ප්‍රමිතිය දැනගෙන භාණ්ඩ ගමු

අපි අපගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා වෙළඳපොළෙන් භාණ්ඩ මිල දී ගනියි. එසේ මිල දී ගන්නා විට එළවළු හා පලතුරු ආදියෙහි තත්ත්වය ගැන බාහිර​ පෙනුමෙන් අපට යම් අවබෝධයක් ලබා ගත හැකි යි. නමුත් ඇසුරුම් කළ භාණ්ඩවල දී අපට එසේ කළ නොහැකි යි. ප්‍රමිති සහතික අපට උපකාර වන්නේ මෙම අවස්ථාවේ දී ය. ප්‍රමිතියකින් සිදු කෙරෙන්නේ යම් භාණ්ඩයක, ආයතනයක හෝ සේවාවක ගුණාංග හා ලක්ෂණ ගැන සහතික කිරීම යි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

ලංකාවේ භාණ්ඩ හා සේවාවලට ප්‍රමිති සහතික ලබා දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟිනි. 1965 දී මෙය ආරම්භ වූයේ ලංකා ප්‍රමිති කාර්යාංශය නමිනි. 1984 දී එහි නම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ලෙස වෙනස් විය. හොඳ ප්‍රමිතියකින් යුතු භාණ්ඩ හා සේවා සැපයීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා දීම, භාණ්ඩ පරීක්ෂා කිරීමට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සැපයීම ආදී අරමුණු මුල් කරගෙන මෙම ආයතනය බිහි වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අංශ කිහිපයක් යටතේ ප්‍රමිති සම්පාදනය කරයි. ඒවා නම්, රසායනික ද්‍රව්‍ය, සුවඳ විලවුන් හා බහුඅවයවික ප්‍රමිති (බහුඅවයවික ලෙස සඳහන් කර ඇත්තේ ප්ලාස්ටික් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන වේ), කාඩ්බෝඩ් හා ඇසුරුම් ප්‍රමිති, රෙදිපිළි හා පාවහන් ප්‍රමිති, කෘෂිකාර්මික ප්‍රමිති, ඉංජිනේරු ප්‍රමිති හා සමාජීය අවශ්‍යතා සඳහා ප්‍රමිතින් වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (slsi.lk)

ප්‍රමිති ආයතනයෙන් සැපයෙන සේවා

ප්‍රමිති ආයතනයෙන් සේවාවන් බොහොමයක් මහජනතාව සඳහා සැපයේ. ඒවා නම්, මූලිකවම ප්‍රමිති සකස් කිරීම, භාණ්ඩ පරීක්ෂා කිරීමට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සැපයීම, මිනුම් උපකරණවල පාඨාංක නිවැරදි දැ යි පරීක්ෂා කිරීම, ප්‍රමිතිකරණය හා තත්ත්වය පිළිබඳ තොරතුරු ප්‍රමිති ආයතනයේ පුස්තකාලයෙන් නොමිලයේ ලබා ගැනීමට පහසුකම් සැලසීම, භාණ්ඩ සහතිකකරණය කිරීම, වාර්ෂිකව ජාතික තත්ත්ව සහතික පිරිනැමීම, තත්ත්ව කළමනාකරණය ගැන විවිධ පුහුණු පාඨමාලා පැවැත්වීම, අනිවාර්ය ආනයන පරීක්ෂා ක්‍රමය යටතේ නියම කර ඇති භාණ්ඩ තොග සඳහා අනුමැතිය ලබා දීම, අපනයනය කෙරෙන මුහුදු ආහාර ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම වේ.

ලංකාවේ ප්‍රධාන ප්‍රමිති සහතික

දැන් අපි ලංකාවේ ප්‍රධානතම ප්‍රමිති සහතික කිහිපයක් ගැන සොයා බලමු.

SLS – අදාළ ප්‍රමිතියට අනුව භාණ්ඩ නිෂ්පාදනය කර ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහතික වන බව මෙම සහතිකයෙන් කියැවේ.

SLS ISO 9001 – හොද තත්ත්වයෙන් යුතු ක්‍රියා පද්ධතියක් පවත්වාගෙන යන ආයතනවලට මෙම සහතිකය පිරිනැමේ.

SLSI ISO 14001 – හොඳ පරිසර කළමනාකරණ පද්ධතියක් ඇති ආයතන සඳහා මෙම සහතිකය හිමි වේ. පරිසරයට හානියක් නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නම් මෙම සහතිකය එම ආයතනවලට ලබාගත හැක.

SLSI ISO 14001 ප්‍රමිති සහතිකය. (cicagri.com)

SLSI ISO 22000 – මෙය ආහාර සුරක්ෂිතතාව පිලිබඳ තත්ත්ව සහතිකයකි.

SLS 1266 –  ආහාර නිෂ්පාදන ආයතනයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ උපද්‍රව විශ්ලේෂණ හා සුක්ෂම ස්ථාන පාලන පද්ධතිය SLS 1266  ප්‍රමිතියට අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහතික වන බව.

SLS HACCP – ආහාර ද්‍රව්‍යයක් සකස් කරන විට සෑම අංශයක්ම ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යන බවට කෙරෙන සහතිකයකි.

SLSI ENERGY RATING – මෙම සහතිකය හිමිවන්නේ භාණ්ඩයක කාර්යක්ෂමතාව සඳහා ය. ප්‍රමිති ආයතනය විසින් සහතික කරනු ලැබූ කාර්යක්ෂම බව අදාළ භාණ්ඩයට තිබේ නම් තරු තුනක් හිමි වේ. කාර්යක්ෂම බව වැඩි නම් ක්‍රම ක්‍රමයෙන් තරු ගණන වැඩි වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෑතක දී භාණ්ඩ හා සේවා තුනක් සඳහා ප්‍රමිති සහතික අනිවාර්ය කර තිබේ. ඒවා නම් හෙල්මට්, පානීය ජල බෝතල් හා ආහාර සැකසුම් ස්ථාන ය. ආරක්‌ෂක හිස්‌වැසුම් (හෙල්මට්‌) සඳහා වන ප්‍රමිතිය SLS 517 අංකය යටතේ ද, ඇසුරුම් කළ පානීය ජල බෝතල් SLS 1336 2008 යටතේ ද, ආපනශාලා GMP (යහපත් නිපැයුම් පරිචයන්) සහතිකය යටතේ ද ප්‍රමිතිගත වේ.

SLSI ENERGY RATING සහතිකය. (slsi.lk)

අන්තර්ජාතික ප්‍රමිති ආයතනය හා ප්‍රමිති දිනය

අන්තර්ජාතික ප්‍රමිති ආයතනය සෑදී ඇත්තේ ප්‍රමිති ආයතන තුනක එකතුවකිනි. අන්තර්ජාතික ප්‍රමිති සකස් කරන්නේ ලොව සෑම රටකටම සරිලන පරිදි යි. ජාත්‍යන්තර ප්‍රමිති දිනය යෙදෙන්නේ ඔක්තෝබර් 14 වන දිනට යි. එය රටවල් විසිපහක නියෝජිතයන් ලන්ඩන් නගරයට එක්රැස්ව 1946 දී සාකච්ඡා කර යොදා ගත් දිනයකි. නමුත් ප්‍රමිති දිනය උත්සවාකාරව සැමරුවේ 1970 දී ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඔක්තෝබර් 14 වන දිනය අයත් සතිය ‘ජාතික තත්ත්ව සතිය’ ලෙස නම් කර තිබේ. සමහර රටවල් ජාත්‍යන්තර ප්‍රමිති දිනය වෙනත් දිනවල සමරන අතර කැනඩාව ඔක්තෝබර් 12 වන දින ද, එක්සත් රාජධානිය ඔක්තෝබර් 11 වන දින ද, එය සැමරීම නිදසුන් ලෙස ගත හැක.

මූලාශ්‍රයයන්:

විජය හා මිහිර පුවත්පත

www.slsi.lk

කවරයේ පින්තූරය – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යාගාරය ඇතුළත. (slsi.lk)

Related Articles

Exit mobile version