මුසෝලිනීගේ දිවියෙහි අවසන් පැය කිහිපය ගෙවුණු හැටි

බෙනිටෝ මුසෝලිනී 1945 වසරේ අප්‍රේල් මස 28 වනදා ඉතාලියේ ගුලීනො දි මැසේග්‍රා හී දී ඝාතනයට ලක් වුණා. ෆැසිස්ට්වාදියකු වූ මුසෝලිනී දෙවන ලෝක යුද සමයේ දී හා ඊට පෙර ඉතාලිය පාලනය කළ අතර, ඔහු ඉතාමත් දැඩි මෙන්ම දරුණු නායකයෙක් හැටියට සැලකෙනවා. මුසෝලිනී ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුත් සමඟ උරණව සිටි ජනතාව ඔහුගේ සහ ඔහුගේ පෙම්වතිය ගේ මළසිරුරුවලට විවිධාකාරයේ හානි පමුණවන්නට වූ අතර අවසානයේ ඉතා අපහසුවෙන් ඔවුන්ගේ සිරුරු ආරක්ෂිත ස්ථානයකට ගෙන මිහිදන් කෙරුණා.

බෙනිටෝ මුසෝලිනී සිය පාලන සමය තුළ තම විරුද්ධවාදීන් රාශියක් කුරිරු ලෙස මර්දනය කර තිබෙනවා. අවසානයේ ඔහුට ද දෛවෝපගත ලෙස එවැනි ම ඉරණමකට ලක්වන්නට සිදුවුණා. මේ ඔහුගේ දිවියේ අවසන් පැය කිහිපයේ සිදු වූ සිද්ධි දාමය පෙළගැසුණු ආකාරය යි.

 බෙනිටෝ මුසෝලිනී- Wikimedia Commons

 

ආඥාදායකයකුගේ කඩාවැටීම

දෙවන ලෝක යුද්ධය ඇරඹී කෙටි කලක් ගත වන විට ම බෙනිටෝ මුසෝලිනී ගේ ක්‍රියා කලාපය පිළිබඳ ව බහුතර ඉතාලි ජනතාවගේ සිත් සතන් තුළ අප්‍රසාදයක් පැන නැඟුණා. මුසෝලිනීගේ අත්තනෝමතික, යුදමය සහ ප්‍රචණ්ඩ ක්‍රියාකලාපය නිසා ඉතාලි ජනතාවටත් දැඩි ගැහැට විඳින්නට සිදු වී තිබුණා. ඔවුන් එරට රජු තෙවන වික්ටර් එමානුවෙල් රජු වෙත බලපෑම් කළේ මේ දරදඬු පාලකයා බලයෙන් පහ කරන ලෙස යි. මෙම බලපෑම් දිනෙන් දින වැඩි වූ නිසා රජු හා ඔහුට ළැදි ඉහළ බලධාරීන්, 1943 වසරේ ජූලි මාසයේ දී නිල වශයෙන් මුසෝලිනී අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කරනවා. මේ වන විට මුසෝලිනී අත්පත් කර ගත් උතුරුදිග අප්‍රිකාවේ බිම්කඩ කිහිපය නැවත ඔවුනට අහිමි ව තිබූ අතර, සිසිලිය ද සතුරු හමුදා අතට පත් ව තිබුණා. එම හමුදා ඉතාලි ආක්‍රමණයකට ද සූදානම් වෙමින් සිටියා. මේ සියලු ගැහැට හා අවදානම් තත්ත්ව ඇතිවූයේ මුසෝලිනී නිසා බවට තීරණය කළ රජු ඔහු සිරභාරයට ගෙන පිටිසර හෝටලයක සිර කර තබනවා.

මුසෝලිනීට හිතවත් ජර්මානු හමුදා මේ අවස්ථාවේදී ඔහු ගලවා ගන්නට ඉදිරිපත් වන අතර, ගුවන් මෙහෙයුමක් සිදුකර, ඔහු මුදා ගෙන මියුනිච් වෙත ගෙන යන්නට ඔවුන් සමත් වෙනවා. මුසෝලිනී ඒ අනුව හිට්ලර් සමඟ එක් වෙනවා. එහිදී ඔහු හිට්ලර් සමඟ සාකච්ඡාවක් සිදු කරන අතර, හිට්ලර් ඔහුට පවසන්නේ ඉතාලිය තුල ෆැසිස්ට් රාජ්‍යයක් පිහිටුවන ලෙස යි. තමන් ඒ සඳහා උපරිම සහාය දෙන බැව් හිට්ලර් පවසනවා.

විරුද්ධවාදීන් සියල්ල විනාශ කරමින්

මේ අනුව ඔද වැඩුණු මුසෝලිනී ඉතාලියට නැවත එන්නේ, සිය සතුරන් මර්දනය කොට ඉතාලිය තනිකර ම සිය ආධිපත්‍යයට ගැනීමේ අභිලාෂයෙනු යි. ජර්මානු හමුදා ද ඔහු සමඟ පැමිණි අතර, ඉතාලියේ වූ තම විරුද්ධවාදීන් සියල්ල විනාශ කරමින් ඔහු ඉදිරියට ඇදෙනවා. මෙහිදී ෆැසිස්ට්වාදය නොරිස්සූ සාමාන්‍ය වැසියන් ද ඔහු ඝාතනය කළ අතර, ඉතාලි නොවන සියලු ජනයා රටින් නෙරපූවා. උතුරුදිග ඉතාලිය ඔහු සිය ග්‍රහණයට ඉක්මනින් ම නතු කර ගත්තේ ඉතාලි රජුට හා ජනතාවට ද එරෙහි ව යමිනු යි.

1944 වසරේ අගෝස්තු මස 13 වනදා ඉතාලි ජාතිකයන් සලකන්නේ අඳුරු දිනයක් හැටියට යි. එදින මුසෝලිනී සහ ජර්මානු හමුදා ෆැසිස්ට්වාදයට විරුද්ධ ව පෙළගැසුණු ඉතාලි ජාතිකයන් 15 දෙනෙක් මිලාන් නගර මධ්‍යයේ වූ ප්‍රධාන චතුරස්‍රයේ දී වෙඩි තබා ඝාතනය කරනවා. මේ නිසා ඉතාලි ජනතාව මුසෝලිනී සමඟ වෛර බැඳගත් අතර, ඔහුට එරෙහි මහා ජන කැරැල්ලක් ඇතිවන්නේ මේ සමඟ යි.

 දෙවන ලෝක යුද්ධ සමයේ විනාශ වී ගිය ඉතාලිය- wikiwand.com

 

මුසෝලිනී ගේ බලය පිරිහෙයි

945 වසරේ වසන්තය එළැඹෙන විට යුරෝපාකරයේ යුද ගැටුම් සෑහෙන පමණකින් සමනය වී තිබුණා. කෙසේ නමුත් ගැටුම් නිසා ඉතාලියට සෑහෙන හානි වී තිබුණා. ඉතාලිය තනි සුන්බුන් ගොඩක් සේ දිස්වුණා. බොහෝ දෙනා මේ තත්ත්වය උදාවීම කෙරෙහි මුසෝලිනී වෙත චෝදනා කළා. මේ වන විට හිට්ලර් ගේ ද බලය පිරිහී ඔහු මිත්‍ර පාක්ෂික හමුදාවන්ට කොටු වන්නට ඔන්න මෙන්න තිබුණු අතර, තමන්ගේ රටට වින කැටූ මුසෝලිනී හටද පාඩමක් ඉගැන්විය යුතු යැයි එහි ජනතාව සිතුවා. ඔවුන් බොහෝ දෙනාගේ මතය වූයේ මුසෝලිනී අල්ලා සිරගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව යි.

මේ කාලය වන විට මුසෝලිනීගේ ද බලය පිරිහී තිබුණා. ඔහු සැඟ වී ජීවත් වූ අතර, ෆැසිස්ට්වාදයට එරෙහි පාර්ශව සමඟ සාකච්ඡා කරන්නට ඔහු අවසානයේ එකඟ වුණා. කෙසේ නමුත් ඉක්මනින්ම ඔහුට ආරංචි වූයේ ජර්මානු බලධාරීන් මුසෝලිනීට එරෙහි ව යමින් ප්‍රති ෆැසිස්ට් ඉතාලි පාර්ශව සමඟ සාකච්ඡා අරඹා ඇති බව යි. මින් ඔහු දැඩි ලෙස කිපුණා. කාරණා පෙළ ගැසෙන ආකාරයට තමන්ට ගැලවීමක් නැති බැව් වටහා ගත් ඔහු සිය පෙම්වතිය වන ක්ලාරා පෙටාසි සමඟ උතුරුදිගට පලා ගිය අතර, නාසි භටයන් සේ වෙස්වලා ගෙන ස්විස්ටර්ලන්ත දේශසීමාව වෙත ගොස්, ඉන් ඉවතට පලා යෑම ඔහුගේ සැලසුම වුණා.

මුසෝලිනී ඝාතනය කරයි

පලා යාම ආරම්භ කර මඳ වේලාවකින් සියලු දේ වැරදී ගියා. නාසි හෙල්මටයක් පැළඳ, කබායක් ඇඟ ලා සිටිය ද මිනිසුන් පහසුවෙන් මුසෝලිනී හඳුනා ගත්තා. ඒ ඔහුගේ තද දුඹුරු ඇස්, හතරැස් යටි හනුව සහ මුඩු වූ හිස නිසායි. මේවා සාමාන්‍යයෙන් දැකිය නොහැකි අමුතු පෙනුමක් මුසෝලිනීට ලබා දුන් අතර, කලකට පෙර සිය ඡන්ද ප්‍රවර්ධන වැඩ වලදී මෙම ස්වරූපය මොනවට භාවිත කර තිබීම නිසා, සාමාන්‍ය මිනිසකුට වුව ද මේ මුසෝලිනී බැව් පහසුවෙන් හඳුනා ගත හැකි ව තිබුණා. ඔහු පිළිබඳ ව වහා ම ඉතාලි හමුදා වෙත ඔත්තුවක් ලැබුණු අතර, ඔහු හා පෙටාසි අත් අඩංගුවට ගෙන, ගොවිපොළක රඳවා තබන්නට ඔවුන් තීරණය කළා. ඒ ජර්මානුවන් නැවත වාරයක් මුසෝලිනී බේරාගනීවියැයි ඔවුන් සිතූ නිසා යි.

 මුසෝලිනී හා පෙම්වතිය අවසන් වරට රඳවා තැබූ ස්ථානය- Wikimedia Commons

 

මුසෝලිනී රඳවා තබා ගැනීම ද ආරක්ෂාකාරී නොවන බැව් ඉතාලි හමුදා තීරණය කළා. මේ අනුව ඔහු අල්ලා ගත් දිනට පසු දින උදෑසන ඔහු හා පෙම්වතිය ඉවතට ගත් ඔවුන් කොමෝ විල අසල වූ විලා බෙල්මොන්ටේ හි පිවිසුම අසල වූ ගඩොල් තාප්පයකට මුහුණලා ඔවුන්ට සිටගන්නා ලෙස අණ දුන්නා. අනතුරුව වෙඩි වරුසාවක් ඔවුන් වෙත එල්ල කළා. මුසෝලිනී හා පෙටාසි එතැන ම මිය ගියා.

මුසෝලිනී හසුවන විට ස්විට්සර්ලන්ත දේශසීමවට ඉතා ආසන්න ව සිටියා. කොමෝ විලෙහි එක් ඉවුරක් ස්විට්සර්ලන්තයට අයිතිව තිබූ අතර, ඉතාලි හමුදා තව මිනිත්තු කිහිපයක් පමා වූවානම් මුසෝලිනීට පහසුවෙන් ස්විට්සර්ලන්තයට පලා යාමට හැකියාව තිබුණා. කෙසේ නමුත් ඔහුගේ ඉරණම ලියැවී තිබුණේ ඒ ආකාරයෙන් නොවේ. මිනිසුන් සිය ගණනක් මරා දැමූ ක්‍රෑර පාලකයෙක් වූ බෙනිටෝ මුසෝලිනී ගේ ඉරණමත් ඒ ආකාරයෙන් ම විසඳුණා.

මළසිරුරෙන් පවා පලි ගත් ජනතාව

මුසෝලිනී ඝාතනය කිරීමත් සමඟ ඉතාලි හිතවාදී කණ්ඩායම් සතුටින් පිනා ගියා. ස්විට්සර්ලන්තයට පලා යමින් සිටි තවත් ෆැසිස්ට්වාදීන් කිහිපදෙනෙක් අල්ලාගන්නට ඔවුන් සමත් වූයේ කොමෝ විලෙහි පිහිනමින් සිටියදී යි. ඔවුන් ද ඉවතට ගෙන වෙඩි තබා ඝාතනය කරන්නට ඔවුන් ක්‍රියා කළා. කෙසේ නමුත් ඉන් ඔවුන්ගේ තරහව අවසන් වූයේ නැහැ.

මුසෝලිනී මියගිය දින රාත්‍රියේ ඔහු, ඔහුගේ පෙම්වතිය සහ වෙඩි තබා ඝාතනය කරන ලද අනෙක් ෆැසිස්ට්වාදීන් කිහිපදෙනාගේ ද සිරුරු මිලාන් හි ප්‍රධාන චතුරස්‍රය වෙත ගෙන ආවා. මෙය මුසෝලිනී කලකට පෙර, ෆැසිස්ට්වාදයට විරුද්ධ වු 15 දෙනෙක් ඝාතනය කළ ස්ථානය යි. අනතුරු ව මිලාන් වැසියන්ට ඒ සිරුරු දැක බලා ගැනීම සඳහා අවසර ලැබුණා.

මිලාන් වැසියන් මේ වන විට මුසෝලිනී සමඟ සිටියේ බද්ධ වෛරයකිනු යි. එය පිළිබිඹු කරමින් ඔවුන් මුසෝලිනී ගෙ මෘත ශරීරයට කුණු වූ එළවළුවලින් දමා ගසන්නට වුණා. අනතුරුව ඊට අතින් පයින් ගසමින් සිය තරහව පිට කළා. එක් කාන්තාවක් පිස්තෝලයක් ඇද ඉන් මුසෝලිනීගේ හිසට සහ සිරුරට වෙඩි කිහිපයක් ම තැබුවා. ඇගේ දරුවන් කිහිප දෙනෙක් ම මුසෝලිනී ඇවිළූ යුද ගැටුම් නිසා මිය ගොස් තිබුණු අතර, මියගිය දරුවන් ප්‍රමාණයට සරිලන උණ්ඩ ප්‍රමාණයක් ඇය මුසෝලිනීගේ සිරුරට බස්සවා තිබුණා.

මිලාන් හි ජනතාව රැහන් ගෙනවුත් මුසෝලිනී, පෙටාසි හා අනෙකුත් ෆැසිස්ට්වාදීන් ගේ සිරුරු පසෙක වූ බාල්කයක එල්ලූයේ හිස පහළට සිටින පරිදි යි. ඔවුන් මස් කඩයක කොකුවල එල්ලූ ඌරන් සේ දිස් වූ බැව් විචාරකයන් පවසනවා.

 එල්ලූ මුසෝලිනී හා පිරිසගේ සිරුරු. මෙහි වමේ සිට දෙවැනි සිරුර මුසෝලිනීගේ වන අතර, තෙවැනි සිරුර පෙටාසි ගේ යි- Wikimedia Commons

 

මුසෝලිනීගේ මරණයෙන් පසු

මුසෝලිනීගේ මරණය පිළිබඳ වූ පුවත යුරෝපාකරය පුරා ලැව් ගින්නක් සේ පැතිරුණා. මෙය හිට්ලර්ට ඉක්මනින් ම දැන ගන්නට ලැබුණු අතර, ඔහු තම සමීපතමයන්ට පවසා සිටියේ තමන්ට නම් කිසි දිනෙක එසේ සිදු නොවන බව යි. එනමුත් ඉන් දින දෙක තුනකට පසුව ඔහුට ද ඒ හා සමාන ඉරණමක් අත් වුණා.

මුසෝලිනී ඝාතනය වූ දිනට පසු දින මිලාන් ප්‍රධාන චතුරස්‍රයට අමෙරිකානු හමුදා හා කාදිනල් තුමා ද පැමිණියා. අනතුරුව සිරුරු ඉවත් කෙරුණා. අනතුරුව එම සිරුරු මිලාන් නුවර පොදු සුසානභූමියේ හෙළි නොකළ ස්ථානයක වළ දැමුණා. කෙසේ නමුත් එය වැඩි කල් රහසක් ව පැවතුණේ නැහැ. ෆැසිස්ට්වාදීන් 1946 වසරේ පාස්කු දින ඔහුගේ සොහොන් ගැබ හාරා අවශේෂ ඉවතට ගත්තා. එය මාස 4 ක් පමණ මිලාන් නුවර ස්ථානයක ඔවුන් තැන්පත් කර තිබුණු අතර, අවසන එවකට ඉතාලි අග්‍රාමාත්‍ය ව සිටි ඇඩොනේ සොලි ඒවා මුසෝලිනී ගේ නිත්‍යනුකූල වැන්දඹු බිරියට භාර දුන්නා. ඇය ඒවා පවුලේ සුසාන භූමියක වළ දැමූ බැව් සඳහන්.

මෙම ලිපියේ පළමු කොටසට මෙතැනින් පිවිසෙන්න.

කවරයේ ඡායාරූපය - sundayguardianlive.com 

මූලාශ්‍ර:
History.com
Allthatsinteresting.com
Britannica.com

Related Articles

Exit mobile version