2020 වසර ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වසරක් වූයේ කොවිඩ්-19 වෛරසයේ පැතිරයාමත් සමඟ ඇතිවූ වසංගත තත්ත්වයේ බලපෑම නිසා ය. මුළු දැය ම ඉන් රැකෙන්නට විසඳුම් සොයද්දී ජනගහනයෙන් එක් කොටසක් අපේක්ෂිත මට්ටමට වඩා වැඩි අවදානමක සිටිනු දක්නට ලැබිණි. ඒ, අපගේ වැඩිහිටි ප්‍රජාව යි.
මින් ගැටලු දෙකක් පැණ නැඟිණි. එකක්, පලදායී ව, වයෝවෘද්ධ ප්‍රජාවට ගැළපෙන ලෙස සැලසුම් සකසන්නේ කෙසේ ද යන්න යි. අනෙක, විවිධ වයස් කාණ්ඩ අතර සිදුවන අන්තර්-වයස් සන්නිවේදනය මේ සඳහා වැදගත් වන්නේ කෙසේද යන්නයි.
වයස් කාණ්ඩ අතර සන්නිවේදනය යනු?
වයස් කාණ්ඩ අතර සන්නිවේදනය මගින් සිදු වන්නේ ඔවුන් අතර විවිධ දෘෂ්ටි කෝණවලින් යුත් දැක්මක් ඇති කරමින් සමස්ත සමාජය මුහුණ දෙන ගැටලු විසඳීමට දැනුම්වත් භාවයක් ගොඩ නැගීමයි. ඒ හරහා යෞවනයන් හා වැඩිහිටියන් අතර පවතින අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා හදා ගැනීම සිදු කෙරේ.
මෙහිදී ස්ත්‍රී පුරුෂ භාවය, ජාති, ආගම්, සංස්කෘති සහ සමාජ ආර්ථික පසුබිම් අතර මුසුවීම ද සලකා බලන අතර, සමාජයේ ගැටලු නියමාකාරයෙන් හඳුනා ගැනීමටත්, දැනුම්වත් භාවය ඉහළ නැංවීමටත්, දීර්ඝ කාලීන විසඳුම් ප්‍රවර්ධනය වීමත් ඉන් සිදු වේ.
මීට අමතර ව, විවිධ වයස් කාණ්ඩවල පෞද්ගලික අත්දැකීම් තුළින් සැමට සරිලන විසඳුම් ලබා ගැනීමට ඉන් මඟ පෑදේ.
“වයස් කාණ්ඩ අතර සන්නිවේදනය නිසා එකිනෙකා ගේ අත්දැකීම් ගැන පරම්පරා අතර දැනුම්වත් බවක් ඇති වෙනවා. ප්‍රායෝගික ජීවිතයේදී, මෙය තමන් ගේ ගමේ හෝ පවුලේ සිටින වැඩිහිටියෙක් සමඟ සිදුවන පුංචි කතාබහක් තරම් සරල විය හැකියි.මෙවැනි සංවාද මගින් යෞවනයන්ට අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමටත්, ඔවුන්ගේ ජීවිත සාරවත් කර ගත හැකි ප්‍රධාන සාරධර්ම හඳුනා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. වැඩිහිටියන්ට, තමනුත් සමාජයේ කොටසක් ලෙස හැඟෙනවා.’’යැයි ආසියානු පදනමේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි කන්නියා පීරිස් පැවසී ය.
1980 දශකයේ සිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි යැපෙන්නන්ගේ ජනගහනය අසල්වැසි රටවලට වඩා වැඩි වේගයකින් ඉහළ යමින් පවතී. දැනට පවතින නවත ම දත්තවලට අනුව, 1981-2012 අවුරුදු අතර වැඩිහිටියන්ගේ (අවුරුදු 60 සහ ඊට වැඩි) අනුපාතය 6.6% සිට 12.4% දක්වා ඉහළ ගොස් තිබේ.
2041 වසර වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය 9% කින් පමණ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙයින් වැඩිහිටියන් රටේ ජනගහනයෙන් මිලියන 5.3 ක් වන බවට ගණන් බලා ඇති අතර එය 2010 දී පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකි. මෙය රටේ වයස් කාණ්ඩ අතර සන්නිවේදනය සක්‍රීය ව ප්‍රවර්ධනය කිරීම වැදගත් බවට හොඳ සාක්ෂියකි.
“නිදහසින් පසුව ගත වුණු දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂා මට්ටම වැඩි වීමත්, උපත් අනුපාතය අඩු වීමත් නිසා, මෙරට වයස්ගත පුද්ගලයන්ගේ අනුපාතය වේගයෙන් ඉහළ යමින් පවතිනවා. මෙම වැඩිවීම ධනවත් රටවලට වඩා වේගයෙන් සිදු වෙනවා,” යැයි ආසියානු පදනමේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු රොෂාන් ෂාජෙහාන් ප්‍රකාශ කළේ ය.
රටක සියලු ම වයස්ගත සාමාජිකයන් සෞඛ්‍යය, දරිද්‍රතාව, රැකවරණය යන අංශවලින් සමාන ව අවදානමට ලක්විය හැකි බවට සමාජයේ මිථ්‍යාවක් පවතී. වයස්ගත වීම ආර්ථිකයට හෝ සමාජයට ‘බරක්’ ලෙස සලකන මතවාද පවතින නමුත් වැඩිහිටි ප්‍රජාව යනු රටට සම්පතකි.
අපගේ වැඩිහිටියන් සමාජයේ වර්ධනයට අත්‍යවශ්‍ය සම්පත් වන දැනුම හා අත්දැකීම් රාශියක් දරයි. වයස්ගත ප්‍රජාවේ සිටින ඇතැමුන් සමාජයේ අනෙක් අයට වඩා අවදානමට ලක්විය හැකි වුවත්, සමස්ත ප්‍රජාවට ඔවුන්ගෙන් ඉගෙන ගත හැකි හා වැඩිදියුණු කර ගත හැකි අත්දැකීම් සමුදායක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය.
“වැඩිහිටියන් ඔවුන්ගේ පවුල්වලට, ගමට සහ රටට චින්තනාත්මක , සමාජීය හා ආර්ථිකමය වශයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා,” යැයි රොෂාන් පැහැදිලි කළේ ය.
අභියෝග දුරැලීම
රැකියා ස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය, සහ සෞඛ්‍ය ආරක්ෂණය වැඩිහිටියන් බොහෝ විට නොසලකා හැර හෝ අවතක්සේරු කර ඇති අවස්ථා ලොව පුරා ම දකින්නට තිබේ.
“ජාතීන් මෙන් ම විවිධ වයස් අතර සහයෝගීතාව වඩාත් ම අවශ්‍ය වන මොහොතක වයස් භේදය, වයස පදනම් කරගෙන වෙනස් කොට සැලකීම, සහ වයස්ගත පුද්ගලයන් අපකීර්තියට ලක් කිරීම වැනි දෙයින් ඔවුන්ගේ අවදානම් තත්ත්වය උග්‍ර කිරීම පිළිබඳ අපි කනස්සල්ල ප්‍රකාශ කරන්නෙමු.” යැයි වැඩිහිටි පුද්ගලයන්ට කොවිඩ්-19 හි බලපෑම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කියා සිටියේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 වසංගතය ජය ගැනීම සඳහා වැඩිහිටියන් සමඟ අත්වැල් බැඳ ගැනීම වැදගත් සාධකයක් බව යි.
වසංගතය පැතිරීම හේතුවෙන් සෞඛ්‍ය, සහ රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී වැඩිහිටියන් මුහුණ දෙන අවදානම එයින් ඉස්මතු කෙරිණි. මානසික හා ශාරීරික සෞඛ්‍ය අතින් ඔවුන් නොසලකා හැර ඇති අතර, රැකියා පරිසරයේ අහිතකර බලපෑම්වලට ද ඔවුන් ලක්ව සිටියි.
එවැනි අභියෝගයන්ට අමතර ව, වසංගතය නිසා වැඩිහිටියන්ට ඇති වූ තවත් ගැටලුවක් වූයේ අන්තර්ජාලය පදනම් කරගත් සේවා සහ ප්‍රතිපාදන සඳහා ප්‍රවේශයක් නොමැති වීමයි. වැඩිහිටියන් මෙන් ම, එම ගැටලුවට මුහුණ දුන් අන් අයගේ ද මානසික යහපැවැත්මට ඇතිවන බලපෑම ද සලකා බැලීම වැදගත් වේ.
ආසියානු පදනම මෙම ගැටලුව මුල් කර ගෙන, වැඩිහිටියන් වැනි බලපෑමට ලක්වූ කණ්ඩායම්වල මනෝ සමාජයීය සංවර්ධනය අරමුණු කර ගත් මෙවලම් කට්ටලයක් සකස් කර ඇත. එම මාර්ගෝපදේශ ඔබට මෙතැනින් කියවිය හැකි ය.
ඉහළ මට්ටමක පවතින කොවිඩ්-19 හේතුවෙන් සිදු වන මරණ අනුපාතය සේ ම, අයුතු ලෙස සැලකීම හා නිරෝධායන හා ප්‍රදේශ හුදෙකලා කිරීම් වැනි තත්ත්වයන් යටතේ වැඩිහිටියන් මුහුණ දෙන අපයෝජනය, ප්‍රචණ්ඩත්වය සහ නොසලකා හැරීම් සිදුවීම ද සැලකිල්ලට ගත යුතු වේ.
කුමන වයසක් මත පදනම් ව හෝ පුද්ගලයන් වෙන් කොට සැලකීම අකටයුත්තකි. මෙයින් සිදුවන හානිකර ප්‍රතිවිපාක, අවසානයේ සමාජයේ සියලු ම කොටස්වලට බලපාන අතර, එය පුද්ගලයන්ට සහ සමාජයට එක හා සමාන ව සලකන ආකාරයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීම ද වළක්වයි.
නිදසුනක් වශයෙන්, මෙම කොවිඩ්-19 සමයේ රාජ්‍ය සේවාවලට ප්‍රමුඛතාව දීමේ දී වයස්ගත පුද්ගලයන්ට ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් එවැනි සේවා ලබා ගැනීමට ඇති හැකියාව නැති වීම දැක්විය හැක.
විවිධ වයස් කාණ්ඩ අතර සන්නිවේදනය වැදගත් වන්නේ මේ නිසා ය. එම වැදගත්කම සමාජයේ සිවු කොන වෙත විහිද යන අතර, සමස්ත ප්‍රජාව ම සම්බන්ධ වී සපුරාලිය යුතු ඉලක්කයක් බවට පත් කරයි.
වැඩිහිටියන් මුහුණ දෙන ගැටලුවල බරපතලකම හා ඔවුන්ට වෙනස් කොට සැලකීම තරුණ පරම්පරාව වටහා ගෙන ඇති බව සහතික කිරීමෙන්, මෙම බාධක අවම කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයක් ක්‍රියාත්මක කළ හැකි වේ.
ආසියානු පදනම ක්‍රියාත්මක කළ එවැනි වැඩසටහනක් පිළිබඳ ව අදහස් දක්වමින් කන්නියා මෙසේ පැවසී ය. “අපි මෙම මාතෘකාවට එළඹුණේ කලාව භාවිතයෙන්. ‘තීර්ථ’ අන්තර්ජාතික කලාකරුවන්ගේ සමූහය සමඟ එක්ව ක්‍රියාත්මක කළ ‘අපේ කතා’ නමැති වැඩසටහනෙන් අපි ආධුනික මෙන් ම ප්‍රවීණ ශිල්පීන්ට වැඩිහිටියන්ගෙන් අසා දැනගත් ජීවිත කථා විවිධ කලා මාධ්‍ය තුළින් ඉදිරිපත් කරන්නට ආරාධනා කළා.”
“මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී ලක්‍ෂණයක් වුණේ, වැඩිහිටියන්ගේ ජීවිත කථා ප්‍රකාශනය සහ ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභියෝගාත්මක මතක සිහිපත් කරමින් වැඩිහිටියන්ට ඒ හා සම්බන්ධ මනෝ සමාජීය සහයෝගයක් ලබා දීමයි,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.
පරම්පරා ගණනාවක් පුරාවට සහයෝගීතාව පතුරුවාලීම අපගේ සමාජයේ තිරසාර වර්ධනයට බලපාන වැදගත් අංගයකි. ශක්තිමත් සහ එක්සත් ශ්‍රී ලංකාවක් ලෙස කිසියම් අනපේක්ෂිත බාධකයක් ජය ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, අප ප්‍රථමයෙන් ම වයස් මට්ටම් අතර සහයෝගීතාව සහතික කළ යුතු වේ.