ඇස්ටරික්ස් හෙවත් “සූර පප්පා” කතා මාලාව හැදුණ හැටි

ඇස්ටරික්ස් කියන්නේ ප්‍රංශ භාෂාවෙන් මුලින්ම පළ වී පසුව විවිධ භාෂාවලට පරිවර්තනය වූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර කතා මාලාවක්. ලංකාවේ මෙය “සූර පප්පා” නමින් ප්‍රසිද්ධ වුණේ එහි සිංහල හඬ කැවූ කාටූන් මාලාව විකාශනය වීමත් සමග යි. ප්‍රංශයේ වගේම ලංකාවෙත් එය අතිසාර්ථක වූ බව අපි කවුරුත් දන්නවා. අදටත් සූර පප්පා සහ ජිම් පප්පා විතරක් නොව​, වෙද පප්පා, ලොකු පප්පා, කෑ කෝ පප්පා, මල් කුමාරි, චූටි කුකූ, “පප්පා ගම​”, “රැජිනට යවනව කේක් එක​” ගීතය​, “සීසර් අයියා” වගේ නම් ගම් අපට හරිම හුරුපුරුදු යි.

ඇස්ටරික්ස් පොත් (Kamakshi Ayyar)

ඇස්ටරික්ස් මුල් කතා මාලාවෙ ඉතිහාසය 1959 කරා දිවෙනවා. ඇත්තෙන්ම කිවහොත්, ඉතිහාසයේ වෙච්ච අහඹුවක් හෝ දෙකක් නොවුණේ නම් අද වෙද්දී සූර පප්පා කෙනෙක් නැහැ.

ගොසිනි සහ උඩර්සෝ

මෙම සිදුවීම් අතර එකක් තමයි රෙනේ ගොසිනි සහ ඇල්බෙයා උඩර්සෝ මුණගැසීම​. මෙය සිදු වූයේ 1950 දී. බෙල්ජියානු ජාතිකය‍ෙකු වූ රෙනේ ගොසිනි ඒ වන විට ඇමෙරිකාවේ පදිංචි ව සිටියා. “වර්ල්ඩ් ප්‍රෙස්” නම් සමාගමක හිමිකරු වූ ජෝර්ජ්ස් ට්‍රොයිස්ෆොන්ටේන් තම සමාගම හා එක්වන ලෙස ගොසිනිට​ ඇරයුම් කළා. 1950 දී එම සමාගමේ පැරිස් නගර කාර්යාලයක් විවෘත වූ විට උඩර්සෝ එහි චිත්‍ර ශිල්පියා බවට පත්වුණා. ගොසිනි ද එම කාර්යාලයේ රැකියාව සඳහා පැමිණියා. දෙදෙනා මුණගැසුනේ එහි දී යි.

උඩර්සෝ (වමේ) සහ ගොසිනි (geo.fr)

මේ දෙදෙනා 1958 පමණ වන තුරු විවිධ නිර්මාණකරණයන්හි නිරත වුණත් දෙදෙනා එක්ව විශාල කාර්යයකට අත තබා තිබුණේ නැහැ. මෙම කාලසීමාව තුළ ගොසිනි සම්බන්ධ වූ ලංකාවේ ද ප්‍රකට චිත්‍ර කතාවක් වූයේ “ලකී ලූක්”. ලංකාවේ අයට “ලකී ලූක්” කිව්වම අමුතු වුණත්, “කව් ද බෝයි” කිව්වම ඒ කතා මාලාව කවුරුත් දන්නවා. 1946 දී මොරිස් නම් චිත්‍රකතා ශිල්පිය‍ෙකු විසින් නිර්මාණය කළ “ලකී ලූක්” සඳහා ගොසිනි රචකයෙකු ලෙස 1955 දී සම්බන්ධ වුණා.

ඔවුම්පා-පා (Goscinny and Uderzo)

1958 දී ටින්ටින් චිත්‍ර කතා සඟරාවේ (ප්‍රකට ටින්ටින් චිත්‍ර කතාවේ නමින් එම සඟරාව නම් කොට තිබුණා) පළ වූ ඔවුම්පා-පා චිත්‍ර කතාව ගොසිනි සහ උඩර්සෝ එක්ව අලුතින් නිර්මාණය කළ පළමු චිත්‍රකතාව යි. ඇම‍ෙරිකාවේ ප්‍රංශ ජනපද ගොඩනඟන සමය මෙයට​ පාදක කරගනු ලබනවා.

අලුත්ම වැඩක්

1959 දී රේඩියෝ ලක්සම්බර්ග් ආයතනය ගොසිනි සහ උඩර්සෝ වෙත පැමිණෙන්නේ අලුත්ම චිත්‍ර කතා සඟරාවක් සඳහා සම්බන්ධ වීමට ආරාධනා කරමින්. ඔවුනට අවශ්‍ය වූයේ ඇමෙරිකානු චිත්‍ර කතා ආකෘතිය වෙනුවට ප්‍රංශ චිත්‍ර කතා ආකෘතිය අනුගමනය කරමින්, ප්‍රංශ සංස්කෘතිය හා බැඳුණ​, සියලුම වයස්වල අයට රසවිඳිය හැකි නැවුම් සඟරාවක් එළි දැක්වීම යි. මෙම නව අදහස සංකේතවත් කරමින් සඟරාවට නම් තබන ලද්දේ පිලෝට් (නියමුවා) යනුවෙන්. මෙය එක්තරා ආකාරයක අවදානමක් වුණා. නමුත් ඇස්ටරික්ස් රසිකයන්ගේ වාසනාවට ගොසිනි සහ උඩර්සෝ මීට එකඟ වුණා.

පිලෝට් සඟරාවක් (Pinterest)

නමුත් ගොසිනි සහ උඩර්සෝ මුලින්ම සැලසුම් කළේ ඇස්ටරික්ස් මෙන් වූ කතාවක් නොවේ. ඔවුන් තෝරාගත් චරිතය වූයේ රෙනාර්ඩ් නම් හිවලා යි. රෙනාර්ඩ් නම් හිවලා පිළිබඳ කතා ප්‍රංශ ඉතිහාසයේ මධ්‍යතන යුගය කරා දිවෙන ජනකතා සමූහයක් වනවා. මේ හේතුව නිසා ම ප්‍රංශ සංස්කෘතිය සංකේතවත් වන​, එමෙන්ම මීට කලින් දැක නැති ආකාරයේ කතා මාලාවකට එය කදිම තේමාවක් වුණා.

නමුත් සඟරාව එළි දැක්වීමට මාස දෙකක් තිබිය දී ගොසිනි සහ උඩර්සෝගේ සැලසුම් වෙනස් කිරීමට සිදු වුණා. ඔවුනට දැනගන්නට ලැබුණේ ජෙන් ටෘබර් නම් චිත්‍ර ශිල්පියකු රෙනාර්ඩ් නම් හිවලා පාදක කරගත් කතා මාලාවක් නිර්මාණය කරන බව යි.

ගොසිනි සහ උඩර්සෝ අන්ත අසරණ වුණා. මාස දෙකක් තුළ ඔවුන් රසිකයන්ගේ සිත් ගත් කතාවක් නිර්මාණය කළ යුතු වුණා.

ඉතිහාසය සීසර්ගේ දෙපා මුල

ගොසිනි සහ උඩර්සෝ ප්‍රංශ ඉතිහාසය පීරන්නට පටන් ගත්තේ සිත් ගන්නාසුළු සිදුවීමක් සොයමින්. මේ අතර ඔවුන් සීසර්ගේ ගෝල් දේශයේ යුධ ව්‍යාපාරය කරා පැමිණියා.

ඉතිහාසයේ සඳහන් අන්දමට වර්සින්ගෙටෝරික්ස් නම් ගෝල් නායකයකු සීසර්ට එරෙහිව දරුණු සටනක් කරනවා. නමුත් රෝමන් හමුදාවේ යුධ ශක්තිය හමුවේ ඔහු අවසානයේ දී යටත් වන අතර යටත් වීම සංකේතවත් කරන්නේ තමන්ගේ අවි ආයුධ සීසර්ගේ දෙපා මුල තබමින්.

“වර්සින්ගෙටෝරික්ස් ආයුධ සීසර්ගේ දෙපා මුල තියන්නේ නැතිව සීසර්ගේ දෙපා වෙත විසි කළා නම් කොහොම ද​?” මේ ඔවුනට​ මතු වූ සිතුවිල්ල යි.

වර්සින්ගෙටෝරික්ස් සීසර්ගේ දෙපා මුල ආයුධ වීසි කරයි (Goscinny and Uderzo)

මේ ඔස්සේ සිය අදහස් මෙහෙය වූ ගොසිනි සහ උඩර්සෝ මහා රෝමන් හමුදාවට මුහුණදෙන කුඩා ගම්මානයක සංකල්පය මතු කරගත්තා. මෙය ප්‍රංශ දේශප්‍රේමයට ද කදිමට ගැළපුණා. එමෙන්ම කුඩා පිරිසක් විසින් මහා යුධ බලයකට එරෙහිව සටන් කිරීම සාමාන්‍යයෙන් ඕනෑම ජන සමාජයක ජනප්‍රිය වන මාතෘකාවක්. ඊට හාස්‍යය රසය එක් කිරීමෙන් රචකයා වූ ගොසිනි රසිකයන්ගේ සිත් ඇද බැඳ තබාගත්තා.

පිලෝට් පළමු කලාපය 1959 ඔක්තෝබර් 29 වන දා නිකුත් වුණා. එදින පටන් ඇස්ටරික්ස් ලෝකය ම කුල්මත් කළ අතිශයින් ජනප්‍රිය කතාමාලාවක් බවට පත්වුණා. එය කෙතරම් ඉක්මණින් ප්‍රංශ ජනයාගේ ආදරය දිනාගත්තේ ද යත්, කතා මාලාව නිකුත් වී වසර හයක් වැනි කෙටි කාලයකට පසු 1965 දී, ප්‍රංශය විසින් දියත් කළ පළමු චන්ද්‍රිකාවට නම තබන ලද්දේ ද “ඇස්ටරික්” යනුවෙන්.

ගොසිනි 1977 දී මියගිය අතර ඉන්පසු උඩර්සෝ ඇස්ටරික්ස් සඳහා චිත්‍ර ඇඳීමට අමතරව කතා ලිවීම ද සිදු කළා. 2011 දී ඔහු ඒ සියල්ලෙන් විශ්‍රාම ගත් අතර මේ වෙද්දී ශෝන්-ඉවේ ෆෙරී රචනයෙන් ද දිදියර් කොන්රඩ් චිත්‍ර ඇඳීමෙන් ද ඊට දායක ව‍ෙනවා.

කවරය: සූර පප්පා සහ ජිම් පප්පා (Goscinny and Uderzo)

මූලාශ්‍රයයන්:

1. Asterix Creator on His Life’s Work (The Connexion)

2. An Introduction to the Asterix Comic Books (The Fandomentals)

Related Articles

Exit mobile version