ලෝකය පුරාම කොරෝනා වෛරස වසංගත තත්ත්වය තවමත් පහව ගොස් නෑ. ඒ සඳහා සාර්ථක එන්නතක් නිපදවා, එම එන්නත ලෝකය පුරා බෙදා හැරීමට අඩුම තරමේ වසරකට වඩා වැඩි කාලයක් ගත වෙනු ඇතැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. ලෝකය පුරා රටවලින් තවමත් සුපුරුදු පරිදි ආසාදිතයන් වාර්තා වීම දකින්න ලැබෙනවා.
වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය අතරින් ලෝකයේ රටවල් අතරින් පසුපස සිට වේගයෙන් ඉදිරියට පැමිණි රටවල් කිහිපයක් දකින්න පුළුවන්. එම රටවල් අතරින්, ආසාදිතයන් වේගයෙන් වැඩි වූ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය හා ඉන්දියාව විශේෂ යි. මේ වන විට කොරෝනා ආසාදිතයන් අතින් ලෝකයේ පළමු ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. දෙවන තැනට බ්‍රසීලය පත් වී ඇති අතර රුසියාව තෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා. ආසාදිතයන් වාර්තා වීම අතින් වේගයෙන් ඉදිරියට පැමිණි ඉන්දියාව සිව්වන ස්ථානයට පත් වී තිබෙනවා.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය
ආසාදිතයන් වාර්තා වීම අතින් චීනය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය හා එක්සත් රාජධානිය පසු කරමින් ඉන්දියාවේ මේ වන විට ආසාදිතයන් (ජුනි 17 වන විට ) 354,065ක් වාර්තා වෙනවා. වාර්තා වෙන මරණ ප්‍රමාණය 11,903ක්. ඉන්දියාව ආසාදිතයන් අතින් ලෝකයෙන් සිව්වන ස්ථානයට පත් වී තිබෙනවා. ඒ වගේම දකුණු ආසියානු කලාපයෙන් පළමු ස්ථානයට පත් වී තිබෙන්නේත් ඉන්දියාව යි. එහි මේ වන විටත් දිනකට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයේ අඩු වීමක් දකින්න ලැබෙන්නේ නෑ. සෑම දිනකම එය 10 000කට ආසන්න මට්ටමකට පැමිණ තිබෙනවා. දිනකට වාර්තාවන නව මරණ ප්‍රමාණය ද අඩු වීමක් මේ දක්වා නිරීක්ෂණය වන්නේ නෑ. දිනකට වාර්තා වන මරණ ප්‍රමාණය සෑම දිනකම 250 -300 අතර අගයක් ගනු ලබනවා. පසුගිය පැය 24 තුළ පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2003ක්.
ඉන්දියාවේ කොරෝනාවෛරස ව්‍යාප්තිය
ඉන්දියාවේ කොරෝනාවෛරස ආසාදිත පළමු රෝගියා වාර්තා වන්නේ 2020 ජනවාරි 30 වන දින යි. ඉන් පසුව මුම්බායි, දිල්ලි, අහමදාබාද්, චෙන්නායි, පූනේ හා කල්කටා යන ප්‍රදේශවලින් දිගින් දිගටම රෝගීන් වාර්තා වීමක් දකින්න ලැබෙනවා. මේ හේතුවෙන් මාර්තු 22 වන දින ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදී පැය 14කට ඉන්දියාව පුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කරනවා.
බිලියන 1.3ක ජනතාවක් ආවරණය කරමින් සම්පූර්ණ ඉන්දියාව වසා දැමීමේ නියෝගයක් මධ්‍යම රජය විසින් නිකුත් කරන්නේ මාර්තු 24 වන දා යි. ඒ සති තුනක කාලයක් සඳහා යි. එය ලොව විශාලතම අගුළු දැමීම ලෙස හැඳින්විය හැකි යි. ඒ අනුව ගුවන් ගමන්, දුම්රිය, අධ්‍යාපන ආයතන, මෙට්‍රෝ සේවා, අවන්හල්, සිනමා ශාලා, හා සාප්පු සංකීර්ණයන් වසා දැමීමට තීරණය වෙනවා.
පසුව මෙම කාල සීමාව අවස්ථා හතරක දී දීර්ඝ කරන අතර මාර්තු 24 වන දා සති තුනකට පනවන ලද රට වසා දැමීමේ නීතිය අවසානයේ දී මැයි 31 වන දා දක්වා ක්‍රියාත්මක වෙනවා.
සංක්‍රමණික සේවකයන් මුහුණු දුන් ගැටළු
කොවිඩ් 19 වෛරස වසංගතය පාලනය කිරීම සදහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමග සංක්‍රමණික සේවකයන් රැසක් නගරවල සිරවෙනවා. මුම්බායි හා දිල්ලි වැනි නගරවල සිට තම උපන් ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ඔවුන් මධ්‍යම රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටියත්, සංක්‍රමණික සේවකයන් සංඛ්‍යාවට සාපේක්ෂව දුම්රිය හෝ බස්රථ ලබාදීමට රජය අපොහසත් වෙනවා. දින කිහිපයක් ඇතුළත එවැනි සේවාවන් ද අත්හිටවෙන අතර සංක්‍රමණික සේවකයන්ට තම ගම්බිම් බලා යාමේ අදහස ඉවත් කර ගැනීමට සිදු වෙනවා.
මිලියන 40කට වැඩි සංක්‍රමණික කම්කරුවන් තම පවුල් සමග, ඔවුන්ට ආහාර හා සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් කුඩා කණ්ඩායම් වශයෙන් විවිධ ප්‍රදේශවල විරෝධතාවන්වල යෙදෙනවා. ඒ සමාජ දුරස්ථකරණය සම්බන්ධයෙන් වන නීති රීතීන් ද නොසලකා හරිමින්. මේ හේතුවෙන් ඉන්දියානු පොලිසිය විරෝධතා විසුරුවා හැරීමට තීරණය කරනවා. සංක්‍රමණික කම්කරුවන්ගෙන් පිරිසක් රැඳවුම් මධ්‍යස්ථානවල රැකවරණය ලබා ගැනීමට සමත් වුවත් බොහෝ දෙනෙකුට එම පහසුකම් හිමි වන්නේ නෑ. තවත් බොහෝ ප්‍රමාණයක් පාගමනින් සැතපුම් සිය ගණන් ගෙවා තම උපන් ප්‍රදේශය වෙත යාම සඳහා ගමන් ආරම්භ කරනවා. මේ හේතූන් නිසා කොරෝනා මරණ මෙන්ම කුසගින්නේ සිටීමෙන් මිය යන ප්‍රමාණය ද ඉහළ යනවා.
මුඩුක්කුවලට පැතිර යාම
ආසියාවේ විශාලතම මුඩුක්කුවලින් එකක් වන, ඉන්දියාවේ මුම්බායි නුවර “ධරාවි” පැල්පත් නිවාසවලට ද කොරෝනාවෛරස ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමග වෛරසය ව්‍යාප්තියේ භයානක අවස්ථාවට ඉන්දියාව පත්වෙනවා. ඒ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් “වේගවත් ආක්‍රමණයකට” මුහුණ දීමට රට සූදානම් විය යුතු බවට අනතුරු අඟවා තිබෙනවා.