ඩැනියෙල් ඩිෆෝ විසින් රචනා කළ සුප්‍රකට රොබින්සන් කෲසෝ නවකතාව ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්.1719 දී රචනා කෙරුණු ඒ නවකතාවට පදනම් වුණේ මහමුහුදේ අතරමංව හුදෙකලා දුපතක කල් ගෙවූ රොබින්සන් කෲසෝ නම් නාවිකයා මුහුණ දෙන බිහිසුණු සහ ත්‍රාසජනක සිදුවීම් දාමයක්. එම කෘතිය පාදක කරගෙන පසු කාලයේ දී සිනමාපට මෙන්ම රූපවාහිනී මාලා නාටකද නිර්මාණය කෙරුණු බව ඔබට මතක ඇති.
බොහෝ දෙනෙක් රොබින්සන් කෲසෝ යනු ඩිෆෝ ගේ සිතේ මැවුණු මනඃකල්පිත චරිතයක් ලෙස සිතුවත් එම චරිතය සඳහා පාදක වූවා යයි සැලකෙන චරිත කිහිපයක් ගැනද වරින්වර ලෝක අවධානය යොමු වුණා. එසේම රොබින්සන් කෲසෝගේ ඉරණමට සමාන ඉරණමකට ලක්වූ පුද්ගලයන් ගැනද මෑතකදී වාර්තා වූ බවත් ප්‍රකට කරුණක්.
චරිතාපදානයක් ලෙස ගලා යන රොබින්සන් කෲසෝ නවකතාවට අනුව කෲසෝ වසර 28 ක පමණ කාලයක් හුදෙකලාව දිවි ගෙවන්නේ ට්‍රිනිඩැඩය අසල පාලු දූපතකයි. කැරලිකරුවන්, වහලුන් සහ මිනීමස් කන්නන් සමග ගෙවන ඔහුගේ ජීවිතය මානුෂීයත්වයේ අපූර්ව පැතිකඩක් විවර කරවන්නක්.
කෲසෝ ගේ චරිතයට සැබවින්ම පාදක වී ඇත්තේ ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් නම් 1676-1721 අතර කාලයේ ජීවත් වූ ස්කොට් ජාතික නැවියකු බව බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. ඔහු දකුණු පැසිපික් සාගරයට අයත් දූපතක වසර හතරක් සහ මාස හතරක කාලයක් ජීවත් වී ඇත්තේ ඔහුගේ නැවේ කපිතාන් වරයා විසින් ඇලෙක්සැන්ඩර්ව එහි අතරමං කර යාම හේතුවෙනුයි. මෙම දූපත වර්තමානයේ චිලී රාජ්‍යයට අයත් වන අතර 1966 වසරේදී එය රොබින්සන් කෲසෝ දිවයින ලෙසින් ද නම් කරනු ලැබුවා.
ප්‍රකට දේශාටක විලියම් ඩම්පියර්ගේ පරිවාර නෞකාවක සේවය කළ ඇලෙක්සැන්ඩර් සහ පිරිස ප්‍රංශය හමුදා සමග වූ ගැටුමකින් පරාජය ලැබීමෙන් පසු ඩම්පියර් වෙතින් වෙන්ව ඇත්තේ මත ගැටුමක් හේතුවෙනුයි. ඉන්පසු කපිතාන් ස්ට්‍රැන්ඩින් සමග ඔවුන්ගේ නැව වෙන්ව ගමන් කර ඇති අතර නැවේ අබලන් තත්වය යටතේ එය ධාවනය කිරීම සම්බන්ධයෙන් එවකට පළපුරුදු නැවියෙකු වූ ඇලෙක්සැන්ඩර් සහ කපිතාන් අතර වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
ඉන්පසු කපිතාන් විසින් ඇලෙක්සැන්ඩර් අසල ඇති දුපතක දමා යාමට තීරණය කර ඇති අතර ඔහු වෙනුවෙන් කෑම ස්වල්පයක්, පොරවක්, පිහියක් සහ බයිබලයක් පමණක් තබා ගිය බවත් සඳහන්. එය පාලු දුපතක් බව තේරුම් ගත් ඇලෙක්සැන්ඩර් තමා නැවත නැවට නංවා ගන්නා ලෙස ඉල්ලා ඇති නමුත් ඒ සියල්ල කපිතාන් විසින් ප්‍රතික්ෂේප කර ඔහුව එහි දමා යාත්‍රා කර ඇත්තේ සිය නාවිකයාගේ ඉරණම ඔහුටම භාර කරමින්.
ඇලෙක්සැන්ඩර් ගේ මතය සනාථ කරමින් ඔවුන් පැමිණි නැව මුහුදේ ගිලී ඇති අතර ඉන් බේරුණු නාවිකයන් ස්පාඤ්ඤ නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වී ඇති බවත් පසුව ඔවුන් සිරගත කෙරුණු බවත් ඉතිහාසයේ සඳහන් වනවා.
තමා බේරා ගැනීමට යමෙකු පැමිණෙන තෙක් පාලු දූපතේ දිවි ගෙවීම ඇරඹු ඇලෙක්සැන්ඩර් සෙමෙන් ඊට හුරුව ඇති අතර කැලෑ ආහාර වලට පුරුදු වීමටත් සත්ව උවදුරු වලට මුහුණ දීමටත් ඔහුට සිදුව තිබෙනවා. තමා සතුව තිබූ සීමිත සම්පත් වලින් ආයුධ කිහිපයක් තනා ගත් ඔහු ඒවා සිය ආරක්ෂාවට මෙන්ම කෑම බීම සපයා ගැනීමටද යොදාගෙන ඇති බවත් සඳහන්. දූපතේ සිටි එළුවන් ඔහු විසින් ආහාරයට ගෙන ඇති අතර අහාර සඳහා කළ අරගලයන්හිදී සිදුවූ තුවාල හේතුවෙන් දින ගණනාවල් මරු සමග සටන් කරමින් වේදනා විඳ ඇත්තේ කෙදිනක හෝ නැවත සිය රට බලා යාමේ අරමුණ කිසිසේත් අත් නොහරිමින්.
ළමා වියේදී ඔහුගේ පියාගෙන් ඉගෙනගත් යම් යම් දෑ දුපතේ ගතකළ කාලය තුළ ඇලෙක්සැන්ඩර්ට අතිශයින් වැදගත් වූ බවත් සත්‍යයක්. ඔහු දූපතේ සිටි කාලයේදී එයට නැව් දෙකක් පැමිණ ඇති අතර ඒ දෙකම ස්පාඤ්ඤ නැව් වීම හේතුවෙන් ඇලෙක්සැන්ඩර්ට ඔවුන්ගෙන් වසන් වෙමින් දිවි බේරා ගැනීමට සිදුවීමත් විශේෂත්වයක්. වරක් ඔහු තමා පසුපස පැන්නූ ස්පාඤ්ඤ බට පිරිසකගෙන් බේරී ඇත්තේ ගසක වූ හුඹහක් තුළට රිංගමිනුයි.
වසර හතරකට පසු ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතය නැවත ඔහු සොයා පැමිණියේ විලියම් ඩම්පියර්ගේ නැවක් ලෙසින්. තෝමස් ලෝඩි නම් නැවියා ඇලෙක්සැන්ඩර්ට මුලින් හමු වී ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ සතුට කඳුළු බවට පත්ව උතුරා ගොස් ඇත්තේ වසර හතරක කාලයක් කිසිම මිනිස් ඇසුරක් නොමැතිව ජීවත් වීමේ වෙහෙසද සමගින්. වුඩ්ස් රොජර් නම් කපිතාන් වරයා එම නැව මෙහෙයවා ඇති අතර ඇලෙක්සැන්ඩර්ගේ කතාව ඇසූ ඔහු සියල්ල තේරුම්ගෙන තමන් සමග ඇලෙක්සැන්ඩර් රැගෙන යාමට කැමැත්ත පළකර තිබෙනවා. පසුව ඔහු ‘ඩියුක්’ නම් එම නැවේ දෙවැනියා බවට පත් කිරීමටද කපිතාන් කටයුතු කර ඇත්තේ ඇලෙක්සැන්ඩර්ගේ ජ්‍යෙෂ්ඨත්වය සලකමින්.
නැවත එංගලන්තයට පැමිණි පසු ඇලෙක්සැන්ඩර්ගේ කතාවට එරට තුළ විශාල අවධානයක් යොමුව ඇති අතර එඩ්වර් කුක් නම් නාවිකයකු විසින් රචිත ‘A Voyage to the South Sea and Round the World’ නම් ග්‍රන්ථයේ පළමු වරට එම සිදුවීම පළවූ බවත් පැවසෙනවා. ඉන්පසු තවත් පුවත්පත් සහ ග්‍රන්ථ කිහිපයක දූපතේ හුදෙකලා වූ නාවිකයාගේ කතාව පළ වූ බැවින් එවකට ඔහු එරට ජනප්‍රිය චරිතයක් වූ බවත් සඳහන්.
පසුකලෙක මුහුදු කොල්ලකෑම් වලට මෙන්ම විවිධ ගුටි බැට හුවමාරුවීම් වලටද සම්බන්ධ වෙමින් සිය ජීවිතයේ පසු කාලය ගතකළ ඇලෙක්සැන්ඩර් කහ උණ රෝගයට ගොදුරු වීම හේතුවෙන් මුහුද මැදදීම මිය ගොස් තිබෙනවා.
ඩිෆෝ විසින් රොබින්සන් කෲසෝ නවකතාවට පදනම් කරගැනීමට අමතරව ඇලෙක්සැන්ඩර්ගේ චරිතය තවත් සාහිත්‍ය කෘති කිහිපයකට පදනම්ව තිබෙනවා. ඒ අතර විලියම් කවුපර් ගේ The Solitude Of Alexander Selkirk, චාල්ස් ඩිකන්ස් ගේ The Pickwick Papers, ජෝසුවා ස්ලෝකම් ගේ Sailing Alone Around the World ආදියට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්.
Cover- wikiart.org
මූලාශ්‍ර
bookpalace.com