අපට සත්වෝද්‍යාන අවශ්‍යම ද?

2015 වර්ෂයේ, ජුනි 13 සහ 14 යන දෙදින පුරා ජෝර්ජියාවේ තිබ්ලිසි අගනුවරට දරුණු ගංවතුර විපතක් ඇති වුණා. එහිදී පුද්ගලයන් දහනව දෙනෙකු පමණ ආපදා තත්ත්වයන් නිසා මියගිය අතර, කිහිපදෙනෙකු අතුරුදහන් වුණා. නායයෑමකින් නගරය ආශ්‍රිතව ගලා බසින ගංගාවේ කොටසක් අවහිර වීමෙන්, විශාල ජල ප්‍රමාණ‍යක් කෙටි කලකින් එකතු වී හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුණ නිසා, බොහෝ දෙනෙකුට අනතුර සඳහා සූදානම් වීමට වේලාවක් තිබුණේ නැහැ.

නමුත් තිබ්ලිසි අගනුවරට බලපෑ ගංවතුර තත්ත්වය නිසා ලෝකයේ අවධානයට පාත්‍ර වුණ තවත් විශේෂ කාරණාවක් තිබුණා. නගරයේ පිහිටි සත්වෝද්‍යානයට ගංවතුරෙන් දැඩි හානි පැමිණුන නිසා මේ විනාශය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. සත්වෝද්‍යානය ජලයෙන් යටවීම නිසා කොටින් සත් දෙනෙක්, සිංහයන් අට දෙනෙක් මෙන්ම, සත්වෝද්‍යානයේ සිටි ජගුවරයන් තිදෙනාගෙන් දෙදෙනෙක්, සහවලසුන් 14 දෙනාගෙන් දොළසක්ම මියගොස් ඇති බව අනුමාන කෙරුණා. නමුත් තත්ත්වය වඩාත් බරපතල වුණේ සත්වෝද්‍යානයෙන් පැන ගිය කොටියෙකු අතින් මිනිසෙකු මැරුම් කෑ බවට සැලවීමත් සමග යි. එම සිදුවීමත් සමග එවකට ජොර්ජියාවේ අග්‍රාමාත්‍යධුරයේ සිටි ඉරාක්ලි ගරිබාෂ්විලි අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන්ට චෝදනා එල්ල කළා.

ගංවතුරෙන් තිබ්ලිසි සත්වෝද්‍යානයේ සතුන් 300ට ආසන්න පිරිසක් මියගියා/pri.org/

ඒ වනවිටත්, වෘකයන්, ව්‍යාඝ්‍රයන්, සහ සිංහයන් ඇතුළු සතුන් දුසිම් ගණනක් පැනගොස් නගර වීදිවල සැරිසැරීමට පටන්ගෙන තිබුණා. ඒ අනුව ජෝර්ජියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්, සියලු සතුන් සොයා නැවත සත්වෝද්‍යානයේ රඳවන තුරු නිවෙස්වලටම වී සිටින්නැ යි තිබ්ලිසි නගරවාසීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කළා. පැනගිය සතුන් නැවත සත්වෝද්‍යානය තුළට ස්ථානගත කිරීමේ මෙහෙයුමේ දී සතුන් කිහිප දෙනෙකුට අනවශ්‍ය ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන්ට චෝදනා ද එල්ල වුණා. කෙසේ හෝ අවසානයේ දී මේ විපතෙන් අහිංසක සතුන් තුන්සියයකට ආසන්න ගණනක් මියගියා.

නමුත් තිබ්ලිසි සත්වෝද්‍යානය මුහුණ පෑ ඛේදවාචකයේ පැතිකඩ බොහෝමයක් කරළියට පැමිණියේ පසුකාලීනව යි. සත්වෝද්‍යානයේ පහසුකම්, හදිසි අවස්ථාවක දී සත්වෝද්‍යානයක් කටයුතු කරන ආකාරය, සත්වෝද්‍යානයක් පිහිටුවීමේ දී සැළකිල්ලට ගත යුතු කාරණා ගැන, සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ හැමදේටමත් වඩා “තවදුරටත් සත්වෝද්‍යාන මිනිසුන්ට අවශ්‍ය ද?” යන ප්‍රශ්නය, තිබ්ලිසි ඛේදවාචකය හමුවේ වඩාත් කතාබහට ලක් වුණා.

සත්ත්ව අයිතීන් පිළිබඳ ක්‍රියාකාරීන්ට අනුව අපට සත්වෝද්‍යාන අවශ්‍ය නොවන්නේ ඇයි? සත්වෝද්‍යානවලින් අපට යම් ප්‍රයෝජනයක් අත් වෙනවා නම්, එම ප්‍රයෝජන ලබා ගැනීමට ඔවුන් දෙන විකල්පයන් මොනවා ද?

මේ ලිපිය ඒ ගැන යි.

සිරගත කිරීමෙන් සතුන් දුක් විඳිනවා

එක්සත් රාජධානියේ සත්වෝද්‍යාන සහ සෆාරි උද්‍යානවල සතුන් වෙනුවෙන් වෙන්කර ඇති ඉඩ ප්‍රමාණයන්, එම සතුන් ස්වභාවිකව ජීවත්වන වපසරියට වඩා සිය ගුණයකින් පමණ කුඩා බව කියවෙනවා. සෑම සතෙකුටම ඔවුන්ගේ ස්වභාවික සංචරණ වපසරිය සත්වෝද්‍යානයක ඇති කළ නොහැකි බව අප කාටත් තේරුම් යන දෙයක්. ඒ වගේම මේ සතුන් කෑමට ගන්නේ මොනවා ද, නිදාගත යුත්තේ කුමන වේලාවට ද, සහකරුකරුවෙකු ලෙස ඔවුන් තෝරාගත යුත්තේ කවුරුන් ද යන මේ සියලු කාරණා සත්වෝද්‍යානයක දී තීරණය කරන්නේ මිනිසුන් විසින්. සත්වෝද්‍යාන අතර සතුන් හුවමාරු වැඩසටහන්වල දී බොහෝවිට හුවමාරු වන්නේ තරුණ සතුන් නිසා, ඔවුන්ට සිය සමීපතමයන් සමග රැඳීමට අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ.

ආතතිය සහ ක්‍රියාකාරකම් කෙරෙහි උත්තේජනයක් නොමැතිකම නිසා සතුන්ගේ හැසිරීම් රටා වෙනස් වෙනවා. ඔබ සත්වෝද්‍යානයකට ගියහොත් බොහෝ විට දකින්න ලැබෙන්නේ එම සතුන්ගේ ස්වභාවික හැසිරීම් රටාව නෙවෙයි. උදාහරණ වශයෙන්, පියවර මැනීම, වෘත්තාකාර පථයක් ඔස්සේ නොනවත්වා ගමන් කිරීම, නොනවත්වා ශරීරය පැද්දීම වැනි, ආතති ස්වභාවය නිසා හටගන්නා චර්යාවන් මේ සතුන් අතර සුලභ යි. මේ තත්ත්වයන් වැළැක්වීම සඳහා සමහර සත්වෝද්‍යානවල සේවය කරන්නන් සතුන්ට විෂාදය, සයිකෝසියාව සමනය කරන ඖෂධ ලබාදෙන බව සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

සත්වෝද්‍යානවල සතුන් සඳහා වෙන් කරන අවම ඉඩ නිසා ඔවුන් මානසික පීඩනයට ලක්වීම වැළැක්විය නොහැකියි/24×7-breakingnews.blogspot.com

අවම පහසුකම්වලත් ගැටලු

ඉතාමත් ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගෙන යන සත්වෝද්‍යානයකට වුව ද, සිරගත වී සිටින සෑම සත්ත්ව විශේෂයක් සඳහා ඔවුන්ටම සුවිශේෂී වූ පාරිසරික, පෝෂණ, සහ සමාජීය අවශ්‍යතා සපුරාලීම පහසු නැහැ. වරෙක එංගලන්තයේ කම්බ්‍රියා නම් ප්‍රදේශයේ පිහිටි “සවුත් ලේක් සෆාරි” සත්වෝද්‍යානයේ සතුන් 500කට ආසන්න ගණනක් අවුරුදු තුනක් ඇතුළත මියගිය සිදුවීමක් වාර්තා වුණා. කරුණු සලකා බැලීමේ දී එම සතුන් මන්දපෝෂණය, හයිපොතර්මියාව, පශු වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම, සහ නොසලකා හැරීම යන හේතූන් නිසා මියගොස් තිබුණා. බ්‍රිතාන්‍යය තුළ පිහිටා ඇති සත්වෝද්‍යානවලින් හතරෙන් තුනකට වඩා අවම සත්ත්ව සුබසාධන ප්‍රමිතීන්වත් සපුරාලීමට අපොහොසත් වී ඇති බව බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයය කළ පරීක්ෂණයක දී හෙළි වී තිබෙනවා. 

සත්වෝද්‍යානවලට සතුන් ලබාදීම සඳහා ඔවුන් ස්වභාවික පරිසරයෙන් පැහැරගෙන එන ක්‍රියාවලියක් ලෝකය තුළ තිබෙනවා. ඔවුන් හදිසියේම තමාගේ ස්වභාවික පරිසරයෙන් ඈත්වුණ නිසා සත්වෝද්‍යානවල සිර කිරීමෙන් පසු ඉක්මණින්ම මියයනවා.

හැම කූඩුවකම ඉන්නේ වඳවෙන සතුන් නෙවෙයි!

සත්වෝද්‍යානවල සිටින සතුන් නැවත ඔවුන්ගේ ස්වභාවික වාසභූමිවලට හඳුන්වා දෙන වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථා තිබෙනවා. නමුත් මෙම ක්‍රියාවලිය සිදු වෙන්නේ කලාතුරකින්. එමෙන්ම සත්වෝද්‍යානයක සෑම කූඩුවකම සිටින්නේ තර්ජනයට ලක් වූ සතුන් නොවෙයි. මේ නිසා සත්වෝද්‍යානයකින් සතුන් සංරක්ෂණය කරනවායැ යි පැවසීම සම්පූර්ණ සත්‍යයක් වන්නේ නැහැ. වාණිජ අරමුණු ඒ සැමටත් වඩා ඉහළින් තිබෙන බව සිහිපත්කර ගැනීම වැදගත් වෙනවා. එම නිසා ලෝකයේ බොහෝ සත්වෝද්‍යාන, අභිජනනයෙන් බිහිවූ සතුන් නැවත ස්වභාවික පරිසරයට හදුන්වා දීමේ වැඩසටහන්වලට සහභාගී නොවන බව යි සත්ත්ව ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබෙන්නේ. 

ඒ වගේම, චිම්පන්සීන්, ගෝරිල්ලන්, හිම වලසුන්, අලි ඇතුන් වැනි ස්වභාවික පරිසරයේ ගහණය අඩු වෙමින් යන සත්ත්වයින්ගේ ගහණය වැඩි කිරීමට සත්වෝද්‍යානවල සක්‍රීය දායකත්වයක් නැහැ. එම නිසා සංරක්ෂණ කාර්යය සඳහා සත්වෝද්‍යාන සහභාගී වීම, පොදුවේ පවතින වැරදි මතයක් බව සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

සත්වෝද්‍යාන ඔවුන් සතු සතුන්ගේ පරිසරය සහ අවශ්‍යතා වෙනුවෙන් මිලියන ගණනින් මුදල් වියදම් කරන අතරේ, මිනිසුන් ඒ කූඩු වී සිටින සතුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කරමින් ඔවුන්ගේම වනගත නෑයන් මරා දමනවා. මෙවැනි තත්ත්වයක් තුළ, සතුන් වඳවී යාම වැළැක්වීම සහ ඔවුන්ගේ සංරක්ෂණ කටයුතු අදාළ ස්වභාවික වාසස්ථානයේ දීම සිදු කිරීම වඩාත් කාලෝචිත සහ තිරසර ක්‍රමවේදය වෙනවා.

සතුන්ගේ නියම චර්යා රටාවන් අධ්‍යනය කිරීමට නම් ඔවුන්ට ඔවුන්ගේ නිදහස තිබීම වැදගත්/rainforest-alliance.org/

වින්දනය උදෙසා සතුන් පුහුණු කිරීම

වන සතුන් කියන්නේ මිනිසුන්ට රසාස්වාදය සපයන නළුවන් හෝ සර්කස් ශිල්පීන් නොවෙයි. නමුත් බොහෝ සත්වෝද්‍යානවල සතුන් මිනිසුන්ට විනෝදය ලබා දෙන ක්‍රියාකාරකම් උදෙසා පුහුණු කර තිබෙනවා. එමඟින් සත්වෝද්‍යානයට හොඳ ආදායමක් ද ලැබෙනවා. ඔස්ට්‍රියා රාජ්‍යයේ පිහිටි එක්තරා සත්වෝද්‍යානයක සිටි පැන්ඩාවෙක් චිත්‍ර ඇඳීමට පුහුණු කර තිබුණා. එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ පිහිටි සත්වෝද්‍යානයක සිටි රතු පැන්ඩාවෙක් ද චිත්‍ර ඇඳීම සඳහා පුරුදු පුහුණු කර තිබුණා. මෙම සියලු ක්‍රියාකාරකම් මඟින් සත්වෝද්‍යාන වෙත මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට ඒවායේ සේවය කළ බලධාරීන් සමත් වුණා. ඔස්ට්‍රියා සත්වෝද්‍යානයේ සිටි පැන්ඩාගේ සිතුවම් අන්තර්ජාලය හරහා අලෙවි කෙරුනා. 2010 වර්ෂයේ දී එක්සත් රාජධානියේ වෝබර්න් සෆාරි උද්‍යානයේ මෙලෙස සංදර්ශන උදෙසා පුහුණු කරන අලියෙකු පාලකයාගේ අණට කීකරු කර ගැනීම උදෙසා අධි වෝල්ටීයතා විදුලි කම්පන භාවිතා කළ සිදුවීමක් ද වාර්තා වුණා. සතෙකුගේ සාමාන්‍ය හැසිරීමෙන් වෙනස් වන මේ කෘතිම හා පුහුණු කළ ක්‍රියාකාරකම් නිසා එම සත්ත්වයා මානසික පීඩාවට පත් නොවෙනවායැ යි කිව හැකි කාට ද?

ළමුන්ට වැරදි ආදර්ශ සැපයීමක් ද?

ලන්ඩන් සත්වෝද්‍යානයට පැමිණි වයස අවුරුදු 7-15 අතර වයස් කාණ්ඩයේ සිටින ළමුන් ආශ්‍රයෙන් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, ඔවුන්ගෙන් බහුතරයකට සතුන් පිළිබඳව නිසි අධ්‍යාපනයක් සත්වෝද්‍යානවල දී නොලැබෙන බව යි. සත්වෝද්‍යාන තුළ පැවැත්වෙන අධ්‍යාපනික සංචාර තුළින් පවා අපේක්ෂිත මට්ටමෙන් ධනාත්මක වූ ප්‍රතිඵල නොලැබෙන බව මෙම අධ්‍යයනයන් තුළින් හෙළි වී තිබෙනවා. එම අධ්‍යාපනික සංචාර තුළින්, සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ වූ ළමුන්ගේ අවබෝධයට සෘණාත්මක බලපෑම් ඇති වූ බවත් සඳහන් වෙනවා.

සත්වෝද්‍යානවලින් ළමුන්ට අධ්‍යාපනික වටිනාකමක් ලැබෙනවා යන මතයට එරෙහිව සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන්  අපූරු තර්කයක් ගෙන එනවා.

“සාමාන්‍ය මිනිස් සමාජය ගැන ඉගෙන ගැනීමට අපි සිර ගෙයකට නොයන්නෙමු. එසේ නම් සතුන් සිරගත කර ඇති සත්වෝද්‍යානවලට ගිය පමණින් යමෙකුට සතුන් ගැන ඉගෙනගත හැකි ද?”

ඔවුන් අසනවා.

මිනිසුන්ගේ රසවින්දනය වෙනුවෙන් ඇතැම් සත්වෝද්‍යානවල සතුන් විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් පුහුණු කරනවා/mmtimes.com/

වර්තමානය ලෝකයේ සත්වෝද්‍යාන යම් විවාදයකට තුඩු දෙන කාරණාවක් වී තිබෙනවා. ඇතැමුන් සත්වෝද්‍යාන සතුන්ගේ සිර කඳවුරු ලෙස සලකන අතරේ, ඇතමුන් සත්වෝද්‍යාන සතුන් සංරක්ෂණය කිරීම උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස සලකනවා. සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ උත්සාහය හමුවේ ලෝකයේ සත්වෝද්‍යාන බොහෝ ගණනක් සතුන් වෙනුවෙන් ප්‍රශස්ත පරිසරයක් සහ පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත්, සතෙකුගේ ස්වභාවික පරිසරය සහ ඔවුන්ගේ සංචරණ වපසරිය 100%ක් සාර්ථකව නිර්මාණය කරදීම උගහට යි. ඒ නිසා සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් සත්වෝද්‍යාන අනුමත කරන්නේ නැහැ. නමුත් සත්වෝද්‍යානයකින් මිනිසුන් ලබනවායැ යි කියන වින්දනය හා අධ්‍යාපනය ලබාගත හැකි විකල්ප මාර්ග ගැනත් සාකච්ඡා කරන්න ඔවුන් සූදානමින් සිටිනවා. 

අභය භූමි

සතෙකුගේ හැසිරීම් සහ චර්යා රටා නිරීක්ෂණය කිරීමට ඇති සුදුසුම ක්‍රමය වන්නේ අභය භූමියක සංචාරය කිරීම යි. නමුත් සත්වෝද්‍යානයක මෙන් සියලු සතුන් මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කිරීමේ හැකියාව අභය භූමියක දී ලැබෙන්නේ නැහැ. එමෙන්ම අභය භූමියක ජීවත් වන්නේ ඒ රටට සීමා වූ සතුන් කිහිපයක් පමණක් වන්නටත් පුළුවන්. නමුත් තමන් ජීවත්වන රටේ වන සම්පත ගැන පවා දැනුවත්ව සිටින්නේ කීයෙන් කී දෙනා ද? අභය භූමියක සංචාරය කිරීමේ දී ලැබෙන අධ්‍යාපනික දැනුමේ වටිනාකමත් කියා නිම කළ නොහැකියි. එයින් කෙනෙකුගේ විනය සහ ඉවසීම පවා ප්‍රගුණ වෙනවා.

වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථාන

ඔබ ජීවත්වන ප්‍රදේශයේ වාසය කරන ජීවි විශේෂ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ ළඟම පිහිටි වනජීවි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් කරා යෑම යි. උදාහරණයක් ලෙස ඔබ ජීවත් වන්නේ වෙරළබඩ ප්‍රදේශයක නම්, ඒ ආශ්‍රිතව සමුද්‍ර ජීවි පුනරුත්ථාපන මධ්‍යස්ථානයන් හෝ අභිජනන මධ්‍යස්ථානයන් තිබිය හැකියි. මේ ආයතන ඇතැම් අවස්ථාවන්හි ස්වෙච්ඡා සේවකයන් මත යැපෙන නිසා, ඕනෑම කෙනෙකුට පුහුණුවක් යටතේ ඇතැම් මධ්‍යස්ථානවල සේවය කළ හැකියි. එයින් ලැබෙන අධ්‍යාපනික වටිනාකම මිල කළ නොහැකියි.

සත්වෝද්‍යානවලින් අධ්‍යාපනික සේවාවක් ලැබෙනවාද යන්න ගැනත් දැන් විවාදයන් මතු වී තිබෙනවා/letshannondunk.com/

බොහෝ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඔවුන්ගේ වැඩපිළිවෙල, පහසුකම් පිළිබඳ දැනුමක් පැමිණෙන අමුත්තන්ට ලබා දෙනවා. මෙම මධ්‍යස්ථානවල සිටින්නේ විවිධ හේතූන් නිසා නැවත වනයට මුදාහල නොහැකි සතුන්. නමුත් එම සතුන්ගේ සොබාවික පරිසරයට සමාන වන අයුරින් මේ මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑමට සේවකයන් උත්සාහ කරනවා.

පක්ෂීන් නැරඹීම

ඔබ ජීවත්වන ස්ථානය කුමක් වුවත්, පක්ෂීන් බහුලව ගැවසෙන ස්ථානයක් ඔබ ආශ්‍රිතව තිබෙන්න පුළුවන්. පක්ෂීන් නිරීක්ෂණය උදෙසා ප්‍රසිද්ධව ඇති ළඟම ස්ථානයට ගොස්, ඔවුන්ගේ නිදහස් ජීවන රටාව අධ්‍යයනය කරන එක ඔබට චමත්කාරජනක අත්දැකීමක් වේවි. ඒත් එක්කම දුරදක්නයක් සහ කැමරාවක් අරගෙන යන්න අමතක කරන්න එපා!

ඔබගේ ගෙවත්ත නොසලකා හරිනවා ද?

නිරීක්ෂණ දෑසකින් තමා අවට පරිසරය නරඹන අයෙකුට සොයාගත හැකි දෑ ඉතා අනර්ඝ වෙන්න පුළුවන්. ඒ අතින් බැලූකල ගෙවත්තක් හිමි කෙනෙකු ඉතා වාසනාවන්ත යි. එවැනි පහසුකමක් නොමැති නම් ළඟම ඇති උද්‍යානයට ගොස් හෝ මේ අත්දැකීම විඳගන්න පුළුවන්. ඔබම තෝරාගත් පෙදෙසක ඔබ විසින්ම සෆාරියක් සූදානම් කරගන්න. එහිදී ඔබ නිරීක්ෂණය කරන ජීවි විශේෂවල ඡායාරූප ලබා ගන්න. එම ඡායාරූපවලින් පොතක් සාදා පසුව එම ඡායාරූප පොතේ සිටින ජීවින් ගැන අධ්‍යයනයක් ඔබටම සිදු කරන්න පුළුවන්. කොකටුවන් සහ සැළලිහිණින් ගැන උනන්දු ඔබ ගෙවත්තේ සිටිනා මයිනන් ගැන දන්නේ කොතරම් සුළුවෙන් ද?

පරිසරය වෙනුවෙන් නිවාඩුවක් ගත කරන්න

අපි විවිධාකාර හේතූන් අරඹයා නිවාඩු ලබා ගන්නවා. නමුත් සොබාදහම විඳීමට නිවාඩුවක්, එහෙමත් නැත්නම් “ඉකෝ-වැකේෂන්” එකක්, වෙනුවෙන් කාලය වෙන් කරන්න ඔබ මීට කලින් සිතා තිබෙනවා ද?

ට්බිලිසි ගංවතුරෙන් විපතට පත් හිපපොටේමස් කෙනෙකුට සහාය වන නගරවාසීන්/nytimes.com/

සොබා සෞන්දර්යයෙන් අනූන සංචාරයන් සඳහා මඟ පෙන්වන, පහසුකම් සපයන ආයතන ලෝකයේ සෑම මහද්වීපයකම පාහේ පැතිරී තිබෙනවා. පාරිසරික සංචාරක කර්මාන්තයේ නිරත වෙන බොහෝ පිළිගත් ආයතන, ඉතා වගකීම් සහගත ලෙස තම මෙහෙයුම් සිදු කරන අතර, සංරක්ෂණ කටයුතු සඳහාත් සක්‍රීය ලෙස දායක වෙනවා. The International Ecotourism Society, The International Ecotourism Club වැනි සංවිධානවල ක්‍රියාපටිපාටීන් අධ්‍යනය කිරීමෙන් ඔබට පාරිසරික සංචාරක කර්මාන්තය ගැන යම් අදහසක් ලබා ගත හැකියි.

ඔබ මුළු ජීවිත කාලයටම “සත්තු වත්තට” යනවා ඇත්තේ දෙවරක් හෝ තෙවරක් පමණ යි. ඔබේ ඒ විනෝදය සඳහා ඇතැම් සතුන් වසර තිස් හතළිස් ගණනක් එකම කූඩුවේ දුක්විඳින බව ඔබා වැටෙහෙනවා ද?

Cover photo: theguardian.com/

මූලාශ්‍රයයන්: nbcnews.com/

floodlist.com/

vice.com/

peta.org.uk/

onegreenplanet.org/

Related Articles

Exit mobile version