ඇමරිකානු සිහිනය මත බිහි වූ භෝපාල් සොහොන

1984 දෙසැම්බර් දෙවන ඉරු දින භෝපාල් නගරය සිය සුපුරුදු නින්දට වැටී උන්නේ ය. පසු දා සිය ජීවිකාවට යන අරමුණින් සුපුරුදු පරිදි භොපාල් වැසියන් සිය නිවෙස් තුළ නිදන්නට විය. එහෙත් ඒ නින්ද දිගු මෙන් ම, සුව නින්දක් ද නොවීය. බොහෝ අයගේ ඒ නින්ද, ඔවුන්ගේ ජීවිතයේ අවසාන නින්දයැ යි ඔවුන් සිහිනකින් හෝ හිතන්නට ඇති ද? 

මේ දිළිඳු වැසියන්ගේ නිවස් අසල වූ යූනියන් කාබයිඩ් කර්මාන්ත ශාලාවෙන් පිට වූ ටොන් ගණනකට අධික විෂ වායු තමන්ව මරු තුරුලට ගෙන යන බව ඔවුහු නොසිතූහ. මේ විෂ වායු නිසා ඔවුන්ට ඇති වූ වේදනාකාරි කැස්සක් හා ඇස් හි ඇති වූ දැඩි වේදනාකාරි ස්වභාවයත් මත අධික පිරිස් රෝහල් වෙත දිව ගියහ. දෙසැම්බර් 3 වෙනිදා උදෑසන විට කිසිදු හේතුවක් නොදැන භෝපාල් වැසියන් 5,000කට අධික පිරිසක්ගේ මළ සිරුරු භෝපාල් නගරය පුරා වැටී තිබුණි. ඊට අමතරව හරකුන්, එළුවන් හා කුකුළන් වැනි සතුන්ගේ මළ සිරුරු ද භෝපාල් නගරය වසාගෙන උන්නේ ය.

දැනට ගණන් බලා ඇති ආකාරයට භෝපාල් විෂ වායු ව්‍යසනයෙන් මියගිය ගණන 25,000කට අධික ය. එමෙන්ම, 600,000කට අධික පිරිසකට පිළිකා, දෘෂ්ටි ආබාධ වැනි සෞඛ්‍යය ආබාධ ඇති වී තිබේ. මිහිපිට සිදු වූ දරුණුතම කර්මාන්ත ශාලා ව්‍යසනය වන මේ භෝපාල් ව්‍යසනය ගැන අද වන විටත් විවිධ මත පවතින අතර මේ ලිපිය ඒ පිළිබඳ කෙරෙන සවිස්තර විවරණයකි. මෙම විවරණය, දෙසැම්බර් 2 හා 3 දිනයන් හි වූ ආසන්නතම හේතු, මෙම කර්මාන්ත ශාලාවේ දීර්ඝ කාලිනව ඇති වූ ගැටළු හා මේ ඛේදවාචකයින් පසුව සිදු වූ සිදුවීම් යන අනුකාණ්ඩයන් යටතේ සිදුකෙරේ.

ව්‍යසනයට ආසන්න හේතු

25,000කගේ ජීවිත අහිමි කළ මේ ඛේදවාචකය, සිදුවීම් කිහිපයක් එකට සිදුවීමේ ප්‍රතිඵලයක් ය. මෙම සිදුවීම් වෙන් වෙන්ව සිදු වී නම් මෙම ඛේදවාචකය සිදුනොවන්නට ද ඉඩ තිබිණි.

 

ඕනෑම රසායනික කර්මාන්ත ශාලාවක දී මිනිස් ජිවිතයට අහිතකර රසායනිකයින් භාවිත කරන අතර, ඒවා බරපතල තත්ත්වය අනුව පාවිච්චි කිරීමේ කාර්මාන්ත ක්‍රමවේදයන් පවතී. එහෙත්, ඒවා නොසලකා හැරීමෙන් මෙන්ම හිතමතා මඟ හැරීමෙන් සිදුවිය හැකි අනර්ථකාරී ප්‍රතිවිපාක ඉතා ඉහළ ය.  යුනිටඩ් කාබයිඩ් ආයතනයේ පළිබෝධ නාශක කර්මාන්තශාලාවක් වන මෙහි, මිතෙල් අයිසෝ සයනයිඩ් නම් විෂ රසායනිකය අන්තර් රසායනිකයක් ලෙස භාවිතා කෙරේ. එම රසායනිකය පවතින්නේ ද්‍රව තත්ත්වයේ ය. එහෙත් මෙම රසායනිකය ජලයේ ඉතා හොඳින් මිශ්‍ර වන අතර එම ප්‍රතික්‍රියාව අධික තාපයක් පිට කරයි. එම තාපය මඟින් මෙම රසායිනිකය වායු බවට පත් කරන අතර, ඒ රුදුරු රාත්‍රීයේ සිදුවූයේ ටොන් 40ක් වූ මීතයිල් අයිසෝ සයනයිඩ් රසායනිකයට වතුර මිශ්‍ර වීමෙන් වායු බවට හැරී, භෝපාල් නගරයේ අහසට පාලනයකින් තොරව නිකුත් වීම යි.

මේ සියලු සිදුවීම් ආරම්භ වන්නේ දෛනිකව සිදුවන නඩත්තු කටයුත්තක් හේතුවෙනි. දෙසැම්බර් දෙවෙනි දින රාත්‍රී 8ට පමණ එක් සේවකයකු දෛනික කටයුත්තක් ලෙස කරන බටයක් මාර්ගයෙන් නල පද්ධතිය තුළට වතුර මුදාහැරීම ආරම්භ කෙරිණි. මේ කර්තව්‍යයේ අරමුණ වන්නේ නල පද්ධතිය තුළ දිනය පුරා ඉතුරු වී ඇති කුණු රොඩු ඉවත් කිරීමයි. මෙම නල පද්ධතිය සෝදා පවිත්‍ර කිරීමට පෙර මීතයිල් අයිසො සයනයිඩ් අඩංගු නල කොටස, යකඩ බාධකයක් මැදට දමා විසන්ධි කළ යුතු ය. ඒ සඳහා ඇන ගැලවීම්, නැවත සවි කිරීම, විශේෂිත වූ ඇදුම් ඇඳීම වැනි ක්‍රියාවන් සිදුකළ යුතු අතර, ඒ සඳහා පැය දෙක-තුනක් පමණ ගත වේ. එබැවින්, එම ආරක්ෂාකාරී ක්‍රියා මාර්ගය කිසිවිටකත් අනුගමනය කළේ නැත. එහෙත් සිදුවීම සිදු වූ දිනයේ, කුණු ඉවත් වන නල පද්ධතියේ සිරවීමක් සිදු වී, එම නල පද්ධතිය පිරිසිදු කිරීමට ඇතුළු වන ජලය නල පද්ධතිය ඔස්සේ නිදහසේ ගමන් කරන්නට විණි. පසුව ජලය, මීතයිල් අයිසෝ සයනයිඩ් හා මිශ්‍ර වීම ඇරඹුණි.

මීතයිල් අයිසො සයනයිඩ් ගබඩා කිරීමට ටැංකි 3ක් විය. ඉන් එකක් නිතරම හිස් ව තැබූ අතර, සිද්ධිය වූ දින එක් ටැංකියක ටොන් 40ක් හා අනෙක් ටැංකියේ ටොන් 15 වශයෙන් මේ රසායිනිකය අඩංගු වී තිබුණි. ජලය මිශ්‍ර වීම ඇරඹුණේ E610 ලෙස නම් කර තිබූ ටැංකියේ ය. මෙම ටැංකිවල ධාරිතාව ටොන් 42ක් වූ අතර පිටතින් වෙනත් ද්‍රව්‍යය ගලා ඒම වැළැක්වීමට අධි පිඩයක් යටතේ මෙම රසායිනිකය ගබඩා කර තැබීය. එහි පීඩනය පාලක මැදිරිය මඟින් අධීක්ෂණය කළත්, මෙම මැදිරියේ ඇති බොහෝ මීටර නිරන්තරයෙන් වැරදි පාඨාංක ලබා දුන් බැවින් මෙම පාඨාංක එහි සිටි ක්‍රියාකරුවන් නොසලකා හැරීමට පුරුදු වී සිටියේ ය. 

ඒ අනුව E610 හා සම්බන්ධ පීඩන මීටරයේ පාඨංකය සති හයක පමණ කාලයක් බින්දුවේ (0) අගය ගත්තේ ය. එය ක්‍රියාකරුවන් වැරදි පාඨාංකයක් ලෙස නොසලකා හැරියත්, සැබැවින්ම වෙනත් වැල්වයක කාන්දු වීමක් නිසා E610 පීඩනය පීඩන මීටරයේ පෙන්වූ පරිදිම බින්දුවේ අගයක් ගෙන තිබිණි. 

දැන් මේ වන විට ජලය මීතයිල් අයිසෝ සයනයිඩ් හා මිශ්‍ර වීමෙන් එහි උෂ්ණත්වය ඉහළ යමින් තිබූ අතර, මෙම ටැංකි තුන තිබූ පරිශ්‍රයේ වූ වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදන පිරිවැය අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඊට මාස 6කට පෙර වසා තබා තිබු අතර, එම වායු සමීකරණ ක්‍රියාත්මකව පැවතියේ නම් හානිය අවම කර ගන්නට හැකියාවක් පැවතුණි. උෂ්ණත්වය වැඩි වීමත් සමගම මීතයිල් අයිසෝ සයනයිඩ් අනු ත්‍රිත්වකරණය හෙවත් අනු තුනක් එකට එක්වීමේ ක්‍රියාවලිය ඇරඹුණි. එම එක් වීමේ දී අධික ලෙස තාපය පිට වූ අතර මේ වන විට එම මීතයිල් අයිසො සයනයිඩ් පද්ධතිය ආවරණය කර තිබූ කොන්ක්‍රීට් තට්ටුව ඉරි තලා ගියත්, පිපිරී ගියේ නැත. 

ඒ වෙනුවට එම වායුව පද්ධතියේ තිබූ විෂ වායුහරණය හරහා පරිසරයට මුදා හැරුණි. විෂ වායුහරණය නම් උපකරණ පද්ධතියට සම්බන්ධ කර තිබුණේ විමෝචනය වන විෂ වායුවේ විෂ ඉවත් කිරීමට යි. එහෙත් දෛවයේ සරදමකට මෙන් එම උපකරණය එදින නඩත්තු කටයුත්තක් හේතුවෙන් ක්‍රියාත්මක නොවූයේ ය. එමෙන්ම, ටොන් 40ක් විෂ වායුවක් ඔරොත්තු දීමට තරම් එම උපරකණය කිසිසේත් ප්‍රමාණවත් නැත. විෂ වායුහරණයට තිබූ උපකරණය තුළින්ම විෂ වායු පරිසරයට මුදාහැරීම මොන තරම් අවාසනාවක් ද?

එමෙන්ම, නිකුත් වන විෂ වායු පරිසරයට මුදාහැරීමට පෙර දහනය කිරීමට උපකරණයක් තිබුණ ද, එය පද්ධතියට සම්බන්ධ කරන නාලය මීට කලකට පෙර ඉවත් කර තිබූ බව ද සඳහන් වේ. අවසානයේ දී, විෂ වායු වතුර මලකින් වතුර යොදා ගැනීමේ ක්‍රම වේදයක් තිබුණ ද, එය පැවතියේ ඉතා අඩු පීඩනයකින් බැවින් එය පරිහරණය කිරිම ප්‍රතිපලදායක වූයේ නැත.

ව්‍යසනය සිදු වූ පසුත් පසු දැනුම් දීම ද පැවතියේ ඉතා දුර්වල මට්ටමක ය. ඔවුන් එය කර්මාන්ත ශාලා සේවකයන්ට හා භෝපාල් වැසියන්ට සන්නිවේදනය කළේ කාලය ගත වීමෙන් අනතුරුව යි. රෝහලේ, කර්මාන්ත ශාලාවට දුරකථන ඇමතුමකින් විෂ වර්ගය පිළිබඳ විමසා සිටියත්, කර්මාන්ත ශාලා සෞඛ්‍ය අංශය පවසා ඇත්තේ, එය විෂ වායුවක් නොවන බවත් එය කදුළු ගෑස්වලට සමාන බවත්, ඊට අක්ෂි ශෝධකයක් යොදාගැනීම ප්‍රමාණවත් බව යි. එහෙත් සිදු වූ ව්‍යසනය කෙතරම් ද?

අතීත හේතු

යුනයිටඩ් කාබයිඩ් සමාගම ඇමරිකාවේ ඉතා ඉහළ වටිනාකමක් ඇති සමාගමකි. ඔවුන් 1969 දී ඉන්දියාවට පැමිණෙන්නේ Sevin නම් පළිබෝධ නාශකය නිපදවීමේ සමාගමක් ලෙස යි. මෙම පළිබෝධ නාශකය, පළිබෝධකයාගේ ස්නායු පද්ධතිය විකෘති කිරීම මඟින් එම පළිබෝධකයින් විනාශ කරනු ලැබේ. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනුවර වූ බොපාල් නගරය ඉන්දියාවේ මැද පිහිටි නගරයකි. ඉන්දියාවේ මැද පිහිටීම හේතුවෙන්, ඉතා පහසුවෙන් ඉන්දියාව පුරාවටම ප්‍රවාහනය පහසු වීමත්, ඉතා ලාභදායි ඉඩම් තිබීමත් හේතු කොටගෙන, ඔවුන් තම කර්මාන්ත ශාලාව සඳහා භෝපාල් නගරය තෝරා ගැනිණි. 1980 දශකයේ ඉන්දියාවේ ඇති වන අධික ජනගහන වර්ධනය හේතුකොට ගෙන ඇති වන ආහාර ඉල්ලුමට පළිබෝධ නාශක භාවිතය ඉතා අවශ්‍යය බව එකල ප්‍රචලිත මතයක් විය. ඒ හරහා අධික ලාභ ලබා ගැනීමේ අරමුණෙන්, ඔවුන් මෙම කර්මාන්ත ශාලාව 1983 දී නවීකරණය කළ අතර ඒ අවධියේ දී ඉන්දියාවේ තිබූ ඉහළ මට්ටමේ කර්මාන්ත ශාලාවක් විණි. එහෙත් ඔවුන්ගේ මේ ලාභ සිහිනය බිඳ වැටුණේ නොසිතූ ලෙසිනි. 1984 මුල් අවධියේ දී ඉන්දියාවේ ඇති වූ නියඟය හේතුවෙන් ගොවියන්ගේ කෘෂි නිෂ්පාදනය බිඳ වැටුණි. ඒත් සමගම ගොවීන්ගේ ප්‍රාග්ධනය හිඟ විය. අනතුරුව ඔවුන් කෘෂි රසායිනික, පළිබෝධ නාශක පාවිච්චියෙන් ඉවත් විණි. ඒ අනුව යුනයිටඩ් කාබයිඩ් අලෙවි හා ආදායම් බිඳ වැටිණි. ඔවුන්ගේ උපාය මාර්ගය වූයේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම යි. ඒ වෙනුවට ඔවුන් ආරක්ෂක ක්‍රමවලට වඩා වියදම් අඩු කිරීම කෙරෙහි මූලිකත්වය දුන්නේ ය. වායු සමීකරණය ක්‍රියා විරහිත කිරීම, අධීක්ෂණ මීටර නිසි පරිදි නඩත්තු නොකිරීමත් මීට උදාහරණ ය.

එමෙන්ම ඔවුන්ගේ සේවකයන් සඳහා ලබාදෙන පුහුණුව ඔවුන් අඩු කළේ ය. බොහෝ අයට විශේෂ පුහුණුවක ලබාදෙනවා වෙනුවට රැකියාව තුළ පුහුණු දීම දිරිමත් කළේ ය.

යුනයිටඩ් කාබයිඩ් මේ පළිබෝධය නිපදවීමට විෂ රසායිනික දෙකක් භාවිතා කළේ ය. එකක් ෆොස්ජින් හා අනෙක මීතයිල් අයොස් සයනයිඩ් ය. ෆොස්ජින් යනු පළමු ලෝක යුද්ධයේ දී භාවිතා කළ රසායනිකයකි. ඔවුන් ෆොස්ජීන් විෂ සහිත බැවින් දිනකට සරිලන ප්‍රමාණයක් ගබඩා කළත් එම සීමාව මීතයි අයිසෝ සයනයිඩ්වලට තැබුවේ නැත එමෙන්ම මීතයිල් අයිසෝ සයනයිඩ් ඔවුන් යොදාගත්තේ ඒ හරහා ඔවුන්ගේ නිෂ්පාදනයට වේගවත් කිරීමට ය. ඇත්ත වශයෙන්ම ඔවුන්ට මීතයිල් අයිසෝ සයනයිඩ්වලින් තොරව නිෂ්පාදනය ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැකි වූවත්, මූල්‍යයමය වාසි තකා ඔවුන් මීතයිල් අයිසෝ සයනයිඩ් යොදාගෙන තිබිණි.

රාජ් කුමාර් කෙස්වානි නම් මාධ්‍යයවේදියෙකු දිගින් දිගටම භෝපාල් ව්‍යසනය ගැන අනතුරු හඟවමින් සිටියත් කිසිවකුත් ඔහුව මායිම් නොකළේ ය.

1978 දී සිදු වූ ගිනි ගැනීමත් 1981 දී මොහමඩ් අන්වර් නම් සේවකයා ෆොස්ජීන් විෂ වීමෙන් මියයාමත් යන කාරණ ද්විත්වය ඉදිරි ව්‍යසනයක් පිළිබඳ අනතුරු ඇගවීම් බව ඔහු නිබඳව කියා සිටියේ ය. “භෝපාල්, ගිනි කන්දක් උඩ නගරයක්” හා “ඔබ තේරුම් නොගත්තොත්, ඔබව අතු ගෑවී යනු ඇත” යන ලිපිවලින් ඔහු ජනතාව අවදි කිරීමට උත්සාහ කළත් ඔහුගේ සටන ඔහුටම අත්හැරීමට සිදුවිය. ඔහුව මිල දී ගැනීමට මේ කර්මාන්ත ශාලාවෙන් වක්‍ර වාසි ලැබූ දේශපාලන අධිකාරියත්, කර්මාන්ත ශාලා නිලධාරින්ගේ උත්සාහය සාර්ථක නොවූවත් ඔහු මේ සටන කලකිරීමෙන් ම අත්හරිනු ලැබුවේ ය.

එමෙන්ම මේ සිදුවීමට මාස කිහිපයකට පෙර ඇමරිකානු යුනයිටඩ් කාබයිට් කර්මාන්ත ශාලාවට දුන් නිර්දේශයන් පනහකට අධික ප්‍රමාණයක් ඉන්දියානු සමාගම විසින් මඟහරිනු ලැබීය. මේ සියල්ලෙන් සක් සුදක් සේ පැහැදිලි වන්නේ, සියලු අවස්ථාවන් හි දී මුදල්වලට ලද ප්‍රමුඛත්වයෙන් හේතුවෙන්, අපමණ ජීවිත ගණනක් නිරපරාදේ බිලි දෙනු ලැබූ බව යි.

ව්‍යසනයෙන් පසුව

යුනයිටඩ් කාබයිට් සමාගම නිරන්තරයෙන්ම කියා සිටියේ, මෙය ඔවුන්ගේ ක්‍රියාදාමයන්ගේ වරදක් නොව, කඩාකප්පල්කාරි ක්‍රියාවක් බව යි. එහෙත් ඔවුන් සදාචාරත්මක වගකීම භාර ගනිමින් වන්දි ගෙවන බවත් පොරොන්දු විය. ඉන්දියානු රජය ඉන්දියානු රුපියල් බිලියන 3ක් වන්දි වශයෙන් ඉල්ලීම් කළත් සමාගම ගෙවනු ලැබුවේ මිලියන 470ක් පමණි. ඒ අනුව එක් වින්දිතයෙකුට රුපියල් 25,000ක මුදලක් අවස්ථා කිහිපයක දී ගෙවනු ලැබීය. යුනයිටඩ් කාබයිට් සමාමේ සභාපතිවරයා වූ වොරන් ඇන්ඩර්සන්, පසු දිනම ඉන්දියාවට පැමිණි හෙයින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූව ද, එය එම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය උදෙසා කරනු ලැබූ රඟපෑමක් බව පසුකාලීනව තෙරුම් ගනු ලැබිණි. රජිව් ගාන්ධි, එවකට මහ ඇමතිවරයා සිටි අර්ජුන් සිං හා විදේශ ලේකම්වරයාගේ මැදිහත් වීම මත ඇන්ඩර්සන් ඩොලර් දෙදාහක ඇපයක් මත නිදහස් කෙරිණි. ඒ අනුව ඇනඩර්සන් සිය රට බලා ගිය අතර, ඔහු කිසිවිටකත් ඉන්දියාවට නොපැමිණියේ ය. 2014 දී මියයන තුරුම නිහඬ ජීවිතයක් ගත කළ ඇන්ඩර්සන්, අදටත් ඉන්දියාවේ මහාධිකරණයෙන් වරෙන්තු ලැබූවෙකි. එහෙත් ඇමරිකානු රජය කිසිවිටකවත් ඔහුව ඉන්දියාවට බාර නොදුන්නේ, මියගිය මිනිසුන්ගේ ජිවිත තඹයකටවත් නොසලකමිනි. 

අවසානයේ කර්මාන්ත ශාලාව වසා දමනු ලැබූ අතර ඊට හේතු ලෙස දක්වා ඇත්තේ, සේව්‍යය-සේවක ගැටුමක් ලෙස යි. ඒ අනුව එම සේවකයින්ට පවා හරිහැටි වන්දි ගෙවූයේ නැත.

වර්තමාන තත්ත්වය හා අනාගතය

ඔබ මේ ලිපිය කියවන මොහොතෙත්, භොපාල් නගරයේ එම කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් 3ක් පමණ ප්‍රදේශයක ජලයට විෂ මුසු වී තිබෙන අතර රජය විසින් එම ප්‍රදේශවල මිනිසුන්ට අවිධිමත් ලෙස පානීය ජලය ලබාදෙනු ලැබේ. එමෙන්ම, එම කර්මාන්ත ශාලා පරීශ්‍රය තවමත් විද්‍යාත්මක ලෙස ඉවත්කර නැත. අදටත් ටොන් එකක පමණ විෂ ද්‍රව්‍යය කර්මාන්ත ශාලව සතුව පවතින අතර වැසි හේතුවෙන් ඒවා ජල මූලාශ්‍රවලට මුහුවෙමින් පවතී. තවමත් එම ප්‍රදේශවලින් මෙලොව එළිය දකින දරුවන් විවිධ සංකූලතා සහිතව ජිවත් වෙයි. ඒ ජිවිතවලට වග කියන්නට කිසිවෙකු නැති වීම, භොපාල් ඛේදවාචකයේ තවත් දිගුවකි. මේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් වීමට තවත් වසර 50-75ක් ගත වන බව ගණන් බලා ඇත. එතෙක් මේ අසරණයින් කුමක් කරන්න ද?

සංවර්ධනයේ නාමයෙන් කරන්නා වූ පරිසර විනාසයට මෙන්ම ඉන් ඇති වන අනිටු ප්‍රතිවිපාකයන්ටත් භෝපාල් කියාදෙන්නේ වැදගත් පාඩමකි. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා ජාතියක් නොවන බව භෝපාල් ව්‍යසනය අපට කියා දෙයි. ව්‍යසනය අප වෙතම එන තුරු අපි උමතු සංවර්ධන සිහිනයේ තව තවත් වෙලී නිදාගනිමු. අප නින්දෙන් අවදි වන විට භෝපාල් වැසියන්?

මූලාශ්‍රය: National Geography, BBC

Related Articles

Exit mobile version