කාලය සමග ක්ෂය වී නොගොස් කෙටි කලකින්ම යළිත් ජනනය වන බලශක්ති ප්‍රභවයන්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යන පොදු නාමයෙන් හඳුන්වනවා. සූර්ය ශක්තිය, සුළං බලය, උදම් ශක්තිය, ජීව ඉන්ධන වැනි ප්‍රභවයන් ඒ සඳහා උදාහරණයන් ලෙස දැක්විය හැකියි. එම ප්‍රභවයන් අතරින් සුළං බලය දිගු කලක සිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙසින් භාවිතා කළා. වර්තමානය වන විට සුළං බලය යොදාගෙන ඇතැම් රටවල් මහා පරිමාණයෙන් විදුලිය නිපදවනු ලබනවා.
සුළං මෝල්වල ඉතිහාසය ගැන කෙටියෙන්
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අතරින් වර්තමානයේ දී බොහෝ රටවල් භාවිතා කරන ශක්ති ප්‍රභවයන් අතරින් සුළං බලයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඒ අනුව දැනටමත් සමහර රටවල් සුළං මෝල් ක්‍රියාත්මක කරමින් මහා පරිමාණයෙන් විදුලිය නිපදවනු ලබනවා. එසේම සමහර රටවල් ඉදිරියේ දී සුළං බලය පුනර්ජනනීය බල ශක්තියක් ලෙස යොදාගැනීම සඳහා පිඹුරුපත් සකසමින් සිටිනවා.
මිනිසුන් සුළං බලයෙන් ප්‍රයෝජන ගැනීම ආරම්භ කළේ මීට සියවස් ගණනාවකට පෙර සිට යි. එයට හොඳම නිදසුන ලෙසින් දැක්විය හැක්කේ දැනටත් ඉරානය තුළ ක්‍රියාත්මක වන ඇස්බඩ්ස් නම් සුළං මෝල යි. ඉරානයේ නිෂ්ටාෆූන් නම් ප්‍රදේශයේ පිහිටා ඇති එම සුළං මෝල වසර 1000කටත් වඩා පැරණි එකක් බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා.
වර්තමානයේ දී සුළං මෝල් භාවිතා කරමින් විදුලිය නිපදවීම සිදු කළත් මධ්‍යතන යුගයේ දී ඇතැම් රටවල් නිර්මාණය කළ සුළං මෝල් භාවිතා කළේ වෙනත් කාර්යයන් සඳහා යි. ඒ අනුව එකල ජලය පොම්ප කිරීම, සහ පිටි ඇඹරීම වැනි කාර්යයන් කිරීම සඳහා සුළං මෝල් භාවිතා කරනු ලැබුවා. ලංකාවේ සමනල වැව, සහ අලකොළවැව ප්‍රදේශවලින් සොයාගත් උඳුන්වල යපස් උණුකිරීමට ගිනි දැල්වීම සඳහා ද පුරාණයේ සුළං බලය යොදාගෙන තිබුණා.
නෙදර්ලන්තය සහ සුළං මෝල්
“සුළං මෝල්” යන නම ඇසූ සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ නෙදර්ලන්තය යි. ඒ සියවස් ගණනාවක සිට ඔවුන් විවිධ කාර්යයන් සඳහා සුළං මෝල් භාවිතා කිරීම නිසා යි. නෙදර්ලන්තය කියන්නෙ අපූරු භූ විෂමතා ලක්ෂණවලින් සමන්විත රටක්. එහි සමහර වෙරළබඩ ප්‍රදේශ පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා පහළින්. එම නිසා දිගු කාලයක සිට නෙදර්ලන්තය ගංවතුර තර්ජනවලට ලක් වුණා. පහත සිතියමෙහි දක්වා තිබෙන්නේ නෙදර්ලන්තයේ මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටා තිබෙන ප්‍රදේශ යි.
නෙදර්ලන්තය නිතර ගංවතුරවලට ගොදුරු වීම නිසා විශාල පිරිසක් මියගියා සේම තවත් පිරිසක් අවතැන් වුණා. 16 වැනි සියවසේ දී නෙදර්ලන්තය මුහුණදුන් දරුණුතම ගංවතුර තත්ත්වය නිසා ලක්ෂයකට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. ගංවතුර තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කළා. එහි දී නෙදර්ලන්ත ජාතිකයන් යොදාගත් එක් උපක්‍රමයක් වුණේ සුළං මෝල් මඟින් බලය නිපදවා, අතිරික්ත ජලය ඉවත් කිරීම යි.
3) නෙදර්ලන්තය ගංවතුරට මුහුණදුන් අවස්ථාවක් (Financial Times)
1631 වසරේ දී පමණ උතුරු නෙදර්ලන්තයේ තනා තිබුණු සුළං මෝල් 50කින් විනාඩියකට ජලය ඝන මීටර් 1000ක් පමණ ඉවත් කිරීමට හැකි වුණා. එම සුළං මෝල් 50 වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වුණු නිසා විශාල ජල පරිමාවක් ගොඩබිමෙන් ඉවත් කිරීමට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ප්‍රදේශවල යළි ජනාවාස ඇති කිරීමට ද අවස්ථාව ලැබුණා.
එසේම එකල ඕලන්දය සතුව විශාල නාවික බලයක් තිබුණා. එම නිසා ඔවුන්ට විශාල රුවල් නැව් තැනීමට අවශ්‍ය වුණා. නමුත් මිනිස් බලය යොදාගෙන විශාල දැව කඳන් ඉරීමට හැකියාවක් තිබුණේ නැහැ. එදා ඕලන්ද ජාතිකයන් එම කාර්යය සඳහා යොදාගනු ලැබුවේ සුළං මෝල මඟින් ලැබුණු බලය යි.
නෙදර්ලන්තයේ සුළං මෝල් සාදා තිබුණු අයුරු
නෙදර්ලන්තයේ පැරණි සුළං මෝල්වල තිබුණු විශේෂ ලක්‍ෂණයක් වුණේ ඒවා සෑදීමේ දී යකඩ හෝ වෙනත් ලෝහ ඇණ භාවිතා නොකිරීම යි. එම සුළං නිර්මාණය කිරීම සඳහා මැටි, සම්, සහ ලී යන මාධ්‍යයන් භාවිතා කළා. ඕලන්ද ජාතිකයන් දක්ෂ නාවිකයන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි නිසා සුළං ධාරා හැසිරෙන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් තිබුණා. එදා ඕලන්දය තුළ දක්නට ලැබුණු දැවැන්ත සුළං මෝල්වල පංකාව සවි කර ඇති අක්ෂය අඩි තුනක පමණ විෂ්කම්භය ඇති ගසක කඳක්. තිරස්ව පැවති එම කඳ, ලොකු ‘මෙරි -ගෝ-රවුන්ඩ්’ එකක් සේ සකසන ලද තිරසට තලය ඇති දැති රෝදයක් කරවනු ලැබුවා. එහි සිරස් අක්ෂය ඉහළ සිට පහතට ගැනීමේ දී විවිධ වේගයන්ට අනුව හැසිරවීම සඳහා ගියර් පද්ධතියක් තිබුණා. එමඟින් එක් එක් කාර්යයන්ට ගැලපෙන පරිදි ශක්තිය ලබාගැනීමට හැකියාව ලැබුණා. පැරණි සුළං මෝල් එතරම් කාර්යක්‍ෂම නොමැති වුණත් දැවැන්ත බලයක් තිබුණු නිසා ඔවුන්ගේ සරල අවශ්‍යතාවයන් ඉටුකරගනු ලැබුවා.
සුළං මෝලක වේගය එහි පංකාවල වදින සුළඟේ වේගය මත වෙනස් වනවා. එය ඒකාකාර වේගයකින් කරකැවීම සඳහා පැරණි සුළං මෝල්වල අපූරු ක්‍රමයක් භාවිතා කළා. එම සුළං මෝල්වල සම් සහ රෙදි වැනි ද්‍රව්‍යවලින් තනන ලද සුළං පෙති මැද දොරක් තනා තිබුණා. සුළං ප්‍රමාණය වැඩිවී වේගයෙන් කරකැවෙන පංකාවේ වේගය වැඩි නොවන්නේ එක් එක් පෙත්තේ ඇති දොරවල් සුළං පීඩනය නිසා ඉබේම ඇරෙන නිසා යි. තවත් සමහර සුළං මෝල්වල මුළු මෝලම කරකැවෙමින්, සුළං එන දිශාව වෙනස් කිරීමට ක්‍රම තනා තිබුණා.
වර්තමානයේ දී සුළං ටර්බයිනවලින් සිදුවන ප්‍රධාන කාර්යය
සුළං මෝල්වල ඉතිහාසය පිළිබඳව ගවේෂණය කිරීමේ දී ඒවා විවිධ කාර්යයන් සඳහා යොදාගෙන ඇති බව පැහැදිලිවම පෙනීයන කරුණක්. නමුත් වර්තමානය වන විට බොහෝ රටවල් සුළං ටර්බයින භාවිතා කරන්නේ විදුලිය නිපදවීම සඳහා යි. දැනට සුළං බලය යොදාගෙන විදුලිය නිපදවන ප්‍රධාන රටවල් වන්නේ චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඉන්දියාව, ස්පාඤ්ඤය යන රටවල් පහ යි. එසේම එක්සත් රාජධානිය, ප්‍රංශය, බ්‍රසීලය, කැනඩාව, සහ ඉතාලිය යන රටවල් ද ප්‍රධාන වශයෙන් සුළං බලයෙන් බලශක්තිය නිපදවන රටවල් කිහිපය අතර සිටිනවා. ඉදිරියේ දී මතුවන විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා තවත් රටවල් මෙම ශක්ති ප්‍රභවය ප්‍රයෝජනයට ගැනීම සඳහා පිඹුරුපත් සකසමින් සිටිනවා.
ශ්‍රී ලංකාවට සුළං බලයෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරය
ශ්‍රී ලංකාව තුළ දැනටමත් කුඩා පරිමාණයේ සුළං බලාගාරයන් ක්‍රියාත්මක වනවා. ඒ අඹේවෙල, හම්බන්තොට, මාම්පුරි, නිර්මලපුර වැනි ප්‍රදේශවල යි. මේ වන විට ලංකාවේ ලොකුම සුළං බලාගාරය මන්නාරම ඉදිවෙමින් පවතිනවා. එහි වෙරළ තීරයට සමාන්තරව කිලෝමීටර් 12.5ක් පුරා කුළුණු 33ක් පිහිටා ඇති අතර දෙවන තිරුවේ තවත් කුළුණු 6ක් පිහිටා තිබෙනවා. එම සුළං බලාගාරය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 104ක විදුලි ඒකක ප්‍රමාණයක් ලැබීමට නියමිත යි.
වර්තමාන රජය පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් වැඩි දියුණු කිරීම සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා. එසේම පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ 2030 වසර වන විට රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මඟින් ලබාගැනීමට සැලසුම් කළ යුතු බව යි.
ඉදිරියේ ලාංකික ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය වන විදුලි ඒකක ප්‍රමාණය ඉහළ යාම අනිවාර්යෙන්ම සිදුවනවා. එවිට ඇතිවීමට ඉඩ තිබෙන බලශක්ති අර්බුදයට සූදානම් වීම සඳහා අප දැන් සිටම පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම ආරම්භ කළ යුතු යි. ඒ සඳහා සුළං බලාගාර ඉදිකිරීම සිදුකළ හැකියි. ඊට අමතරව සූර්ය බලය, සහ ජෛව ඉන්ධන වැනි ප්‍රභවයන් භාවිතා කරමින් විදුලිය නිපදවිය හැකියි. එවිට අනාගතයේ දී වැඩිවන විදුලි අවශ්‍යතාවය සපුරාගැනීමට හැකියාව ලැබෙනු ඇති.