ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය ජනාධිපතිවරුන් දෙදෙනකු ලෙස ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ් කෙනඩි හැඳින්වීමේ වරදක් නැත. මේ ජනාධිපතිවරු දෙදෙනාම සාහසික ලෙස ඝාතනයට ලක්වූහ. එම ඝාතනයන් දෙක සංසන්දනය කළ විට ඒවායේ පුදුම එළවන සුළු සමානකම් දැකගන්නට ලැබේ. සමහරු මෙය ඉතිහාසය නැවත සිදුවීමක් ලෙස විග්‍රහ කරති. කිසියම් අදෘශ්‍යමාන යමක් මේ පසුපස ඇතැයි පවසන්නටත් සමහරු උත්සාහ දරති. කෙනඩි යනු ලින්කන් ජනාධිපතිවරයාම යයි සනාථ කරන්නට තවත් සමහරු උත්සාහ දරති. කෙසේ නමුත් මෙම සමානකම් දෙස වඩා තාර්කිකව බලන විට ඒවා පුදුමසහගත සිදුවීම් නොව හුදු අහම්බයන් බැව් පෙනී යයි. එම සමානකම් එකින් එක ගෙන සිදු කෙරෙන විමසුමකි මේ.
කොන්ග්‍රස් සභාවට තේරී පත් වීම
ඒබ්‍රහම් ලින්කන් කොංග්‍රස් සභාවට තේරී පත් වූයේ 1846 දී ය. ජෝන් එෆ් කෙනඩි 1946 දී කොංග්‍රස් සභාවට තේරී පත් විය. ලින්කන් කොන්ග්‍රසයට තේරීමෙන් හරියටම වසර 100කට පසුව කෙනඩි කොන්ග්‍රසයට තේරී පත්වී ඇත.
එම සුළු සමානත්වය හැරෙන්නට, ඔවුන්ගේ ජීවන ගමන්මඟ සමානයැ යි කිව නොහැකි ය. ලින්කන් ඉලිනොඒ ප්‍රාන්තයේ නීති සම්පාදකයකු වූ අතර, 1860 දී ජනාධිපති ධූරයට පත්වෙන තෙක් දේශපාලන නායකත්වයක් ගැනීමට ඔහු දැරූ ප්‍රයත්නයන් අසාර්ථක විය. 1954 දී සෙනෙට් සභිකයෙකු වීමට ගත් උත්සාහය, 1856 දී රිපබ්ලිකන් උප ජනාධිපති අපේක්ෂකයා වීමට දැරූ උත්සාහය මෙන්ම, 1858 දී සෙනෙට් ආසනයක් සඳහා ගත් උත්සාහය අසාර්ථක වීම ද ඒ අතරින් කැපී පෙනෙයි.
අනෙක් අතට, කෙනඩි දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන ක්‍ෂේත්‍රයට පිවිසෙන විට ජාතික මට්ටමේ දේශපාලන සාර්ථකත්වයන් රැසක් භුක්ති විඳි පුද්ගලයෙකි. 1946 දී එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තෝරා පත්කර ගැනුණු ඔහු 1948 දී සහ 1950 දී යළිත් වරක් තෝරාගැනුණු අතර 1952 දී එක්සත් ජනපද සෙනේට් ආසනයක් දිනා 1958 දී ද සෙනේට් සභාවට යලි පත්වූයේ ය. ඔහු ජනපති වූයේ 1960 දී යි.
ලින්කන් ජනපති වීම සහ කෙනඩි ජනපති වීම
ඒබ්‍රහම් ලින්කන් 1860 දී ජනාධිපති ධූරයට පත් වූ අතර, ඉන් වසර 100කට පසු ජෝන් එෆ්. කෙනඩි ජනාධිපති ලෙස තේරී පත් විය.
මෙවැනි සුළු සිදුවීම් ගැන අප මවිතයට පත්වුවත් වැඩිපුර දක්නට ලැබෙන නොගැලපීම් ගැන සිතා නැත. ලින්කන් උපත ලැබුවේ 1809 දී ය. 1917 දී කෙනඩි උපත ලැබී ය. ලින්කන් 1865 දී මිය ගිය අතර 1963 දී කෙනඩි මිය ගියේ ය. මියයද්දී ලින්කන්ගේ වයස අවුරුදු 56 කි. කෙනඩි 46 හැවිරිදි විය.
වාසගම් අකුරු හත බැගින් වීම
ජනාධිපතිවරුන් දෙදෙනාගේම වාසගම්වල සාමාන්‍ය දිග සංඛ්‍යාත්මකව 6.64ක් වේ. මෙය දෙදෙනා අතර ප්‍රබල සමානකමක් ලෙස දක්වන්නට ඇතැමුන් උත්සාහ කළත්, නම් දෙකේ අනෙකුත් කාරණා සලකන විට දී එයත් හුදු අහම්බයක් පමණි. දෙදෙනාගේ පළමු නම් දෙකේ විවිධ අකුරු අඩංගු වේ. එහෙත් කව්රුත් නොසලකන කාරණය නම් කෙනඩිට, ෆිට්ස්ජෙරල්ඩ් යන තවත් මැද නමක් තිබුණු බව. ලින්කන්ට මැද නමක් තිබුණේ නැත.
දෙදෙනාම සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කිරීම
ලින්කන් හා කෙනඩි දෙදෙනා විශේෂයෙන්ම සිවිල් අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ ජනාධිපතිවරුන් දෙදෙනෙකි. නමුත් සෑම ජනාධිපතිවරයෙකුම කුමන හෝ විෂයය ක්ෂේත්‍රයක් පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ බව ඉතිහාසයෙන් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස වුඩ්රෝ විල්සන් සහ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් යන දෙදෙනාම යුද්ධය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වූ ජනාධිපතිවරු වෙති. එමෙන්ම හර්බට් හූවර් සහ රොනල්ඩ් රේගන් යන දෙදෙනාම ආර්ථිකය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වූ අය යි. එක්සත් ජනපදයේ එවකට පැවති තත්ත්වයන් යටතේ මෙම ජනපතිවරුන්ට එම ක්ෂේත්‍යන්රවල කටයුතු කරන්නට සිදු වූ අතර ඒවා ඔවුනගේ පාලනයෙන් පරිබාහිර වූ ඒවා ද වීම ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ය.
දෙපළගේම දරුවන් ධවල මන්දිරයේ ජීවත්ව සිටියදී මිය යාම
සිද්ධිමය වශයෙන් සත්‍ය වුවත්, පැවති වාතාවරණය හා ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වූ සිද්ධීන් දෙකක් වශයෙන් හැඳින්විය හැක.
ලින්කන්ගේ දරුවන් සියලුදෙනාම ධවල මන්දිරයට යාමට පෙර උපත ලැබී ය. ලින්කන්ගේ ජීවිත කාලය තුළ දී දරුවන් දෙදෙනෙකු මියගිය අතර ජනාධිපති ධූර කාලය තුළ මියගියේ එක් දරුවෙකු පමණි. එයින් එඩ්වඩ් 1850 දී සිය සිව්වන උපන් දිනයට පෙර ක්ෂය රෝගයෙන් මියගිය අතර ටයිෆොයිඩ් රෝගයෙන් පිඩා විඳි 11 හැවිරිදි විලී ධවල මන්දිරයේ පළමු වසර ගෙවීයද්දී මිය ගියේ ය.
කෙනඩි සහ බිරිඳ ඉතා යොවුන් වියේ දී ධවල මන්දිරයට පැමිණි අතර 1963 දී කෙනඩි මහත්මියට උපත ලද නොමේරූ දරුවකු දින දෙකකට පසුව මිය ගියේ ය.
ලින්කන්ට සිටියේ පිරිමි දරුවන් හතරදෙනෙකු පමණි. ගැටවර විය පසුවන තෙක් ජිවත් වීමට වාසනාවන්ත වූයේ ඉන් එක ළමයෙකි. කෙනඩි සහ ඔහුගේ බිරිඳට පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයෙකු වූ අතර ජීවත් වූයේ දෙදෙනෙකු පමණි.
දෙදෙනාටම වෙඩි තැබීම් සිකුරාදා දිනයේදී සිදුවීම
ජනපතිවරුන් දෙදෙනාගේම වෙඩි තැබීම් සිදු වූයේ සිකුරාදා දිනයක දී වීම ද පුදුම එලවනසුළු කාරණයක් ලෙස ඇතැමුන් විශ්වාස කරයි. සතියේ ඇත්තේ දින හතක් පමණක් වන අතර වෙඩි තැබීම් දෙකම එකම දිනයක සිදුවීම විය හැකි දෙයක් මිස විය නොහැක්කක් නොවෙයි.
දෙදෙනාගේම හිසට වෙඩි ප්‍රහාරය එල්ල වීම
වෙඩි තැබීමක දී පුද්ගලයෙකු මියයනු ඇතැයි ඉහළ සම්භාවිතාවයකින් සහතික විය හැකි ස්ථානයන් දෙක වන්නේ හිස හෝ පපුව ය.
එබැවින් හිසට වෙඩි තබා සිදුකරන ලද ඝාතන දෙකක් පුදුමයක් ලෙස ගත නොහැකි ය. විශේෂයෙන්ම ලින්කන් හා කෙනඩි දෙදෙනාම අසුන්ගෙන සිටිය දී පිටුපසින් වෙඩි තැබීම හැරෙන්නට ඝාතකයන්ට වෙනත් ඉලක්කයක් තිබෙන්නට ඇතැයි සිතිය නොහැකි ය.
ලේකම්වරුන්ගේ අනතුරු ඇඟවීම්
ලින්කන්ගේ ලේකම්වරයාගේ නම කෙනඩි වූ අතර කෙනඩිගේ ලේකම්වරයාගේ නම ලින්කන් වීම ද විමතිය දනවන කරුණකි.
ජනාධිපති ලින්කන්ගෙ ලේකම් කෙනඩි එම අභාග්‍යසම්පන්න සිකුරාදා දිනයේ සිනමා ශාලාවට නොයන ලෙස ලින්කන්ට උපදෙස් දී තිබිණි. එහෙත් ලින්කන් තම ලේකම්වරයාගේ උපදෙස් ගණනකට ගෙන නොතිබිණි. ජනාධිපති කෙනඩිගේ ලේකම් වරයාගේ නම ලින්කන් වූ අතර එම සිකුරාදා දිනයේ ඩලස් ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඔහු ජනාධිපතිවරයාට අනතුරු හඟවා තිබිණි. ජනාධිපතිවරයා එම උපදෙස් නොසලකා හැර තිබූ අතර ඔහුට වෙඩි තබන ලද්දේ ඩලාස් ප්‍රදේශයේ දී ය.
අනුප්‍රාප්තිකයන් දෙදෙනාගේ නම් ජොන්සන් වීම
ලින්කන් සහ කෙනඩි ජනාධිපතිවරුන් දෙදෙනාගෙන් පසු ජනාධිපති පදවියට පත්ව ඇත්තේ ජොන්සන් යන නම සහිත දෙදෙනෙකි. දෙදෙනාගේම නම් වලට අකුරු 13 බැගින් වූයේ ය. ලින්කන්ගෙන් පසු ජනාධිපති ධූරයට පත්වූයේ ඇන්ඩෲ ජොන්සන් ය. කෙනඩිගෙන් පසු ජනාධිපති පදවියට පත්වූයේ ලින්ඩන් ජොන්සන් ය. ඔවුන් දෙදෙනාම දක්ෂිණාංශිකයින් විය. තව ද ලින්කන් අනුප්රාප්තිකයා වූ ඇන්ඩෲ ජොන්සන් 1808 දී උපත ලැබීය. කෙනඩිගේ අනුප්රාප්තිකයා වූ ලින්ඩන් ජොන්සන් ඉන් හරියටම වසර 100කට පසු 1908 දී උපත ලැබීය.
ජොන්සන් හෙවත් “ජෝන්ගේ පුත්‍රයා” යන වාසගම ලින්කන්ගේ හා කෙනඩිගේ කාලයේ දී වැඩිපුරම භාවිතා වූ වාසගමක් වන අතර එකම වාසගම සහිත දෙදෙනෙකු වසර සියයකට පසු අනුප්‍රාප්තිකයින් වශයෙන් පත් වීම එතරම් පුදුමයට කාරණයක් නොවෙයි.
ඝාතකයින් වසර 100ක පරතරයකින් උපත ලබා තිබීම
ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතකයන් ඉපදී තිබුණේ වසර 100ක කාල පරතරයන් ඇතිව යි. ජෝන් බූත් 1839දීත්, ලී හාවේ ඔස්වල්ඩ් 1939දීත් උපත ලබා ඇති බව පැවසෙන නමුත් බූත් උපත ලැබුවේ 1839 දී නොව 1838 දී බව පසුව වාර්තා විය.
ඝාතකයින්ගේ නම් දෙකම අකුරු 15කින් සමන්විත වීම
ඝාතකයින් දෙදෙනාගේම නම් අකුරු 15 බැගින් සමන්විත වූ ඒවා විය. එසේ වුව ද ඔවුන් දෙදෙනාගේ අනෙකුත් නම් හෝ අක්ෂරවල සමානකමක් දක්නට නොලැබෙයි.
බූත් සිනමා ශාලාවේදී ලින්කන්ට වෙඩි තබා ගබඩාවකට දිව යාම, හා ඔස්වල්ඩ් ගබඩාවක සැඟව සිට වෙඩි තබා සිනමා ශාලාවකට දිව ගොස් සැඟවීම
ජනාධිපති ලින්කන් ඝාතනයට ලක්වූයේ ජෝන් විල්කස් බූත් අතිනි. කෙනඩිගේ ඝාතකයා වූයේ ලී හාවි ඔස්වල්ඩ් ය.
සිනමා ශාලාවක් යයි පැවසුන ද ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ඝාතනයට ලක්ව ඇත්තේ වේදිකා නාට්‍ය ශාලාවක දී ය. ඝාතකයා අල්ලා ගැනීමට පෙර එම ස්ථානයෙන් පැනගිය අතර දින කිහිපයකට පසුව දුම්කොළ මඩුවක දී මරා දමන ලදී. කෙනඩි ජනාධිපතිවරයාගේ ඝාතකයා පොත් ගබඩාවක පිටත සිට වෙඩි තැබීම සිදුකර ඇති අතර පැයක පමණ දුරකින් ඇති සිනමා ශාලාවක දී නිරුපද්‍රිතව අල්ලාගනු ලැබ ඇත.
මෙම ඝාතකයන් දෙදෙනාම නඩු විභාගයට පෙර මරණයට පත්කර තිබිණි. තව ද මහත් මතභේදයන්ට ලක් වූ මේ ඝාතනයන් දෙකම සිදුකළ ලී හාවි සහ ජෝන් බූත් යම් කණ්ඩායම්වල සාමාජිකයන්ව සිටියේ ද නොඑසේනම් තනිතනිව ජනාධිපතිවරුන් ඝාතනය කිරීමට යොමුවූයේ ද යන්න අදටත් විසඳී නැති ප්‍රශ්නයකි.
බූත්ගේ ගෙලට වෙඩි වැදීමෙන් පසු තවත් පැය තුනක කාලයක් ජීවත් විය. ඔස්වල්ඩ් වෙඩි වැදීමෙන් පසු පාක්ලන්ඩ් රෝහලේ දී මිනිත්තු කිහිපයකින් මිය ගියේ ය.
ඝාතනයට ලක්වීමේ දී භාර්යාවන් ජනපතිවරු සමීපයෙහි සිටීම
ලින්කන් ඝාතනයට ලක්වන විට ඔහුගේ බිරිය ඔහු පසෙකින් වූ අතර කෙනඩි ඝාතනයට ලක්වන විට ඔහු බිරිය ජැකලයින් ඔහු පසෙකින් මෝටර් රථය ඇතුළත සිටියා ය. ජනපතිවරුන් දෙදෙනාටම තම මරණ පිළිබඳව කලින් අද්භූත ආකාරයට ඉඟි ලැබී තිබූ බවට දෙදෙනාම තම භාර්යාවන්ට පවසා තිබිණ.
විශේෂ අවස්ථාවන්හි දී ජනපති භාර්යාවන් එම අවස්ථාවන්ට සහභාගී වීම සාමාන්‍ය දෙයකි. එම නිසා ඝාතකයින්ට වැදගත් වන්නේ අදාළ අවස්ථාව සහ සාධක මිස ජනපති බිරිඳ ඔහු ළඟ සිටී ද යන්න නොවෙයි.
Cover Image – YouTube
මූලාශ්‍ර
https://www.snopes.com
http://blog.world-mysteries.com
https://www.buzzfeed.com