දුර්වල ආර්ථික කළමනාකරණය නිසා බිඳ වැටුණු රටවල් 3ක්

වර්තමානය වන විට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ජනතාවගේ මූලික අවශ්‍යතා අතර ඉදිරියෙන් ම තිබෙන ගෑස්, ඉන්ධන, විදුලිය වැනි දේවල් නිසි පරිදි සැපයීමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් විශාල නොසන්සුන්තාවක් රට තුළ ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීම සඳහා පසුගිය කාලයේ දී ආණ්ඩු ගත් දුර්වල තීරණ හේතු වුණා.

එහි දී ආණ්ඩුව අනුගමනය කළ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා අද වන විට අප රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය විශාල ලෙස පහත වැටී තිබෙනවා. රට ආර්ථික වශයෙන් දුර්වල වෙද්දී උද්ධමනය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව දැඩි පීඩනයකට පත් ව සිටිනවා.

ඉන්ධන පෝලිම්වල සිටින ශ්‍රී ලාංකික ජනතාව – ft.lk

 

දිගු කලක් තිස්සේ අප රට තුළ පැවති දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙවැනි දරුණු අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ගෙවුණු දශක කිහිපය තුළ දිගින් දිගට ම ආර්ථික අර්බුදවලට මුහුණ දුන් රටවල් කිහිපයක් අපට හමු වෙනවා. ඒ අතුරින් රටවල් 3ක් පිළිබඳ ව තොරතුරුයි මේ.  

1). සිම්බාබ්වේ 

ගෙවුණු දශක කිහිපය තුළ දැඩි ආර්ථික පරිහානියකට ලක් වුණු රටවල් අතුරින් සිම්බාබ්වේ දේශය ඉදිරියෙන් ම සිටිනවා. රොබට් මුගාබේ ජනාධිපතිවරයා දශක 4කට ආසන්න කාලයක් පුරා ගෙන ගිය දූෂිත පාලනය නිසා එම රටට එවැනි ඉරණමක් අත් වුණා. 1980 සිම්බාබ්වේ මහා මැතිවරණයේ දී සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව, දේශප්‍රේමී පෙරමුණ නම් පක්ෂයෙන් සටනට පිවිසි රොබට් මුගාබේ වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගෙන අගමැති තනතුරට පත් වුණා. 1987 දී සිම්බාබ්වේ ව්‍යවස්ථාව වෙනස් කළ මුගාබේ විධායක බලතල සහිත ජනාධිපති තනතුරක් ඇති කළා. 1987 දෙසැම්බර් 30 වැනිදා මුගාබේ එම තනතුරට පත් වුණා.

රොබට් මුගාබේ 80 දශකයේ දී – gettyimages.com

 

මුගාබේගේ දූෂිත පාලනය නිසා 1990 දශකයේ මැද භාගයේ සිට එරට ආර්ථිකය කඩා වැටුණා. රටේ ජනතාවට රැකියා සහ මුදල් නොමැති වෙද්දී මුගාබේ රජය කළේ සීමාවක් නොමැතිව මුදල් අච්චු ගැසීම යි.

කර්මාන්ත හා නිෂ්පාදන කඩා වැටීමෙන් භාණ්ඩ හිඟයක් ඇති වුණු  විට ඒ සුළු භාණ්ඩ ප්‍රමාණය මිලට ගැනීමට සඳහා විශාල තරගයක් ඇති වුණා. එවිට බඩු මිල ඉහළ ගියා. 

සිම්බාබ්වේ රාජ්‍යයේ සුපිරි වෙළෙඳසැල්වල රාක්ක හිස්ව තිබුණු ආකාරය – bbc.com

 

මුදල් හිඟ වීම හේතුවෙන් ආණ්ඩුව තව තවත් මුදල් අච්චු ගැසුවා. අයහපත් කළමනාකරණය හේතුවෙන් නිෂ්පාදන අඩපණ වුණා. භාණ්ඩ හිඟයට ප්‍රතිකර්මයක් නොවූ හෙයින් මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ ඇදී ගියා. ආණ්ඩුව ද තමන් සතු එක ම උපක්‍රමය වුණු මුදල් අච්චු ගැසීම දිගට ම කර ගෙන ගියා.

සිම්බාබ්වේ ඩොලරය තුන් වතාවක් අව ප්‍රමාණය කිරීමෙන් පසුවත් මෙම කඩා වැටීම පාලනය කරන්න ආණ්ඩුවට නොහැකි වුණා. අවසානයේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් පවා අච්චු ගැසීමට ඔවුන්ට සිදු වුණා. 

ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුව – cnn.com

 

විකල්පයක් නොමැති තැන සිම්බාබ්වේ ආණ්ඩුව සිම්බාබ්වේ ඩොලර් භාවිතය 2009 අප්‍රේල් මාසයේ දී ඉවත් කළා. ඉන් අනතුරුව අමෙරිකන් ඩොලර්, යූරෝ, දකුණු අප්‍රිකානු රෑන්ඩ්, චීන යුවාන් ආදී මුදල් ඒකක එරට තුළ භාවිත කරන්නට පටන් ගත්තා. එසේ මුගාබේ පාලන සමයේ දී අනුගමනය කළ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා සිම්බාබ්වේ දේශය විනාශයට පත් වුණා. මේ  වන විට මුගාබේ ජනාධිපතිවරයා මිය ගොස් වසර 2ක් ඉක්මවා තිබුණ ද සිම්බාබ්වේ ජනතාව ඔහු කළ විනාශයේ ප්‍රතිඵල තවමත් භුක්ති විඳිමින් සිටිනවා. 

2). වෙනිසියුලාව

දකුණු අමෙරිකානු මහද්වීපයට අයත් රටක් වන වෙනිසියුලාව ගෙවුණු දශක කිහිපය  තුළ ලොව ප්‍රමුඛත ම බොරතෙල් නිෂ්පාදකයෙක් බවට පත්ව සිටියා. 1950 දශකයේ සිට 1980 දශකයේ මුල් භාගය දක්වා වෙනිසියුලාවේ ආර්ථිකය සමෘද්ධිමත් එකක් වුණා.

නමුත් 1980 දශකයේ මැද භාගයේ සිට එරට ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තා. ඒ 1980 දශකයේ මැද භාගයේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බැසීමත් සමඟ යි. 

80 දශකයේ දී ආර්ථික අර්බුදයෙන් බැට කෑ වෙනිසියුලා ජනතාව – telesurenglish.net

 

එවකට වෙනිසියුලාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජේමි ලුසින්චි ආර්ථික කඩාවැටීම පාලනය කිරීම සඳහා නිසි පියවර ගැනීමට අසමත් වුණා. ඔහුගේ දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් 1986 දී අමෙරිකානු ඩොලර් බිලියන 60.39ක් බවට පත්ව තිබුණු දළ දේශීය නිෂ්පාදිතය, 1989 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 43.53ක් දක්වා අඩු වුණා. එපමණක් නොව 1986 දී 6.51% ලෙස පැවති ආර්ථික වර්ධන වේගය 1989 වන විට ඍණ 8.57ක් දක්වා පහත බැස්සා.

ජනාධිපති ජේමි ලුසින්චි (elmundo.es)

 

රට තුළ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යද්දී ජනතාව අරගල කරන්නට පටන් ගත්තා. බොරතෙල් මඟින් ලැබුණු ආදායම අඩු වෙද්දී රටේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් තිබුණේ නැහැ. එනිසා පිටරටින් භාණ්ඩ ආනයනය සීමා කිරීමට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ භාණ්ඩ හිඟයක් ඇති වුණා. එම යුගයේ දී අසීමිත ව මුදල් අච්චු ගැසීම නිසා වෙනිසියුලා බොලිවාර් මුදල් ඒකකය අව ප්‍රමාණය වුණා.

1990 දශකයේ මැද භාගය වන විට වාර්ෂික උද්ධමන අනුපාතය 60% දක්වා ඉහළ ගියා. දරිද්‍රතාවයේ ජීවත් වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය 66% දක්වා ඉහළ ගියා. එපමණක් නොව බැංකු පද්ධතිය කඩා වැටීම හේතුවෙන් විශාල අර්බුදයක් රට තුළ නිර්මාණය වුණා.

රජයට එරෙහිව විරෝධය පළ කළ වෙනිසියුලා ජනතාව – pinterest.com

 

1999 දී හියුගෝ චාවේස් බලයට පත්වීමෙන් පසුව ද වෙනිසියුලාවේ ආර්ථික අර්බුදයට ස්ථීර විසඳුමක් ලැබුණේ නැහැ. නිවාස හිඟය, භාණ්ඩ හිඟය, උද්ධමනය, විරැකියාව, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය වැනි අර්බුද දිගට ම පැවතුණා. එකල වෙනිසියුලා රජය අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බලවත් රටවල්වලින් ලැබුණු ආධාර ද බොහෝ සෙයින් අඩු වුණා.

එම යුගයේ දී වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යද්දී මානව හිමිකම් කඩවීම් බොහෝ ප්‍රමාණයක් සිදු වුණා. එපමණක් නොව මැතිවරණ දූෂණ ද වාර්තා වුණා. හියුගෝ චාවේස් පාලන සමයේ ඔහුට එරෙහි ව එල්ල වුණු වංචා දූෂණ චෝදනාවලට එරෙහි ව ජනතාව අරගල කළා. එනිසා රට තුළ නොසන්සුන්තාවක් ඇති වුණු අතර රටේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර අතට හැරුණා.

හියුගෝ චාවේස් – channel4.com

 

 චාවේස් 2013 දී මරණයට පත්වීමෙන් පසු ගෙවුණු වසර 9ක කාලය තුළ වෙනිසියුලාවේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා.. 2014-2015 කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් වෙනිසියුලාවේ ආර්ථික අර්බුදය උත්සන්න වුණා. රටේ වියදම සඳහා අධික ලෙස මුදල් අච්චු ගැසීම හේතුවෙන් වෙනිසියුලා බොලිවාර් මුදල් ඒකකය අසාමාන්‍ය ලෙස අව ප්‍රමාණය වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස එරට ජනතාව මුදල් නෝට්ටු කුණු ගොඩවල්වලට විසි කරන තත්ත්වයකට පත් වුණා. වෙනිසියුලානු පාලකයන් දිගින් දිගට ම අනුගමනය කළ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට එම රාජ්‍යය ලොව දුප්පත් ම රටවල් අතුරින් එකක් බවට පත්ව තිබෙනවා.

විසිකර දමා තිබෙන වෙනිසියුලා බොලිවාර් මුදල් නෝට්ටු – khmertimeskh.com

 

3). ආජන්ටිනාව 

1970 දශකයේ මුල් භාගය වන විට ආජන්ටිනාවේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත් ව තිබුණා. 1975 වන විට ආජන්ටිනා ආර්ථික ආමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ සෙලෙස්ටිනෝ රොද්‍රිගෝ හඳුන්වා දුන් දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. එහි දී 150%ක් වැනි ඉහළ අගයකින් පෙසෝ ලේ මුදල් ඒකකය අවප්‍රමාණය වෙද්දී, ඉන්ධන මිල 180%කින් ඉහළ ගියා. එහි බලපෑම හේතුවෙන් උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

ජීවන වියදම දරාගත නොහැකි තරම් ඉහළ යද්දී ජනතාව රජයට එරෙහි ව අරගල කරන්නට පටන් ගත්තා. 1970 දශකය මැද භාගයේ දී ඇති වුණු එම ආර්ථික අර්බුදය 1980 දශකයේ මුල් භාගය වන විට උග්‍ර තත්ත්වයකට පත් වුණා. එකල පැවති රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය ද එයට බලපෑවා. 1981 මාර්තු සිට 1982 ජූලි දක්වා ගෙවුණු කෙටි කාලය ඇතුළත ජනාධිපතිවරුන් 6 දෙනෙක් ආජන්ටිනාව පාලනය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

1970 දශකයේ ආජන්ටිනාව තුළ පැවති විරෝධතා – worldpoliticsreview.com

 

1983 වසර ආරම්භ වන විට වර්ධනය වුණු රාජ්‍ය වියදම්, අකාර්යක්ෂම නිෂ්පාදනය, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය, අධික උද්ධමනය වැනි හේතු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට ආජන්ටිනා පාලකයන් තීරණය කළා. 1983 අගෝස්තු මාසයේ දී ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරට ගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් ඇති ව තිබුණු ආර්ථික අර්බුදය පිළිබඳව යම් කිසි අධ්‍යයනයක නිරත වුණා.

ඉන් අනතුරුව ඔවුන් ආජන්ටිනා රජයට උපදෙස් ලබා දුන්නා. 1970-1983 කාලය තුළ ආජන්ටිනාවේ මුදල් ඒකකය ලෙස පැවති පෙසෝ ලේ වෙනුවට අලුතින් ආජන්ටිනා පෙසෝ නමින් මුදල් ඒකකයක් හඳුන්වා දීම එම කාලයේ දී සිදු වුණා. එහි දී පෙසෝ ලේ 10000ක වටිනාකම ආජන්ටිනා පෙසෝ 1කට සමාන කළා.  

පෙසෝ ලේ මුදල් නෝට්ටුවක්  -banknoteworld.com

 

1983 දෙසැම්බරයේ දී  ආජන්ටිනා ජනාධිපති තනතුරට පත්වුණු රාවුල් අල්ෆොන්සින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟින් සාකච්ඡා කළා. එම කාලයේ දී බ්‍රසීලය, කොලොම්බියාව, මෙක්සිකෝව සහ වෙනිසියුලාව යන රටවල් ආජන්ටිනාවට අමෙරිකානු ඩොලර් මිලියන 300 බැගින් ණයට ලබා දුන්නා. 1984 සැප්තැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවකින් පසුව ආජන්ටිනාවට සහන රැසක් ලැබුණා.

1985 දී ආජන්ටිනාවට ඔස්ට්‍රල් නම් නව මුදල් ඒකකය හඳුන්වා දුන්නා. එහි දී ආජන්ටිනා පෙසෝ 1000ක වටිනාකම ඔස්ට්‍රල් 1කට සමාන කළා.  එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් සිදුවුණු ක්‍රියාවලිය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට ආජන්ටිනා රජයට හැකි වුණේ නැහැ. ඔවුන් දිගින් දිගට ම ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් 1989 වන විට ආජන්ටිනාවට ණය දීම අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළා.

ජනාධිපති රාවුල් අල්ෆොන්සින් – eleditorplatense.com.ar

 

1989 මැයි මාසයේ දී බලයට පත්වුණු කාලෝස් මෙනම් ජනාධිපතිවරයා ආජන්ටිනාවේ ආර්ථික අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගත්තා. එහි දී ඔහු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරමින් අර්බුදය විසඳීමට උත්සාහ කළා. නමුත් එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැහැ. 1992 ජනවාරි 1 වැනිදා සිදු කළ මුදල් ප්‍රතිසංස්කරණයක් මඟින් ඔස්ට්‍රල් මුදල් ඒකකය වෙනුවට නැවතත් පෙසෝ හඳුන්වා දුන්නා.

එහි දී ඔස්ට්‍රල් 10000ක වටිනාකම පෙසෝ 1කට සමාන කළා. එවකට ආජන්ටිනා රජය අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වුණේ නැහැ. එහි පෙසෝ මුදල් ඒකකය අවප්‍රමාණය වීම, විරැකියාව වැඩිවීම, විදේශ විනිමය සංචිත ප්‍රමාණය අඩු වීම, වෙළෙඳ ශේෂ හිඟය වැඩි වීම දිගින් දිගට ම සිදු වුණා. 

90 දශකයේ දී ආජන්ටිනාව තුළ පැවති විරෝධතා – pinterest.com

 

ආජන්ටිනා ආර්ථික අර්බුදය අඛණ්ඩව පැවතීම හේතුවෙන් 1998 දී එරට මහා ආර්ථික අවපාතයක් ඇති වුණා. එම ආර්ථික අවපාතය ආරම්භ වී මාස කිහිපයක් ගතවෙද්දී එරට බාහිර ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% සීමාව ඉක්මවා ගියා. එම අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු හරහා රටේ අයවැය තුලනය කරන ආකාරය පිළිබඳ ආජන්ටිනා රජය දැනුම්වත් කළා. 

එහි දී සිදු කළ ඩොලර් බිලියන 1.4ක කප්පාදුව හේතුවෙන් විරැකියාව 14%කින් ඉහළ ගියා. එපමණක් නොව බදු අනුපාත විශාල ලෙස ඉහළ දැමීමට සිදු වුණා. 2001 වසර වන විට ආජන්ටිනාවේ විරැකියාව 20% දක්වා ඉහළ ගියා. රට තුළ පැවති ආහාර සහ භාණ්ඩ හිඟය නිසා ජනතාව වීදි බසිමින් රජයට එරෙහිව සිය විරෝධය පළ කළා. 

1998-2002 ආජන්ටිනාවේජනතාව වීදි බසිමින් රජයට එරෙහිව සිය විරෝධය පළ කළා – zyri.net

 

ජනතා විරෝධය උත්සන්න වීම නිසා ජනාධිපති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව නැවත වරක් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දින 13ක් ඇතුළත ජනාධිපතිවරුන් 4ක් බලයට පත්වුණා. ඉන් පසු ව බලයට පත්වුණු ආණ්ඩුවලට ද ආජන්ටිනාවේ ආර්ථික නඟාසිටුවීමට හැකි වුණේ නැහැ. එනිසා වසරින් වසර එරට ණය ප්‍රමාණය වැඩි වුණා. මුදල් ඒකකය අව ප්‍රමාණය වුණා. එම තත්ත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් ආජන්ටිනාව ද  අද වන විට ලොව දිළිඳු ම රටවල් අතුරින් එකක් බවට පත් ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය - භාණ්ඩ මිල දී ගැනීම මුදල් ගෙන යන සිම්බාබ්වේ වැසියෙක් - youtube.com

මූලාශ්‍ර:

macrotrends.net

cfr.org

usatoday.com

americasquarterly.org

reuters.com

Related Articles

Exit mobile version