අයිෆල් කුළුණ ඉදිවීමේ පිටුපස කතාව

ප්‍රංශයේ පැරිස්‌ නුවර සංචාරයක යෙදෙන ඕනෑම කෙනෙකු අයිෆල් කුළුණ දැක බලාගන්නත්, එය තරණය කරන්නටත් අමතක කරන්නේ නෑ. ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම හේතුවෙන් නිර්මාණය වූ අයිෆල් කුළුණ සැලසුම් කිරීම හා ඉදිකිරීමේදී ඒ හා බැඳී විස්තර ගෙන එන්නටයි මෙම ලිපිය ලියන්නට අප අදහස් කළේ.

ඉතින් අයිෆල් කුළුණ හා බැඳුනු තවත් විස්තර තියනවානම් comment එකකින් ඒ බව සටහන් කරලා යන්න අමතක කරන්න එපා.

අයිෆල් කුළුණ නිර්මාණය වූයේ ඇයි?

ප්‍රංශ විප්ලවය සිත්තරෙකුගේ ඇසින් (Simple Wikipedia)

1789 දී ඇතිවුණු ප්‍රංශ විප්ලවය මුළු මහත් යුරෝපයේම අවධානය ලබාගත් හා ලෝක දේශපාලන සංකල්ප හා වින්තනයන් වෙනතකට හැරවීමට ප්‍රධාන වූ මානව ඉතිහාසයේ වැදගත් සන්ධිස්තානයක් වෙනවා. එය හදිසියේ ඇතිවූ විප්ලවයකට වඩා කාලයක් තිස්සේ ක්‍රමයෙන් වැඩී ආ කරුණු වලින් ඇතිවූ සංසිද්ධියක් ලෙස හැදින්වීම ඉතා නිවැරදියි.

ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම හේතුවෙන්  1889 දී ප්‍රංශය “World’s Fair” නම් ප්‍රදර්ශනයක් සංවිධානය කරනවා. ප්‍රදර්ශනයට සමගාමීව ලොව උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට ප්‍රංශ රජයට අවශ්‍ය වුනා. මෙහි  ඇතුල් වීමේ දොරටුව ලෙසයි කුළුණ යොදා ගැනීමට තීරණය වන්නේ.

නොයෙකුත් කුළුණු නිර්මාණ සැලසුම් සියයකට අධික ප්‍රමාණයක්  ඉදිරිපත් කර තිබූ අතර මේවා අතරින් ‘අයිෆල් කුළුණ’ සැලසුම රජය විසින්  තෝරා ගන්නවා.

අයිෆල් කුළුණ කාගේ නිර්මාණයක්ද?

කුළුණේ නිර්මාණකරු – ඇලෙක්සැන්ඩර් ජි. අයිෆල් (AdviseAmerica.com)

රජය විසින් කුළුණු සැලසුම් අවශ්‍යබව නිවේදනය කල පසුව එරට ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් සියල්ලම පාහේ තමන්ගේ සැලසුම් ඉදිරිපත් කරනවා. ඇලෙක්සැන්ඩර් ජි. අයිෆල් නම් ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියා ඒ අතරින් කෙනෙක්.

ඔහු විසින් පෘතුගාලයේ ඩෝරා නම් ගංගාව හරහා ඉදි කරන ලද අඩි 350ක් දිග පාලමද, ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සඳහා සකස් කරන ලද විධිමත් සැකිල්ලද හේතුවෙන් මේ කාලය වන විට ඇලෙක්සැන්ඩර් ජි අයිෆල් කියන්නේ යුරෝපයේ මෙන්ම අනෙක් රටවලත් ප්‍රසිද්ධියක් ලැබූ නිර්මාණ ශිල්පියෙක්.

මෙහි දළ සැකසුම නිර්මාණය කිරීමට එවකට ඔහුට අයත්ව තිබු සමාගමේ ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ Maurice Koechlin හා Emile Nouguier ගේ සහය ලැබෙනවා.

අභියෝග

පාදම සැකසීමෙන් අනතුරුව (Vox)

තමන්ගේ සැළසුම රජය විසින් තෝරා ගනු ලැබුවත් ඉන් පසුව ඔහුට එය ඉදිකිරීමට ප්‍රථම විශාල අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවෙනවා.

පැරිස් නගරය මැද කුළුණ නිර්මාණය කිරීම සඳහා ඇලෙක්සැන්ඩර් විසින් ඇස්තමේන්තු කරන ලද මුදල් ප්‍රමාණය වන්නේ ප්‍රංශ ප්‍රෑන්ක් ලක්ෂ 65ක්. නමුත් රජය විසින් ඔහුට අත්තිකාරම් ලෙස ගෙවීමට එකඟ වන්නේ ප්‍රෑන්ක් ලක්ෂ 15ක් පමණයි.

ඉතිරි මුදල නිර්මාණකරු විසින් සොයා ගත යුතු බව දන්වන රජය පසුව ප්‍රකාශ කරන්නේ කුළුණ ඉදිකිරිම සාර්ථක වුවහොත් එය නැරඹීමට පැමිණෙන ජනයාට නිකුත් කරන ප්‍රවේශපත්‍ර වලින් ලබා ගන්නා මුදලින් ඉතිරිය ගෙවන බවයි. මෙම යෝජනාව ඇලෙක්සැන්ඩර් අයිෆල් බලාපොරුත්තු නොවූ අභියෝගයක් විය.

තවද විද්වතුන්, වෙළද ව්‍යාපාරිකයන් හා කලාකරුවන් විශාල ප්‍රමාණයක් එක් රැස් වී මීටර් 300ක් උස යකඩ කුළුණක් නිර්මාණය කිරීම ප්‍රයෝගික නොවන බවත් එය සුළි සුළඟට ඔරොත්තු නොදී එහාට මෙහාට පැද්දී කඩා වැටිය හැකි බවත් පවසමින් මතවාදයක් සමාජගත කරනවා. ග්‍රන්ථ කතුවරයෙක් ලෙස ලොව ප්‍රසිද්ධ වූ ගීද මෝපසාං එවැනි විරෝධතා ව්‍යාපාර මෙහෙයවූ පුද්ගලයෙක්. මෙම විරෝධතා හමුවේ ඇලෙක්සැන්ඩර් කියා සිටින්නේ කුළුණ සුළඟට සෙලවුනත් කිසිලෙසකින් කඩා නොවැටෙන බවයි.

කොහොමද ඉදිකළේ

පියවරෙන් පියවර නිර්මාණය වූ ආකාරය (ucsd-progsys.github.io)

මෙවැනි අර්බුද හමුවේ පාදම සකසා අනතුරුව කුළුණ ඉදිකිරීමට පටන් ගන්නේ 1887 ජූලි මාසයේයි. කුළුණේ මුල් පදනම සැකසීම සඳහා අලෙක්සැන්ඩර් අයිෆල්ට තවත් ඉංජිනේරුවන් 25 දෙනකුගේ සහාය ලැබෙනවා. කුළුණ සෑදීම ආරම්භ කිරීමත් සමඟ දිනපතා එහි වැඩ කල කම්කරුවන් ගණන 250ක් විය. එය නිර්මාණය කිරීම දැඩි වගකීමකින් යුතුව කර ඇති බව  අද දක්වා එය නිරුපද්‍රිතව පැවතීමෙන් මනාව පැහැදිළි වෙනවා.

පාදම සැකසීමේ කටයුතු 1887 දී ඇරඹුන අතර පළමුවෙන්ම යකඩ පාද 4 ඉදිකිරීම කරනු ලබනවා. 1888 මාර්තු වන විට මෙම පාද සතර ලී තට්ටුව මගින් එකට යාකර පළමු තට්ටුව නිම කරනවා.

1888 මැයි මස දෙවන අදියර ඇරඹි අතර 1888 අගෝස්තු මාසයේදී එය නිමවෙනවා.

අවසාන අදියර 1888 දෙසැම්බර් මස ඇරඹෙන අතර 1889 මාර්තු මස  සම්පූර්ණයෙන්ම කුළුණේ වැඩ අවසන් වෙනවා. කුළුණේ පලමු සහ දෙවන තට්ටුවලට ගමන් කිරීමට පඩි පේලි සකසා තිබෙන අතර ඊට අමතරව තෙවන තට්ටුවට ගමන් කිරීමට විදුලි සෝපාන සකසා තිබෙනවා. මහල් තුනේම ආපනශාලා පිහිටා තිබෙන අතර කුළුනේ තුන්වන මහලේ ඇලක්සැන්ඩර් අයිෆල්ට වාසය කිරිමට කාමරයක් ද නිර්මාණය කර තිබුනි.

වර්තමානයේදී අයිෆල් කුළුණ දිස්වන අයුරු (www.history.com)

අද මෙම කාමරයේ අපූරු සිහිවටනයක්‌ තිබෙනවා. 1889 සැප්තැම්බර් 10 වැනිදා මෙම කුළුණ නැරඹීමට පැමිණි ලෝක පූජිත විද්‍යාඥයෙකු වන තෝමස්‌ අල්වා එඩිසන් සිහිකිරීම සඳහා ඔහු අයිෆල් සහ අයිෆල්ගේ දියණිය සමග පිළිසඳරේ යෙදෙන ආකාරයේ ඉටියෙන් නිර්මාණය කළ පිළිරූ තුනක්‌ එම කාමරයේ සජීවී ආකාරයෙන් දැක ගන්නට පුළුවන්.

තුන්වන මහලේ ඇති ඉටි රූප (www.travelandleisure.com)

ටොන් 9700ක බර ප්‍රමාණයක් දරා ගැනීමට එහි අත්තිවාරම ඉතාම ශක්තිමත්ව නිර්මාණය කල අතර කුළුණ සඳහා වාත්තු යකඩ කොටස් 18,000ක්ද මුරිච්චි ඇණ 250,000ක් පමණද අවශ්‍ය විය. කුළුණ ගොඩ නගා අවසන් කිරීමට විවිධ වර්ග වල කුරුපා 20,000ක් පමණ සවි කල බව ඇලැක්සැන්ඩර් අයිෆල් පසුව සදහන් කරනවා. මහල් තුනක් සෑදෙන පරිදි නිර්මාණය කළ අයිෆල් කුළුණේ සියළු වැඩ අවසන් වීමට ගතව ඇත්තේ වසර 2ක් පමණ කුඩා කාලයක්.

ලෝහමය  කුළුණක් වන අයිෆල් කුළුණ මීටර 300.51ක් (අඩි 985.11)  උස වන අතර එහි සවිකර ඇති රූපවාහිනී ඇන්ටෙනාව සමග සම්පූරණ උස මීටර 324ක් (අඩි 1,063) පමණ වෙනවා. 1930 දී ඇමරිකාවේ නිව්යෝක් හි Chrysler Building ඉදිකරන තෙක් එනම් වසර 41ක් පුරාවට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස අයිෆල් කුළුණ පැවතුණා.

ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසුව

කුළුණ මුදුනේ ඇති අවන්හල් (www.toureiffel.paris)

ප්‍රංශ විප්ලවයේ සියවස් සමරුවට සමගාමිව ප්‍රදර්ශණය කල අයිෆල් කුළුණ 1889 මැයි මාසයේදී විවෘත කරනවා. එය නැරඹීම සඳහා පැමිණි ජනතාව වෙත නිකුත් කළ ප්‍රවේශපත්‍ර මගින් පළමු වර්ෂය තුළදීම ඉතිරි මුදල් ඇලක්සැන්ඩර් අයිෆල්ට ගෙවීමට රජයට හැකිවීම විශේෂ කරුණක් ලෙස සදහන් කරන්නට පුළුවන්.

එකළ ලොව උසම කුළුණ ඉදිකිරීම හේතුවෙන් ප්‍රංශ රජය විසින් ඔහුගේ දක්ෂතාවය අගය කිරීම පිණිස “අයිෆල්” ලෙස කුළුණ නම් කරන අතර රජය විසින් “ප්‍රංශ රාජ්‍ය ගෞරව ප්‍රතිභා සම්මානය” ඔහුට පුද කරනවා. කුළුණ ඉදිකිරීමෙන් පසු මේ දක්වා කාලය තුළ එය තරණය කළ පිරිස කෝටි 14කට ආසන්න අගයක් ගන්නවා. වසරකට එම අගය මිලියන හතක් පමණ වන බව පවසනවා.

චෑම්ප් ද මාස්‌ නගරයේ සාප්පු පිරී තිබෙන අයිෆල් සිහිවටන (www.dreamstime.com)

අයිෆල් කුළුණ මුදුනට හාත්පස සැතපුම් 45ක දුර ප්‍රමාණයක් නිරීක්ෂණය වන බව පැවසෙනවා.1915දී ඇමරිකාවේ ආලිංටන් නාවික හමුදා මධ්‍යස්ථානයෙන් නිකුත් කරනලද  ගුවන් විදුලි පණිවුඩයක් අයිෆල් කුළුණේ සිට ලබා ගත හැකි වුණා.

පලමුව අයිෆල් කුළුණ සැලසුම් කරන විට වසර 20කට පසු එනම් 1909 දී එය ගලවා ඉවත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් ක්‍රමක්‍රමයෙන් මෙය සංචාරක ආකර්ශණය දිනා ගැනීමත් සමග ප්‍රංශයේ ජාතික සංකේතයක් බවට පත් වී අද වන විට 500කට අධික සේවක පිරිසක් දිනපතා කුළුණේ සේවය සඳහා යොදවා තිබෙනවා.

ඉතින් අද වනවිට පැරීසියේ චෑම්ප් ද මාස්‌ (Champ de Mars) නගරයෙහි ප්‍රධාන මාර්ගය හරහා සද්ධන්ත පාද හතරක්‌ ඔස්‌සේ ඉහළට නැගුණු “යකඩ ගැහැණිය” ලෙස හදුන්වන අයිෆල් කුළුණ  පැරිස්‌ නගරයේ සදාතනික සංකේතය බවට පත් වී හමාරයි.

කවරයේ පින්තුරය: travelnpleasure.com

Related Articles

Exit mobile version