එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ගමන් මග

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමත් සමඟ ලෝක සාමය ඇති කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම මූලික අරමුණ කොටගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැණුනා. දැනට මෙම සංවිධානය සමඟ රටවල් 193 ක් අත්වැල් බැඳගෙන සිටින අතර, ශ්‍රී ලංකාවත් එයින් එක් රටක්.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට අැති සාමාජික රටවල ධජයන්. (stlucianewsonline.com)

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජිකත්වය ලබා ගෙන අැත්තේ 1955 දෙසැම්බර් මස 14 වැනිදායි. එදා සිට අද දක්වා වසර 60 කටත් අධික කාලයක් තුළ මෙම සංවිධානයේ සක්‍රීය දායකත්වයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙනවා. කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ, 202 – 204 යන ලිපිනයේයි මෙහි ශ්‍රී ලංකා කාර්යාලය පිහිටා ඇත්තේ.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශාඛා සංවිධාන 21 ක ක්‍රියාකාරීත්වයන් දක්නට ලැබෙනවා. මෙම සංවිධාන ශ්‍රී ලංකා රජය, මහජනතාව සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ අත්වැල් බැඳ ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණු සහ පරමාර්ථ වලට එකඟව කටයුතු කරනු ලබනවා.

මෙතෙක් ආ ගමන් මඟෙහි වැදගත් සන්ධිස්ථාන

1948 – එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක කම්කරු සංවිධානය (ILO) සහ එක්සත් ජාතින්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ ශාඛා ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථාපනය කිරීම.

1952 – ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකා නිල කාර්යාලය පිහිටුවීම. මෙමඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබනවා.

1954 – ශ්‍රී ලංකාව ලෝක බැංකු සමූහයේ (WBG) සාමාජිකත්වය ලබා ගැනීම. මෙමඟින් ශ්‍රී ලංකාවට පළමු ණය මුදල ලබා දෙන ලද්දේ 1954 දී ඇබර්ඩීන් – ලක්ෂපාන විදුලි ජනන ව්‍යාපෘතිය සඳහායි.

1955 – 1955 දෙසැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජිකත්වය ලබා ගැනීම.

1956 – එවකට ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස සිටි S.W.R.D. බණ්ඩාරනායක මහතා පළමු වරට 11 වන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම.

S.W.R.D. බණ්ඩාරනායක අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී (lk.one.un.org)

1967 – එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයෙකු වූ යූ තාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය 1967 අප්‍රේල් 10 වෙනිදා සිදුවුණි. එ් සමඟම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය.

1968 – ලෝක ආහාර වැඩසටහන (WFP) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම ආරම්භ වීම.

1969 – එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම.

1973 – යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් ස්ථාපනය කිරීම.

1978 – කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) පිහිටුවීම.

1982 – පළමු යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව පූජා නගරය සහ සීගිරිය නම් කිරීම. අද වන විට මෙම ලැයිස්තුවට තවත් සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන 3 ක් සහ ස්වභාවික උරුමයන් දෙකක් ඇතුලත් වී තිබෙනවා. ඒ 1988 දී නම් කරන ලද ගාලු කොටු පවුර ඇතුළත් ගාල්ල නගරය සහ මහනුවර පූජා නගරය, 1991 දී නම් කරන ලද රන්ගිරි දඹුළු විහාරය, 1988 දී නම් කරන ලද සිංහරාජ රක්ෂිත වනාන්තරය සහ 2010 දී නම් කරන ලද ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය යනාදියයි.

ශ්‍රී ලංකාවේ පළමු යුනෙස්කෝ ලෝක උරුමයන් (lk.one.un.org)

1990 – සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානය (IOM) පිහිටුවීම.

1998 – එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සම්බන්ධ කාර්යාලය (UNOPS) පිහිටුවීම.

2001 – UNAIDS වැඩසටහන ආරම්භ කිරීම. මෙමඟින් 2030 වනවිට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් රෝගය මුළුමනින්ම තුරන් කරවීමට අපේක්ෂා කෙරෙනවා.

2004 – සුනාමි ඛේදවාචකයෙන් විපතට පත් වූවන්ට මූල්‍යමය, ද්‍රව්‍යමය සහ පිරිස් සහාය ලබා දීම.

2004 සුනාමි ව්‍යසනය. (lk.one.un.org)

2005 – එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆී අනන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆී අනන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය (lk.one.un.org)

2007 – ස්වභාවික විපත්වලින් විපතට පත් වූවන්ට සහ උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ සරණාගතයන්ට මානුෂිය ආධාර සැපයීම.

2009 – එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා වූ බෑන් කී මූන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය.

2014 – 15 වන ජාත්‍යන්තර තරුණ සමුළුව කොළඹදී පැවැත්වීම.

15 වන ජාත්‍යන්තර තරුණ සමුළුව (lankaweb.com)

2015 – ශ්‍රී ලංකාවේ සහස්‍ර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම පිළිබඳ තොරතුරු සමාලෝචනය.

ශ්‍රී ලංකාවට ලැබුණු සහාය.

එදා මෙදා තුර ශ්‍රී ලංකාව තුළ සිදුවූ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයකට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වා තිබෙනවා. එලෙසම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටම දියුණු කරගැනීමට සහ ආර්ථික සමාජයීය දියුණුව අත් කරගැනීමට මෙම සංවිධානය විශාල දායකත්වයක් සපයා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ද මෙම සංවිධානයේ මැදිහත්වීම් දක්නට ලැබෙනවා. යුධමය තත්ත්වයන්ගෙන් සහ සුනාමි වැනි ස්වභාවික ආපාදාවන්ගෙන් පසු නැවත ගොඩනැගීමේ කාර්යයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කර ඇති මෙහෙය අති විශාලයි.

EU-SDDP වැඩසටහන හා ඒ සම්බන්ධ වෙනත් සංවිධාන (lk.one.un.org)

වර්තමානයේදී මෙම සංවිධානය මගින් රාජ්‍ය අනුග්‍රහය සහිතව, වෙනත් සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබනවා. යුරෝපා සංගමය සහාය ලබා දෙන දිළිඳුකම තුරන් කරවීම සහ ආර්ථික සංවර්ධනය ළඟා කරගැනීම සඳහා වන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන හෙවත් EU-SDDP වැඩසටහන, වනාන්තර හායනය වැළැක්වීම සඳහා වන UN-REDD වැඩසටහන  ඒ අතරින් කිහිපයක්.

UN-REDD වැඩසටහන හා ඒ සම්බන්ධ වෙනත් සංවිධාන (youtube.com)

ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක

තිරසාර සංවර්ධන ඉලක්ක (eco-business.com)

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 සැප්තැම්බර් මාසයේදී සම්මත කරගන්නට යෙදුණු ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් වෙත ශ්‍රී ලංකාවට ළඟා වීමට මෙම සංවිධානය අනුග්‍රහය දක්වනවා. එම ඉලක්කයන් වන්නේ දරිද්‍රතාවය තුරන් කිරීම, කුසගින්න දුරු කිරීම, යහපත් සෞඛ්‍යය හා සුභසාධනය, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, පිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම, සැමට තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම, ආර්ථික දියුණුව හා සුරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීම, කර්මාන්ත, යටිතල පහසුකම් හා නවෝත්පාදනය දියුණු කිරීම, රටවල් අතර ආදායම් බෙදී යාමේ විෂමතාවය අඩු කිරීම, තිරසාර නගර සහ ජනාවාස ඇති කිරීම, වගකීම් සහිත පරිභෝජනය හා නිෂ්පාදනය, දේශගුණ විපර්යාසවලට ක්‍රියාමාර්ග ගැනීම, සාගර, සාගර සම්පත් හා ජලජ ජීවීන් සුරක්ෂිත කිරීම, ජෛව විවිධත්වය හා ජෛව පද්ධති සුරැකීම, සාමය ඇති කිරීම හා යුක්තිය හා සාධාරණය ඇති කරන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට පොදු වැඩපිළිවෙලක් සැකසීම සහ රටවල් සහයෝගයෙන් කටයුතු කිරීම යන 17 යි. මෙම ඉලක්ක 2030 වර්ෂය වන විට සපුරා ගැනීමට නියමිතයි.

කවරයේ පිංතූරය – beapeacekeeper.com

මූලාශ්‍ර:

  1. lk.one.un.org

Related Articles

Exit mobile version