අන්තරේ නැත්නම් අවිශිබ යන කෙටි නාමයෙන් ප්‍රකට අන්තර් විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය දැනට වසර 40කට ආසන්න ඉතිහාසයක් ඇති වාම බහුජන සංවිධානයකි. අන්තරේ නාමික ආරම්භය 1969 ජුනි මස 18 වැනිදා සිදුවිය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී යි. නමුත් එය විධිමත් ලෙස ක්‍රියාකාරී වන්නේ 70 දශකයේ අග භාගයේදී ය. ආරම්භයේ සිට 1990 දක්වා අවිශිබ ඉතිහාසය පිලිබඳ දළ විස්තරයක් මෙහිදී සාකච්චා කරනු ලැබේ.
පේරාදෙණිය සරසවියේ වීරසුරිය ඝාතනය
1976 දක්වාම අන්තරේ නායකත්වය හිමිව තිබුයේ එවකට සමගි පෙරමුණු ආණ්ඩුවේ පාර්ශවකරුවකු වූ, කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශය වූ ජාතික ශිෂ්‍ය සංගමය යටතට යි. මෙය තීරණාත්මක ලෙස ඔවුන්ගෙන් ගිලිහි යන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම සිසු ඝාතනයත් සමගයි. 1976 නොවැම්බර් මස 12 වනදා පේරාදෙණිය සරසවියේ රෝහණ වීරසූරිය සිසුවා මෙසේ පොලිස් වෙඩි පහරකින් මිය යන්නේ මණ්ඩපාධිපති පි.ඩබ්. විතානගේට එරෙහිව පැන නැගී සිසු-සේවක සටනක් අතරතුරදී ය. සිසු-සේවක සටන නිසා විතානගේ විසින් සරසවිය වසා දැමීමට තීරණය කළ අතර සිසුන් සරසවියෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන ලදී. 1976 නොවැම්බර් 11 වනදා රාත්‍රියේ සිසුන් විසින් සෙනේට් ශාලාව වටකර, මණ්ඩපාධිපති විතානගේ කොටුකර ගන්නා ලදී. පසුදා සිසුන් කණ්ඩායම් හුවමාරු වන අවස්ථාවේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් රෝහන වීරසූරිය සිසුවා මිය ගියේය.
මෙම සිදුවීමෙන් පසු ශිෂ්‍ය සභාවන්හි නායකත්වය තවදුරටත් කොමියුනිස්ට් පක්ෂය යටතේ තබා ගැනීමට නොහැකි විය. එක් පසෙකින් කොමියුනිස්ට් පක්ෂය සිරිමාවෝ ආණ්ඩුවේ කොටස්කරුවෙක් වූ නිසා ජාතික ශිෂ්‍ය සංගමයට මෙහි වගකීමෙන් නිදහස් වීමට නොහැකිව සිසුන් අතර අපකීර්තියට පත්විය.
සටන් ඇවිලේ
1978 න් පසුව හුදෙක් සිසු සුභ සාධනය වෙනුවෙන් පමණක් නොව පොදු ජනතාව වෙනුවෙන් ද සටන් කරන ව්‍යාපාරයක් බවට අන්තරේ පත්විය. 1978 පෙබරවාරි 4 දින එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාව ගෙන ඒමට සුදානම්ව සිටිය දී, පෙබරවාරි 2 දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය ශාන්ත බණ්ඩාර ශිෂ්‍යයාගේ නායකත්වයෙන් ඊට එරෙහි විරෝධතා පාගමනක් සරසවියේ සිට ගලහ හන්දිය දක්වා ගමන් කළ අතර, ඒ වනවිට සිසුන් අතර ප්‍රතික්ෂේපව තිබුණත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගමය වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ කිහිප දෙනෙක් මග හරස් කරමින් විරෝධතාවට බාධා කරන ලදී. මේ නිසා ඔවුන්ව එළවා දැමීමට විරෝධතාවයේ යෙදුනු සිසුන් ක්‍රියා කළ අතර මෙම සිදුවීම පාදක කර ගනිමින් ශාන්ත බණ්ඩාර ඇතුළු සිසුන් 8 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරන ලදී. සරත්, චන්ද්‍රපාල, බෝධි, රිචඩ්, සුනිල් ශාන්ත, සුනිල් රන්තප්‍රිය අනෙක් සිසුන් හත්දෙනායි.
මින් පසුව ශාන්ත බණ්ඩාර ශිෂ්‍යයා පූර්ණ කාලීනව ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු සඳහා සහභාගී වූ අතර අන්තරේ වගකීම් භාරගනිමින් එහි නායකත්වයට පත්විය. එහිදී පළමු සටන ලෙස හඳුනාගත හැක්කේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් අඩු ආදායම් ලාභී ජනතාව සඳහා ලබාදෙමින් තිබූ හාල් පොත කපා දැමීමට එරෙහිවය. මෙම සටන පරාජයට පත්වූ අතර ජනයාට හාල් පොත අහිමි විය.
අධ්‍යාපන ධවල පත්‍රිකාව
එජාපය අධ්‍යාපන ධවල පත්‍රිකාව 1981දි ගෙන ආවේ 1980 ජුලි කම්කරු වැඩ වර්ජනය පොඩි පට්ටම් කර, සේවකයින් ලක්ෂයකට අධික ප්‍රමාණයකට රැකියා අහිමිව සිටි සමයකය. කිසිම විටෙක මෙම පනත ආපසු හැරවීමක් නොමැති බව ජනාධිපතිවරයා සහතික කරන ලදී. නමුත් මේ වනවිට අන්තරේ ඉතාමත් ශක්තිමත් ලෙස රටපුරා සරසවි, පාසල්, කාර්මික විද්‍යාල මෙන්ම පොදු ජනතාව ද සංවිධානය කරගැනීමට සමත් දැවැන්ත ව්‍යපාරයක්ව තිබුනි.
අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අඩංගු වූ යෝජනා:
1.අනිවාර්ය අධ්‍යාපන සිමා 9 ශ්‍රේණියේ සිට 8 දක්වා පහතට දැමීම සහ 8 ශ්‍රේණියේ දී සහතිකයක් ලබා දීම.
2.සාහිත්‍යය හා ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම.
3.පාසල් අධ්‍යාපනයට අඛණ්ඩ ඇගයීම් හඳුන්වාදීම.
4.පාසල් අධ්‍යාපන වියදම් සදහා රජයේ බර අඩු කිරීම.
5.පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම.
6.පර්ෂද පාසල් හඳුන්වා දීම.
7.මුදල් අයකරන පෞද්ගලික හා අර්ධ පෞද්ගලික පාසල් ආරම්භ කිරීම.
8.සරසවි ප්‍රවේශයට ඉංග්‍රීසි අනිවාර්යය කිරීම.
ආදී වශයෙන් වේ.
පනත පාර්ලිමේන්තුවට ගෙන එන 1982 ජනවාරි 20 දිනයේ දී පාර්ලිමේන්තුව (වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලයය) වටලමින් උද්ඝෝෂණයක් අන්තරේ විසින් සංවිධානය කරන ලද අතර, ආණ්ඩුව විසින් සිසු උද්ඝෝෂණයට අශ්වාරෝහක පොලිසිය යොදවා අමානුෂික ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙයින් විශාල අප්‍රසාදයක් ආණ්ඩුව කෙරේ ඇති වූ අතර පනත හකුලා ගැනීමට රජයට සිදුවිය. එදා මෙම පනත ගෙන ආවේ එවකට අධ්‍යාපනය ඇමති, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.
හන්තානේ සහ කොළඹ ලේ සෙලවෙයි
1983 දෙසැම්බර් 27 දා පේරාදෙණිය සරසවියේ පොලිසියක් ස්ථාපිත කරන ලදී. මෙය “සුහද පොලිසිය” නමින් ගෙන එන ලද්දේ සිසුන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේය. 1984 ජුනි 19දා මෙහි සිසුවකුගේ අත පොලිස් ජනේලයක වැදීමෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු ඊට විරෝධය දක්වා ඇති වූ ශිෂ්‍ය විරෝධතාවයට පොලිස් ප්‍රහාර එල්ලවූ අතර, පොලිසිය විසින් තැබූ වෙඩි පහරකින් පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුවකු වූ පද්මසිරි අබේසේකර සිසුවා ඝාතනය විය.
මෙම ඝාතනයට විරෝධය දක්වමින් කොළඹ සරසවියේ විරෝධතාවක් ජුනි 21දා පැවති අතර, එහිදී පොලිස් වෙඩි තැබීමකින් ශාස්ත්‍ර පීඨ සිසුවකු වූ රෝහණ රත්නායක ඝාතනය විය. මෙය වැදගත් වන්නේ 1976 රෝහණ වීරසූරිය ඝාතනයෙන් පසු සිදුවූ වූ දෙවන හා තෙවන සිසු ඝාතනය මෙය වීමයි.
උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් වූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝදන පනත යටතේ 1981දි ගැසට් නිවේදනයක් හරහා අරඹන ලදී. ආරම්භයේ පටන් මිට එරෙහිව අරගල පැනනැගුණි.
මර්දනය දැඩිව
1986 සිට 1990 දක්වා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් සියල්ලම උතුරු කොළඹ සටනේදී හා 1987-1990 කැරැල්ලේ දී ඝාතනය කරන ලදී. රංජිතම් ගුණරත්නම් යනු 1986 ඔක්තෝබර් සිට 1987 මැයි දක්වා කැඳවුම්කරු ලෙස කටයුතු කළ සිසු නායකයායි. ඔහු පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලැබූ අතර 1983දි උදලාගම කොමිසම මගින් ශිෂ්‍යභාවය අහෝසි කරන ලදී. 1990 ජනවාරි මස දී ඝාතනයට ලක්විය.
කැළණි සරසවියේ මානව හා ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර සිසුවකුව සිටි මච්චාගම සේනාරත්න මින් පසුව අන්තරේ කැඳවුම්කරු බවට පත්විය. 1989 දෙසැම්බර් මස ඔහුද ඝාතනයට ලක්විය. ඉන් පසුව නායකත්වයට පැමිණියේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයකු වූ නිමල් බාලසූරියයි. ඉතාමත් කැපකිරීම් සහිතව වෙහෙසුණු ශිෂ්‍ය නායකයකු ලෙස ඔහුව ද හැඳින්විය හැකිය. ඔහු කැඳවුම්කරු ලෙස සිටියදීම 1988 මැයි මස දී ඝාතනයට ලක්විය.
පසුව පැමිණෙන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකුව සිටි වෙනුර එදිරිසිංහයි. ඉතාමත් දක්ෂ සිසුවකු වූ ඔහු ජීව විද්‍යා අංශයෙන් දිවයිනේම ප්‍රථමයා ලෙස වෛද්‍ය පීඨයට පැමිණියෙකි. සරසවියේ දී සියල්ල අත්හැර පරාර්ථය පෙරදැරි කරගනිමින් අරගලය ජීවිතය කරගන්නා වෙනුර 1988 මැයි සිට 1989 සැප්තැම්බර් දක්වා අන්තරේ කැඳවුම්කරු ලෙස වගකීම් ඉටු කළේය. ඔහුව ඔක්තෝබර් 21දා පැහැරගෙන ගොස්, වද දී ඝාතනය කරන ලදී.
මින් පසුව කැඳවුම්කරු වන උදේනි බන්දුල දිසානායක ශිෂ්‍යයා, පේරාදෙණිය ඉංජිනේරු පීඨ ශිෂ්‍යයකු වූ අතර 1989 මැයි සිට නොවැම්බර් දක්වා කැඳවුම්කරු ලෙස කටයුතු කළේය. ඔහුව දෙසැම්බර් මසදී අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. කොළඹ වෛද්‍ය පීඨයේ සිසිර කීර්ති ජයවර්ධන මීළඟ කැඳවුම්කරු ලෙස පත්වන අතර ඔහු නොවැම්බර් 2 වනදා සිට දෙසැම්බර් 17 අත්අඩංගුවට ගන්නා තෙක් කටයුතු කරන ලදී. 1989 දෙසැම්බර් 28 දා ඝාතනය කරන ලදී.
කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න 1990 ජනවාරි සිට මාර්තු දක්වා කැඳවුම්කරු ලෙස කටයුතු කළ අතර “වෙද සිසු හඬ” පුවත්පතේ සංස්කාරකවරයෙක්ද විය. ඔහු 1990 සැප්තැම්බර් 17 දින ටයර් සෑයක අවසන් ගමන් ගොස් තිබුණි.
මෙම අනුපිලිවෙල දකින විට පැහැදිලි වන දෙයක් ඇත. එනම් එකල මේ සිසුන් තම මරණය නියත බව දැන දැන වගකීම භාරගෙන තිබූ බවයි. මෙසේ ලෙයින් දහදියෙන් ගිලීගිය සටනක අවසානයේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස දහස් ගණන් සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙමින් අනගතයට ආයෝජනයක් කරනු ලැබිණ.
මෙසේ නම් සඳහන් නොකළ, ඡායාරුප පල නොකළ තවත් 600කට අධික ශිෂ්‍යයන් පිරිසක් 1986-90 කාල සිමාව තුල රාජ්‍ය හා වෙනත් ඝාතන කල්ලි විසින් ඝාතනය කර ඇත.
මිට අමතරව අන්තර් විශ්වවිද්‍යලිය ශිෂ්‍ය බල මණ්ඩලය ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි බලවේග සමග එක්ව දැවැන්ත අරගලයක් ගෙනගිය අතර, 1987 තහනම් මැයි දිනයේ දී අවිශිබ ඇතුළු බලවේග විසින් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ මැයි දින සමරුවට වෙඩි තබා ජයවර්ධනපුර සරසවියේ කිතිසිරි මෙවන් රණවක සිසුවා ඝාතනය කරන ලදී.
1989 ජුනි 6 වෙනි දින විවිධ බලවේග එක්කරමින් නුගේගොඩ දී ‘ඉන්දියානු අක්‍රමණිකයාගෙන් මව්බිම් බේරාගමු’ යන තේමාව යටතේ දැවැන්ත රැළියක් සංවිධානය කරන ලදී.
මුලාශ්‍ර:
ජවිපෙ දෙවැනි කැරැල්ල- ධර්මන් වික්‍රමරත්න
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය – සමාජවාදී ශිෂ්‍ය සංගමය
කවරයේ පින්තුරය: කිතිසිරි මෙවන් රණවක සිසුවාගේ ශරීරය ඔසවාගෙන යන නිමල් බාලසුරිය සහ සිසුන්. වෙඩි තැබූ පොලිස් නිලධාරියාද පසෙකින් සිටියි. (ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය)