ලොව වාසනාවන්තම අවාසනාවන්තයා

ලොව වෙසෙන සමහර මිනිසුන්ට දිගින් දිගටම අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණදෙන්නට සිදුවන අතර, ඒවාට සාපේක්ෂ ව වාසනාවන්ත දේ ඔවුනට ලැබෙන්නේ අඩුවෙනුයි. අපි පොදුවේ ඔවුනට ‘අවාසනාවන්තයින්’ ‍යැයි හඳුන්වනවා. මෙලෙස පුද්ගලයෙකු හංවඩු ගැසීම පිළිබඳ ව විවාද බොහොමයක් තිබුණ ද, සමාජයේ අතරින් පතර මෙවැන්නන් අපට මුණගැසෙනවා. අනෙක් අතට තවත් සමහරෙකුට වාසනාවන්තයැ යි සම්මත සිද්ධීන්වලට වැඩිපුර මුහුණදෙන්නට සිදුවන අතර, ඔවුනට සමාජය විසින් ‘වාසනාවන්තයින්’යැ යි පටබැඳ තිබෙනවා. කෙසේ නමුත් ක්‍රොයේෂියානු ජාතිකයෙකු වන ෆ්‍රේන් සෙලැක්ගේ ජීවිත කතාව නම් මීට වඩා හාත්පසින් ම වෙනස් එකක්. නිතර අවාසනවන්ත සිද්ධිවලට මුහුණදුන්නත් එහි සැඟ වී තිබූ වාසනාවක් සැමවිට ම පාහේ ඔහු වෙත ගලාඒම නිසා ‘ලොව වාසනාවන්තම අවාසනාවන්තයා’ ලෙස ඔහු ව හැඳින්වීමේ කිසිදු වරදක් නැහැ.

කවුද මේ ෆ්‍රේන් සෙලැක්?

වර්තමානය වන විට 89 වියැති වන ෆ්‍රේන් සෙලැක් වෘත්තියෙන් සංගීත ගුරුවරයෙක් ව සිට විශ්‍රාම ගත්තෙකු වෙනවා. 1929 වසරේ ක්‍රොයේෂියාවේ උප්පත්තිය ලද ඔහු විශේෂ වාසනාවක් හෝ අවාසනාවක් රහිත ව සිය ළමා කාලය ගෙවා දැම්මා. කෙසේ නමුත් ඔහුට ‘අමුතු’ සිද්ධි දාමයකට ම මුහුණ දෙන්නට සිදුවූයේ යොවුන් වියට එළැඹීමත් සමග යි.

ripleys.com

පළමු අත්දැකීම

ක්‍රි. ව. 1962 ශිශිර ඍතුව පැමිණෙන විට ෆ්‍රේන් 33 වියැති යෞවනයෙකු වී සිටියා. බොස්නියා හා හර්සගොවිනාවේ සරයේවෝ නුවර සිට ක්‍රොයේෂියාවේ ඩුබ්‍රව්නික් දක්වා දිවෙන දුම්රියට ඔහු ගොඩවන්නේ නිවෙස බලා යාම සඳහා යි. කටුක ශීතල ඔස්සේ දුම්රිය ඉදිරියට ඇදුණු අතර, රේල් පාරේ තිබූ කඩතොල්ලක් රියැදුරුගේ නෙත ගැටෙන්නේ නැහැ. ඔහු එය නොනවත්වා වේගයෙන් ධාවනය කරන අතර එක්වරම කඩතොල්ල ඔස්සේ පීලි පනින දුම්රිය, අසල ඇති ශීතල ජලය සහිත ගංගාවට වැටෙනවා. මින් එහි ගමන්ගත් බොහෝ දෙනා මියගියා. ඒ එක්කෝ අනතුර සිදුවන විට ඇති වූ ඝට්ටනය හේතුවෙන්, නැතිනම් ජලයේ ගිලීමෙන්. කෙසේ නමුත් ෆ්‍රේන්ට සිදු වී තිබුණේ අතක අස්ථි බිඳීමක් පමණයි. පියවි සිහිය තිබූ බැවින් අනෙක් අතෙන් පිහිනා ගොඩට විත් දිවි බේරාගැනීමට ඔහුට හැකි වුණා.

ගුවන් අනතුර

දුම්රිය අනතුරෙන් දිවි බේරාගත් ෆ්‍රේන් ඊට පසු වසරේ තවත් මරණාසන්න අත්දැකීමකට මුහුණ දෙනවා. 1963 වසරේ ඔහු රියෙකා බලා පියාසර කරන කුඩා ගුවන්යානයක ගමන් කරමින් සිටිය දී නැවතත් ‘අවාසනාව’ ඔහු සොයා පැමිණෙනවා. කාර්මික දෝෂයක් හේතුවෙන් යානයේ එන්ජින් දෙක ම ක්‍රියාවිරහිත වූ අතර මඟී කුටියේ වායු පීඩනයත් පහත වැටුණා. මේ හේතු නිසා යානය කඩාවැටීමට පටන්ගත්තා.

මඟීන් මරණය පෙනි පෙනී කෑගසන්නට වූ අතර, ගුවන්යානයේ පසුපස දොරක් හදිසියේ විවර වන්නේ මේ අතර යි. ෆ්‍රේන් එයින් ඉවතට විසිවන අතර ගුවන්යානය පසෙකට කඩාවැටී ගිනිබත් වෙනවා. ෆ්‍රේන් හැර එහි ගමන්ගත් සියලු දෙනා මේ හේතුවෙන් මියයන අතර, ෆ්‍රේන්ගේ දිවි බේරෙන්නේ කෙලින්ම බිම නොගැටී පිදුරු ගොඩක් මතට වැටීම නිසා යි.

බස් රථ අනතුර

ගුවන්යානයේ දී මරණාසන්න අත්දැකීමට මුහුණදීමෙන් අනතුරුව වසර දෙකක ඇවෑමෙන්  නැවතත් මාරයා ඔහුට අත වනනවා. මේ අවස්ථාවේ දී ෆ්‍රේන් බස් රියක ගමන් කරමින් සිටි අතර මාර්ගයේ බැඳී තිබූ අයිස් නිසා එය ලිස්සා ගොස් ආරක්ෂක වැට බිඳගෙන පහළ ඇති නිම්නයට වැටෙනවා. මෙයින් සිවිදෙනෙකුගේ දිවි අහිමි වූවත් නැවතත් ජීවත් වීමේ වාසනාව ෆ්‍රේන්ට ලැබෙනවා. සුළු සීරීම් තුවාල කිහිපයක් සමග දිවි බේරාගැනීමට ඔහු සමත්වන්නේ තෙවන වතාවටත් මරණයෙන් ගැලවෙමින්.

මෝටර් රථ අනතුරු

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේ දී තමන්ට මුහුණදෙන්නට සිදු වූ අත්දැකීම් නිසා ඉක්මණින් ම ෆ්‍රේන් තමන්ගේ ම කියා කාරයක් මිල දී ගන්නවා. සිය ජීවිතයේ මැදිවියේ දී ඔහු වැඩිමනක් ම ගමනාගමනය සඳහා යොදාගන්නේ මේ කාරය යි. කෙසේ නමුත් මාරයාට ඔහුත් සමග ඔච්චම් කිරීමට තිබූ හැකියාව එමඟින් මඟහැරුණේ නැහැ.

bepositive.me

1970 දී ගමනක් අතරතුර හදිසියේ ම ෆ්‍රේන්ගේ කාරයේ එන්ජිම පුපුරා යනවා. කෙසේ නමුත් එකෙණෙහි ම ඉන් ඉවතට පැන ගැනීමට ඔහු සමත්වන අතර, කෙටි නිමේෂයක දී ඔහුගේ ඇස් ඉදිරිපිට ම එය පුපුරා යනවා. මින් ෆ්‍රේන්ට බරපතල කිසිවක් සිදුවන්නේ නැහැ.

ඉකමණින් ම ෆ්‍රේන් තවත් කාරයක් මිල දී ගන්නා අතර, 1973 දී නැවතත් එහි ගින්නක් හටගන්නවා. කලින් වතාවේ දී මෙන් නොව මෙවර ගින්න ඇති වී තිබුණේ ඉන්ධන පොම්පයේ වන අතර, ගින්න කෙලින්ම පැතිරී ගියේ රියැදුරු අසුනේ සිටි ෆ්‍රේන් දෙසට යි. හිසකෙස් ගිනිගත්ත ද එම අනතුරෙන් ද දිවි බේරාගැනීමට ඔහු සමත් වෙනවා.

දිවියේ පසු අවධියේ සිදු වූ අනතුරු

1973 සිට 1995 වසර වනතුරු ෆ්‍රේන් කිසිදු අතුරු ආන්තරාවකින් තොරව දිවි ගෙවනවා. කෙසේ නමුත් ඔහු 65 වියැති මහල්ලෙකු බවට පත් වී සිටි 1995 දී මාර්ගයේ ගමන් කරමින් සිටිය දී වේගයෙන් ආ බස් රථයක ගැටෙනවා. සුළු තුවාල සිදු වූවත් ඉන් ඔහුට ජීවිත හානියක් සිදුවන්නේ නැහැ.

1996 දී නැවතත් මෝටර් රථ අනතුරකට ඔහු ලක් වෙනවා. කඳුකර මාර්ගයක වාහනය පදවමින් සිටිය දී අනෙක් පසින් පැමිණි නොසැලකිලිමත් ට්‍රක් රථයක් නිසා මාර්ගයෙන් පිටතට පනින ඔහුගේ කාරය මීටර 300ක පමණ ප්‍රපාතයකට ඇද වැටෙනවා. කෙසේ නමුත් එය ඇද වැටෙද්දී පිටතට විසිවන ෆ්‍රේන් ගසක අත්තක් අල්ලා ගැනීමට සමත් වෙනවා. නැවතත් ඔහුගේ දිවි බේරෙන්නේ එලෙසින්.

අවාසනාවකින් තොරව ආ වාසනාව

2003 දී 74 වන වියට පා තබා සිටි ෆ්‍රේන් සෙලැක්ට අවසානයේ ‘අවාසනාවකින් තොරව වාසනාව උදාවෙනවා. එම වසරේ දී එක්වර ම ලොතරැයියක් මිල දී ගැනීමට ඔහුට අදහස් වෙනවා. මේ වන විට වසර ගණනාවකින් ඔහු ලොතරැයියක් මිල දී ගෙන තිබුණේ නැහැ. ඉන් ඩොලර් මිලියන ගණනක් වටිනා ත්‍යාගයක් ඔහුට ඇදෙන්නේ ඔහු ලොව වාසනාවන්ත ම අවාසනාවන්තායා බව නැවතත් ශපථ කරමින්.

ෆ්‍රේන් බිරිඳ සමග- imgur.com

ෆ්‍රේන් සෙලැක්ගේ කතාවේ ඇත්ත නැත්ත

ජීවිතයේ තරුණ වියේ දී හෝ මහලු වියේ දී ඔහු ළඟින් ආශ්‍රය කළ මිතුරන් පිරිස ඉතා ම අල්ප වුණා. එයට හේතුව වූයේ ඔහුගේ ‘වාසනාව’ නිසා ඔහු වටා සිටින බොහෝ දෙනාට ඉතා අවාසනාවන්ත ඉරණමක් අත්වන බවට මතයක් පැතිරී තිබූ නිසා යි. මේ හේතුවෙන් ඔහු හා සබැඳි බොහෝ කතා ඔහු විසින් ම පැවසූ ඒවා වෙනවා.

අහඹු සිදුවීම් ගණනාවක් අන්තර්ගත ව තිබෙන නිසාත්, කටවචනයකින් එහා සමහර දේ කිසි ලෙසකින් තහවුරු කර නොතිබීමත් නිසා ලොව සමහරක් දෙනා පවසන්නේ ෆ්‍රේන් සෙලැක්ගේ කතාවේ සමහර කොටස් ප්‍රබන්ධයන් හෝ අතිශයෝක්තියන් බව යි. එයට උදාහරණ ලෙස ඔවුන් දක්වන එක කාරණයක් වන්නේ සෙලැක් සඳහන් කරන ගුවන්යානා අනතුර වැනි යමක් පිළිබඳ ව ක්‍රොයේෂියාවේ කිසිදු වාර්තාවක සඳහන් නොමැති බව යි. ඔහුගේ දිවියේ මුල් අවධියේ අනෙකුත් සමහර සිද්ධීන් ද කිසිවෙකු විසින් තහවුරු කරගෙන නැහැ.

සත්‍ය අසත්‍ය කුමක් හෝ වේවා ෆ්‍රේන් සෙලැක්ගේ මේ අසාමාන්‍ය කතාව අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමග ඔහු ලොව දැඩි ලෙස කතාබහට ලක්වන පුද්ගලයෙක් බවට පත් ව තිබෙනවා. මේ හේතුවෙන් මූල්‍යමය වාසිත් ඔහුට අත්වන්නට පටන්ගෙන නැත්තේයැ යි කිසිවෙකුට කිව නොහැකි යි. ඒ කාරණාව සැලකීමේ දී නම් දිවියේ සැඳෑ සමයේ දී ‘වාසනාව’ ඔහු වෙත සැබවින් ම ළඟා වී ඇති බව නිශ්චිතව ම පැවසිය හැකියි.

කවරයේ පින්තූරය: allthatsinteresting.com

මූලාශ්‍රයයන්:

Hoaxorfact.com

Lifebuzz.com

bbc.com

allthatsinteresting.com

ripleys.com

 

Related Articles

Exit mobile version