පසුගිය පෙබරවාරි මාසයේ මුල ආරම්භ වුණු විදුලිය කැපිල්ල මේ වනවිටත් සිදුවෙනවා. දිනකට පැය හතහමාරක් දක්වා විදුලිය කැපීම නිසා රටේ බොහෝ කටයුතු අවුල් ජාලාවක් බවට පත්ව තිබෙනවා. ඒ අතර සමහර සුපිරි වෙළෙදසල් පවා විදුලි කපන කාලයේ දී වසා දැමීමට සිදුව ඇත්තේ ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට ඩීසල් නැතිවීම නිසයි.
මෙවර විදුලි කැපිල්ලේ විශේෂත්වයක් තිබෙනවා. ඒ රටේ ඩොලර් අර්බුදය නිසා ඩීසල් සහ දැවිතෙල් ලබා ගැනීමට ඩොලර් නැති නිසා එම බලාගාර නැවැත්වීමට සිදුවීමයි.
විදුලිය ලංකාවට ලැබුණු හැටි
අපේ රටේ භාවිත කළ පොල්තෙල් පහන් සහ ලාම්පුතෙල් ලාම්පු වෙනුවට විදුලි බලය ලැබුණේ 19 වැනි සියවසේ අග භාගයේදී යි. කොළඹ වරායට 1882 වර්ෂයේදී පැමිණි එස්එස් හේලියෝස් (SS Helios) නම් නෞකාවෙන් ප්‍රථම වරට විදුලි ආලෝකය දැකගැනීමට අප රටට අවස්ථාවක් ලැබුණා. වරායට ගිහින් මේ අරුම පුදුම ආලෝකය දැකගන්න ඒ කාලයේ උදවිය උනන්දු වුණා.
ඉන් අවුරුදු අටකට පස්සේ 1890 වර්ෂයේ ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම විදුලි බල්බය දල්වා තිබෙනවා. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය ඇතුළේ. පසුකාලීන ව බ්‍රිතාන්‍යයන් පවත්වාගෙන ගිය ඔවුන්ගේ තේ වතුවලත් ජල විදුලිය භාවිත කළ බවට සාධක පවතිනවා. අදටත් පැරණි කුඩා ජලවිදුලි බලාගාරවල නටබුන් සමහර තේවතුවල දැකගන්න පුළුවන්.
ලංකාවේ විදුලියේ අතීත කතා
1905 අවුරුද්දේ පිටකොටුව ගෑස්පහ හන්දියේ කොළඹ ගෑස් සමාගම මඟින් කොටුව බලාගාරය ඉදි කළා. ඒ මඟින් ගෑස් ලාම්පු හරහා කොල්ලුපිටිය දක්වා විදුලිය සැපයීම සිදු කළා. පසුව මේ සමාගම සිලෝන් ඔක්සිජන් නමින් ක්‍රියාත්මක වුණා. රජය පළමුවරට ජලවිදුලි බලාගාරයක් පිහිටුවා ඇත්තේ1912 දි යි. 1927 වර්ෂයේ රජයේ විදුලි දෙපාර්තමේන්තුව පිහිටැවූවේ විදුලි ඉල්ලුම වඩාත් ක්‍රමානුකූලව සැපයීම සඳහායි.
1929 වනවිට හර්බර්ට් ස්ටැන්ලි නම් පුද්ගලික බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන මෙගාවොට් 03ක විදුලි ධාරිතාව මගින් නගර 16කට විදුලිය බෙදාහැර තිබෙනවා. ඉන් පසු ජලවිදුලි නිෂ්පාදය කෙරෙහි එවකට සිටි ඉංජිනේරුවන්ගේ අවධානය යොමු වුණා.
1924 සිට වැඩ අරඹා තිබුණු ලක්ෂපාන බලාගාරයේ වැඩ ඉතා සෙමින් සිදුවුණා. එහි අවසන් වූයේ 1950 දියි. ඒ. ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍රගේ කැපවීමෙන්. 1969 වර්ෂයේ පාර්ලිමේන්තු පනතකින් ලංකා විදුලිබල මණ්ඩලය පිහිටුවීමෙන් පසු රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීම, සැපයීම හා බෙදාහැරීම එයට පැවරුණා. විදුලිබල මණ්ඩලය යටතේ කැලණි ගංගා නිම්නයේ ජල විදුලි බලාගාර ගණනාවක් පිහිටැවුණා.
මහවැලි ජලාශවල මහා පරිමාණ විදුලි බලාගාර ඉදිකෙරුණා. ජල විදුලිය නිෂ්පාදනය ඉතා ලාභදායී කටයුත්තක් වුණා. මේ නිසා විදුලි බල මණ්ඩලයත් ලොකු ලාබයක් ලබන රජයේ ආයතනයක් ලෙස ප්‍රකට වුණා (අද නම් ලංවිම ලොකු පාඩුවක් ලබන බවයි පැවසෙන්නේ). ඉන් පසුව කැලණිතිස්ස, නොරොච්චෝලෙ යන තාප විදුලි බලාගාර ද ඉදි ව තිබෙනවා. ඉතා සුළු විදුලියක් සුළං බලාගාරවලින් ද නිපදවනවා. 2020 වන විට මෙරට විදුලි පහසුකමෙන් 100%ක් සම්පූර්ණ කිරීමට විදුලිබල මණ්ඩලය සමත් ව තිබෙන බව වාර්තා වුණා. මේ වන විට මෙරටට දිනකට අවශ්‍ය විදුලිය මෙගාවොට් 3000කට ආසන්නයි.
විදුලිය සැපයුම
ජල විදුලි බලාගාරවලින් රටේ දෛනික විදුලි අවශ්‍යතාවෙන් 40%ක පමණ ප්‍රමාණයක් විදුලිය උත්පාදනය කෙරෙනවා. අවුරුද්දේ මුල් මාසවල වියළි කාලගුණයක් ඇති වී ජල මට්ටම පහළ ගිය විට එය සියයට 10% දක්වා අඩුවෙනවා. සෑම අවුරුද්දක ම පෙබරවාරි- අප්‍රේල් කාලවල විදුලි අර්බුදයක් මතු වුණේ ඒ නිසයි.
එවිට මෑත කාලයේ පසුගිය ආණ්ඩු සැම එකක්ම කළේ විදුලිය කප්පාදුවක් කිරීම හෝ පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමයි. විදුලි බලාගාර ඉදිකර මේ ගැටලුවට විසඳුම් සෙවීමේ සැලසුමක් දැකගත හැකි වුණේ නැහැ.
විදුලි අර්බුදයට මූලික හේතුව වන්නේ නිසි කලට විදුලි බලාගාර ඉදි නොවීම බව කවුරුත් පිළිගන්නා කරුණක්. නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමෙන් පසුව මේ දක්වා කිසිදු විදුලි බලාගාරයක් ඉදිකොට නැහැ.සාම්පූර් බලාගාරය විරෝධතා නිසා නවතා දැම්මා. නොරොච්චෝලේ මෙගවොට් 300 බැගින් ජනන යන්ත්‍ර 3ක් පවතින, මෙගවොට් 900ක විදුලි බලාගාරයක්.
මෙවර වියළි කාලගුණය නිසා ජලවිදුලිය නිපදවීම ඉතා අඩුව පවතින අතර, තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා ඒවා ක්‍රියාත්මක කිරීමත් ගැටලුවක් වෙලා. මේ නිසා මහජන උපයෝගීතා කොමිසම දිනපතා විදුලි කප්පාදුවක් කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
පැය 07 දක්වා විදුලිය කැපීමක්
මේ නිසා මාස එකහමාරක් පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශ පැය 07 දක්වා විදුලිය කැපීමකට මුහුණ දෙමින් සිටිනවා. තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට ප්‍රමාණවත් තෙල් ලබා නොදීමෙන් තෙල් අර්බුදය හටගත්තේ යැයි මුලින්ම චෝදනා එල්ල වුණා. මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති උදය ගම්මන්පිලට තනතුර පවා අහිමි වුණත් අදටත් විදුලිය කැපීමට විසඳුමක් ලැබී නැහැ.
මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය මාර්තු මුල සතියේ කියා සිටියේ විදුලි කැපීම මාස තුනක් දක්වා දිගුවනු ඇති බව යි. පෙබරවාරි අග දී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මාර්තු 05 වැනිදායින් විදුලි කැපීම නවතිනු ඇති බව යි. එම කතා පුස්සක් බවට අද පත්ව තිබෙනවා.
විදුලිය කැපිල්ල
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සෑම වසරක ම මෙගාවොට් 150කින් ඉහළ යන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඉල්ලුම වැඩිවීමට සමාන ව අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් අවුරුදු 4කට වරක් මෙගාවොට් 500 බැගින් බලාගාර ජාතික විදුලි පද්ධතියට එකතු විය යුතු යි. කෙරවළපිටියේ මෙගාවොට් 300 ක ද්‍රව වායු (LNG) බලාගාරයක් 2017දී ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමැතිය හිමිවුව ද එය මේ වනතෙක් ක්‍රියාත්මක වී නැහැ.
ජල විදුලිය ප්‍රධාන විදුලි ප්‍රභවය වුණූ කාලයෙත් නියං කාලවල දී විදුලිය කැපීම සිදුවුණා. ඒ කාලයේ අමතර විදුලිය නිපදවීමට කැලණිතිස්ස ඩීසල් බලාගාරය දායක වුණා. මේ නිසා මෙතරම් අර්බුදයක් දක්වා ලයිට් කැපිල්ල දුරගිය ගියේ නෑ. අද විදුලිය ඉල්ලා ජනතාව පන්දම් පෙළපාලි යන බව අප මාධ්‍යවලින් දකිනවා. බොහෝ ව්‍යාපාර ස්ථාන පවත්වා ගෙන යාම පවා ගැටලුවක් වෙලා.
වැඩි ම විදුලි කප්පාදුවක් මීට පෙර සිදු වූයේ 1996 වර්ෂයේ යි. ඒ අවුරුද්දේ පැය 12ක කාලයක් දක්වා විදුලිය කැපීමට සිදුවුණේ නියඟය මාස හයක් පුරා අඛණ්ඩව පැවැති නිසා ජල විදුලිය නිපදවීම නැවතුණු නිසා යි. නොරොච්චොලේ බලාගාරය ඉදිවූ පසුව විදුලි බලයට විශාල දායකත්වයක් ලැබුණා. නමුත් ඉකුත් ආණ්ඩු කාලය තුළ හදිසි බිඳවැටීම් සිදුවීම සහ නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වීම නිසා පැය හතරක කාලයක් විදුලිය කැපීමට සිදුව තිබුණා. ඊට අමතරව නියං තත්ත්වයක් පවතින පෙබරවාරි, මාර්තු මාසවල විදුලිය යම් පමණකට සීමා කිරීමක් සිදුවුණා.
රාජ්‍ය ආයතනවලට විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා.
මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන් ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කළ යුතු බව සඳහන් වෙනවා. පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක වීදි ලාම්පු දැල්වීම සිමා කරන ලෙසත් ආණ්ඩුව පසුගිය දා ඉල්ලා සිටියා. මහජන උපයෝගීතා කොමිසම විදුලිය පරිභෝජනය අඩු කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටියා. නමුත් විදුලි පරිභෝජනයේ අඩුවීමක් දක්නට නැතැ යි පෙනී යන බව එම කොමිසම පවසනවා.