පාරිභෝගිකයිනි, ඔබේ අයිතීන් ගැන දැනුවත් ද?

“සියළු පුරවැසියෝ පාරිභෝගිකයෝය. ආර්ථික ක්ෂේත්‍රයේ විශාලම ස්ථරය ඔවුන් වන අතර, රාජ්‍ය හා පෞද්ගලික යන සෑම ක්ෂේත්‍රයකම තීරණවලින් පීඩාවට පත්වන්නෝ ද වෙති.”

-හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි-

ළඟ ළඟම එන නත්තල් සමය සහ නව අවුරුදු උදාවට මේ වන විට ඔබ අප කවුරුත් සූදානම් වෙනවා. නිවාස සැරසීම, අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම තවම නොකළත් අඩුම තරමේ මේ වන විට ඒ පිළිබඳව ඔබ සිතින් හෝ සැලසුම් සකස් කර ඇති බව නොඅනුමානයි. උත්සව සමය කෙසේ වෙතත්, අප අපේ මුළු ජීවිත කාලය පුරාවටම, කොටින්ම කිවුවොත් අපි හැම කෙනෙක්ගේම තිඹිරිගෙයි සිට මරණ මංචකය දක්වාම සිදු කරන දෙයක් තමයි විවිධ භාණ්ඩ හා සේවාවන් මිලට ගෙන ඒවා පරිහරණය කිරීම. වර්තමාන ජීවන රටාව දෙස බැලුවොත් අප සෑම කෙනෙක්ම අපේ ජීවිත කාලය පුරාවටම “පාරිභෝගිකයින්” ලෙසින් කටයුතු කරනවා නොවේද?

පාරිභෝගිකයින්, එහෙමත් නැත්නම් “Consumers” නමින් හැඳින්වෙන ඔබ අප වර්තමාන වෙළෙඳ පොල මූලික කරගත් ආර්ථිකය තුළ විශාල භූමිකාවක් රඟපානවා. නමුත් අප ඒ පිළිබඳව දන්නේ නැහැ. අපට නිසඟයෙන්ම හිමි වන ඒ වැදගත්කම නිසාවෙන්ම අපව ආරක්ෂා කර අපගේ අයිතිවාසිකම් තහවුරු කර දෙන්නත් නෛතික රාමුවක් ලොව පුරාම පවතිනවා. මේ පිළිබඳව ඔබ දැනුවත් වී සිටීම ඉතා අත්‍යවශ්‍ය නිසා, “පාරිභෝගික ආරක්ෂණය” හෙවත් “Consumer Protection” පිළිබඳව roar.lk පාඨක ඔබ වෙත හැඳින්වීමක් කිරීමයි මේ ලිපියේ අරමුණ.

www.slideshare.net

ඉතිහාසය

ඕනෑම ආර්ථික කටයුත්තක මූලිකයා වන්නේත් පාරිභෝගිකයා, එහෙමත් නැත්නම් පරිභෝජකයා වන අපියි. මේ හේතුවෙන් පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම අනාදිමත් කාලයක පටන්ම මිනිසා විසින් පිළිගත් සංකල්පයක් වී තිබුණා යැයි කීවොත් එය නිවැරදියි. විශේෂයෙන්ම විවිධ ආගම් තුළද මේ පිළිබඳ කරුණු සඳහන් වී තිබීමත් ඊට සාධක සපයනවා. බුදු දහම තුළ යමෙක් විසින් නොකළ යුතු වෙළෙඳාම් පිළිබඳව සඳහන් වනවා වාගේම යමෙක් තමාගේ වෙළහෙළෙඳාම් ඉතා අව්‍යාජව පවත්වාගෙන යාමේ වැදගත්කම ද සඳහන් කොට තිබෙන අතර, කතෝලික ආගමේ එන පැරණි තෙස්තමේන්තුවේ ඒ පිළිබඳව සඳහන් වන්නේ තමා වගා කරනා ධාන්‍ය වර්ග සාධාරණ මිලකට විකිණිය යුතු බවයි. ඒ සඳහා අධික මිලක් නොපනවන ලෙස මෙන්ම, සාධාරණ ලෙස තම වෙලහෙළඳාම් නොකලහොත් දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබීමට ද සිදු වන බව එහි සඳහන් වනවා.

නෛතික රාමුව බිහිවීම

මෑත කාලීන ඉතිහාසය දෙස බලන කළ, රටවල් අතිශය කාර්මීකරණය වීමත් සමගම නැගී ආ ධනවාදය, වෙළෙඳ ඒකාධිකාරය, කතිපයාධිකාරය මෙන්ම පරිභෝජනවාදය වැනි සංකල්පයන් හේතු කොටගෙන භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මුලින්ම හඳුනා ගැනුනේ යුරෝපීය රටවල්වලිනු යි. ලොව පළමු පාරිභෝගික සංවිධානය 1947 දී ඩෙන්මාර්කයේ දීත්, දෙවැනි පාරිභෝගික සංවිධානය 1955 දී මහා බ්‍රිතාන්‍යයේ දීත් බිහිවුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. පාරිභෝගිකයින්ට පවත්නා විවිධ ගැටළු සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගයක් සලසා දීමට රජයන් කටයුතු කළේ මෙම සංවිධාන හරහා විම විශේෂත්වයක්.

1985 වර්ෂයේදී හඳුන්වා දෙන ලදුව, 1999 වර්ෂයේදී නැවත සංශෝධනය කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ පාරිභෝගික ආරක්ෂණය සඳහා වන මාර්ගෝපදේශය (The United Nations Guidelines for Consumer Protection) පිළිබඳව මෙහිදී අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. පාරිභෝගිකයින්ගේ නීත්‍යානුකූල අවශ්‍යතා හෙවත් “Legitimate Needs of Consumers”ලෙසින් හඳුන්වා දෙනු ලැබුවේ සවන් දෙනු ලැබීමට ඇති අයිතිය – Right to be heard, තොරතුරු දැනගැනීමේ අයිතිය – Right to information, ආරක්ෂාව ලැබීමේ අයිතිය – Right to safety, තෝරා ගැනීමේ අයිතිය – Right to choose, පාරිභෝගික අධ්‍යාපනය ලැබීමේ අයිතිය – Right to consumer education, සහ පාරිභෝගිකයින්ගේ ආර්ථිකමය අවශ්‍යතාවයන් ප්‍රවර්ධනය කරනු ලැබීම – Promotion of economic interests of consumers යන අයිතීන් සමූහය යි. මේවා මානව හිමිකම් සමග අත්වැල් බැඳෙන අයිතිවාසිකම් ලෙසින් අර්ථ නිරූපණය කළ හැකි නිසා මේවාට නීත්‍යානුකූල අවශ්‍යතා යන නම ලබා දී තිබෙනවා.

retail.economictimes.indiatimes.com

පාරිභෝගික ආරක්ෂණය රාජ්‍ය ප්‍රතිපත්තියක් සහ විධිමත් නීතිමය රාමුවක් වශයෙන් දියුණු කරන්නට පෙරමුණ ගත් රටක් ලෙස ගෞරවය ලැබ ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. විධිමත් නීති පද්ධතිය, නඩු තීන්දු සහ පරිපාලනමය රාමුව යන ත්‍රිත්වය යටතේ එරට පාරිභෝගික ආරක්ෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසින් 1962 වසරේ දී ඇමරිකානු කොන්ග්‍රසය අමතමින් සිදු කරන ලද කතාවක දී පාරිභෝගිකයින් සතු වන නිසඟ අයිතීන් සතරක් පිළිබඳව ඔහු විසින් සඳහන් කරනු ලැබ තිබෙනවා. (මේ අයිතීන් පසුව අයිතීන් අටක් ලෙස වෙන් කොට ඉතා පුළුල් ලෙස අර්ථ නිරූපණය කිරීමෙන් අනතුරුව ඇමරිකානු පාරිභෝගික අයිතිවාසිකම් කෙටුම් පත හෙවත් American Consumer Bill of Rights නිර්මාණය කෙරුනා). ඔහුට අනුව එම අයිතීන් සතර ඕනෑම පාරිභෝගිකයකු හට නිතැතින්ම හිමි විය යුතුයි.

  1. ආරක්ෂාව ලැබීමේ අයිතිය (Right to safety) – පුද්ගල සෞඛ්‍යයට මෙන්ම ජීවිතයට ද හානිකර වන දෑ අලෙවිකරණය කරනු ලැබීමෙන් ආරක්ෂා වීමේ අයිතිය.
  2. තොරතුරු දැනගැනීමේ අයිතිය (Right to information) – මනා තීරණයක් ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීමේ අයිතිය.
  3. තෝරාගැනීමේ අයිතිය (Right to choose) – සාධාරණ මිලකට, තමාට සෑහීමකට පත් විය හැකි ආකාරයේ ගුණාත්මක භාණ්ඩ හා සේවා තෝරා ගැනීමේ අයිතිය.
  4. සවන් දෙනු ලැබීමට ඇති අයිතිය (Right to be heard) – තමාට යම් අසාධාරණයක් සිදු වී ඇත්නම්, එවැනි අවස්ථාවක දී සාධාරණ හා ඉක්මණ් තීන්දු තීරණ අදාල ආයතනයන් වෙතින් ලබා ගැනීමට ඇති අයිතිය.

insideretail.asia

මෙකී අයිතිවාසිකම් නාමික වශයෙන් නීති පොත් වල පැවතීම පමණක් නොවෙයි, පාරිභෝගිකයන්ගේ හෙවත් ඔබ අප සැමගේ අයිතීන් මනා ලෙස ආරක්ෂා කොට තහවුරු කර දීම සඳහා පවත්නා රාජ්‍ය වැඩ පිළිවෙල දිගින් දිගටම පවත්වාගෙන යාම, අදාල රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම මෙන්ම අවශ්‍ය ක්ෂේත්‍රයන්ගේ නෛතික රාමුව කලින් කලට යාවත්කාලීන කිරීම සිදු කිරීමත් අත්‍යවශ්‍ය කරුණු ත්‍රිත්වයක්.

ඇමරිකා එක්සත් ජනපදයේ එකී ආදර්ශය ගුරු කොට ගනිමින් විශාල රටවල් සංඛ්‍යාවක් තමන්ගේ පාරිභෝගික ආරක්ෂණ නීති යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නට උත්සුක වුණා. ඇතැම් ඇමරිකානු ප්‍රතිපත්ති යුරෝපා සංගමය විසින් ද ක්‍රියාත්මක කරන්නට යෙදී තිබෙනවා.

පාරිභොගිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ශ්‍රී ලංකාවේ නෛතික රාමුවේ දායකත්වය කෙසේදැ යි මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

කවරයේ ඡායාරූපය – helloblackfriday.hu

තොරතුරු උපුටා ගැනීම –

www.nyulawglobal.org හි ලිපි හා

Antonella Corradi විසින් රචිතInternational Law and Consumer Protection: The history of consumer protection ලිපිය ඇසුරිණි.

Related Articles

Exit mobile version