“විනය කියන්නේ ඇඟෙන්ම එන්න ඕන දෙයක්. ගොඩක් අය කියන්නේ ‘අපට බැරි දේ එයා කොහොම කරන්නද’ කියලා. මම ආශ්චර්යා. මම විශේෂයි. මට මගේම හැකියාවන් කොටසක් තිබෙනවා. ඒ වගේම දුර්වලතාවයනුත් තිබෙනවා. මම ඒවා කොහොමහරි යටපත් කරගෙන ශක්තිමත්ව නැගී සිටිනවා.” — ආශ්චර්යා
ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධ සහිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය සහ ක්‍රිස්ටියානා ග්ලෝරි (Christiana Glory) සන්නාමයේ නිර්මාතෘ, ආශ්චර්යා පීරිස් ජයකොඩි, BBCහි 2019 වසරේ ලොව විශිෂ්ටතම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වෙමින් ජාත්‍යන්තර තලයට පා තැබුවා ය. ලොව වටා සිටින ආදර්ශමත් කාන්තාවන් මෙම ලැයිස්තුවට ඇතුළත්වීමට වරම් ලැබූ අතර, ඊට එක්වූ එකම ශ්‍රී ලාංකිකයා වන්නට ඇය සමත් වූවාය.
ආශ්චර්යා, දේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. ද්විතීයික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය වෝර්වික් විශ්වවිද්‍යාලයයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තා ය. පසුව ඇය බැංකු ක්ෂේත්‍රයට ඇතුළු වූ අතර, අවාසනාවන්ත අනතුරක් නිසා ඇගේ ජීවන ගමන සදහටම වෙනස් විය.
බෝම්බ ප්‍රහාරය
2000 වර්ෂයේ දවසක රැකියාව නිමකොට නිවස බලා යමින් සිටි ආශ්චර්යා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්විය. බරපතළ තුවාල සහ අස්ථි බිඳීම් සමග පෙනීම ද අහිමිවුණු ඇගේ මානසික සෞඛ්‍යයත් ක්‍රමයෙන් අඩාලවන්නට විය.
ඇය සිටි තත්ත්වය හමුවේ තවදුරටත් බලාපොරොත්තු තබාගත නොහැකි වූ පවුලේ අය ඇයව අතහැර දමා, ඇය පිළිබඳ වගකීම භාරගැනීමත් පැහැර හැරියහ.
“දෙමාපියන් දරුවන්ව හදන්නේ අනාගතයේදී එයාලට සැප සම්පත්, සහාය හා ධනය ලබා දේවි යන අරමුණෙන් නම් ඒක ලොකු ගැටළුවක්. ඒක හරියි කියලා මම හිතන්නෙ නැහැ. දෙමාපියන් වශයෙන් අපේ වගකීම වෙන්නේ දරුවන්ව අවශ්‍ය සහයෝගය ලබා දීලා ඔවුන් බලා ගැනීමයි.” ආශ්චර්යා කියයි. “මගේ අම්මලා හිතුවේ මට සාර්ථක අනාගතයක් ලැබිලා, පොහොසත් කෙනෙක්ව බැඳලා, එයාවත් බලාගනීවි කියලා. ඒත් මගේ ඇස් දෙක මට නැති වුණාම, එයාලා මාව අතෑරලා දැම්මා.”
ඇය සේවය කළ බැංකුව ද ටික කාලයක් ඇයට උපකාර කර, අවසානයේ වැටුප් ගෙවීමත් නවත්වන්නට විය. බැංකු වෘත්තීය සංගමය අවුරුදු 1.5ක් එම වගකීම ගෙන ඇයට කුඩා දීමනාවක් ලබාදුන්නත් එය ප්‍රමාණවත් වූයේ නැත.
ආබාධ සහිත පුද්ගලයෙක්ට තමා සේවය කළ බැංකුවෙන් සහයෝගයක් නොලැබෙන බව දැනගත් ඇය තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නා ය. “එයාලා ඒක සතුටින් භාරගත්තා,” ඇය පසුතැවීමකින් තොරව කියයි.
රැකියාවෙන් අස්වූ පසුව ඇය කිසිවකුත් නොහඳුනන ලෝකයක තනිවූවා ය. “මාව දවසක බලාගනීවි කියලා මම විශ්වාස කරපු හැම කෙනෙක්ම මාව අතෑරලා දැම්මා. අම්මලා එහෙම කරනවද? ඔව්, අම්මලා වුණත් එහෙම කරනවා.”
කෙතරම් බාධක හමුවේ වුණත් ඇය තම ධෛර්යය නැති කරගත්තේ නැත.
“මට දැනෙනවා මම දැන් ඕනම දෙයක් දරාගන්න පුළුවන් කෙනෙක් කියලා. අමාරු කාලවල දී මාව බලාගත්තු දෙවියන් හැර අන් කිසිම කෙනෙක්ට මම ණය නැහැ. මගේ කඳුළුත් දැන් වියළිලා ගිහින්. කිසිම මනුෂ්‍යයෙක් මගේ ගැන බලන්නේ නැතුව ඉඳිද්දි මම දෙවියන්ගෙන් කෑ ගහලා උදව් ඉල්ලුවා.”
ජීවිතය වෙනස් කළ අත්දැකීමක්
ආශ්චර්යා 2019 දී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ, මෙම සිදුවීම ඇය සලකන්නේ ඛේදවාචකයක් නොව, ජීවිත ගමන නවමු මඟකට යොමු කළ අත්දැකීමක් ලෙස බව යි. එය තමන්ට වඩාත් ශක්තිමත් හා ධෛර්ය සම්පන්න වීමට උපකාර වූ බවත්, ඇයව පුද්ගලයෙකු වශයෙන් වෙනස් කළ බවත් ඇය පවසයි.
“මම ගිය ආත්මේ කරපු කර්මයක් වෙන්න ඇති,” 2000 බෝම්බ ප්‍රහාරයට මුහුණදීම ගැන ඇසූ විට ඇය පවසයි. ඊට පෙර ඇය ලෝකය සහ ජීවිතය දෙස බැලූ ආකාරය සම්පූර්ණයෙන් වෙනස් කරමින් ඇයට නවමු දෘෂ්ඨිකෝණයක්, නව ජීවන මාවතක් උරුම කරලන්නට සමත්වූ බව ඇය පවසයි.
තමාට සිදුවූ හානිය ගැන වැළපෙමින් කල් ගෙවනවා වෙනුවට, ඇය වෙහෙස මහන්සි වී මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වීමේ සිහිනය ලුහුබැඳ ගියා ය. ඇයගේ නිර්මාණ, මැහුම් ශිල්පියෙකුට විස්තර කරමින්, මනස තුළ ගොඩනැගුණු නිර්මාණ භෞතික ලොවට ගෙන එන්නට ඇයට හැකි විය.
ඇස් පෙනීම ඇති අයගේ නිර්මාණ; තාක්ෂණය හා මෙවලම් මත රඳා සිටින බව ඇය පැහැදිලි කරයි. නමුත් ඇය සියළුම ගණනය කිරීම්, චිත්‍ර නිර්මාණ ආදිය මනසින්ම සිදු කරයි. ඇගේ සියලු හැකියාවන්ට සහාය වන්නේ මනස පමණ යි.
පේශ කර්මාන්තයට පිවිසීම
පිපිරීමෙන් පසුව ගතවූ වසර කිහිපය තුළ දී, ආශ්චර්යා පූර්ණකාලීන වෘත්තීය පුහුණුවීම් වලට සහභාගී වූ අතර, තම පරිකල්පන ඥානයේ බල මහිමයෙන් සිත් රැඳි සිහින සැබෑ කර ගැනීමට ඇයට හැකියාව ලැබුණි. නිවැරදි සැලසුම් කිරීම්, දැවැන්ත කැපවීම් හා උත්සාහයන් තුළින් ඇය 2014 දී ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරුවන්ගේ තරගයකට ඇතුළත් විය. ඒ, ඇගේ වෙළඳ නාමය වූ ‘ක්‍රිස්ටියානා ග්ලෝරි’ ආරම්භ කිරීමට වසරකට පෙර දී යි. ‘ක්‍රිස්ටියානා ග්ලෝරි’ හරහා ඇය පුද්ගලයන්ගේ විවිධ වූ ශරීර ස්වභාවයට, සහ සමේ වර්ණයට ගැලපෙන පරිදි විශේෂයෙන් සකසන ලද ඇඳුම් දැරිය හැකි මිලකට ලබා දෙමින් පුළුල් වෙළඳපොළක් ආවරණය කර තිබේ.
තරගයේ අවසන් වටයට පැමිණි මෙම නැගී එන ඇඳුම් නිර්මාණ ශිල්පිණිය ක්ෂේත්‍රයේ කවුරුත් හඳුනන නමක් රඳවන්නට සමත් විය. නමුත් ඇගේ ගමනට බාධකවලින් නම් අඩුවක් වූයේ නැත. එතෙක් කාලයක් කිසිවකුත් නොදැන සිටි පෙනීම අහිමි ආශ්චර්යා හැකියාවන්ගෙන් දිදුලමින් සියල්ලන්ගේම අවධානයට පාත්‍ර වන්නට විය.
“අනිත් තරගකරුවන්/කාරියන් අවශ්‍ය අඩුම කුඩුම ගන්න කඩවල් වලට යද්දි මට එයාලත් එක්ක එන්න දුන්නේ නැහැ”. තමාව අවතක්සේරුවට ලක් වුණත්, ඇය තම අප්‍රතිහත ධෛර්යයෙන් තමන්ගේ සාර්ථකත්වය කරා ගමන් කළා ය.
තරගයේ එක් විශේෂ අංගයක දී ආශ්චර්යා ‘බෙර පේශ යන්ත්‍ර’ තෝරාගත්තත් සංවිධායකයන් එය ප්‍රතික්ෂේප කරමින් ඇයට අත් යන්ත්‍රයක් ලබා දී තිබුණි. ඇයට මාසයක් තුළදී එය භාවිතා කරන ආකාරය ඉගෙන ගන්නත් සිදු විය. ඇගේ අරමුණ වූයේ හුදෙක් ඒ තරගවටය ජයග්‍රහණය කිරීම නොවේ. ඇය ඉන් ඔබ්බට යමින් මෙරට අත්යන්ත්‍ර නොදුටු වර්ණයක් වූ ‘නීලලෝහිත’ (ලා දම්) වර්ණය හඳුන්වා දුන් අතර, ඒ වෙනුවෙන් ඇය බොහෝ දෙනෙක්ට ඇමතුම් ගත්තත්, උපකාර කරන්නට ඉදිරිපත්ව තිබුණේ එක් අයෙක් පමණි.
නූල් වර්ග දෙකක්, සහ තනි වර්ණයක් මත වෙනත් වර්ණ සංයෝජනය කරමින් ඇය තම මනසෙහි මැවුණු නිර්මාණය දුරකථනය හරහා වචනයෙන් විස්තර කළා ය.
ඇගේ රෙදි නිර්මාණය සතුව වෙනස්ම ලස්සනක් විය. ඊට එක්කර තිබුණු ආභරණ, සහ සාරියේ තිබූ නෙළුම් මල් පොල් කටුවලින් සකසා තිබුණු අතර, මේ අද්විතීය නිර්මාණය බොහෝ දෙනෙක්ගේ සිත් ඇද බැඳ ගන්නට විය.
ඇගේ මහන්සියට වටිනාකමක් ලැබුණේ 2017 වසරේ ලංකාවේ ‘විශිෂ්ටතම කාන්තාවන් දස දෙනා’ සඳහා වූ ජාතික සම්මානය ලැබීමත් සමග යි.
දැන් ආශ්චර්යා ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික කවුන්සිලයේ සාමාජිකාවක මෙන්ම, කාන්තාවන්ගේ සිහින සැබෑ කරගැනීමට සහ සාර්ථකත්වය කරා පියමං කිරීමට දිරි දෙන උපදේශන සැසි මෙහෙයවන්නියක ලෙසත් කටයුතු කරන්නීය.
ක්‍රමය වෙනස් කිරීම
ආබාධ සහිත පුද්ගලයන් යැපෙන්නන් සේ පසෙකලන පසුබිමක සිටින ශ්‍රී ලංකාවට ආශ්චර්යා යනු, ආශ්චර්යාත්මක උදාහරණයකි. ආබාධ සහිත පුද්ගලයන්ට ද ස්වාධීනව හිස එසැවිය හැකි බව මෙම කතාවෙන් පිළිඹිබු වන අතර, ඔවුන් ද වෘත්තීමය කටයුතු සඳහා සහභාගී කරවාගැනීම ප්‍රමුඛතාවයක් බවට පත් කර ගතහොත් ආයතන වලට පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාවටම ඉන් යහපත් සමාජයීය හා ආර්ථික පරිසරයක් ගොඩනැගෙන බව නිසැක යි.
“සමහර වෙලාවට ප්‍රජා පහසුකම් සපයන්නට අවශ්‍ය ව්‍යවස්ථාදායක බලය ජාතික සභාවට නැහැ,” ආශ්චර්යා කනගාටුවෙන් කියයි. “රජයේ කාර්යාල වලට පිවිසෙද්දී ආබාධ සහිත අයට මුල්තැන දෙනවා ද? ඒවායේ පහසුවෙන් යා හැකි වැසිකිළි තිබෙනවා ද? ඒවා අතින් බලද්දී අපිට ලැබෙන්නේ බොහොම අඩු සැලකිල්ලක්.”
ස්ත‍්‍රි පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තා සවි බලගැන්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකකය (UN Women), නූතන ලෝක බැංකු සංඛ්‍යා ලේඛන මත පදනම්ව පෙන්වා දෙන ආකාරයට, ගෝලීයව ආසන්න වශයෙන් බිලියනයක පමණ ජනතාවක් (ලෝක ජනගහනයෙන් 15%ක්) ආබාධයන්ගෙන් පෙළෙනවා.
සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ආබාධ සහිත වන අතර, පිරිමින්ට වඩා කාන්තාවන් අතර ආබාධ සහිත බව ඉහළ යි (කාන්තාවන් 19.2%ක්, සහ පිරිමි 12%යි). එසේ තිබියදීත්, ජනමාධ්‍ය, ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලීන් හෝ සාමාන්‍ය රැකියා ක්ෂේත්‍රය තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ නියෝජනය ඉතා අඩු යි.
විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමයින්, ආරක්ෂිත පුරවැසියන් ලෙස සමාජයට සහභාගීවීමට නොහැකි වීම, සමාජයෙන් බැහැර කිරීම, ප්‍රචණ්ඩත්වය, සහ වෙනත් බාධකවලට මුහුණ දෙති. සමාජයේ විශාල පිරිසකගේ මූලික නිදහස හෑල්ලුවට ලක්වන අතර, අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජයක් වශයෙන් අසාර්ථක වී තිබේ.
ආශ්චර්යාගේ සාර්ථකත්වයේ කථාව වැදගත් වන්නේ ඒ නිසා ය. ආබාධ සහිත පුද්ගලයින් වෙනස් කොට සැලකීමෙන් වැළකීම, සහ ඔවුන්ට වැඩි අවස්ථාවන් ලබාදීම සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලැබුවේ නම්, අප ඔවුන් සවිබල ගන්වනවා පමණක් නොව, ජාතිය ද විවෘත සිතුවිලි වලින් පිරි මාවතකට යොමු වනු ඇත.
“බලයට පත්ව සිටින අය ආදර්ශමත් වෙන්න ඕන. අපිට අනුකම්පාව අවශ්‍ය නැහැ. අපිව තේරුම් ගැනීමයි අවශ්‍ය. ශරීරයෙන් වෙනස් වුණාට අපිත් අනෙක් අයගේ මට්ටමටම සිටින ශක්තිමත් මිනිස්සු,” ඇය පවසයි.
BBCහි විශිෂ්ට කාන්තාවන් 100 දෙනා අතරට පත්වීම ආශ්චාර්යා ලද තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයකි. අපට ඉදිරියේදීත් ඇයගෙන් තවත් බොහෝ දේ බලාපොරොත්තු විය හැකි බව ඇය කළ පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ: “ජීවිතේට එන පීඩාවන්, සහ කරදර කියන්නේ තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නට අපිව ශක්තිමත් කරන වෙස්වළාගත් ආශීර්වාදයක්!”