කාන්තාවකගේ හිසෙහි සිටි පටි පණුවා

මිනිස් සිරුරු තුළ තිබී විවිධාකාරයේ අපූර්ව දේ හමුවූ අවස්ථා රාශියක් වෛද්‍ය ඉතිහාස පිරික්සීමේ දී අපට හමුවෙනවා. මින් සමහරක් ඒවා ඒ ඒ මිනිසුන්ගේ ශරීරවල සෑහෙන කාලයක් තිබී ඇති අතර ඒවා එලෙස පවතින්නේ යැයි වසර ගණනාවක් කිසිවෙකු විසින් හඳුනාගෙන නැහැ. මින් සමහරක් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණුයැ යි සම්මත රටවලින් ද වාර්තා වීම සුවිශේෂී කරුණක්. නිව්යෝක් නුවර වෙසෙන 42 හැවිරිදි කාන්තාවකගේ හිසෙහි ජීවත් වෙමින් තිබූ පටි පණුවෙක් පසුගිය දා සොයා ගැණුනා. ඒ වන තුරු ඇය හා වෛද්‍යවරුන් සැක කරමින් සිට තිබෙන්නේ ඇයගේ මොළයෙහි ගැටිත්තක් ඇති බව යි.

රේචල් පාමාගේ අත්දැකීම

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර විසූ රේචල් පාමා නම් මැදිවියේ කාන්තාවට ක්‍රම ක්‍රමයෙන් තමන් යම් ආකාරයේ ‘මානසික ගැටළුවකින්’ පෙළෙන බැව් ප්‍රත්‍යක්ෂ වන්නට පටන් ගත්තා. ඇයට හිටිවනම සමහර වචන අමතක වන්නට පටන්ගත් අතර, ඇයටත් නොදැනීම තේ, කෝපි කෝප්ප වැනි දේ බිම අත හැරෙන්නට පටන්ගත්තා. 

රේචල් පාමා- Youtube

රෝග ලක්ෂණ ඇති වී මඳ කාලයකින්ම ඇගේ තත්ත්වය එන්න එන්නම බරපතල වූ බැවින් ඇය වෛද්‍ය ආධාර පැතුවා. මෙය ඇගේ මස්තිෂ්කයෙහි වර්ධනය වන ගැටිත්තක් වැනි දෙයක් නිසා සිදුවන බවට සැක කළ වෛද්‍යවරුන් ඉක්මණින්ම ඇය එම්.ආර්.අයි පරීක්ෂණයකට යොමු කළා. මෙහිදී හෙළිවන්නේ ඔවුන් සිතූ ලෙසම ඇයගේ මස්තිෂ්කයෙහි ‘ගැටිත්තක්’ ඇති බව යි. මෙය ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බරපතල තත්ත්වයක් බැවින්, වහාම ඇය සැත්කමක් කිරීම සඳහා යොමු කෙරෙනවා. මෙහිදී වෛද්‍යවරුන්ට හමුවන්නේ කිසිදා නොපැතූ දෙයක්. ඇයගේ මස්තිෂ්කය පුරාවට ඔබ මොබ සරමින් සිටියේ සෑහෙන තරම් දිගකින් යුක්ත පටි පණුවෙකු යි.

රේචල් මුහුණදුන් බරපතල තත්ත්වය

රේචල් පාමා හට මුලින්ම රෝග ලක්ෂණ පහළ වී තිබෙන්නේ 2018 වසරේ ජනවාරි මස යි. රෝග ලක්ෂණ ඇති වූ වහාම ඇය වෛද්‍යවරුන් හමුවට ගොස් තිබුණත්, ඇගේ රෝගය හඳුනාගන්නට ඔවුන් සමත්ව තිබුණේ නැහැ.

පසුකාලීනව පාමා ඉතා බරපතල ගණයේ රෝග ලක්ෂණ ප්‍රකට කළා. විශේෂයෙන් නින්ද නොයාම, විවිධාකාරයේ විකාරරූපී අද්භූත දර්ශන විද්‍යාමාන වීම මෙන්ම ඉතා භයානක සිහින පෙනීම ද ඒ අතර වුණා. මෙනිසා නිතරම ඇය මානසික පීඩාවට ලක් වූ අතර, නින්ද යාම නිසියාකාරව සිදු නොවීම නිසා ශාරීරිකව ද වැහැරී ගියා. එමෙන්ම 2019 වසර වන විට අගේ දකුණු අත හදිසියේම ක්‍රියා විරහිත වුණා.

සැත්ක්මට මුහුණ දීමෙන් අනතුරුව සුවය ලැබූ පාමා මාධ්‍ය හමුවේ පවසා සිටියේ රෝගයෙන් පෙළුණු අවසාන කාලයේ ඇය කොහේ සිටියා ද යන්න පවා තමන්ට නිසියාකාරව මතන නැති බව යි. ඇයගේ අවාසනාවට මේ අවස්ථාවේ දී පවා වෛද්‍යවරුන්ට ඇගේ රෝගය නිසියාකාරව නිර්ණය කළ නොහැකි වී තිබෙනවා. මවුන්ට් සයිනයි රෝහලේ වෛද්‍යවරු අවසානයේ ඇගේ මොළයේ ‘ගැටිත්තක්’ ඇති බැව් සොයාගන්නේ මේ අතර යි.

රේචල්ගේ මොළයෙහි පටි පණුවා සිටි ස්ථානය- Mount Sinai Hospital

බලාපොරොත්තු නොවූ තැනක සිටි අමුත්තා

මවුන්ට් සයිනයි රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදුකළ එම්. ආර්. අයි පරීක්ෂණයේ දී ඔවුනට රේචල්ගේ මොළයෙහි වම් අර්ධගෝලයෙහි ඉදිරිපසට වන්නට, කුඩා රවුම් ගැටිත්තක් දිස් වුණා. මෙය පිළිකා තත්ත්වයක් යැයි සැක කළ වෛද්‍යවරුන් වහාම ඇය සැත්කමකට යොමු කොට හිස් කබල විවර කොට බැලූ අතර ඔවුන් බලාපොරොත්තු වූ පරිදිම උක්ත ස්ථානයේ තිබූ ‘ගැටිත්ත’ එහි තිබුණා. එය ඉවත් කිරීමට සැරසෙද්දී ඔවුන් ඉතා අසාමාන්‍ය තත්ත්වයක් අත්දැක්කා. ඒ එය චලනය වන බව යි. වහාම පරීක්ෂා කිරීමේ දී ඔවුනට වැටහී ගියේ, මෙය කිසිදු ආකාරයක ‘ගැටිත්තක්’ නොවන බව යි. එය පණ ඇති යමක් බැව් ඔවුන් විසින් නිර්ණය කළ අතර, වහාම පසෙකට ගෙන පරීක්ෂා කිරීමේ දී හෙළි වූයේ ඒ සජීවී පටි පණුවෙක් බව යි.

මරණයෙන් නැගිටීම

රේචල්ගේ හිසෙහි සිටින්නේ පටි පණුවෙක් බැව් දැනගත් වහාම එහි අසාමාන්‍යතාවය පසෙක තබා වෛද්‍යවරුන් හා ඇගේ සමීපතමයින් සංතෝෂයට පත් වූයේ ඇයට පිළිකාවක් හෝ ඒ සමාන බරපතල තත්ත්වයක් නැති බැව් ප්‍රත්‍යක්ෂ වීමත් සමග යි. එය සැලවූ වහාම ඇගේ ඥාතීන් ප්‍රීති ඝෝෂා නගන්නට පටන්ගත්තා. සැත්කම සිදුකර මඳ වේලාවකින් ඇය පියවි සිහියට පත් වූ අතර, මෙතෙක් කල් මුහුණ දුන් අපහසුතා සියල්ල ඇය කෙරෙන් ඉවත්ව තිබීම සොම්නස් සහගත වුණා.

පාමා මුහුණ දී තිබූ තත්ත්වය හැඳින්වෙන්නේ neurocysticercosis නමින්. මෙය සිදුවන්නේ පටි පණු බිත්තර ආහාර වැනි දේ සමග වැරදීමකින් ශරීරගත වීම නිසා යි. මෙය ලොව පුරා වැඩිහිටියන්ගේ මස්තිෂ්ක ආබාධවලට හේතුවන සැලකිය යුතු තරමේ සංසිද්ධියක් වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද මෙවැනි සිද්ධීන් 1000ක් පමණ වසරකට වාර්තා වෙනවා. කෙසේ නමුත් එක්සත් ජනපදයෙන් වාර්තා වෙන මෙවැනි සිද්ධි බහුතරයකට ලක්වන්නේ සංක්‍රමණික ජනයා යි. එයිනුත් ලතින් ඇමෙරිකානු කලාපවලින් එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් ප්‍රධාන තැනක් ගන්නවා.

පටි පණුවන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ මිනිස් හෝ සත්ත්ව අන්ත්‍රවල යි. මොවුන් මිනිසෙක් හට ආසාදනය වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ අර්ධ ලෙස පිසූ මස් වර්ග ආහාරයට ගැනීම යි. සාමාන්‍යයෙන් මොවුන් උදරයට ආසාදනය වූ විට, රෝග ලක්ෂණ පහළ වූ සැණින් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන අතර, පහසුවෙන් රෝග නිවාරණය සිදුකරන්නට පුළුවන්. පාමා මුහුණදුන් ආකාරයේ තත්ත්වයන් ඇති වීමට නම්, උදරයේ දී බිහිවන පණුවන් උදර බිත්තිය සිදුරු කරගෙන, රුධිර වාහිනී පද්ධතිය ඔස්සේ මස්තිෂ්කයටම ආ යුතු යි. මෙය දුර්ලභ තත්ත්වයක්.

රේචල් ගේ හිසෙහි සිටි පණුවා- Mount Sinai Hospital

පසුවදන

පටි පණුවන් සාමාන්‍යයෙන් ඉතා දරුණු රෝගී තත්ත්වයන් ඇති කරන්නේ නැහැ. කෙසේ නමුත් මුල දීම ප්‍රතිකාර නොකළහොත් පටි පණුවෙක් අඩි 80ක් තරම් දිගට වැඩිය හැකි අතර වසර 30ක් පමණ ජීවත් වීමේ හැකියාව ඔවුන් සතු යි. මොවුන් කොකු ආධාරයෙන් ආහාර මාර්ගයේ එල්ලී සිට පෝෂක උරාගැනීම සිදුකරන අතර, සමහර විටෙක ආහාර මාර්ගයෙන් ඉවතට පැමිණ ශරීරයේ අනෙකුත් අවයව වන මොළය වැනි දේ කරා පැමිණ ඒ හා සම්බන්ධ වී පෝෂක උරාගැනීම සිදුකරනවා. පාමාට සිදුවූයේ එවැන්නක්.

Related Articles

Exit mobile version