ලෝක සෞඛ්‍ය පර්යේෂණ ඉතිහාසයේ තවත් එක් අති විශාලතම සහ රැඩිකල්ම වෙනසක් සිදුකරන දීර්ඝකාලීන විශාල ව්‍යාපෘතියක ආරම්භය පසුගිය සැප්තැම්බර් 21 වනදා සිදුවුනා. මේ ගතවෙන ශතවර්ෂය අවසන් වනවිට ලෝකයේ තිබෙන සියළු ලෙඩරෝග තුරන් කිරීම මේ මහා ව්‍යාපෘතියේ අරමුණයි.
ඉතින් මේ අදහස කාගෙද? ලෝකේ තියෙන සියලුම ලෙඩරෝග නැතිකරන එක කොච්චර ලොකු වැඩක්ද? මේ වගේ මහ විශාල ව්‍යාපෘතියක් කරගෙන යන්න කොච්චර නම් වියදමක් යනවද? කවුද ඕවට සල්ලි දෙන්නේ? ඔව්, මේ ලිපියේ පළවෙනි වාක්‍ය දෙක කියවලා ඉවර වෙනකොටම ඔබගේ හිතේ නැගෙන ප්‍රශ්න වලින් කීපයක් තමයි අපි ඒ සඳහන් කළේ. අද අපි මේ සූදානම් වෙන්නේ අපේ දරුවන්ගේ ජීවිත කාලය තුළදී ලෝකයේ සියළු ලෙඩරෝග තුරන් කිරීමේ මහා මෙහෙයුම පිළිබඳ ඔබව දැනුවත් කරන්නටයි.
කවුද මේක කරන්නේ?
මාක් සකර්බර්ග් (Mark Zuckerberg) සහ ප්‍රිෂීලා චෑන් (Priscilla Chan). මේ ලිපිය කියවන කිසිම කෙනෙක් පළවෙනි නම නොදන්නවායි කියලා අපි හිතන්නේ නැහැ. සකර්බර්ග් කියන්නේ 2004 වර්ෂයේදී ඉතා පොඩි වෙබ් සයිට් එකක් විදියට පටන් අරගෙන අද වෙද්දි ලෝකේ වැඩිම පිරිසක් භාවිතා කරන සහ ඉහළම ආදායමක් උපදවන සමාජ ජාල වෙබ් අඩවිය වෙන Facebook හි අයිතිකාරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා. එතකොට කවුද මේ ප්‍රිෂිලා චෑන්? එයා තමයි මාක් සකර්බර්ගේ බිරිඳ. එයා වෘත්තියෙන් ළමාරෝග වෛද්‍යවරියක්.
මේ විශාල ව්‍යාපෘතියේ අදහසත් මේ දෙදෙනාගේමයි. එයාලාම එකතුවෙලා හදපු Chan Zuckerberg Initiative (CZI) ආයතනයෙන් තමයි මේ ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය දක්වන්නේ.
මේ වැඩේට කොච්චර විතර වියදමක් යයිද?
ව්‍යාපෘතිය අවසන් කරද්දි ඒ වෙනුවෙන් වියදම් වන මුදල ගැන දැනට නම් කාටවත් අදහසක් නැහැ. ඒකට හේතුව මේ ව්‍යාපෘතියේ කාල රාමුව අවුරුදු 5ක් 10ක් වගේ කෙටි කාලීන එකක් නොවීම.
මේ ව්‍යාපෘතිය අවම වශයෙන් අවුරුදු 20ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ඒ කිව්වේ අවුරුදු 50ක් හෝ 80ක් වගේ විශාල කාලයක් සිදුකරන්න චෑන් – සකර්බර්ග් දෙදෙනා බලාපොරොත්තු වෙනවා. වැඩේ ආරම්භ කරද්දි ඒ වෙනුවෙන් ඔවුන් දායකත්වය දක්වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3ක්. ඒ කිව්වේ කොච්චරක් විතරද? හරි, අපි ඕක මේ විදියට සරළ කරගනිමු. ඔබ අහලා ඇති මීටර් 829.8ක් උස ලෝකයේ උසම ගොඩනැගිල්ල විදියට නම් දරපු Burj Khalifa ගැන. ඒක නිර්මාණය කරන්න වැය වෙලා තියෙන්නේත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5යි. ඒ වගේ බිල්ඩින් දෙකක් හදන සල්ලි, ලෝකේ ලෙඩරෝග තුරන් කිරීම සඳහා වෙන පර්යේෂණ වැඩසටහන් වෙනුවෙන් මේ ජෝඩුව වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට මේ වැඩේ සිදුවෙන්නේ කොහොමද?
මේක හිතන තරම් සරළ වැඩසටහනක් නම් නෙමේ. ඒ වගේම කෙටි හෝ මධ්‍යම පරිමාණයේ කාලයකින් බලාපොරොත්තුවෙන ප්‍රතිඵල අත්කරදේවි කියලත් ඒ තරම් විශාල බලපොරොත්තුවක් තියාගන්න බැහැ.
CZI එකේ මූලිකම අදහස තමයි, ඉහළම මට්ටමේ වෛද්‍ය විශේෂඥයන්, ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් කණ්ඩායමක් හරහා පහසුවෙන් විසඳුම් හොයාගන්න බැරි හෝ සමහර විට විසඳුමක් හොයාගන්නම බැරි ආකාරයේ ලෙඩරෝග සඳහා විසඳුම් සොයා ගැනීම. ඒ විද්‍යාඥයින් කණ්ඩායම විසින් සිදුකරන පර්යේෂණවල ප්‍රතිඵල එද්දි සමහර විට අවුරුදු දෙකක් ගතවෙන්න පුළුවනි. සමහර විට දශකයකට වැඩි වෙන්න පුළුවනි. සමහර විට වැඩේ සිද්ධ නොවෙන්නම පුළුවනි. ඒ පර්යේෂණ සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලම අපතේ ගියා වෙන්නටත් පුළුවනි. නමුත් ඒ තරම් විශාල අවධානමක් සහිත වැඩක් උනත් මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන්නට CZI ආයතනය බලාපොරොත්තු වෙනවා. ඒක ප්‍රශංසා සහගත තත්ත්වයක්.
CZI ආයතනය කියන විදියට මේ වැඩේ ඔවුන් ගෙනියන්නේ මූලික ඉලක්ක 3ක් සාක්ෂාත් කරගන්නටයි. පහත දැක්වෙන්නේ ඒ මූලික ඉලක්කයනුයි.
- විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් කීපයක් සහ ඇමරිකාවේ ඇති ඉහළ පෙළේ විශ්වවිද්‍යාල, පර්යේෂනාගාර කීපයක් එකිනෙකා සමඟ එකතුව දීර්ඝ කාලීනව රෝග සහ රෝග මූලයන් පිළිබඳව පර්යේෂනයන්හි නිරතවීම.
- රෝග මූලයන්ට ප්‍රතිකාර කර රෝගී තත්ත්වයන් සමනය කරනවා වෙනුවට රෝග මූලයන් මුලින් උපුටා දමන නවතම ක්‍රමෝපායන් සොයාගැනීම සහ සංවර්ධනය කිරීම.
- සෞඛ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ආයෝජනයන් සහ මූල්‍යාධාරයන් විශාල කිරීම.
මේ ඉලක්ක සම්පූර්ණ කරගන්න ගමනේ පළවෙනි වැඩසටහන තමයි Biohub කියන පර්යේෂනාගාරය නිර්මාණය කරන එක. මේ පර්යේෂණාගාරය හදන්නේ Stanford University, University of California – Berkeley සහ University of California, San Francisco කියන විශ්වවිද්‍යාලයන්හි සම්පත් දායකත්වය යටතේයි.
Biohub එකේ මූලිකම කාර්යය වෙන්නේ ලෙඩ රෝග හැදෙන විශබීජවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය, හැසිරීම සහ ඒ විෂබීජයන් මුලින් උපුටා දමන ආකාරය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කිරීමයි. ඔවුන්ගේ අවසාන අරමුණ ක්‍රි.ව. 2100 වනවිට සියළු රෝගාබාධ මර්ධනය කරන ආකාරය පිළිබඳව පිළියම් ගෙන ඒමයි. Biohub එකේ කටයුතු සඳහා පමණක් ඊලඟ දශකයක කාලය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් වෙන් කරලා තියෙනවා.
Cell Atlas කියන්නේ Biohub එක තුළ ක්‍රියාත්මක වෙන එක ප්‍රධාන ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියෙන් සිදුකරන්නේ මිනිස් සිරුරේ තිබෙන සෑම සෛලයක්ම තියෙන තැන සහ ක්‍රියාකාරීත්වය සිතියම් ගත කිරීම. සරළව කියනවානම්, අපේ ඇඟේ තියෙන ඕනෑම සෛලයක් නම් කළ විටකදී ඒ සෛලය ඒ අවස්ථාවේ ශරීරය තුළ තිබෙන තැන සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විස්තරයක් මේ Cell Atlas ව්‍යාපෘතිය හරහා ලබාගන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එයින් ලබාගන්නා තොරතුරු හරහා ජීව විද්‍යාඥයන්ට පුළුවනි මිනිස් සිරුරට හානිකර ලෙඩ රෝග සාදන විෂබීජයන්හි අංශු පදාර්ථය දක්වාම පර්යේෂණ සිදුකරන්නට සහ ඒ විෂබීජයන් මර්ධනය කරන ආකාරයන් පිළිබඳව සාර්ථක අධ්‍යයනයක යෙදෙන්න.
Biohub එකේ දෙවෙනි වැඩසටහන ඔවුන් නම් කරලා තියෙන්නේ “Infectious Disease Initiative” කියලයි. ඒ හරහා බෝවෙන රෝග මුලින් උපුටා දැමීමට අවශ්‍ය කරන බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දීර්ඝකාලීන පර්යේෂණයන් සිදුකරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මේ වැඩසටහන සඳහා එකතු වී සිටින විද්‍යාඥයන්ට Biohub එකට අනුබද්ධ විශ්වවිද්‍යාලයන්හි අවුරුදු 5ක අධිශිෂ්‍යත්වයක් ලබාදීමටද කටයුතු කරලා තියෙනවා. ඒ ඉතා අවදානම් සහිත සහ මහත් කැපවීමකින් යුතුව කළ යුතු පර්යේෂණයන් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම සඳහායි. එවන් ආකාරයේ පර්යේෂනයන්හි නිරත වීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් දායකත්වයන් ලැබීම ඉතාම සීමිත තත්ත්වයක පවතින බවටයි මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥයන්ගේ මතය වන්නේ.
මේ සියළු කටයුතුවලින් CZI ආයතනය බලාපොරොත්තු වෙන්නේ වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් සිදුකරන විද්‍යාඥයන්ට වඩාත් වැඩි පහසුකම් සහ අවස්ථාවන් ලබාදී ඔවුන්ගේ දායකත්වය උපරිමයෙන් ලබාගැනිමටයි. ඒ තුළින් විද්‍යාඥයන් අතරේ තමන්ගේ පර්යේෂණ වාර්ථාවන් පළකිරීමට තරඟකාරී වටපිටාවක් ඇති කිරීමද සිදුවෙනවා. බොහෝ තරුණ විද්‍යාඥයන්ට මේ හරහා වෛද්‍ය විද්‍යාවේ නව මානයන් සොයා යාමට හැකියාව ලැබෙනු ඇතිබවටයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම CZI ආයතනයේ දැවැන්ත මූල්‍ය මැදිහත්වීම හරහා සිදුවන මේ ක්‍රියාවලිය හේතුවෙන් වෛද්‍ය විද්‍යාවේ ඉතා සීඝ්‍ර නැග්මක් ඇතිවෙනු ඇතැයි බොහෝ දෙනා අදහස් පළකරනවා. එක අතකට ඒ තර්කයේ වරදක් පෙනෙන්නේත් නැහැ.
අවුරුදු 80ක් කියන්නේ ඉතාම විශාල කාලයක්. අපේ දරුවන්ගේ ජීවිත කාලය තුළදී බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවනි.
එහෙම කියන්නේ ආචාර්ය කෝරි බාර්ග්මෑන් (Dr. Cori Bargmann). Rockefeller University හි ස්නායුවිද්‍යාඥවරියක් විදියට කටයුතු කරන ආචාර්ය කෝරි බාර්ග්මෑන් තමයි CZI ආයතනයේ මේ ව්‍යාපෘතියේ සභාපතිනිය (President of Science).
මම පොඩි කාලේ stents තිබ්බේ නැහැ. හදවත් සැත්කම් කළේ නැහැ. Stents කියලා ජාතියක් අපි අහලවත් නැහැ. ඔබේ හිතවතෙක්ට හදවත් රෝගී තත්ත්වයක් හැදුනා කියන්නේ ඔහුගේ අවසානය තමයි. හැබැයි මගේ ළමා කාලයෙන් වසර 40කට විතර පස්සේ අද දවසේදී කොහොමද තත්ත්වය. අවම වශයෙන් වසරකට රෝගීන් මිලියනයකට වඩා වැඩි පිරිසක් හදවත් සැත්කම්වලට මුහුණ දී ප්‍රතිකාර ලබා සුවය ලබනවා. නවීන වෛද්‍ය විද්‍යාවට පිං සිදුවෙන්න මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත කාලය අද වෙද්දි ඉහළ ගොස් තිබෙනවා. කල්පනා කර බලන්න අවුරුදු 80ක තරම් දීර්ඝ කාලයක් සහ ඩොලර් බිලියන 3ක සම්පූර්ණ ශක්තියකුත් සමඟ අකල් මරණ සිදුවන ආකාර 4කට විරුද්ධව සිදුකරන සටනක් ගැන. බෝවෙන රෝග, හදවත් රෝග, පිළිකා සහ ස්නායු ආබාධ නිසා ඇතිවන අකල් මරණයන් මේ පර්යේෂණයන් හරහා අවම කරගන්න හෝ නැති කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා.
මිනිස් මොළය තුළ ස්නායු සෛල බිලියන 86ක් තියෙනවා. එයින් 20,000ක වගේ ප්‍රමාණයක් තමයි මිනිසාව අවදියෙන් තබන්න අවශ්‍ය හැඟීම (Orexin) ලබාදෙන්නේ. මේ සෛල 20,000 හරියට ක්‍රියා නොකරද්දි තමයි මිනිසුන් හිටිගමන් නින්දට වැටෙන්නේ. බිලියන 86ක් එක්ක සසදද්දි ස්නායු සෛල 20,000ක් කියන්නේ නොසළකා හැරිය හැකි තරමේ කුඩා ප්‍රමාණයක්. නමුත් අනිත් ස්නායු සෛල බිලියන 86ටම ඔබව අවදියෙන් තැබීමේ හැකියාව නැහැ. ඒ නිසයි එක් එක් සෛල පිහිටා තිබෙන ස්ථානයන් නිවැරදිව දැනගැනීම රෝග සුව කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ.
ආචාර්ය කෝරි ඒ ආකාරයට අදහස් දක්වනවා.
විද්වත් මතය
ඇමරිකාවේ සහ ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් මේ චෑන්-සකර්බර්ග් දෙපළගේ මේ අලුත් උත්සාහය ගැන නොයෙක් අදහස් පළකරලා තිබුණා.
අතිශෝක්තියක් වගේ පෙනුනත් මේ ඉලක්කය තව දුරටත් සිහිනයක් නම් නොවෙයි. ඒ ප්‍රකාශය සිදුකරන්නේ ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ (National Institutes of Health) අධ්‍යක්ෂක ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස්. කිසිදා සිදුකරන්න නොහැකියැයි කියලා තියෙන දෙයක්, සිදුකරන්න හැකි දෙයක් බවට ජනතාව තුළ විශ්වාසයක් ඇතිකරන්න මොවුන් දරණ මේ වෑයම මම අගය කරනවා. පසුගිය අවුරුදු 80ක කාලය තුළදී වෛද්‍ය විද්‍යාව සහ ලෝකයම ලැබූ දියුණුව පිළිබඳව අපි කල්පනා කරලා බලද්දි, මේ ඉලක්කය ජයගත හැකි ඉලක්කයක් ලෙසටයි මමත් දකින්නේ. ඒ වගේම ඒ ඉලක්කය ජයගන්න මේ පිරිසට නොහැකියාවක් ඇතැයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. ලෝකයේ ඉන්න ලොකුම සල්ලිකාරයොන්ටවත් මේ ප්‍රශ්නේ තනියෙන් විසඳන්න බැහැ. වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණයන් සඳහා දැනට වැඩිම මුදලක් වාර්ෂිකව යොදවන්නේ ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය (NHI). ඒ වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 32ක්. නමුත් ඒ කරලත් සම්පූර්ණ කරගන්න බැරි යම් යම් හිඩැස් තියෙනවා. මේ වගේ පෞද්ගලික මැදිහත්වීම් හරහා ඒ හිඩැස් සම්පූර්ණ කරගන්න පුළුවනි. එන්න ඒක තමයි වැදගත්ම දේ. ඔවුන්ගේ මේ මැදිහත්වීම මම ඉතාමත්ම සතුටෙන් භාරගන්නවා.
ජාන විද්‍යාඥයෙක් ලෙසට සහ Human Genome Project හි ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය කොලින්ස් වැඩි දුරටත් තමන්ගේ අදහස දැක්වූයේ එලෙසින්.
ඊළඟ වසර 100ක කාලය තුළදී දැනට අපි මුහුණ දෙන රෝගාබාධ අති විශාල ප්‍රමාණයකට හේතුවන විෂබීජ සහ රෝගකාරක මේ පොළොවෙන් තුරන් කිරීම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. චෑන්-සකර්බර්ග් ආයතනයට ඔවුන් මේ වෙනුවෙන් කරන්න බලාපොරොත්තුවෙන කැපකිරීම් හරහා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඉඳිරි ගමනට සැළකිය යුතු වෙනසක් සිදුකරන්න පුළුවන් වේවි. ඔවුන් මෙහිදී දායකත්වය දක්වන්නේ මූලිකම පර්යේෂණයන් සඳහායි. නමුත් ඒ මූලික පර්යේෂනයන්ගෙන් සොයාගන්නා කරුණු දීර්ඝකාලීනව ඉතා වැදගත් වෙනවා. මේ කරන පර්යේෂණ වලින් සමහර ඒවා සාර්ථක වෙයි. තවත් සමහර ඒවා අසාර්ථක වෙයි. අනිත් අයට පුළුවනි ඒ සාර්ථක වෙච්ච පර්යේෂණයන් භාවිතා කරලා ඉඳිරියට යන්න. මේ කාර්යය පිළිබඳව ඒ ආකාරයට අදහසක් පළකළේ 1975 වසරේදී වෛද්‍ය විද්‍යාව සඳහා නෝබෙල් ත්‍යාගය දිනාගත් ආචාර්ය ඩේවිඩ් බැල්ටිමෝර්. අපිට හිතාගන්නවත් බැරි තරම් අතිවිශාල මුදලක් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් වූ මිනිසුන් කොටසක් අතට සංසරණය වීම ඇමරිකා එක්සත් ජනපදය තුළ සිද්ධ වෙන දෙයක්. ඉතින් සුපිරි ධනවතුන් දෙතුන් දෙනෙක් එකතු වෙලා ඒ ලැබෙන මුදල් යොදවලා මුළු ලෝකයේම මිනිසුන්ට ලෙඩරෝගවලින් තොර ජීවිතයක් ලබාදෙන්න සිදුකරන මේ උත්සාහයට අවස්ථාවක් දීලා බලන එක වරදක් නෙමේ.
වෛද්‍ය බැල්ටිමෝර් වැඩි දුරටත් තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ ඒ ආකාරයටයි.
සමාජ ජාල සංකල්පය හරහා සාමාන්‍ය ආදායමක් සහිත පුද්ගලයෙකුගේ සිට ලොව සුපිරිතම ධනපතියෙකු දක්වා ඉතා කෙටි කලකදී දිගු ගමනක් ගිය මාක් සකර්බර්ග්, තමන් ඒ උපයාගත් දේ යළිත් සමාජයේ යහපත පිණිසම යෙදවීම ප්‍රශංසා සහගත ක්‍රියාවක් විදියටයි අපිනම් දකින්නේ. විශේෂයෙන්ම බොහෝ ධනවතුන් අතගැසීමටත් මැළි කමක් දක්වන අතිශය බැරෑරුම් ක්ෂේත්‍රයක, සුවිශේෂී වෙනසක් සිදු කරන්නට ජීවිතේ තුන්වන දශකයේ ආරම්භයේ සිටිනා මේ තරුණ ජෝඩුවට හැකිවේවිද? අපි කාලයට ඉඩ දී ඒ දෙස බලා සිටිමු.
කවරයේ පින්තුරය: Live Bip