Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අට දෙනෙකුට පමණක් හිමි වී ඇති ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය

ලංකාව සිය රටවැසියන්ට සහ සුදුසු විදේශිකයින්ට දේශමාන්‍ය, වීර චූඩාමණී, විද්‍යාජෝති, කලා කීර්ති, ශ්‍රී ලංකා ශික්‌ෂාමණී, විද්‍යානිධි, කලා සූරී, ශ්‍රී ලංකා තිලක, වීර ප්‍රතාප, ශ්‍රී ලංකාභිමාන්‍ය, ශ්‍රී ලංකා රත්න, හා පරම වීරවිභූෂණ ලෙස සම්මානයන් රැසක් ප්‍රදානය කරනවා. ඒවා ප්‍රදානය කරන්නේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රාජ්‍ය නායකයා වන මෙරට ජනාධිපතිවරයා විසිනි.

ඒ සම්මාන අතරින් ශ්‍රී ලංකා රජය විසින් මෙරට සිවිල් පුරවැසියෙකුට ලබා දෙන ඉහළම සම්මානය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය හෙවත් ශ්‍රී ලංකා අභිමානී සම්මානය යි. 1986 වසරේ සිට මේ දක්වා ප්‍රදානය කරන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ජාතික ගෞරව අභිධානය වන්නේ එය යි.

රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් මෙම සම්මානය ප්‍රදානය කෙරෙනවා. මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණ යි. ඒ කියන්නේ එම සම්මානය ලබා සිටින පස් දෙනෙකු ජීවතුන් අතර සිටී නම් එම සම්මානය සයවෙනියෙකුට ලබා දිය නොහැකි යි. පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුව ද මෙම අභිධානය පිරිනැමිය හැකියි. මෙරට අවසාන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිමිවෙන්නේ 2017 වසරේ දී W.D අමරදේව ශූරීන්ට යි. ඒ වන විටත් එම කලාකරුවා ජීවතුන් අතර සිටියේ නෑ. 

මෙම සම්මානය ලබා ගත් ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසින් අට දෙනා පිළිබඳව යි මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හා විජේතුංග ජනාධිපතිවරයා 

පළමු ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ලබා ගන්නේ එවකට අගමැති ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස යි (dailynews.lk)

ලංකාවේ පළමු ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ප්‍රදානය කරන්නේ 1986 වසරේ දී යි. එය ප්‍රදානය කරන්නේ එවකට ජනාධිපති ජේ.ආර් ජයවර්ධන අතින් එවකට අගමැති වන වන රණසිංහ ප්‍රේමදාසට යි.

සම්මානය පිරිනමන්නේ මෙරට රාජ්‍ය පාලනය හා දේශපාලන ක්ෂේත්‍රය වෙනුවෙනි. 

1993 වසරේ දී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින්  එවකට අගමැති ලෙස කටයුතු කළ D.B විජේතුංගට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පිරිනමනවා. ඒ දේශපාලන හා රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් විජේතුංගයන් කළ සේවයට උපහාර පිණිස යි. ඔහු, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදීසි මරණයෙන් පසුව මෙරට ජනාධිපතිවරයා ලෙස ඉතා කෙටි කාලයක් සේවය කරනවා. ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපතිවරණයකින් තොරව එම ධූරයට පත් වූ එකම ජනාධිපතිවරයා වන්නේ ද D.B විජේතුංග යි.

ආතර් සී ක්ලාක්, ලක්ෂ්මන් කදිරගාමර් 

ආතර් සී ක්ලාක් (space-opera.info)

2005 වසරේ දී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය විසින් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මාන දෙකක් පිරිනමනවා. ඒ ලොව ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක් වන මෙරට පුරවැසිභාවය හිමි ආතර් සී. ක්ලාක් හා ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යවරයාට යි.

චන්ද්‍රිකා තුනක් පෘථිවියට ඉහළින් රැඳවීමෙන් ලෝකයේ වෙන ඕනෑම සිදුවීමක් ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ආවරණය කළ හැකිය යන සංකල්පය ඉදිරිපත් කරන්නේ ආතර් සී. ක්ලාක් නම් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා යි. ඔහු ඉදිරිපත් කළ බොහෝ සංකල්ප ලෝකයේ ප්‍රසිද්ධ වෙන අතර චන්ද්‍රිකා තාක්ෂණයේ ප්‍රගමනය උදෙසා ඒවා වැදගත් වෙනවා. මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික ක්ලාක්ට මෙරට ගෞරවණිය පුරවැසිභාවය හිමිවෙන අතර ලැබිය හැකි ඉහළම සම්මානය ද පිරිනැමෙනවා.

ඒ වසරේම මෙම සම්මානය හිමි වන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක් හා මෙරට ඉතිහාසය තුළ බිහි වූ කීර්තිමත්ම විදේශ කටයුතු අමාත්‍යවරයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර්ට යි.  වෙසක් පොහොය දිනය අන්තජාතික නිවාඩු දිනයක් බවට පත් කිරීමට මූලික වී කටයුතු කරන්නේ මෙන්ම LTTE සංවිධානය මිනීමරු ත්‍රස්ත සංවිධානයක් බව ජාත්‍යන්තරය හමුවේ සාර්ථකව කරුණු දැක්වීමට කැප වී කටයුතු කරන්නේ ද ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යවරයා යි. 

A.T ආරියරත්න, ලෙස්ටර් ජෙම්ස් පීරිස්, ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී

A.T ආරියරත්න (trans-4-m.com)

A.T ආරියරත්න, ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී යන තිදෙනාට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ලබා දෙන්නේ 2005 වසරේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්. 

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වේච්ඡා සේවා සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කරමින් මෙරටට කරන ලද සේවය වෙනුවෙන් A.T ආරියරත්නට එම සම්මානය 2005 වසරේ දී හිමිවෙනවා. එම කාර්යය වෙනුවෙන් ඔහුට 1969 වසරේ දී ආසියාවේ පිළිගැනීමෙන් ඉහළම සම්මානය වන රාමෝන් මැග්සේසේ සම්මානය ද හිමි වෙනවා.

ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාට ද මෙම සම්මානය 2015 වසරේ දී හිමි වෙනවා. දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකීය සිනමාකරුවා ලෙස ද ආචාර්ය ලෙස්ටර් හඳුන්වා දිය හැකියි.

නීති ක්ෂේත්‍රයෙන් මෙරට පුරවැසියෙක් ගමන් කළ ඉහළම ස්ථානය වන්නේ අන්තර්ජාතික අධිකරණයේ උප සභාපති ධූරය යි. එම ධූරයේ කටයුතු කළ එකම ලාංකිකයා වන්නේ ක්‍රිස්ටොෆර් වීරමන්ත්‍රී යි. 1997 වසරේ සිට 2000 වසර දක්වා වූ කාල සිමාවේ දී ඔහු එම ධූරය උසුලනු ලබනවා. ඔහුටත් 2005 වසරේ දී එම සම්මානය හිමි වෙනවා.

ආචාර්ය පණ්ඩිත් අමරදේව 

ආචාර්ය පණ්ඩිත් අමරදේව (srilankamirror.com)

“හෙළයේ මහා ගාන්ධර්වයා”ලෙසින් කීර්තිනාම ලැබූ, තම විෂයය පරතෙරට උගත්, සිංහල සංගීතය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ ආචාර්ය පණ්ඩිත් W.D අමරදේවයන්ගේ නමට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිමි වෙන්නේ 2017 වසරේ දී යි. එය දැනට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයක් ලබා දුන් අවසන් අවස්ථාව ලෙස ද සඳහන් කළ හැකි යි. වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ සම්මානය පිරිනැමෙන විට අමරදේවයන් මෙලොව හැරගොස් සිටි අතර ඔහු වෙනුවෙන් ඒ සම්මානය ලබා ගන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ යි.

Related Articles