පේරු රටේ අගනුවර ලීමා නගරයේ ඇතැම් ප්‍රදේශවල ජනයා, එක් උදෑසනක පිබිදුණේ පෙර නුදුටු විරූ ආකාරයේ බියජනක දසුනක් දැකීමට ය. නගර වීථිවල පහන් කණුවලින් මරා දමන ලද බල්ලන් ගේ සිරුරු එල්ලී තිබුණා. යම් කිසිවකු ළංවී බැලුවේ නම් උන්ගේ ශරීරවල දැන්වීමක් ද රඳවා තිබෙනු දකින්නට ලැබුණා.
“ඩෙංග් ෂියාඕ-පෙංග්, *ල්ලිගෙ පුතා!”
ඒ 1980 දශකයේ මුල් කාලයයි. පහන් කණුවලින් බල්ලන් එල්ලීම ඇරඹුණේ 1980 දෙසැම්බරයේ. ඉන්පසු අවස්ථා කිහිපයක එය සිදු වුණා.
නමුත් ඩෙංග් ෂියාඕ-පෙංග් ජීවත් වූයේ චීනයේ. වඩාත් නිවැරදිව කිවහොත් මාඕ සේතුංගෙන් පසු චීනය නව මාවතකට ගෙන ආ පාලකයා වුණේ ඩෙංග්. 1980 යනු ඔහුගේ ප්‍රතිසංස්කරණවල ආරම්භක අවධිය යි.
ඉතින් චීනයෙන් ඈත පිහිටි පේරු රටේ යම් කිසිවකු බලු මළ සිරුරුවල ඩෙංග්ට අපහාස වන වැකි එල්ලා ගියේ කුමක් හේතුවෙන් ද? අගනුවර පහන් කණුවලින් මරා දමන ලද බල්ලන් එල්ලා ගිය කණ්ඩායම කවුරුන් ද?
ඒ දිදුලන මාවත නම් වූ විප්ලවකාරී ත්‍රස්ත කණ්ඩායමයි. අද අප ඔබට ගෙන හැර දක්වන්නේ ඔවුන් පිළිබඳ කතාවයි.
නමක් ගැන යමක්
දිදුලන මාවත ව්‍යාපාරයේ සම්පූර්ණ නම පේරු කොමියුනිස්ට් පක්ෂය – දිදුලන මාවත (ස්පාඤ්ඤ බසින්: Partido Comunista del Perú – Sendero Luminoso) නම් වුණා. පේරු රටේ කොමියුනිස්ට් පක්ෂ ගණනාවක් පැවතුණ අතර ඒවා විවිධ කෙටි නම්වලින් හැඳින්වෙනවා. මෙයත් ඉන් එක් නමක්.
දිදුලන මාවත යන නම උපදින්නේ පේරු රටේ පළමු කොමියුනිස්ට් පක්ෂය හෙවත් පේරුවියානු කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ හොසේ කාර්ලෝස් මරියටෙගුයි (José Carlos Mariátegui) විසින් කරන ලද ප්‍රකාශයක්. “මාක්ස් – ලෙනින්වාදය විප්ලවය උදෙසා දිදුලන මාවත විවර කරනු ඇත” යනුවෙන් ඔහු වරක් ප්‍රකාශ කළා. මරියටෙගුයි පේරු කොමියුනිස්ට් පක්ෂය පිහිටවූයේ 1928 දී පේරු සමාජවාදී පක්ෂයෙන් ඉවත් ව යමින්. පසු කළෙක පේරු හි බිහි වූ බොහොමයක් කොමියුනිස්ට් පක්ෂ මරියටෙගුයි විශේෂ ස්ථානයක තබා ගෞරව කළේ පේරු රටේ කොමියුනිස්ට්වාදී ව්‍යාපාරයේ සමාරම්භකයා වශයෙන්.
අබිමඑල් ගුස්මාන් හෙවත් එල් ප්‍රෙසිඩෙන්ටේ ගොන්සාලෝ
දිදුලන මාවත ව්‍යාපාරයේ නායකයා වූයේ අබිමඑල් ගුස්මාන් නම් දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයායි. මෙය මාවෝවාදී දේශපාලන ව්‍යාපාරයක් වුණා. මහජන චීනයේ සභාපති මාවෝ සේතුං වුණා සේම ගුස්මාන් තමන්ව හඳුන්වාගත්තේ සභාපති ගොන්සාලෝ යන අරුත ඇති එල් ප්‍රෙසිඩෙන්ටේ ගොන්සාලෝ යන නමින්. ගුස්මාන් කළින් පේරුවියානු කොමියුනිස්ට් පක්ෂය – රතු ධජය (ස්පාඤ්ඤ බසින්: Partido Comunista del Perú – Bandera Roja) නම් පක්ෂයට සම්බන්ධව සිට මෙම නව ව්‍යාපාරය පටන් ගත්තා.
1960 දශකයේ මැද භාගයේ පමණ ගුස්මාන් මෙම දිදුලන මාවත ව්‍යාපාරය පිහිටුවීම සඳහා මූලික අඩිතාලම දමන්නට වුණා. එකළ ඔහු රාජකාරි කළේ අයාකුචෝ නගරයේ පිහිටි හුවාමන්ගාහි සැන් ක්‍රිස්ටොබාල් සරසවියේයි (San Cristobal of Huamanga National University). මේ අනුව ගුස්මාන් සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ සිය ශිෂ්‍යයන් අතරයි.
ගුස්මාන් චීනයේ සංස්කෘතික විප්ලවයේ මුල් අවධියේ එරට සංචාරය කළ බව පැවසෙනවා. ඒ අනුව චීනයේ මාඕ සේතුංට තිබුණ බලය පිළිබඳ ඔහු අදහසක් ලබා ගන්නට ඇති. දිදුලන මාර්ගය ව්‍යාපාරයේ අසහාය නායකයා වූයේ ගුස්මාන් හෙවත් සභාපති ගොන්සාලෝ. ඔහුගේ අනුගාමිකයන් ඔහුව සැලකුවේ දේවත්වයෙන් මෙන්.
ඔවුනගේ අරමුණ වූයේ මාවෝවාදී “නව ප්‍රජාතන්ත්‍රවාදී” (New Democracy) සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා පවතින සමාජ ක්‍රමයට අයත් දෑ විනාශ කිරීමට ඔවුන් පසුබට වූයේ නැහැ. ගුස්මාන් ප්‍රකාශ කළේ “ධනපතීන් විනාශ කිරීම සඳහා ගොඩ නගන බවත්, තමන් ගොඩ නැගීම සඳහා විනාශ කරන බවත්” ය. පවතින සමාජ ක්‍රමය මුලිනුපුටා දමා ගොවි කම්කරු නිර්ධන පාන්තික පාලනයක් බිහි කිරීම ඔවුනගේ අරමුණ වුණා.
අයාකුචෝ හි වැදගත්කම
මාවෝවාදී ගරිල්ලා ක්‍රමයේ මූලික අංගයක් වන්නේ මහජන යුද්ධ ක්‍රමවේදයයි (People’s War). මෙයින් අදහස් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලනයට එතරම් හසු නොවන ප්‍රදේශයක මූල කඳවුරු (Base areas) පිහිටුවාගෙන එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් කෙමෙන් කෙමෙන් ග්‍රාමීය ප්‍රදේශවල බලය පිහිටුවා ගනිමින් නගරවල ද බලය පැතිරීමයි.
පේරු රටේ භූගෝලීයව ගත් කළ ප්‍රදේශ තුනක් දකින්නට හැකියි. මෙයින් මැදින් පිහිටන්නේ අන්දීස් කඳුකරයයි. ඊට නැගෙනහිරින් වනාන්තර ප්‍රදේශ පිහිටා තිබෙන අතර බටහිරින් වෙරළබඩ ප්‍රදේශ පිහිටා තිබෙනවා.
වනාන්තර ප්‍රදේශවල ජනගහනය ඉතා අඩු වන අතර රටේ ආර්ථික මර්මස්ථාන බෙහෙවින් පිහිටා ඇත්තේ වෙරළබඩ ප්‍රදේශවලයි. රටේ සිටින මෙස්ටිසෝ (සුදු සහ ස්වදේශීය මිශ්‍ර සම්භවය සහිත ජනයා) සහ යුරෝපීය ජනයා වැඩියෙන් ජීවත් වන්නේ වෙරළබඩයි.
1960 දශකය වනවිට අන්දීස් කඳුකරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය දුෂ්කර, රාජ්‍ය පාලනයෙන් දුරස් ප්‍රදේශ වුණා. එමෙන්ම එහි ජීවත් වූ වැඩි දෙනා ඉන්කාවරුන් ආදී ස්වදේශ ගෝත්‍රවලින් පැවතෙන ජනතාවයි. මෙම ස්වදේශිකයන් පසුගිය වසර 500 ක කාළය තුළම කොන් වූ, දුගී ජීවිත ගත කළා. ඔවුන් අතර සාම්ප්‍රදායික ඇදහිලි ප්‍රචලිත වූ අතර බිලි පූජා, යාග හෝම ආදිය පිළිබඳ ද විශ්වාසයන් ඔවුන් තුළ රජයමින් තිබුණා. ඔවුනට කිසිදු දේශපාලන බලයක් තිබුණේ නැහැ. බලයට පත්වන රජයන් ඔවුන් පිළිබඳ සොයා බැලුවේ ද නැහැ.
මේ අනුව පේරු හි අන්දීස් කඳුකරය අවිගත් නැගිටීමක් සඳහා අවශ්‍ය කරුණු රැසක් සපුරා තිබූ ප්‍රදේශයක් වුණා. අයාකුචෝ ප්‍රදේශය මෙහි පිහිටි වැදගත් නගරයක් සහ දිස්ත්‍රික්කයක්. එම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ, කඳුකර, ග්‍රාමීය ප්‍රදේශ වන අතර ගුස්මාන් සිය මූල කඳවුර ලෙස තෝරාගත්තේ එම ප්‍රදේශයයි. ඔහුගේ ඇතැම් ශිෂ්‍යයන් ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් එම ජනතාව සමඟ ජීවත් වෙමින් ඔවුන් අතර දේශපාලන කටයුතුවල නිරත වුණා. ඇතැම්විට ඔවුන් ඒ ජනතාව අතරින් ම විවාහයන් පවා කරගෙන එම ප්‍රදේශවල ම ස්ථාවර වුණා. මේ අනුව ඉතා සෙමින්, කුඩා නමුත් ප්‍රබල විප්ලවවාදී න්‍යෂ්ඨියක් නිර්මාණය වුණා.
ගුස්මාන් පළමු පියවර තැබුවේ 1980 දී. එතෙක් ඔහු වසර 16 ක පමණ කාලයක් ඊට සූදානම් වුණා.
මුල් කාලය
වසර 12 කට පසු 1980 මැයි 17 වනදා පේරු රටේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වනු ලැබුණා. දිදුලන මාවත කණ්ඩායමේ මතය වුණේ මැතිවරණ යනු ධනපති පන්තියේ තවත් එක් ප්‍රෝඩාවක් බවයි. මේ අනුව පේරු රටට යළි ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එනු ලබන මැතිවරණය පැවැත්වෙන දිනයේ ම සිය අවිගත් නැගිටීම ආරම්භ කිරීමට ගුස්මාන් තීරණය කළා.
මේ අනුව දිදුලන මාවත කණ්ඩායමේ පිරිසක් රටේ ඡන්ද පොළවල් කිහිපයකට පැන ඡන්දය කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වුණා. නමුත් මෙම ව්‍යාපාරය විශාල සාර්ථකත්වයකින් යුතු වූයේ නැහැ. එහි වැදගත්කම සංකේතාත්මක වුණා.
කෙටි කළකින් ම ගුස්මාන් ගේ පිරිස රටේ විවිධ ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියාවන් හි නිරත වන්නට පටන් ගත්තා. මුලදී ඔවුනගේ අවධානය යොමු වූයේ රජයේ පරිපාලනය හරි හැටි ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලයි. එහෙත් වසර කිහිපයක් යනවිට ඔවුනගේ බලපෑම අනෙක් ප්‍රදේශවලට දැනෙන්නට වුණා.
1981 දෙසැම්බර් මාසයේදී පේරු රාජ්‍යය විසින් අයාකුචෝ, හුවන්කවෙලිකා සහ අපුරිමැක් යන ප්‍රදේශ තුනෙහි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළා. පොලිසිය වෙනුවට හමුදාව ත්‍රස්ත මර්ධනය සඳහා යොදවනු ලැබුණා. කෙසේ නමුත් හමුදාව විශාල වශයෙන් ජනතාව පීඩාවට පත් කිරීමට වූ අතර ඒ හේතුවෙන් ග්‍රාමීය ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් රජය කෙරෙහි තවත් කළකිරුණා.
මේ අතර, ඇතැම් ප්‍රදේශවල හමුදාව විසින් ප්‍රාදේශීය ගොවි ජනතාව දිදුලන මාවත කැරලිකරුවන්ට එරෙහිව සංවිධානය කරන්නට පටන් ගත්තා. මෙම කණ්ඩායම් රොන්ඩාස්වරුන් ලෙස ප්‍රකට වූ අතර දිදුලන මාවත සාමාජිකයන් ප්‍රකට වූයේ සෙන්ඩෙරිස්ටාස් (යන නමින්) හෝ ටෙරුකෝස් (ත්‍රස්තයින්) යනුවෙන්.
දිදුලන මාවත සාමාජිකයන් ද ප්‍රතිවාදීන් ඝාතනය කිරීම දිගටම සිදු කළා. ප්‍රාදේශීය විරුද්ධවාදියකු හෝ ඔත්තුකරුවකු යයි සැක කළ අයකු ඝාතනය කළ ඇතැම් අවස්ථාවල ඔවුන් ඒ පුද්ගලයාගේ මුඛය මසා දමන්නට කටයුතු කළා. ප්‍රාදේශීය විශ්වාසයන් අනුව මියගිය අයකුගේ ආත්මය ඔහුගේ මුඛයෙන් නිදහස්ව යන අතර එය මැසූවිට ආත්මය සිරුර තුළ සිරවන බව විශ්වාස කෙරුණා. මේ අනුව තමන්ට එරෙහි වුවහොත් මරණයේදී ද නිදහසක් නොමැත යන අදහස ත්‍රස්තයින් විසින් ප්‍රදර්ශනය කෙරුණා.
අගනුවර ආක්‍රමණය
වසර කිහිපයක් තුළ ලීමා අගනුවර තුළ ද සිය කටයුතු තීව්‍ර කරන්නට දිදුලන මාවත ත්‍රස්තයින් සමත් වුණා. රැකියාවන් සොයාගෙන ගම්දනව් වලින් නගරයට පැමිණෙන අය අතුරින් ඔවුන් සාමාජිකයන් බඳවා ගත් අතර, නගර වැසියන් අතරින් ද සාමාජිකයන් ඔවුනට එක් වුණා. මේ අනුව අගනුවර පවා බෝම්බ ප්‍රහාර සහ ඝාතන වාර්තා වුණා.
චීනයේ ඩෙංග් ෂියාඕ-පෙංග්ට අපහාස වන ආකාරයේ දැන්වීම් ඔවුන් පළ කළේ ද ඔවුන් උග්‍ර මාවෝවාදීන් වීම හෙතුවෙන්. ඩෙංග් විසින් මාඕගේ විප්ලවය පාවා දුන් බව දිදුලන මාවත කණ්ඩායම ප්‍රකාශ කළා. මේ අතර අගනුවර පහන් කණුවල බලු මළ සිරුරු එල්ලා යාමෙන් ඔවුන් කියා සිටියේ තමන්ට රාත්‍රී කාලයට අගනුවර වුවද අවශ්‍ය පරිදි සැරි සැරීමට හැකියාව ඇති බවයි.
1990 වනවිට පේරු රාජ්‍යයම අකර්මණ්‍ය වෙමින් පැවතුණ අතර රටේ ආර්ථික තත්ත්වය ද කඩා වැටෙමින් පැවතුණා. ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට පියවර ගත හැකි අයකු පෙනෙන්නට තිබුණේ නැහැ. බොහෝ දෙනෙකු හැබැහින් දැක නොතිබූ අභිරහස් චරිතයක් වූ සභාපති ගොන්සාලෝ පේරුවම භීතියට පත් කර තිබුණා.
අලුත් ජනාධිපති
1990 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ක්‍රියාකාරී මැතිවරණ දේශපාලනයට අලුත් දෙදෙනකු වුණා. එක් අයකු වූයේ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස ද යම් නමක් දිනා සිටි සුප්‍රකට ලේඛක මාරියෝ වර්ගාස් යෝසා යි. අනෙක් ප්‍රධාන අපේක්ෂකයා වූයේ දේශපාලනයට කෝඩුකාරයකු වූ, ජපන් සම්භවයකින් යුතු වූ, ඇල්බර්ටෝ ෆුජිමෝරියි. මෙයින් ෆුජිමෝරි ජනාධිපතිවරණය ජය ගත්තා.
1992 අප්‍රේල් මාසයේදී ෆුජිමෝරි තම රජයටම එරෙහිව කුමන්ත්‍රණයක් හෙවත් ස්වයං-කුමන්ත්‍රණයක් (self-coup) සිදු කළා. විපක්ෂ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගෙන රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ ඔහු සෙන්ඩෙරිස්ටාවරුන් පසුපස හඹා යාම සඳහා මෙම නව හදිසි නීති තත්ත්වය උපරිමයෙන් යොදා ගත්තා.
දිදුලන මාවත අඳුරු වෙයි
ප්‍රධාන ත්‍රස්ත ක්‍රියාකාරීන් එකා දෙන්නා කොටු වෙන්නට පටන් ගත් අතර දිදුලන මාවත ව්‍යාපාරයට ද තත්ත්වය බැරෑරුම් බව වැටහෙන්නට ඇති. ඔවුන් ද ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. 1992 ජූලි මාසයේ සිදුවූ ටරාටා බෝම්බ ප්‍රහාරය මින් බරපතල ම ප්‍රහාරය වුණා. ලීමා නගරයේ මිරෆ්ලොරෙස් නම් ප්‍රදේශයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් 25 දෙනකු මියගොස් 155 ක් තුවාල ලැබුවා. ධනවත් මිනිසුන් ජීවත් වූ පෙදෙසක සිදුවූ මෙම ප්‍රහාරයෙන් සෙන්ඩෙරිස්ටාවරුන් පෙන්වා දුන්නේ තමුන් යුද්ධය අගනුවර තුළටම ගෙන එන බවයි. රටේ තත්ත්වය දිනෙන් දින අවුලෙන් අවුලට පත් වෙමින් පැවතුණා.
ඒ අතර එක් ත්‍රස්ත මර්දන පොලිස් කණ්ඩායමක් රජයේ ප්‍රධානම ඉලක්කය වූ සභාපති ගොන්සාලෝ වෙත ළං වෙමින් පැවතුණා. දිදුලන මාවත ව්‍යාපාරය තනිකරම රඳා පැවතුණේ ඔහුගේ දර්ශනය සහ නායකත්වය මතයි. දිදුලන මාවත පරාජය කිරීමට නම් ඔහුව අල්ලාගත යුතුව තිබුණා මෙන්ම එය අනිවාර්ය සාධකයක් වුණා.
1992 සැප්තැම්බර් 12 වනදා රාත්‍රියේ ත්‍රස්ත මර්ධන පොලිස් කණ්ඩායම ලීමා නගරයේ, නගර මධ්‍යයෙන් තරමක් ප්‍රත්‍යන්ත, ඉහළ පැලැන්තියේ පිරිස් ජීවත් වූ ප්‍රදේශයක නිවසකට කඩා වැදුණා. මේ නිවසේ උඩු මහලේ සිටි පුද්ගලයින් පිරිසක් ඔවුනට කොටු වුණේ විනාඩි ගණනක මෙහෙයුමකට පසුවයි. එම පිරිස අතර සභාපති ගොන්සාලෝ ඇතුලු සෙන්ඩේරෝ නායකත්වයේ ප්‍රධානීන් කිහිප දෙනකුම සිටියා.
ගොන්සාලෝ අල්ලාගත් පුවත රජය විසින් වහාම ප්‍රචාරය කළා. නමුත් ඔහුගේ අනුගාමිකයන් එය විශ්වාස කළේ නැහැ. මේ අවස්ථාවේ ෆුජිමෝරි තීරණය කළේ රූපවාහිනිය හරහා ගුස්මාන් හෙවත් සභාපති ගොන්සාලෝ ප්‍රදර්ශනය කිරීමටයි. විවෘත බිමක, විශාල යකඩ කූඩුවක, කලු සහ සුදු ඉරි වැටුණ සිරකරුවන් අඳින ආකාරයේ ඇඳුමකින් සැරසුන ගුස්මාන් රැඳවූ බලධාරීන් ඔහු රටටම පෙනෙන්නට ප්‍රදර්ශනය කරන්නට කටයුතු කළා.
සභාපති ගුස්මාන් පත්ව ඇති තත්ත්වය දුටු ඔහුගේ අනුගාමිකයන් අධෛර්යයට පත් වුණා. දිදුලන මාවත එදින පටන් අඳුරු වූවා යයි කිව හැකියි. මාස කිහිපයක් තුළ එම ව්‍යාපාරය කඩා වැටුණා.
අදටත් ඉතා සුලු පිරිසක් එම ව්‍යාපාරය පවත්වාගන යන නමුත් එය 1992 න් පසු තර්ජනයක් වූයේ නැහැ. තනි පුද්ගලයකු මත රැඳී පැවතීම එහි දියුණුවට මෙන්ම ක්ෂණික කඩා වැටීමට ද හේතු වූ බව කිව හැකියි.
මූලාශ්‍ර
- Strong, S., Shining Path: World’s Deadliest Revolutionary Force
- Marks, T. A., Maoist Insurgency since Vietnam
- People of the Shining Path (Video Documentary), Dispatches, Channel 4 (1992)
- Larmer, B. We got Him! Newsweek, September 28, 1992
Cover Image: දිදුලන මාවත ව්‍යාපාරයේ ප්‍රචාරක පෝස්ටරයක් (stormintheandes.com)