අතීතයේ සිදු වූ වැදගත් සිදුවීම් ගැන හාරා අවුස්සා බලන්න උත්සාහ කරන කෙනෙකුට සිංහල භාෂාව කියන්නේ එක්තරා ආකාරයක නිධාන ආකරයක් කියලා හිතන්න පුළුවන්. කාලයෙන් කාලයට සිංහල භාෂාව පාවිච්චි කරපු විවිධ පුද්ගලයන් නිසා මුලින් පැවති භාෂාවට වරින් වර අලුතින් එකතු වුණු “ස්ථර” ප්‍රමාණය දිහා බැලුවාම කාලයක් තිස්සේ එය මොන තරම් වෙනස්වීම්වලට ලක් වුණාද කියලා හිතෙනවා. මේ වගේ භාෂාමය ස්ථර හරහා අතීතය සොයා යන භාෂා විශේෂඥයන් එක අතකට පුරාවිද්‍යාඥයන් පිරිසක් කියලා හඳුන්වන්න පුළුවන්: ඔවුන් පොළොවේ පස් හාරනවා වෙනුවට භාෂාවේ ශබ්දකෝෂය හාරා අවුස්සලා සැඟවී තිබෙන නිධාන සොයා ගන්න උත්සාහ කරනවා.
කොහොම නමුත් එතැනිනුත් එහාට ගිහින් භාෂාව තුළ සැඟවුණු අතීත භාෂාවල හොල්මන් සොයන්නෙක්, නැත්නම් Ghost Hunter කෙනෙක් වුණොත්? සැබෑ ලෝකයේ හොල්මන් තියෙනවාද නැද්ද කියන එක අපිට නිශ්චිතව කියන්න බැරි වුණත් භාෂා ඇතුළේ නම් ඕනෑ තරම් පැරණි භාෂාවල හොල්මන් දකින්න පුළුවන්. කාලයකට ඉහතදී පැවති වෙනත් භාෂාවක් නිසා සැලකිය යුතු වෙනස්කම්වලට ලක් වෙලා, පසුව ඒ බලපෑම් කළ භාෂාව කිසිම සාක්ෂියක් නොතබා අතුරුදහන් වුණු බවක් දැනෙන විදිහේ අමුතුම වෙනස්කම් අද පවතින බොහෝ භාෂාවල දැක ගන්න ලැබෙනවා.
මෙන්න මේ වගේ ඉස්සර කාලේ අද පවතින භාෂාවලට ලොකු බලපෑම් කරලා, අද වන විට භාවිතයේ නැති භාෂා තමයි හොල්මන් භාෂා (Ghost Languages) කියා හැඳින්වෙන්නේ. අද අපි පාවිච්චි කරන සිංහල ශබ්දමාලාවෙන් (Lexicon එකෙන්) සැලකිය යුතු වචන පරාසයක දකින්න ලැබෙන හඳුනාගන්න අපහසු, අමුතු ස්ථර නිසා මේ අතීත භාෂාවන් අදටත් සිංහල භාෂාව තුළ හොල්මන් කරන බවක් පේනවා.
කොහෙන්ද පටන් ගන්නේ?
මහාවංශයට අනුව සිංහල භාෂාව බිහි වෙලා තියෙන්නේ “ලාල රටේ”, එහෙමත් නැත්නම් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය තුළදීයි. ශුද්ධම තත්ත්වයෙන් සලකා බැලුවාම බෙංගාලි භාෂාව වගේම සිංහල භාෂාවත් අයත් වන්නේ ආර්ය භාෂා කුලකයට බව ඔප්පු කරන්න පුළුවන්.
සිංහල භාෂාවේ මූලික ශබ්ද මාලාව ආර්ය එකක්. එහි තියෙන මූලික වචන -සිරුරේ අවයව, නෑදෑකම් හා සංඛ්‍යාත්මක වචන- සියල්ලේම ආර්ය ලක්ෂණ හොඳින් දකින්න ලැබෙනවා. කොහොම නමුත් මේ ආර්ය වචන ප්‍රමාණය ඉන් කොටසක් පමණයි. මේවායින් බොහෝ වචන ඉතා දිගු ඉතිහාසයකට නෑමක් කියන, සමහර අවස්ථාවල “පුරාතන ඉන්දු යුරෝපීය” (Proto-Indo-European) භාෂාවට පවා නෑකමක් ඇති ඒවා. පුරාතන ඉන්දු යුරෝපීය කියන්නේ ක්‍රිස්තු පූර්ව 4000දී විතර රුසියාවේ දකුණුදිග ප්‍රදේශවල භාවිත කෙරුණු බවට සැළකෙන කල්පිත භාෂාවක්. ඉරාන භාෂාව සහ ඉන්දියානු හා යුරෝපීය භාෂා බොහොමයක මව් භාෂාව විදිහටත් මෙය සැලකෙනවා. මේ සම්බන්ධකම තහවුරු කරන්න අපි සිංහල භාෂාවෙන් කියවෙන සරල වාක්‍යයක් ගනිමු. වාක්‍යය තමයි “දූගේ දත් දිගයි” කියන එක. වැඩි තේරුමක් නැති වාක්‍යයක් කියලා හිතුණත් සිංහල භාෂාව ඉන්දු යුරෝපියානු භාෂාවලට දක්වන සම්බන්ධය හඳුනා ගන්න මේක හොඳ උදාහරණයක්. දැන් වචනයෙන් වචනය (ප්‍රත්‍යය පමණක්) සලකලා බලමු.
සිංහල දූ දත් දිග
සංස්කෘත දූහිත්ර් දන්ත දීර්ඝ
පුරාතන ඉන්දු යුරෝපියානු ධුඝාතර් ඩෙන්ටේ දේලුගොස්
(Dhughater Dente Delugos)
(ඉංග්‍රීසියෙන්) Daughter Teeth Long
මේ නිසා සිංහල භාෂාවේ පාවිච්චි වෙන “දූ”, නැත්නම් “දුව” කියන වචනය ඇවිල්ලා තියෙන්නේ “දූහිත” කියන පාලි වචනයෙන්, එය පාලි භාෂාවට ඇවිත් තියෙන්නේ “දූහිත්ර්” කියන සංස්කෘත වචනයෙන්. මේ දූහිත්ර් කියන සංස්කෘත වචනය ඉතාම පහසුවෙන් පර්සියානු (වර්තමාන ඉරාන) “දූක්තර්” කියන වචනයට සම්බන්ධ බව දකින්න පුළුවන් වගේම ලන්දේසි (වර්තමාන නෙදර්ලන්ත) භාෂාවේ “දොච්ටර්” (Dochter) සහ ඉංග්‍රීසි භාෂාවේ “ඩෝටර්” (Daughter) කියන වචනයත් ඒවායෙන් බිඳී ආ බව ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේ සියලුම භාෂාවලින් “දුව” හඳුන්වන්න යෙදෙන වචනය පුරාතන ඉන්දු යුරෝපියානු “ධුඝාතර්” (Dhughater) කියන වචනයෙන් බිහි වූ ඒවා.
සිංහල භාෂාවේ එන “දත” කියන වචනය පාලි සහ සංස්කෘත භාෂාවල යෙදෙන “දන්ත” කියන වචනයෙන් ලැබුණු එකක්. (දැනටත් දත් ආශ්‍රිත කියන පදය වෙනුවෙන් දන්ත කියලා යොදා ගැනෙනවා) දතට ග්‍රීක භාෂාවෙන් කියන ඔඩොන්ට් (Odont), ලතින් භාෂාවෙන් කියන ඩෙන්ට් (Dent) සහ වෙල්ෂ් භාෂාවෙන් කියන ඩන්ට් (Dant) යන වචන තුනම “දන්ත” කියන වචනයට ඍජුවම සම්බන්ධයි. මේ හැම එකකම මූලාරම්භය වුණේ පුරාතන ඉන්දු යුරෝපියානු “ඩෙන්ටේ” (Dente) කියන වචනයයි.
සිංහලෙන් “දිග” කියලා කියවෙන මිනුම පාලි භාෂාවේ දීඝ යන්නෙන් බිඳී ආ එකක්. පාලි භාෂාවට ඒ වචනය ලැබුණේ සංස්කෘත භාෂාවේ “දීර්ඝ” කියන වචනයෙන්. ග්‍රීක භාෂාවේ “දොලිඛෝස්” (Dolikhos), හිටයිට් භාෂාවේ “දලූගාස්” (Dalugas) සහ රුසියානු භාෂාවේ “දොල්ගි” (Dolgi) කියන වචන තුනම මෙයට සම්බන්ධයි. ඒ හැම එකක්ම බිහි වුණේ පුරාතන ඉන්දු යුරෝපීය “දේලුගොස්” (Delugos) කියන වචනයෙන්.
කොහොම නමුත් මේ වගේ මූලික වචන අපේ ශබ්ද මාලාවේ එක්තරා කොටසක් විතරයි. මුල්ම සිංහල භාෂාව බිහි වුණේ බෙංගාලයේ සිට පැමිණි පුරාතන සිංහලයන්ගෙන් වුණත් සිංහල භාෂාව පුරාම දකුණු ඉන්දියාවෙන් වරින් වර පැමිණි ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් එකතු වුණු දෙමළ වචනත්, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඇතුළු යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ භාෂාවලින් එකතු වුණු වචනත් විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. ඒ වගේ දේශපාලනික කාරණා නිසා එකතු වුණු වචන වගේම වෙළඳාම නිසා අරාබි, පර්සියානු සහ මැලේ භාෂාවලින් එකතු වුණු වචනත් සිංහල භාෂාව තුළ යම් පමණකින් දැකගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට එකතු වුණා කියලා හඳුනා ගන්න පුළුවන් හැම වචනයක්ම ඉවත් කරලා බලමුකෝ. එහෙම කළත් ආරම්භය නිශ්චිත නැති සිංහල වචන සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වෙනවා. නිකමට අපි කල්පිතයක් විදිහට X කියන භාෂාවෙන් මේ වචන සිංහල භාෂාවට එකතු වුණා කියලා සලකමු. මේ පුරාතන භාෂාවෙන් ඉතා ඈත අතීතයක ඉඳලාම සිංහල භාෂාවට (විශේෂයෙන්ම පුරාතන සිංහලයට) වචන එකතු වුණා විය යුතුයි, මොකද මේ වචන රටේ එක් ප්‍රදේශයකට විතරක් සීමා නොවී රට පුරාම සිංහල කතා කරන අයගේ වහරට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ X කියන භාෂාව සහ එය කතා කරපු පිරිස ගැන හොයලා බලන්න අවශ්‍යයි. මේ අයව X ජනවර්ගය කියලා හරි, කැමති නම් විනෝදයට වගේ X-Men කියලාම හඳුන්වන්න පුළුවන්.
සැබෑ X-Men ලා.
නූතන ලංකා ඉතිහාසයේ ආරම්භය විදිහට සැලකෙන විජය කුමරු ආගමනයට කලින් ඉඳලාම ලංකාව තුළ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් ලෙස හැඳින්වුණු පිරිසක් සිටි බවට මහාවංශයේ දක්වා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 5 හෝ 6 සියවසේදී විජය කුමරු ඇතුළු ඔහුගේ පරිවාර සේනාව බටහිර බෙන්ගාල දේශයේ ඉඳලා මෙරටට පැමිණීමේ කතාව ගැන නොදන්නා ලාංකිකයෙක් නැති තරම්. ඒත් ලිපියේ මතු කරන කරුණු වෙනුවෙන් ඒක නැවතත් කෙටියෙන් මතක් කර ගනිමු. (මෙතැනදී “යක්ෂ” කියලා හැඳින්වෙන්නේ මිනිස් ගෝත්‍රයක් බව මතක තබා ගැනීම වැදගත්.)
බෙංගාල දේශයේ ඉඳලා ලංකාවට ආව විජය නම් ආර්ය කුමාරයා සහ ඔහුගේ පරිවාර පිරිස කුවේණී නම් යක්ෂ තරුණියක් එක්ක මිතුරු වෙනවා. ඇයගේ උදව් අරගෙන ඔවුන් ලංකාවේ යක්ෂ ගෝත්‍රයේ ඉහළ තලයේ බොහෝ දෙනෙක්ව සමූල ඝාතනය කරනවා. මේක සිදු වෙන්නේ “සිරිසවස්තු” කියන යක්ෂ ගම්මානයේ පැවැත්වෙන විවාහ උත්සවයකදීයි. විජය කුමාරයා කුවේණීව තමන්ගේ බිසව කරගෙන මෙරට පාලකයා වෙනවා. විජයට දාව කුවේණීට දුවෙක් සහ පුතෙක් ලැබෙනවා.
කොහොම නමුත් අභිෂේක මංගල්‍යය සඳහා තමන් වගේම ක්ෂත්‍රීය වංශික කුමාරිකාවක් අවශ්‍යයි කියන මතය නිසා පාණ්ඩ්‍ය රටෙන් එවැනි කුමාරිකාවක් ගෙන්වාගෙන යක්ෂ ගෝත්‍රික කුවේණීව අත හැර දමන්න විජයට සිදු වෙනවා. තමන්ගේ දරු දෙදෙනාත් එක්ක ආපසු ලංකාපුර කියලා හැඳින්වුණු ප්‍රදේශයේ සිටි තම නෑදෑයන් සොයා යන කුවේණී ජාතිද්‍රෝහී කම වෙනුවෙන් මරණයට පත් කෙරෙනවා. කුවේණීගේ දරු දෙදෙනා සුමන කන්දට පලා යන අතර ඔවුන් දෙදෙනාගෙන් “පුලින්දන්” කියලා හැඳින්වෙන ජන කොට්ඨාශය බිහි වෙනවා. අද අපි වැදි ජනතාව කියලා හඳුන්වන්නේ මොවුන්වයි.
ද්‍රෝහී කම සහ ජන සංහාරයක් ඇතුළු කණගාටුදායක කාරණා බොහොමයක් තිබුණත් මේ අතීත කතාව අපේ සාකච්ඡාවට ඉතාම වැදගත්. ඒ කතාවේ තියෙන ප්‍රබල කාරණාවක් තමයි ආර්ය ජාතිකයන් මෙරටට එන්න කලින් ලංකාවේ ජන කොට්ඨාශයක් වාසය කළ බව සහ ඔවුන් අද අපි දකින වැදි ජනතාවගේ මුල් පුරුක කියන එක. ඒත් ඇත්තටම මේකෙන් කියවෙන්නේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඉහළ දැනුමක් සහ ශිල්ප හැකියාවක් තිබුණු ඉහළ කුලවල පිරිස (මහා වංශයට අනුව විවාහ උත්සව පවත්වන, සංගීත වාදනය දන්නා, කපු කැටීමට ඉගෙන ගෙන සිටි පිරිස්) එහෙම පිටින්ම ඝාතනය කර දමලා, ඔවුන්ගේ පහළ කුලවල පිරිස පමණක් කඳු සහ වනාන්තර වෙත පළවා හැරලා ආර්යයන්ගෙන් බිහි වුණු සිංහල සමාජයෙන් ඉවත් කර දාපු බවද?
එහෙම නැහැ. ආක්‍රමණිකයන් වූ ආර්ය ජාතිකයන් සහ යක්ෂ ඇතුළු ස්වදේශික ගෝත්‍ර අතර ගැටුම් ඉතාම කෙටි කාලීන ඒවා වූ බව බොහෝ මූලාශ්‍රවල දැක්වෙනවා. විජය ආගමනයෙන් වැඩි කාලයක් යන්න කලින් මේ දෙපිරිස ඉතාම සුහදව කල් ගෙවපු බවට සාක්ෂි දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම පණ්ඩුකාභය රජතුමාගේ කාලයෙන් පසුව මේ දෙපිරිස අතර කිසිදු මහා පරිමාණ ගැටුමක් ඇති වූ බවට සාක්ෂි නැහැ.
මහාවංශයේ දැක්වෙන තොරතුරු අනුව චේතියා කියලා යක්ෂණියක් තමන්ගේ නුවණ මෙහෙයවලා පණ්ඩුකාභය කුමාරයට රජකම ලබා ගන්න උදව් වෙලා තිබෙනවා. මෙරට වැඩිම කාලයක් රජකම් කළ පණ්ඩුකාභය රජුට රජකම ලබා ගැනීමට පවා යක්ෂ ගෝත්‍රිකයන් උදව් කළ බව එයින් හිතා ගන්නට පුළුවන්. ඒ වගේම චිත්තරාජ කියලා තවත් යක්ෂ ගෝත්‍රිකයෙක් වෙනුවෙන් උත්සව අවස්ථාවලදී පණ්ඩුකාභය රජතුමා තමන් සමග සම මට්ටමේ ආසනයක් පනවා තැබූ බවත් සඳහන් වෙනවා. මේ හැම දේකින්ම පෙනී යන්නේ අතීතයේ ඇති වුණු ගැටුම අමතක කරලා යක්ෂ ගෝත්‍රිකයන් එක්ක මිත්‍ර වීමත්, ඒ මිත්‍රත්වය පොදු ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමත් ආර්ය පාලකයන් වැදගත් කොට සලකපු බවයි.
ඉතින් දැන් ආයෙත් මාතෘකාවට එමු. ඉහත කියපු කාරණා සියල්ල සලකා බැලුවාම සමහර විට සිංහල භාෂාවට විශාල වචන ප්‍රමාණයකින් දායක කරමින් අදටත් ඒ ඇතුළේ හොල්මන් කරන X භාෂාව ඇත්තටම යක්ෂ ඇතුළු ස්වදේශික ගෝත්‍රිකයන්ගේ භාෂාව වෙන්නත් ඇති. (එහෙම බලාගෙන ගියාම කුවේණිත් X – Men කෙනෙක්!)
අපේ භාෂාවේ අැති හොල්මන් කොටස්
අද කාලයේ වැද්දන් කතා කරන භාෂාව නූතන සිංහල, පුරාතන සිංහල වගේම ආර්යත් නොවන, ද්‍රවිඩත් නොවන අමුතුම භාෂාවකුත් අඩංගු එකක්; මේ අතිරේක කොටස වැද්දන් පැවත එන (අර්ධ වශයෙන්) යක්ෂ ගෝත්‍රිකයන්ගේම භාෂාවෙන් බිඳී අා එකක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ආර්යයන්ගෙන් ලැබුණු සිංහල ශබ්ද මාලා කොටස ඇත්තටම සැලකිය යුතු තරම් විශාල එකක්; මේක ස්වදේශීය ජනතාව මත විදේශිකයන් විසින් කාලයක් පුරාවට බලෙන් පටවන ලද්දක ප්‍රතිඵලයක් කියලත් හිතන්න පුළුවන්. භාෂා විද්‍යාවේ මේ තත්ත්වය හඳුන්වන්නේ “Superstrate” එකක්, එහෙමත් නැත්නම් “අතිස්ථරයක්” කියලයි. එයින් අදහස් වෙන්නේ ජනතාවගේ භාෂාවකට පාලකයන්ගේ භාෂාවක ඇති වචන එකතු වීම සහ/හෝ ජනතාවගේ භාෂාවේ පවතින වචන වෙනුවට පාලකයන්ගේ භාෂාවේ වචන ආදේශ වීම කියන එකයි. (භාෂාව මත අලුත් ස්ථරයක් ඇති වීම) අනිත් අතට සිංහල භාෂාවේ “Substrate” එකක්, එහෙමත් නැතිනම් “උපස්ථරයකුත්” දකින්න ලැබෙනවා. පාලකයන්ගේ භාෂාවට ස්වදේශිකයන්ගෙන් ලැබුණු වචන එක් වීම සහ/හෝ පාලකයන්ගේ පවතින වචන වෙනුවට ජනතාවගේ වචන ආදේශ වීම මෙහි අදහසයි. (භාෂාවකට පහළින් ස්ථරයක් ඇති වීම)
අද වන තුරුත් වැදි භාෂාව තුළ පුරාතන කාලයේ පැවතුණු භාෂාවක ශේෂයන්ගේ පැහැදිලි ලක්ෂණ දකින්න ලැබෙනවා. මේ පුරාතන භාෂාවට අයත් කියලා හඳුනා ගැනුණු සමහර වචන අදටත් භාෂා විශේෂඥයන්ගේ අවධානයට පාත්‍ර වෙනවා. ඒවායින් කිහිපයක් විදිහට “ටුටා” (පුතා), “ටුටී” (දුව), “ටොම්බා” (ගොළුබෙල්ලා), “කුක්කා” (බල්ලා), “කොක්කා” (වඳුරා), “මුන්ඩා” (තලගොයා), “දොලා” (ඌරා), “චප්පි” (කුරුල්ලා), “කදිරා” (වවුලා), “බගුසා” (කබල්ලෑවා), “පොම්බාන” (අහස), “ගොම්මන” (සවස), “ගබියාචි” (යකඩ), “මෝරු” (දිලීර) සහ “බොක්කි” (අල වර්ග) වගේ වචන පෙන්වා දෙන්න පුළුවන්.
වැදි භාෂාවෙන් බල්ලාට කියන “කුක්කා” සහ කුරුල්ලාට කියන “චප්පි” වැනි වචන බොහෝ විට ඉතාම පැරණි ඒවා වෙන්න ඉඩ තියෙනවා. මේවා සමහර විට ඉන්දියාව සහ ගිණිකොනදිග ආසියාවේ වෙසෙන අනෙකුත් කළු පැහැ සමක් සහිත ජන කොටස්වල භාෂාවන්ට සමානකමක් දක්වනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට “කුක්කා” කියන වචනය බල්ලා හඳුන්වන මුණ්ඩ භාෂාවේ වචනය වන “චුක්කු” යන්නට සමානකමක් දක්වන බව පේනවා. මෙය අතීත ඉන්දියාවේ මීට කාලයකට පෙර භාවිත වුණු භාෂාවක්. ඒ වගේම “චප්පි” කියන වචනය මලයා අර්ධද්වීපයේ භාවිත කෙරෙන “සකායි” භාෂාවේ කුරුල්ලාට යෙදෙන “චේප්” කියන වචනයට නෑකමක් දක්වනවා.
මේ සියලුම පුරාතන වචන වැදි භාෂාව තුළ වඩා හොඳින් සුරැකිලා තිබුණත් වැදි භාෂාව තුළ වගේම සිංහල භාෂාවේත් පවතින මේ ආර්යයානු නොවන භාෂා කොටස් ඇත්තටම වැද්දන්ගේම පුරාතන වහරකින් බිඳී ආපු ඒවා වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි තවමත් බලු පැටවුන් හඳුන්වන්න “බලු කුක්කා” කියන වචනයත්, සවස සහ රාත්‍රිය අතර කාලය හඳුන්වන්න “ගොම්මන / ගොම්මන් අඳුර” වගේ වචනත් පාවිච්චි කරනවා. බඩවැල් ආශ්‍රිත කොටස් හඳුන්වන “බොකු” කියන වචනයත් ඇත්තටම වැද්දන්ගෙන් ලැබුණු එකක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. නැගෙනහිර ඉන්දියාවේ මුණ්ඩ කාණ්ඩයේ භාෂාවක් වන “සංතලී” භාෂාවෙන් හදවත හඳුන්වන්නේ “බොකෝ” කියලයි. මේ හැම වචනයකම මුල් වචනය සිරුරේ ඇතුළු කොටස් (පපුව සහ උදර කුහරය තුළ ඇති සියලු අවයව) හඳුන්වන්න පාවිච්චි වුණා වෙන්න පුළුවන්.
ඇත්තටම අපි මෙතෙක් කතා කරපු X නැමැති හඳුනා නොගත් භාෂාවේ බලපෑම සැලකිය යුතු ලෙස වර්තමාන සිංහල භාෂාවේ පවා දකින්න ලැබෙනවා. ඉතා බහුලව යෙදෙන මේවාට සමහර අවස්ථාවල වෙනත් වචනයක් නැති තරම්. කොළ (පත්‍ර), ගෙම්බා, හක්ක, බෙල්ල, බොකුටු (වක ගැසුණු), බිළිඳා, බොළඳ, ගොල්ල (කුඩා කැලෑව) ඇතුළු වචන බොහොමයක් පුරාතන ඉන්දු යුරෝපියානු භාෂාවටවත්, ද්‍රවිඩ භාෂාවට හෝ ඉංග්‍රීසි, ලන්දේසි සහ පෘතුගීසි භාෂාවන්ටවත් කිසිසේත්ම සම්බන්ධ වෙන වචන නෙවෙයි.
මේ හැම එකකින්ම දකින්න ලැබෙන දෙයක් වෙන්නේ සිංහල භාෂාවත් ලොව අනෙකුත් බොහෝ භාෂාවන් වගේම පරිණාමයට පත් වුණු එකක් කියන එකයි. තනිකරම ශුද්ධ සිංහල ඇත්තටම අද අපිට හඳුනා ගන්නවත් බැරි තරමට වෙනස් ඇති. මේක ඉතා ඈත අතීතයේ ඉඳන්ම විවිධ වෙනස්කම්වලට ලක් වී අද පවතින තත්වයට ආපු භාෂාවක්. ඒ බව පෙන්වන, අනෙක් භාෂාවන්ගෙන් බිඳී ආ බවට පැහැදිලිවම පෙනෙන වචන විශාල ප්‍රමාණයක් සිංහල භාෂාව තුළ අන්තර්ගතයි.
කොහොම නමුත් මේ මිශ්‍ර වීම, වෙනස් වීම සහ පරිණාමය වීම වැරදි දෙයක් නෙවෙයි. කාලයෙන් කාලයට වෙනස් වෙමින්, අවශ්‍යතාවන්ට අනුව හැඩ ගැසෙමින් පැවතීම ඕනෑම ජීවී භාෂාවක ලක්ෂණයක්. සිංහල භාෂාවත් ඒවාට මුහුණ දෙමින් අදටත් ජීවී භාෂාවක්ව පවතින එක ගැන අපි ආඩම්බර විය යුතුයි.
කවරයේ රූපය : (flickriver.com)
Roar Life හි ඉංග්‍රීසි බසින් පළ වූ මුල් ලිපියේ මෙම සිංහල පරිවර්තනය ඉන්ද්‍රජිත් ගමගේ ගෙනි.