කටුපොල් හෙවත් පාම් ඔයිල් ශාකය

පාම් ඔයිල් යනු ලෝකයේ ආහාර නිෂ්පාදනයට අත්‍යාවශ්‍යම අමුද්‍රව්‍යයකි. බොහෝ රටවල් මෙම පාම් ඔයිල් ශාකය වාණිජ බෝගයක් ලෙස වගා කරන අතර එයින් හො‌‍ඳ මෙන්ම නරක ප්‍රතිඵලද අත්විදීමට සිදුවී ඇත. මෙම ලිපියෙන් පාම් ඔයිල් හෙවත් කටුපොල් ශාකය හා වගාව පිළිබදව දැන ගැනීමට හැකිවනු ඇත.

සම්භවය හා ව්‍යාප්තිය

අද වන විට ලෝකයේම අවධානය යොමුවී ඇති වාණිජ බෝගයක් ලෙස කටුපොල් හෙවත් පාම් ඔයිල් ශාකය හදුන්වාදිය හැක. තාල කුලයට අයත් මෙම ශාකය අප්‍රිකානු කලාපයෙන් පළමුවෙන් සොයා ගෙන ඇත. එමෙන්ම සමකාසන්න රටවල හා වැසි වනාන්තර සහිත ප්‍රදේශයන්හී මෙය බහුලව දක්නට ලැබේ. රටඉදි ගෙඩියක හැඩය ගන්නා පාම් ගෙඩියේ 50% කට වැඩි ප්‍රමාණයක පාම් තෙල් ඇති අතර  Elaeis guineensis යන විද්‍යාත්මක නාමයෙන් මෙම ශාකය හදුන්වනු ලැබේ. එමෙන්ම අතීතයේ සිටම හුවමාරු වෙළද භාන්ඩයක් ලෙස මෙම ශාක තෙල් යොදාගෙන ඇත. ෂැම්පු, සබන්, ලිප්ස්ටික් ආලේපනයේ සිට ඔබ ආහාරයට ගන්නා චොක්ලට් වර්ග දක්වා ලෝකයේ පරිභෝජනයට ගන්නා භාණ්ඩ අතුරින් 80% වැඩි ප්‍රමාණයක පාම් තෙල් අඩංගු වී ඇති  නිසා අධික ඉල්ලුමක් මෙම නිෂ්පාදනය සදහා නිර්මාණය වී ඇත.

මැලේසියාවේ පාම් ඔයිල් ශාකය වගා කර ඇති භූමියක් (www.palmoilhealth.org)

1900 වසර වල මුල් භාගයේ පාම් ඔයිල් ශාකය වාණිජ බෝගයක් ලෙස ලෝකයට හඳුන්වා දුන් අතර 1970 පසු මෙම නිෂ්පාදනයට විශේෂ අවධානයක් යොමුවී සීග්‍ර ලෙස වගා කිරීමට ආරම්භ කර ඇත. පාම් ඔයිල් ශාකය වැවිලිකරුවන් අතර වඩාත්ම ජනප්‍රිය වීමට හේතුව වනුයේ අඩු කාලයකින් අස්වැන්න ලැබීම, අවම සේවක අවශ්‍යතාවය හා විශේෂයෙන්ම, අනෙක් වාණිජ බෝග හා සැසදීමේදී ලැබෙන අධික අස්වැන්නයි. වසර පුරා අස්වැන්න නෙලීමට හැකිවීමත් වසර 25කට වැඩි ආයු කාලයක් තිබීමත් මෙම ශාකය ජනප්‍රිය වීමට තවත් හේතුවකි. ලෝක ඉල්ලුමෙන් 80% කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඉන්දුනීසියාව හා මැලේසියාවයි. අද වන විට ලෝකයේ වැඩිම පාම් තෙල් ආනයනකරුවන් වන්නේ “ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපා සංගමය, හා චීනයයි”.

පාරිසරික ගැටළු

කෙසේ වුවද අද වන විට පාම් තෙල් පිලිබදව ලොවපුරා කතාබහට ලක්වන්නේ එයින් මතුවන උග්‍ර පාරිසරික ගැටළු හේතුකොට ගෙන ය. අධික ඉල්ලුම සරිලන නිෂ්පාදනයක් සිදුකිරීමට “ඉන්දුනීසියාව, මැලේසියාව” වැනි රටවල් තම වනාන්තර පද්ධති එළිපෙහෙළි කරමින් නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට කටයුතු කර ඇත.  බෝර්නියෝ හා සුමාත්‍රා වැසි වනාන්තර පද්ධති එමගින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. පාරිසරික සංවිධාන වලට අනුව සෑම පැයකට පාපන්දු ක්‍රීඩා පිටි 300 පමණ ප්‍රමාණයක් වනාන්තර විනාශ කරමින් මෙම වගා කටයුතු සිදු කෙරෙමින් පවතී. එමෙන්ම වනාන්තරයන්හි වෙසෙන සත්ත්ව ප්‍රජාව තම ස්වභාවික වාසස්ථාන නැතිවී යාමෙන් වඳ වීමේ තර්ජනය ලක්ව ඇත. මෙහිදී විශේෂ අවධානය යොමුවන්නේ එළිපෙහෙළි කළ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත බාහුලව වෙසෙන ඔරන්ඔටන් වඳුරන්ගේ සීඝ්‍ර වඳවීමයි. එසේම, එම ප්‍රදේශ වල අලි-මිනිස් ගැටුම් වර්ධනය වීමටද මෙම පාම් ඔයිල් ශාක වගාව සදහා වනාන්තර එළිපෙහෙළි කිරීම හේතු වී ඇත.

පාම් ඔයිල් වගාව නිසා විනාශ වී ඇති වනාන්තර ප්‍රදේශයක් හා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ඔරන්ඔටන් විශේෂය (www.truezoo.files.wordpress.com)

මෙම වගාවෙන් ලැබෙන වාසි හා අධික ලාභය හේතු කොට ගෙන දකුණු ඇමරිකානු රටවල් වන බ්‍රසීලය, ඉක්වදෝරය වැනි රටවල් පාම් ඔයිල් වගා ව්‍යාප්තිය අරඹා ඇත. එම තත්වය ඉදිරියේ දී ඇමසන් වැසි වනාන්තර කලාපයට ඍජු බලපෑමක් ඇති කිරීමට හැකියාව ඇත. මේ වගාව මගින් මෙසේ වැසි වනාන්තර පද්ධති විනාශ වීම, දේශගුණික විපර්යාස, හා ලොව ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇති ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට ද හේතුවක් වනු ඇත.

පාම් ඔයිල් වගාව නිසා විනාශ වී ඇති වනාන්තර ප්‍රදේශයක් (climate2020.org.uk)

ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද කටු පොල් හෙවත් පාම් ඔයිල් ශාක වගාව ජනප්‍රිය වී ඇත. සමකාසන්න රටක් වීම හා හොදින් වැසි ලැබෙන දේශගුණික තත්වයන් නිසා මෙම වගාව සඳහා හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය වී ඇත. අප රටේ දකුණුදිග ප්‍රදේශ ආශ්‍රිතව ආරම්භ වී ඇති කටු පොල් වගාව, මධ්‍යම කදුකරය, කළුතර, කෑගල්ල වැනි ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත වී ඇති නමුත්, හෙක්ටයාර් 10000-15000 අතර බිම් ප්‍රමාණයකට වගාව සීමා වී ඇත. මෙම වගාවන් සියල්ල වැවිලි සමාගම් විසින් සිදුකරන අතර, බොහෝවිට ඔවුන් සතුව පවතින රබර් හෝ තේ සහිත ඉඩම් තුල එම බෝග වෙනුවට කටුපොල් වගාව ආදේශ කිරීමට යොමුවී ඇත. අනෙක් බෝග හා සැසදීමේදී හෙක්ටයාරයකට 0.1 සේවක පිරිසක් පමණක් අවශ්‍ය නිසා සේවක ගැටළු අවම වීම ද එම සමාගම් මෙම වගාව ව්‍යාප්ත කිරීමට හේතු කොටගෙන ඇත. නමුත් මෙය පොල් වැනි ශාකයක් ලෙසට ශ්‍රී ලංකාවේ ප්‍රචලිත නොවන්නේ අවශ්‍ය සුදුසු ඉඩම් ප්‍රමාණ නොමැතිවීම, මූලික වියදම අධික වීම, සුදුසු ශාක පැල නොමැති වීම, හා විශේෂයෙන්ම මේ පිළිබද දැනුම ඇති සම්පත්දායකයින් අවම වීමයි.

මෙසේ අඩු දැනුමින් නොවිධිමත්ව කරනා වගාවන් නිසා බලාපොරොත්තු වන අස්වැන්න නොලැබීම මෙන්ම රට තුල විවිධ පාරිසරික ගැටළු උද්ගත වීමද සිදුව ඇත. කදුකර බෑවුම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන එලිපෙහෙළි කිරීම් නිසා ජල මූලාශ සිඳී යාම, පරිසර පද්ධති විනාශ වීම, හා කඳු බෑවුම් නාය යාමේ අවධානමක් ද ඇති වී තිබේ. මේ හේතුවෙන් කටුපොල් වගා විරෝධී ආකල්පයක් හා ජනතා විරෝධයක් මේ සම්බන්ධයෙන් ගොඩනැගී ඇත.

වගාවේ ඉදිරි අනාගතය

මූලාශ්‍ර සැසදීමේ දී පාම් තෙල් සදහා වන ඉල්ලුම ඉදිරි දශකය තුල වැඩි වන බවට ගණනය කර ඇති අතර, ඒ ආශ්‍රිතව කරනනිෂ්පාදනයන් ද පුළුල් කිරීමට කටයුතු කරනු ඇත. එනමුත් ලෝක සංවිධාන වලින් එල්ල වන බලපෑම හේතුවෙන් මේ පිළිබද පර්යේෂණ කටයුතු සිදුකරමින් තිරසාර විසදුම් සොයා බැලීමට පාම් තෙල් අපනයනය කරන රටවල් යොමු වී ඇත. මෙම පාරිසරික ගැටළු සදහා විසදුම් සෙවීමේ අරමුණින් 2004 වසරේදී RSPO (Roundtable on Sustainable Palm Oil) සංවිධානය පිහිටුවාගෙන ඇති අතර, එමගින් මෙම වගාව සදහා විවිධ ප්‍රමිතීන් හා නියාමනයන් හදුන්වා දී ඇත. එම නියමයන්ට හා ප්‍රමිතීන්ට අනුකූල සමාගම් සදහා CSPO (Certifide Sustainable Palm Oil) සහතිකය නිකුත් කෙරේ. මෙම සංවිධානයේ සාමාජිකයින් ලෙස මෙම වගාවට සම්බන්ධ වැවිලිකරුවන්, ගැනුම්කරුවන්, පරිසර සංවිධාන ඇතුළු සියලුම කොටස්කරුවන් ඇතුලත් කර ගෙන ඇති අතර, එමගින් සෑම පාර්ශවකරුවෙකුටම අදාළ විසදුම් ලබා දීමට කටයුතු සිදු කරනු ලබයි.

තවද, විකල්ප තෙල් නිෂ්පාදන සදහාද ලෝක අවදානය යොමු වී ඇත. සූර්යකාන්ත තෙල්, සෝයා තෙල්, හා පොල් තෙල් ආදේශක ලෙස යොදාගත හැකි වුවද පාම් තෙල් වැනි අධික අස්වැන්නක් ලැබෙන ආදේශකයක් තවමත් හමුවී නැත. කෙසේ වුවද පාම් තෙල් නිෂ්පාදනය පරිසර හානිය පිළිබදව අවබෝධයෙන් හා තිරසාර ලෙස සිදු කිරීමට ලෝක අවධානය බොහෝ සෙයින් නැඹුරු වී ඇත.

RSPO සහතිකය (www.hpcismart.com)

මුලාශ්‍ර –

 

  • The Oil Palm,5th Edition,R.H.V Corley and P.B Tinker
  • www.rainforest-rescure.org

 

කවරයේ ඡයාරූපය – www.wholefoodsmagazine.com

Related Articles

Exit mobile version