1949 වසරේ එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ ලියෝපෝල්ඩ් හි ගබඩා කාමරයක් පොලිසිය විසින් වටළනු ලැබුවා. මෙය අයත් ව තිබුණේ ජෝන් ජෝර්ජ් හේ නැමැත්තෙකුට යි. මෙය තුළ තිබී ඔවුනට ගැලුම් 40 බැරල් කිහිපයක් හමුවනවා. මේ සියල්ල ම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයෙන් පුරවා තිබුණා. විද්‍යාඥයෙකු නොවන අයෙකු සතු ව මෙවැනි විශාල පරිමාවක සල්ෆියුරික් සංචිතයක් තිබීම අසාමාන්‍ය කරුණක් බැවින් ඔවුන් වැඩිදුරටත් පර්යේෂණ මෙහෙය වූවා. එහි දී ඔවුනට හමුවන්නේ පුදුමාකාර දේවල් කිහිපයක්. පරිශ්‍රයේ තිබී දිය වූ මානව මේදය රාත්තල් 28ක්, මිනිස් පාදයක කොටසක් ඇතුළු මිනිස් ශරීරවල සුන්බුන් රාශියක් එක්කාසු කරගන්නට පොලිසිය සමත් වෙනවා.
මේ අනුව එංගලන්තය එදාමෙදා තුර දුටු දරුණුතම දාම ඝාතකයෙකු පිළිබඳ හෙළිදරව් කරගන්නට එරට පොලිසිය සමත් වෙනවා. ඉහත කී දේ හමු වූ පරිශ්‍රයේ හිමිකරු වන ජෝන් ජෝර්ජ් හේ මිනිසුන් මරා ඔවුන්ගේ සිරුරු සාන්ද්‍ර අම්ල බැරල්වල දියකර තිබුණා. ඔහු මේ ඉරණමට ගොදුරු කරන ලද මිනිසුන් දුසිම් භාගයකට වඩා වැඩි බවත්, ඉදිරියටත් එසේ කිරීමට සැලසුම් කරගෙන සිටි බවත් පසුකාලීන ව හෙළිදරව් වුණා.
ඝාතනවලට පූර්විකාව
1909 වසරේ ජූලි මස 24 වන දා උපන් ජෝන් ජෝර්ජ් හේගේ ළමා කාලය අනෙකුත් බොහෝ දාම ඝාතකයින්ගේ මෙන් කම්කටොළුවලින් පිරුණු එකක් වූයේ නැහැ. සාර්ථක අධ්‍යාපනයක් ලද ඔහු ශිෂ්‍යත්ව කිහිපයකින් පිදුම් ලබන්නට තරම් දක්ෂ ශිෂ්‍යයෙකු වූ අතර ශාස්ත්‍රීය සංගීතය කෙරෙහි ද දස්කම් පෑවා. යොවුන් වියට එළැඹෙන තුරු ම ජෝන්ගේ ජීවිතය පහසුවෙන් ගලා ගියා.
25 වියට එළැඹීමත් සමග ම ජෝන්ගේ ජීවිතය වෙනත් මඟකට යොමුවෙනවා. ඒ වංචා කිරීමක් සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවට පත් වීමත් සමග යි. මේ වන විට ඔහු විවාහ වී ගත වී තිබුණේ මාස කිහිපයක් පමණයි. මේ සිදුවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ද ඔහු හැර යනවා. සාම්ප්‍රදායික මතිමතාන්තර කරපින්නා ගත් ඔහුගේ නෑ පරපුර ද ඔහුගෙන් ඈත් වීමට තීරණය කරනවා. වසර දෙකක් සිරගත වී සිටි ජෝන්, ඉන් නිදහස් වී ලන්ඩනයේ පදිංචියට යනවා. එහි දී ඔහුට ප්‍රවාහන සේවා හා සම්බන්ධ තනතුරක් ලබා ගැනීමට හැකිවෙනවා.
වසර දෙකක් සිරගත වී සිටිය ද ඉන් නිදහස් වූ පසුවත් ජෝන් විසින් අතමිට මුදල් යහමින් ගැවසුණු අයවලුන් මුලා කොට මුදල් කඩා වඩාගැනීමේ පුරුද්දෙන් මිදුණේ නැහැ. විලියම් ඇඩ්ම්සන් නම් පෙරකදෝරුවෙකු ලෙස පෙනී සිට ව්‍යාජ කොටස් ගණුදෙනු සිදුකළ ඔහු, සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම්වලට වඩා අඩු මුදලට ඒවා රැගෙන දෙන බව පවසමින් මුලා කළ මිනිසුන් ගණන අතිමහත්.
නැවත සිරගත වීම හා සාක්ෂ්‍ය විනාශ කිරීමේ මාර්ග සෙවීම
1939 වසරේ දී නැවත වතාවක් ජෝන්ට වංචා චෝදනා යටතේ සිරගත වන්නට සිදුවෙනවා. ඒ සපයන ලද ව්‍යාජ ලියවිල්ලක ඔහුගේ නම ඔහු විසින් ම වැරදියට අකුරු ගැළපීම නිසා නිසා ඇති වූ සැකයක ප්‍රතිඵලයක් ලෙසිනුයි. මෙවර ඔහුට හිමි වූ සිරදඬුවම වසර 4ක්.
සිරගත වී සිටින කාලයේ දී තමන්ට ‘වැරදුණු’ තැන් ජෝන් විසින් මෙනෙහි කළා. ඔහුට වැටහී ගියේ තමන්ගේ වංචාවන්ට හසුවන අයවලුන් සාක්ෂ්‍ය සැපයීම සඳහා ජීවත් ව සිටීම තමන්ගේ කටයුතුවලට මහත් බාධාවක් මෙන්ම අවදානමක් බව යි. මේ අනුව ඔවුන් හෝඩුවාවන් ඉතිරි නොවන සේ ‘ඉවත්’ කිරීමේ මාර්ග සිතන්නට ඔහු පෙළැඹෙනවා.
ජෝන් හට ප්‍රංශ දාම ඝාතකයෙකු වූ ජෝජස් ඇලෙක්සැන්ඩ්‍රෙ සැරට් ගැන කියවන්නට ලැබෙන්නේ මේ අතර යි. ඔහු විසින් මරණයට පත් කරන ලද සියලුළු දෙනා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ දියකරනු ලැබ තිබුණා. මේ ක්‍රමය තමන්ට ද ගැළපෙන බැව් වටහාගත් ඔහු, ඉඩ ලද සෑම විට ම මීයන් වැනි සතුන් යොදාගෙන මේ ක්‍රමය අත්හදා බලන්නට ක්‍රියා කළා. බුද්ධිමතෙකු වූ ජෝන් මීයෙකු එම අම්ලයේ සම්පූර්ණ ලෙස දියවන්නට ගත වන කාලයට අනුරූප ව සම්පූර්ණ මානව ශරීරයක් දිය කරන්නට යන කාලය සාර්ථක ව ගණනය කළා. සාක්ෂ්‍ය මැකීම සඳහා මෙය ඉතා ප්‍රායෝගික විධික්‍රමයක් බැව් ඔහුට වැටහුණා.
පළමු ඝාතනය
වසර හතරක ඇවෑමෙන් නිදහස් වූ ජෝන් නැවතත් ලන්ඩනය බලා පැමිණියා. මේ වන විට ඔහු සිය ‘සාක්ෂ්‍ය ඉවත් කිරීමේ’ විධික්‍රමය පිළිබඳ හොඳින් ප්‍රගුණ කර තිබුණා. ඉක්මණින් ම ඔහුට ඉංජිනේරු සමාගමක ගිණුම් අංශයේ රැකියාවක් ලැබුණා.
සිය කටයුතු සිදුකරගෙන යන අතරතුර ජෝන්ට විලියම් මැක්ස්වෝන් නම් සිය පැරණි වෘත්තිය සිදුකළ සමයේ හාම්පුතෙකු මුණගැසෙනවා. මෙහි දී මැක්ස්වෝන් ජෝන්ට පවසන්නේ තමන් දැන් පෙරටත් වඩා දියුණු වී ඇති බව යි. ඔහු කෙරෙහි ජෝන්ට ඊර්ෂ්‍යාවක් ඇති වූ අතර, සිය ‘ක්‍රමය’ හා හා පුරා කියා අත්හදා බලන්නට මැක්ස්වෝන් ව තෝරාගන්නට ඔහු තීරණය කරනවා. වැඩිකල් යන්නට මත්තෙන් පාළු ස්ථානයක දී හිසට පහර දීමෙන් මැක්ස්වෝන් ඝාතනය කරන්නට හේ සමත් වන අතර, ඔහු ගැලුම් 40ක සාන්ද්‍ර සල්ෆියුරික් බැරලයක ගිල්වා දමනවා. දින දෙකකට පසු පරීක්ෂා කිරීමේ දී එම සිරුර සම්පූර්ණයෙන් ම දිය වී රාත්තල් සියයක පමණ ‘ජල්ලියක්’ බවට පත් වී තිබෙනු ඔහුට නිරීක්ෂණය වෙනවා. සිය පර්යේෂණ සාර්ථක වීම සම්බන්ධයෙන් අමන්දානන්දයට පත් වන ජෝන් සාන්ද්‍ර සල්ෆියුරික් බැරළය පොදු කාණුවකට හලා දමනවා.
තව තවත් ඝාතන
මැක්ස්වෝන් ඝාතනය කිරීමෙන් පසු ඔහු මැක්ස්වෝන්ගේ දේපළ පාලනය කරන්නට පටන් ගන්නවා. මැක්ස්වෝන්ගේ පවුලේ උදවියට ඔහු පවසන්නේ හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් මැක්ස්වෝන් තාවකාලික ව තමන්ට දේපළ පවරා රටින් බැහැර ගිය බව යි. කලක් ගත වුණ ද ඔහු නොපැමිණීම නිසා ඔහුගේ පවුලේ සාමාජිකයින් ඒ ගැන සොයා බලන්නට පටන්ගන්නවා. ඔවුන්ව ද ජෝන් විසින් ඝාතනය කෙරෙනවා. මේ හේතුවෙන් මැක්ස්වෝන්ගේ සියලු දේපළ තමන් සතු කරගන්නට ජෝන් ජෝර්ජ් හේ සමත් වෙනවා.
මැක්ස්වෝන්ගෙන් සොරාගත් මුදල් ද රැගෙන ජෝන් කෙන්සින්ටන් බලා යන්නේ සැපවත් ජීවිතයක් ගත කිරීමේ අටියෙනුයි. කෙසේ නමුත් සූදුවට හුරුවීම නිසා ඉක්මණින් ම ඔහුට ඒ මුදල අහිමි වෙනවා. මේ හේතුවෙන් තවත් ධනවත් යුවළක් ඝාතනය කරන්නට ඔහු පෙළැඹෙනවා.
මැක්ස්වෝන්ගේ පවුලේ උදවිය ඝාතනය කරන්නට ඔහු තෝරාගෙන තිබුණේ ග්ලොස්ටෂයරයේ වූ ගබඩාවකුයි. මෙය ඝාතන සිදුකරන්නට සුදුසු පාරිසරික සාධක රාශියක් තෘප්ත කරන බැව් ඔහු දැන සිටියා. මේ හේතුවෙන් ධනවතුන් වූ හෙන්ඩ්‍රසන් යුවළ ඝාතනය කරන්නටත් ඔහු මෙම ස්ථානය ම තෝරා ගන්නවා. ඝාතන 5ක් සාර්ථක ව සිදුකිරීමෙන් අනතුරුව ජෝන් සසෙක්ස් හි වඩා විශාල ගබඩාවක් මිලට ගන්නවා. එහි දී ද ඝාතන කිහිපයක් ම සිදුකරන්නට ඔහුට හැකිවෙනවා.
හසුවීම හා දඬුවම් කිරීම
සසෙක්ස් හි ගබඩාව ප්‍රමාණයෙන් විශාල වුව ද, එහි දී ඝාතන සිදුකිරීමේ දී ජෝන් මුහුණදුන් ප්‍රධානම ගැටළුවක් වූයේ අවශේෂ බැහැර කිරීමට සුදුසු කාණුවක් වැනි යමක් අසල නොවීම යි. ඒ නිසා ඝාතන සිදුකළ පසු ඒවා සල්ෆියුරික් අම්ලයේ දිය කිරීමෙන් පසු ලැබෙන අවශේෂය පසෙක ගොඩගසන්නට ඔහුට සිදුවුණා.
ජෝන්ගේ අවසන් ගොදුර වූයේ වැන්දඹුවක වූ ඔලිව් ඩුරාන්ඩ්-ඩීකන් නම් තැනැත්තිය යි. ඇය අතුරුදන් වූ බැව් ඇගේසමෙපතමයෙකු විසින් පොලිසියට දැනුම් දීමත් සමග පර්යේෂණ ඇරඹෙනවා. ඇය ජෝන් ආශ්‍රය කළ බැව් සැලවීමත් සමග ඔහුගේ පෙර වැරදි වාර්තා පිරික්සා බැලූවන ම පොලිසියේ සැකය ඔහු වෙත යොමුවෙනවා. ඔහු සතු වූ ගබඩා කාමරය පිරික්සීම සිදුවූයේ ඒ අනුව යි.
ගබඩා කාමරයේ තිබූ මිනිස් අවශේෂයන් ඔලිව්ට අයත් බැව් හෙළිවීමත් සමග ම ජෝන් ජෝර්ජ් හේ අත්අඩංගුවට පත්කරගන්නට පොලිසිය ක්‍රියා කරනවා. අනතුරුව වහා ම ඉදිරි පර්යේෂණ කටයුතු ඇරඹෙනවා.
ඉක්මනින් ම ජෝන්ට ‘Acid bath murderer’ ලෙස නාමයක් පටබැඳෙනවා. ඒත් සමග ම ඔහු මිනිස් රුධිරය පානය කිරීමේ මනෝභාවයකින් පෙළුණු බවටත් කටකතා පැතිරුණත්, එය තහවුරු වන කිසිදු සාක්ෂ්‍යයක් හමුවූයේ නැහැ.
ජෝන් ජෝර්ජ් හේට එරෙහි නඩු විභාගය ඉක්මනින් ම ඇරඹුණා. ජෝන් ඔහුට මානසික ආබාධයක් ඇති බැව් පෙන්වීමට උත්සාක කළත්, අවසානයේ ඔහුට මරණ දඬුවම හිමි වෙනවා. 1949 වසරේ අගෝස්තු මස 10 වැනි දා එය ක්‍රියාත්මක වෙනවා.