගත් සොයාගැනීම් සිදුකළා. කෙසේ නමුත් විවිධ හේතූන් නිසා ඉන් සමහරක නිෂ්පාදන ක්‍රියාවලිය හෝ යොදාගත් අමුද්‍රව්‍ය පිළිබඳ වතගොත අද වන විට ලෝකයට සම්පූර්ණයෙන් අහිමි වී තිබෙනවා. කෙතරම් උත්සාහ කළත් ඒවා නැවත නිපදවීමට කිසිවෙකුට නොහැකි වී තිබෙනවා. මේ එවැනි විශිෂ්ට හා වැදගත් නිර්මාණ කිහිපයක් ගැන යි.

ඩැමස්කස් වානේ

bladeforums.com

සිරියාව කේන්ද්‍ර කොටගෙන සෑදුණු ‘ඩැමස්කස් වානේ‘ කඩු වැනි යුධමය උපකරණ සෑදීම සඳහා යොදාගෙන තිබුණා. මේවා ඉතාමත් ශක්තිමත් හා මුවහත් වූ අතර ඊට හේතු වී ඇත්තේ මේ වානේ වර්ගයෙහි ඉතා සූක්ෂම ලෙස සැකසුණු ශක්තිමත් කාබන් කෙඳිති අන්තර්ගත වීම යි.

ක්‍රි.ව 3 වන සියවසේ සිට 17 වන සියවස දක්වා සෑදුණු මේ ලෝහ වර්ගය සඳහා අමුද්‍රව්‍ය ලෙස විශේෂ සැකැස්මකට ලක්කළ යකඩ ආනයනය කර තිබෙන්නේ ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙනුයි. මෙම විශේෂ යකඩවල සැකැස්ම අදටත් රහසක් වන අතර මෙහිදී සාමාන්‍ය යකඩවලට ලී හා කොළ කැබලි වැනි දේ මුසුකොට එහි ව්‍යුහය ලබාගෙන තිබෙනවා.

17 වන සියවස අවසානය වන විට මේවා නිෂ්පාදනය අඩාල වී ගොස් සම්පූර්ණයෙන්ම අත්හිටුවී තිබෙනවා. ඊට හේතු ලෙස වෙළඳ මාර්ග අවහිර වීම නිසා ඇති වූ අමුද්‍රව්‍ය හිඟය දැක්වෙනවා. නවීන තාක්ෂණයේ පිහිටෙන් මේවා නැවත නිපැයීමට කීප වතාවකදීම උත්සාහ කළත් මේ වන විටත් එවා සාර්ථක වී නැහැ.

ස්ටාර්ලයිට්

Youtube

1970 හා 80 දශක අතර කාලයේ දී නවක රසායන විද්‍යාඥයෙකු වන මොරිස් වෝඩ් නැමැත්තෙක් ඉතා අපූරු සොයාගැනීමක් සිදුකළා. ස්ටාර්ලයිට් යනුවෙන් නම් කර තිබූ මේ ද්‍රව්‍යයට සෙල්සියස් අංශක 10,000ක් පමණ වූ උෂ්ණත්ව පවා දරාගත හැකිව තිබුණා.

නාසා ආයතනය ඇතුළු ආයතන රැසක් ඔහුගේ මේ සොයාගැනීමෙහි වැදගත්කම ඉක්මනින්ම අවබෝධ කරගෙන ඒවා නිපදවීම හා වැඩිදුර පර්යේෂණ පැවැත්වීම සඳහා දායක වීමට ඉදිරිපත් වුණා. කෙසේ නමුත් මේ මාහැඟි සොයාගැනීමේ අයිතිවාසිකම තමන්ට අහිමි වේ යැයි බිය වූ වෝඩ් ඒ කිසිවෙකුට සිය සොයාගැනීමෙහි සාම්පල ළඟ තබා ගැනීමට ඉඩ නොදුන් අතර එහි රසායනික සංයුතිය කිසිවෙකුටත් ලබා දීම ප්‍රතික්ෂේප කළා. එය ලබා දෙන්නට නම් එය යොදාගෙන කරන සියළු නිෂ්පාදනවල 51%ක අයිතිය තමාට ලැබිය යුතුයැ යි ඔහු ප්‍රකාශ කළා.

2011 වසරේ දී වෝඩ් මියගියා. ඒ වන විටත් ස්ටාර්ලයිට් නිපදවීම පිළිබඳව කිසිවෙකුට ඔහු පවසා නොතිබූ අතර ඒ පිළිබඳ සටහන් හෝ සාම්පල ද ඉතිරි කර තිබුණේ නැහැ. ඉන් අනතුරුව බොහෝ දෙනා එය නැවත නිපදවීමට උත්සාහ කළත් ඒවා එකක්වත් සාර්ථක වූයේ නැහැ.

රෝමානු බදාම

romanobritain.org

පුරාතන රෝමයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදාගෙන ඇති රෝමානු බදාම සවිශක්තිය මෙන්ම කල්පැවැත්ම අතින් ද ඉතා ඉහළ වෙනවා. ක්‍රි.පූ 300 සිට ක්‍රි.ව 476 අතර කාලයේදී මේවා ඉතා බහුලව හාවිතා වී තිබෙන අතර මේවායින් සාදන ලද සමහර ඉදිකිරීම්වල කොටස් අදටත් හොඳ තත්ත්වයෙන් ශේෂ වී තිබෙනවා.

මේ බදාම සෑදීමට හුණුගල්, ගල් කැබලි මෙන්ම පෝසලානා අළු ද යොදාගෙන තිබෙනවා. පෝසලානා යනු යමහල් විදාරණයෙන් අනතුරුව ඒ අවට තැන්පත් වන අළු වර්ගයකුයි.

රෝමානු බදාමවල භාවිතය ක්‍රි.ව 500න් පසු ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර 14 වන සියවසේ රෝමානු අධිරාජ්‍ය බිඳවැටීමෙන් පසු අභාවයට ගොස් තිබෙනවා. නැවත කෙටිකාලීනව ඒවා 18 වෙනි සියවසේ දී කරළියට පැමිණිය ද ඉක්මණින්ම නැවතත් භාවිතයෙන් අත්හැරී තිබෙනවා. වර්තමානය වන විට ඉදිකිරීම් කටයුතු සඳහා යමහල් අළු යොදාගැනීම පිළිබඳ නැවත සාකච්ඡා වන්නේ පැරණි රෝමානු බදාමවල සවිශක්තිය පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදු කිරීමෙන් අනතුරුව යි. මේවා යොදාගැනීම වඩාත් පරිසර හිතකාමී ද වන අතර, රෝමානුවන් ඒවා යොදාගත් සංයුතිය පිළිබඳව වැඩිදුර අධ්‍යනයන් සිදුවෙනවා.

නම්‍යශීලී වීදුරු

ancientpages.com

රෝමානු අධිරාජ්‍යය පැවති සමයේ එහි ජීවත් වූ නිර්මාපකයෙක් අපූරු සොයාගැනීමක් කළා. ඒ නොබිඳෙන, නම්‍යශීලී වීදුරු වර්ගයක් නිපදවීම යි. ඔහු සිය සොයාගැනීම යොදාගෙන වීදුරු බඳුනක් සාදා ඒ වන විට එහි අධිරාජයා වූ ටයිබීරියස් සීසර්ට පිළිගැන්වූවා.

ටයිබීරියස් එය බිඳ දැමීමට උත්සාහ කළ ද ඔහුට හැකිවූයේ එය නැමීමට පමණ යි. නිර්මාපකයා පහසුවෙන්ම මිටියක ආධාරයෙන් එය තිබූ හැඩයටම ප්‍රතිස්ථාපනය කළා. ඔහු ටයිබීරියස්ගෙන් ප්‍රශංසා හා තෑගි භෝග ලැබීමට බලාපොරොත්තු වූවත් සිදුවූයේ අනෙකක්. මේ නිර්මාණය නිසා නුදුරු අනාගතයේ දී රන්වල මිල පවා පහත වැටිය හැකි යැයි අනුමානය කළ ටයිබීරියස් එහි නිර්මාණකරුවා අල්ලා හිස ගසා දැමීමට නියෝග කළා.

නිර්මාපකයාගේ හිස ගසාදැමීමත් සමග මේ නව සොයාගැනීම පිළිබඳ සියළු රහස් ද වැළලී ගියා. ඔහු ඒ පිළිබඳව කිසිවක් සටහන් කරගෙන නොතිබීම ඊට හේතුව යි. ඉන් පසු බොහෝ දෙනා මෙවැන්නක් නිපදවීමට උත්සාහ කළත් කිසිවෙක් සාර්ථක වූයේ නැහැ.

ස්ඵටිකීකරණය කොට මෘතශරීර කල්තබා ගැනීම

professorelliot.wordpress.com

1792 වසරේ ඉතාලියේ උපන් ගිරොලාමෝ සෙගැටෝ මළ සිරුරු ජීවමාන ස්වරූපයෙන්ම කල්තබාගැනීමේ අපූරු ක්‍රමයක් සොයාගත්තා. තුරුණු වියේ දී ඊජිප්තු මමිකරණය පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ ඔහුට මළ සිරුරක ජලය ඉවත් කරනු වෙනුවට ස්ඵටිකීකරණය කොට ජීවමාන ස්වරූපයෙන්ම ඒවා නරක් නොවී කල්තබා ගැනීමේ විශේෂිත ක්‍රමයක් සාර්ථකව අත්හදා බලන්නට හැකි වුණා.

සෙගැටෝ ගේ වික්‍රමය දුටු බොහෝ දෙනා පැවසුවේ ඔහු ඊජිප්තු ඉන්ද්‍රජාල හුරුවී ඇති බවත්, ඒ නිසා එහි ශාපය ඔහුට වදිනු ඇති බවත් යන කාරණාව යි. මින් බිය වූ ඔහු ඒ පිළිබඳව තමන් ලියා තැබූ සියලු පර්යේෂණ සටහන් විනාශ කළා.

1836 වන විට තමන්ගේ ජීවිතය අහිමි වේයැ යි ඉතාමත් බිය වූ ඔහු සිය ‘රහස් ක්‍රමය’ ගැන මිතුරෙකු වන පෙලිග්‍රිනී දැනුවත් කරන්නට ඉටාගත්තා. කෙසේ නමුත් ඉන් පෙර ඔහු මියගියා. මේත් සමග ඔහුගේ රහස ද අභාවයට ගිය අතර පෙලිග්‍රෙනී ඇතුළු බොහෝ දෙනා තමන් දන්නා කරුණු යොදාගෙන එම ක්‍රමය අත්හදා බැලූ මුත් ඒ සියල්ල ව්‍යර්ථව ගියා. අදටත් සෙගැටෝ විසින් පරීරක්ෂණය කරන ලද මළසිරුරු කොටස් ඉතාලියේ ෆ්ලෝරන්ස්හි කාය ව්‍යවච්ඡේද විද්‍යාව සඳහා වූ කෞතුකාගාරයේ සහ කැස්ටෙරාහි රාජකීය මන්දිරයෙහි තැන්පත් කර තිබෙනවා.

කවරයේ පින්තූරය- leather-n-dagger.com

Related Articles

Exit mobile version