පසුගිය මාර්තු මාසයේ හදිසියේම රට පුරා පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වය නිසා ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. අඛණ්ඩව පනවනු ලැබූ ඇඳිරි නීතිය නිසා විවිධ පාර්ශවයන් දැඩි අපහසුතාවයකට පත් වුණා. එලෙස අන්ත අසරණ තත්ත්වයකට පත් වුණු පාර්ශවයන් අතුරින් වෙළඳ කලාප සේවක සේවිකාවන් ඉදිරියෙන්ම සිටිනවා. එනිසා අපි පසුගිය දිනවල ඔවුන් පිළිබඳව සොයා බැලීමක් සිදු කළා.
ලංකාවේ ආර්ථිකයට සවියක් වන වෙළඳ කලාප
ආයෝජන මණ්ඩලය විසින් රට පුරා පිහිටුවා තිබෙන නිදහස් වෙළඳ කලාපවල විශාල සේවක සේවිකාවන් පිරිසක් රැකියාවල නිරත වනවා. අපනයන ප්‍රවර්ධනය සහ ආර්ථික සංවර්ධනය උදෙසා පිහිටුවා ඇති මෙවැනි කලාප තුළ කර්මාන්තශාලා මෙන්ම සේවක සේවිකාවන්ගේ වාසස්ථාන ද පිහිටා තිබෙනවා. රටේ අපනයන ආර්ථිකයෙන් 42%කට වැඩි පිරිසකගේ කොඳු නාරටිය වන මෙම පද්ධතිය රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දෙනවා.
කොරෝනාව ආරම්භ වීමත් සමගම වෙළඳ කලාපවලට සිදුවුණු දේ
හදිසියේම රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමගම වෙළඳ කලාපවල සේවක සේවිකාවන් කලාපය තුළ වූ ඔවුන්ගේ වාසස්ථානවල කොටු වී සිටියා. සතියක් පමණ සිටිය දී ඔවුන්ට ආහාර සපයාගැනීමේ ගැටළු පමණක් නොව සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව ගැටළු ද ඇති වුණා. එසේම ATM යන්ත්‍ර වෙතට යාමට තිබුණු අපහසුකම නිසාම බොහෝ සේවක සේවිකාවන් සතුව තිබුණු මුදල් අවසන් වී අතිශය දුෂ්කර තත්ත්වයකට මුහුණදෙන්නට ඔවුන්ට සිදුවුණා. සතියක පමණ කාලයක් එසේ ගෙවුණු පසුව රජයේ උපදෙස් මත ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මඟින් වෙළඳ කලාපයන් වසා දමා සේවක සේවිකාවන් සේවිකාවන් නිවෙස්වලට පිටත් කර හැරියා.
වෙළඳ සේවක සේවිකාවන් ගම්බිම් බලා යැවූ හැටි
මාර්තු 27 වැනි දින අලුයම 5.00ට නිවෙස්වලට යාමට කැමති අය එක් රැස් වී තිබුණේ ඊට පෙර දින ලබාදුන් විශේෂ දැනුම්දීමක් අනුව යි. එහි දී කටුනායක සමාගමේ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා පවසා සිටියේ,
“අපි හැමෝටම උදේ 7.00 වන විට ගේට්ටුව ළඟ සිටින ලෙස දැනුම් දුන්නා. බොහෝ දෙනෙක් පැය දෙකකට පෙර පැමිණියේ මන්දැ යි මම දන්නේ නැහැ,”යි යනුවෙන්. එහි දී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ “වෛද්‍ය වෘත්තිකයන් සමග එක්ව ක්‍රමවේදයක් සකස් කිරීම, බස් රථ සහ හමුදා නිලධාරීන් පැමිණෙන තෙක් බලා සිටීම,” වැනි කාරණාවන් සඳහා සූදානම් වන්නට සිදුවීම හේතුවෙන් සේවක සේවිකාවන් ගම්බිම් බලා යැවීමට ටික දිනක් ගත වුණු බව යි. සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් සිය ගම්බිම් බලා පිටත්ව ගියත්, එලෙස සිය නිවෙස් බලා යාමට නොහැකි වුණු පිරිසකුත් සිටියා.
වෙළඳ කලාපය තුළ නතර වුණු අයගේ අමිහිරි අත්දැකීම්
සරත් සිය බිරිඳ සහ දරුවන් සමග වාසය කරන්නේ බෝඩිම් නිවාසයක යි. හදිසියේම ක්‍රියාත්මක වුණු ඇඳිරි නීතියට මාර්තු 24 වැනිදා විරාමයක් ලැබුණු අවස්ථාවේ සරත් ඔහු සන්තකයේ තිබුණු සුළු මුදලෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මිල දී ගැනීම සඳහා සිල්ලර වෙළඳසැලක පෝලිමට එකතු වී තිබුණා. නමුත් ඇඳිරි නීතිය නැවතත් ක්‍රියාත්මක කළ අවස්ථාව වන විට ඔහුට කිසිදු වියළි ආහාර ද්‍රව්‍යයක් මිලට ගැනීමට නොහැකි වුණු නිසාම ඔහු බෝඩිම් නිවස වෙත ගමන් කර තිබුණේ දරාගැනීමට නොහැකි වේදනාවකින්. මාර්තු 27 වැනිදා වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට සිය නිවෙස බලා යාම සඳහා අවස්ථාවක් ලබා දුන්නත් තම කුඩා දරුවන් සමග එලෙස ගමන් කිරීම අවදානම්යැ යි සිතූ සරත් බෝඩිම් නිවසේ නතර වී සිටීමට තීරණය කළා. සරත් සේම මෙම තත්ත්වය නිසා අසරණ වුණු තවත් වෙළඳ කලාපීය සේවිකාවක් අපට හමු වුණා. 27 හැවිරිදි තරුණියක් වන මාලාගේ උපන් ගම වන හැටන්හි ඇය දන්නා හඳුනන කිසිදු කෙනෙකු නොමැති නිසා, සිය ස්වාමිපුරුෂයා සමග වෙළඳ කලාපයේ නවාතැන තුළ දිගටම නැවතී තිබෙනවා. එලෙස නැවතීමෙන් පසුව ගත වුණු මුල් සති කිහිපයේ ඔවුන් සතුව තිබුණු සියලුම ආහාර අවසන් වීම නිසා ඔවුන්ට ඉතාමත් දුෂ්කර තත්ත්වයකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. එම අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධානයකින් ඔවුන්ට ආහාර සලාක ලැබී තිබුණා. මාලා ඒ පිළිබඳව එම සංවිධානයට ස්තූති කිරීමටත් අමතක කළේ නැහැ.
අර්බුදකාරී තත්ත්වයත් සමග සේවක සේවිකාවන්ට ඇති ආර්ථික ගැටළු
මාර්තු මාසයේ අග භාගයේ දී කර්මාන්තශාලා වසා දැමීමෙන් පසුව සමහර සේවකයන්ට මාර්තු සහ අප්‍රේල් මාසවල දී මූලික වැටුප පමණක් ලැබෙන විට, ඇතැම් සේවකයන්ට මාර්තු මාසයේ පවා ලැබී තිබුණේ වැටුපෙන් අඩක් පමණ යි. සාමාන්‍යයෙන් මෙවැනි වෙළඳ කලාපවල සේවය කරන සේවක සේවිකාවන්ට අතිකාල දීමනා, පැමිණීමේ ප්‍රසාද දීමනා වැනි දේවල් ලැබෙනවා. මූලික වැටුපෙන් පමණක් ඔවුන්ට සිය දරු පවුල් නඩත්තු කරගෙන යාම අසීරු කාර්යයක් වී තිබෙනවා.
කොරෝනාව ඇඟලුම් ක්ෂේත්‍රයට එල්ල කර ඇති විශාල බලපෑම
කොරෝනා වසංගතයෙන් යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය විශාල බැටකෑමකට ලක්වෙමින් සිටිනවා. ලංකාවේ ප්‍රධාන රෙදිපිළි ගැනුම්කරුවන් වශයෙන් සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් මේ වන විට අසීරු තත්ත්වයකට පත්ව තිබීම ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් කර තිබෙනවා. එනිසා ලබාදුන් ඇණවුම්වලට ගෙවීම් ප්‍රමාදවීම්, නව ඇණවුම් ලැබීමේ ප්‍රමාදවීම් මෙන්ම අවලංගු කිරීම් ද සිදුවනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවයකුයි ඇත්තේ. එසේම ඇඟලුම් කර්මාන්තශාලා වැසී ගියහොත් විරැකියාව විශාල ලෙස ඉහළ යාමේ ප්‍රවනතාවක් මතුවීමට ඉඩ තිබෙනවා.
කර්මාන්තශාලා ආරම්භ කිරීමත් සමගින් මතුවන අවදානම
මේ වන විට සමහර අපනයන සැකසුම් කලාපවල කර්මාන්තශාලා යළි ආරම්භ කර තිබෙනවා. විශාල පිරිසක් ගැවසෙන මෙවැනි කලාපවල සෞඛ්‍යාරක්ෂිත පියවර ඔස්සේ යළි සේවය ආරම්භ කළත් එය ඉතාමත් අවදානම් කටයුත්තක්. පසුගිය මැයි 1 වැනිදා හොරණ අපනයන සැකසුම් කලාපයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග කර්මාන්තශාලා 21ක් වසා දමා, එහි සිටි සේවකයින් 350 දෙනෙකු PCR පරීක්ෂණය සඳහා යොමුකර තිබුණා. යළි කර්මාන්තශාලා ආරම්භ වීමෙන් පසුව සේවක සේවිකාවන් සිය රාජකාරි කටයුතු සිදුකරනු ලබන්නේ තරමක් අවදානම් වටපිටාවක යි. ඔවුන්ගේ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් එවැනි අවදානමක් ගැනීමට සිදුව තිබීම අවාසනාවක්.
වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ අපේක්ෂාව
කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස් බලා ගිය සමහර සේවක සේවිකාවන් යළි සේවයට කැඳවා නැහැ. අප ඉහත දී ඔබට හඳුන්වා දුන් මාලාත් එවැනි කෙනෙක්. මාලා ඇය ඉදිරියේ දී අපේක්ෂා කරන දේ පිළිබඳව ඇයගේම වචනයෙන් ප්‍රකාශ කර සිටියේ මෙසේ යි.
“ජීවත් වෙන්න ඕනේ තරමටවත් කන්න දේවල් මිලට ගන්නේ කොහොමද කියන එක ගැන මම බයෙන් ඉන්නේ. මට ආයෙත් රස්සාවට යන්න පුළුවන් වෙන්න, මේ කලබල ඉක්මනින්ම විසඳෙයි කියලා මම හිතනවා. හැමදේම කලින් තිබ්බ තත්ත්වෙට යනකල් මම බලාගෙන ඉන්නේ.”