පාරිභෝගිකයිනි, ඔබේ අයිතීන් ගැන දැනුවත් ද? II

පාරිභෝගිකයෙකු සතු නිසඟ අයිතිවාසිකම් මොනවා ද, එම අයිතීන් අප වෙත ලැබුණේ කෙසේද යන්න මෙන්ම එම අයිතිවාසිකම් යාන්ත්‍රණය පිළිබඳව ඔබව දැනුවත් කෙරුණු ලිපියක් පසුගිය සතියේ පාඨක  ඔබ වෙත අප විසින් ගෙන එනු ලැබුවා. එම ලිපියෙන් පොරොන්දු වූ පරිදිම, ශ්‍රී ලංකාව තුළ පවත්නා පාරිභෝගික ආරක්ෂණ යාන්ත්‍රණය පිළිබඳව පාරිභෝගික ඔබ අප සැම දෙනාම දත යුතු විශේෂ කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමයි මේ ලිපියේ අරමුණ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය – Consumer Affairs Authority

කොළඹ 02, වෝක්ශෝල් වීදියේ පිහිටා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අධිකාරියක් වශයෙන් හඳුන්වා දිය හැකියි. 1979 වසරේ බලාත්මක කරන ලද අංක 01 දරන පාරිභෝගික ආරක්ෂණ පනත බල රහිත කරමින් 2003 වසරේ ජනවාරි මස පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරුණු 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත (Consumer Affairs Authority Act) බලාත්මක වූයේ ද මෙම අධිකාරිය පිහිටුවීමත් සමග යි. පනතෙන් ලබා දෙන ලද බලතල අධිකාරිය හරහා ප්‍රායෝගිකත්වයට නැංවෙනවා. කර්මාන්ත, නීති, ආර්ථික, වාණිජ, පරිපාලන, ගණකාධිකරණ, විද්‍යා සහ සෞඛ්‍ය යන අංශයන්ගේ පරිනත, දැනුමැති පුද්ගලයින් මෙම අධිකාරිය තුළ සේවය කරනවා. වෙළෙඳපොල තුළ යහපත් තරඟයක් ඇති කොට එය මනාව පවත්වාගෙන යාමත්, මහජනතාවගේ සෞඛ්‍යයට සහ ජීවන රටාවට අහිතකර බලපෑම් සිදු කරන භාණ්ඩ හා සේවාවන් වෙළෙඳපොලෙන් ඉවත් කොට යහපත් භාණ්ඩ හා සේවාවන් පාරිභෝගිකයින් වෙත ලබා දීමත් එහි අරමුණු ලෙස හඳුනාගත හැකියි.

www.golegal.co.za

නීති රෙගුලාසි සම්පාදනයේදී සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජය විසින් ප්‍රධාන භූමිකාවක් දරන බව අප ඔබ වෙත මින් පෙර ලිපිය මගිනුත් සඳහන් කළා.  පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව එම රෙගුලාසි පිළිබඳ පාරිභෝගිකයින් දැනුවත් වී සිටීම තවත් වැදගත් කරුණක්. පාරිභෝගිකයින් විසින් මේ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වන්නේ, තමන් සතු අයිතිවාසිකම් සහ, ඒවා කඩ වුවහොත් තමාට ලබා ගත හැකි සහන පිළිබඳව දැනුවත්ව සිටීම මගින් නොබියව තමා වෙත මෙකී භාණ්ඩ හා සේවා උපයෝජනය කිරීමට තමාට හැකියාව ලැබෙන නිසාවෙනු යි. එම නිසා පාරිභෝගික අධ්‍යාපනය යනු වැදගත් කාර්යයක් ලෙස සැලකිය යුතුයි. එපමණක් නොවෙයි, පාරිභෝගිකයකු සතු අයිතිවාසිකම්, පාරිභෝගික යුතුකම් සහ පාරිභෝගිකයෙකුගේ කාර්යභාරය පිළිබඳව අව‍බෝධය ලැබීමට පාරිභෝගික අධ්‍යාපනය හේතු වනවා. පාරිභෝගිකයෙකු විසින් තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට, වෙළෙඳපොල තත්වය වටහා ගැනීමට මෙන්ම අලෙවිකරණය හා දැන්වීම්කරණය මගින් ලබාදෙන තොරතුරු නිවැරදිව දැනගැනීමට පාරිභෝගික අධ්‍යාපනය උපකාරී වනවා.

www.firstpost.com

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් තහවුරු කර ඇති පාරිභෝගික අයිතිවාසිකම් පහත දැක්වෙනවා;

  • මූලික අවශ්‍යතා – පාරිභෝගිකයාගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර, ජලය, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක රැකියාවක් කිරීමට ඇති අයිතිය.
  • රැකවරණය නොහොත් සුරක්ෂිතභාවය – සෞඛ්‍ය හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන්/ වෙළඳාමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.
  • තොරතුරු – දැනුවත් හා සබුද්ධික තෝරා ගැනීමක් සඳහා ඉවහල් වන සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය, වංක හෝ නොමඟ යවන සුළු දැන්වීම් හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.
  • තෝරා ගැනීම – යහපත් ප්‍රමිති හා පිරිවිතර වලින් යුත් භාණ්ඩ හා සේවා තරඟකාරී මිල ගණන් වලට තෝරා ගැනීමට ඇති අයිතිය.
  • සවන් යොමු කරවා ගැනීම – රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් උදහස් ප්‍රකාශ කිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමට ඇති අයිතිය.
  • සහන/පිළියම් – ව්‍යාජ තොරතුරු අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවා සැපයීමෙන් සිදුවන වෙළඳපල අසාධාරණයන්ට වන්දි හෝ සහන ලබාගැනීමට ඇති අයිතිය.
  • පාරිභෝගික අධ්‍යාපනය – වෙළඳපලේදී නිවැරදි පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම හා කුසලතා අත්කර ගැනීමේ අයිතිය.
  • සුවදායක පරිසරය – ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නා වූ ද අභිමානවත් හා යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට ඉඩ සැළසෙන්නා වූ ද පරිසරයක ජීවත් වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතිය.

http://newsfirst.lk

තමා සතු අයිතිවාසිකම් පිළිබඳව පමණක් දැනුවත් වීම සෑහෙන්නක් නොවෙයි. පහතින් සඳහන් වෙන්නේ පාරිභෝගික ඔබ අප සතු වන යුතුකම් සමුදායක්;

  • මනා අවබෝධය – පාරිභෝගික නීති රීති අයිතිවාසිකම් හා යුතුකම් මෙන්ම සේවා සැපයීමට වගකිවයුතු ආයතන පිළිබඳව හා සේවා ඉටුකර ගැනීමට පෙළ ගැසිය යුතු ආකාරය පිළිබඳ අවබෝධය.
  • ක්‍රියාශීලීත්වය – තම දැනුම උපයෝගී කරගනිමින් පාරිභෝගික ගැටළුවලට පිළියම් සෙවීමට සක්‍රියව දායක වීම.
  • සමාජශීලීභාවය – පාරිභෝගිකයා සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට සිය දායකත්වය නොමසුරුව ලබා දීම සදහා කැප වීම.
  • පරිසරය පිළිබදව අවබෝධය – යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සුදුසු භෞතික හා මානසික පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍යවන තොරතුරු සහ තත්වයන් පිළිබදව දැනුම ඇති කර ගැනීම.
  • සහෝදරත්වය – සියළු පාරිභෝගිකයින්ට ගැටළු ඇති වන බව වටහා ගෙන සාමුහිකව පිළියම් සැළසුම් කිරීම සඳහා එක අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව.

අධිකාරිය පනත යටතේ දක්වා ඇති වැරදි මේවායි;

  • යම් භාණ්ඩයක ඇති ලේබලයක්‚ විස්තරයක් හෝ ලකුණු කරන ලද මිලක් ඉවත් කිරීම‚ වෙනස් කිරීම‚ කපා හැරීම‚ මකා දැමීම හෝ විකෘති කිරීම හෝ එවැනි දේ කරන ලද භාණ්ඩ විකිණීමට ඉදිරිපත් කිරීම.
  • භාණ්ඩ ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම, සෑදීම‚ ආනයනය කිරීම‚ අලෙවි කිරීම‚ ගබඩා කිරීම හා රැස් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට අපො‍හොසත් වීම හෝ කඩ කිරීම.
  • නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම‍ හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම.
  • අධිකාරිය විසින් නිශ්චය කරනු ලබන ප්‍රමිති පිරිවිතර වලට අනුකූල වන පරිදි භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීමට, අලෙවි කිරීමට හෝ යම් සේවාවක් සැපයීමට අපොහොසත් වීම.
  • ව්‍යංගයෙන් හෝ යම් ආකාරයකින් හෝ දෙන ලද ප්‍රතිඥාභාරයකට‌‌ හෝ සහතික‌ වීමකට අනුකූල නොවන භාණ්ඩ සෑදීම හෝ විකිණීම.
  • එකඟ වූ උපරිම මිලකට හෝ ප්‍රමිතියකට අදාළ වන පරිදි භාණ්ඩ සපයන බවට කිසියම් නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු සමග අධිකාරිය එළෙඹෙන ලද ලිඛිත ගිවිසුම්වල කොන්දේසි කඩ කිරීම.
  • වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ තබා ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම.
  • වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ භාණ්ඩ ‍නොමැති බව කියා සිටීම හෝ කොන්දේසිවලට යටත්ව භාණ්ඩ විකිණීම.
  • වෙළෙන්දෙකු විසින් තම සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයකින් භාණ්ඩ තොග රැස්කර තබා ගැනීම.
  • අධිකාරිය විසින් නිශ්චිත යැයි දක්වා ඇති යම් භාණ්ඩයක හෝ සේවාවක මිල අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව වැඩි කිරීම.
  • භාණ්ඩවල මිල ලකුණු කිරීම හෝ මිල දර්ශනයක් ව්‍යාපාරික ස්ථානයේ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම හෝ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම.
  • යම් වෙළෙන්දෙකු විසින් ගැනුම්කරුවකු ඉල්ලා සිටින අවස්ථාවකදී කුවිතාන්සි නිකුත් නොකිරීම.
  • ගැනුම්කරු විසින් පාරිභෝගිකයා නොමග යවන සුළු හෝ රවටන සුළු ක්‍රියාවන්හි නිරත වීම.
  • භාණ්ඩ හා සේවා යම්කිසි විශේෂ ප්‍රමිතියකට අයත් බව කියා සිටීම.
  • භාණ්ඩ අලුත් ඒවා බව අසත්‍ය ලෙස දන්වා සිටීම, මිල වැඩි කිරීම හෝ මිල අඩු කිරීම පිළිබඳ  අසත්‍ය ප්‍රකාශ කිරීම හෝ එවැනි නොමග යවන සුළු වෙනයම් ක්‍රියාවන්හි නිරත වීම හෝ යම් අසත්‍ය වූ ප්‍රතිඥාභාරයකට සහතික වීම.
  • භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් වන ප්‍රතිඥාභාර වගකීම් සහතික හෝ ඒවායේ ඇතුලත් කොන්දේසි කඩ කිරීම.
  • තරග විරෝධී චර්යාවන්හි හෝ ඒකාධිකාරී තත්වයන්හි නිරත වීම.
  • වාර්තා, ලිපිලේඛන හෝ තොරතුරු සපයන ලෙස අධිකාරිය විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට එම තොරතුරු සැපයීමට අපොහොසත් වීම හෝ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම.

යමෙක් මෙකී වරදවල් වලට වැරදිකරු බවට ඔප්පු වන්නේ නම්, පනත ප්‍රකාරව දඩ ගෙවීම් වලට මෙන්ම ඇතැම් විට සිර දඬුවම් විඳීමට පවා සිදු විය හැකියි.

එමනිසා, ළඟ එන උත්සව සමයේදී පමණක් නොවෙයි, භාණ්ඩ සහ සේවාවන් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම ඔබ විසින් ඔබ සතු නිසඟ අයිතීන් පිළිබඳව මෙන්ම, කූට වෙළෙඳුන් විසින් සිදු කළ හැකි වංචනික ක්‍රියාවන් පිළිබඳවද දැනුවත්ව සිටීම අනිවාර්යයෙන්ම ඔබට වැදගත් වනු නොඅනුමාන යි.

කවරයේ ඡායාරූපය – helloblackfriday.hu

තොරතුරු උපුටා ගැනීම –

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පනත සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙබ් අඩවිය ඇසුරිණි.

Related Articles

Exit mobile version