Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආබාධිත බව පසෙක ලා අභ්‍යාවකාශ තරණ සිහිනය ජය ගත්තෝ

“ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඒක මායාමය අත්දැකීමක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අමුතුයි. කොහොමටත් මං දැනගෙන හිටියා ඒක ඒ වගේ අතිශයින්ම ප්‍රීතිමත් අත්දැකීමක් වෙයි කියලා. දශක ගණනාවක් තිස්සේ මං මේ අත්දැකීම ලබන්න පෙරුම් පිරුවා. ඒකේ තියෙන හැබෑම ප්‍රීතිය අත්දකින්න නම් ඒක විඳලා ම බලන්න ඕනේ කියන ඒක මට තේරුණේ එදා තමයි.“

වයස අවුරුදු හතරේ සිට ම අභ්‍යාවකාශගාමියකු වීමේ සිහිනයත් සමඟ ජීවත් වූ ‘සීනා බාරම්‘ එලෙස කියන්නේ ශුන්‍ය ගුරුත්වයක දී තමා ලැබූ ඒ විස්මිත අත්දැකීම ගැන ය. සිසිල් සුළං ගත වටා හමායද්දී, කිසිදු බාධාවකින් තොර ව නිදැල්ලේ ඉහළට එසැවී, පාවෙන සිය සිරුර තමාගේමදැයි කියා සීනාට නිනව්වක් නොවී ය. ඒ ඔහුට එවැන්නක් අත්දකින්නට ලැබුණු පළමු අවස්ථාව ය. පසුගිය ඔක්තෝබරයේදී  සීනා බාරම් මෙවන් වාසනාවන්ත අත්දැකීමක් ලැබුවේ ‘මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස්‘ නමැති ලාභ නොලබන සමාගම සිදු කළ පාරාවලයික ගුවන් ගමන් (ඕවලාකාර හැඩැති ධාවන රටාවකින් යුතු ගුවන් ගමනක්) ව්‍යාපෘතියේදී ය.

කුඩා වියේ පටන්  අභ්‍යාවකාශය තරණය කිරීමේ සිහිනය සමඟ ජීවත් වුව ද, අභ්‍යාවකාශයේ දී ලැබෙන මෙබඳු අත්දැකීමක් කිසිදාක හෝ ලැබීමට හැකිවේයැයි සීනා සිතුවේ නැත. කොටින් ම ගගනගාමියකු වීමේ සිහිනය කිසිදා සැබෑ කර ගත නොහැකි මිරිඟුවක් බව ඔහු දැන සිටියේ ය. ඒ වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවකු වුව ද, සීනා බාරම් උපතින් ම දෘෂ්‍යාබාධිතයකු නිසා ය. නාසා ආයතනය කිසිදා දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සිය අභ්‍යවකාශ ව්‍යාපෘති සඳහා සම්බන්ධ නොකරගන්නා බව සීනා දැන හුන්නේ ය. ‘මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස්‘ සමාගම ලොව ප්‍රථම වරට ආබාධිත පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන්   සිදු කළ පරාවලයික ගුවන් ගමන, සමස්ත අභ්‍යාවකාශ තරණ ක්ෂේත්‍රය ම වෙනස්ම මඟකට යොමු කළේ ය.

the disable crew
පරාවලයික ගුවන් ගමනට එක්වූ මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස් හි ආබාධිත ගඟනගාමීන් කණ්ඩායම යානය ඉදිරිපිටදී –  bbc.com 

නාසා ආයතනයට වැරදුණු තැන

අභ්‍යවකාශගාමියකු වීම යනු බහුතරයකට සිහිනෙනුඳු ළඟා කරගත නොහැකි ඉලක්කයකි. ඒ එවැනි භූමිකාවකට තෝරාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා හා සුදුසුකම් අසීරු මට්ටමේ ඒවා බැවිනි. අභ්‍යවකාශ තරණයේ පුරෝගාමියා වන නාසා ආයතනය මේ සඳහා අනුගමනය කරන දැඩි ක්‍රියාපටිපාටියට අනුව කායික හෝ මානසික අබල දුබලතා සහිත පුද්ගලයන්ට මෙම ක්ෂේත්‍රයේ දොරගුළු කිසිදා විවර වන්නේ නැත. අභ්‍යාවකාශගාමියකු වීමට මෙවැනි අංගසම්පූර්ණ සුදුසුකම් මාලාවක් තිබීම අත්‍යවශ්‍ය ද යන්න මඳක් විමසා බැලිය යුත්තකි.

එවන් අංගසම්පූර්ණ පුද්ගලයන් පමණක් තෝරා ගැනීම මඟින් හානි වන්නේ ගගන චාරිකා ක්ෂේත්‍රයට ම බවට ගොඩ නැඟී ඇති තර්කය මුළුමනින්ම බැහැර කිරීමට නොහැක. කලකට ඉහත දී අභ්‍යාවකාශ තරණ ක්ෂේත්‍රෙය් ඒකාධිකාරිය නාසා ආයතනය සතුවුව ද දැන් තත්වය ඉඳුරා ම වෙනස් ය. නාසාවට අභියෝග කරමින්, අභ්‍යාවකාශය ජයගන්නට කරළියට බැස සිටින, ස්පේස්එක්ස්, බ්ලූ ඔරිජින්, වර්ජින් ගැලැක්ටික් වැනි පෞද්ගලික සමාගම් බොහෝමයක් උඩුගං බලා පිහිනන්නේ පවත්නා සම්ප්‍රදායන්ට අභියෝග කරමිනි. ආබාධිත පුද්ගලයන් අභ්‍යවකාශයට රැගෙන යාම යනු සම්ප්‍රදාය උඩුයටිකුරු කළ තවත් එක් උඩුගං බලා යාමකි.

ශුන්‍ය ගුරුත්වයේදි
බිහිරිබව නිසා  නාසා ආයතනයට සම්බන්ධවීමේ සිහිනය බොඳ වූ  අපූර්වා වාරියා ශුන්‍ය ගුරුත්ව අත්දැකීම ලබමින් – nytimes.com

 

සිවිල් වැසියන්ටත් අභ්‍යාවකාශ චාරිකා  

මෙවැනි සමාගම්වල නවෝත්පාදන කාර්යයන් නිසා දැන් අභ්‍යවකාශ චාරිකා තවදුරටත් ගගනගාමීන්ට පමණක් සීමා වූ අත්දැකීම් වන්නේ නැත. එලන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ‘කෘ ඩ්‍රැගන්‘ නමැති අභ්‍යවකාශ යානය මුලින් ම නිර්මාණය කළේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නාසා ගගනගාමීන් ප්‍රවාහනය කිරීමට ය. පසුගියදා පළමුවරට සිවිල් වැසියන් සිව්දෙනෙකුට ඉන් ප්‍රවාහන පහසුකම් සැපයිණි. ඒ පෘථිවි කක්ෂය කරා, මුදල් ගෙවන පාරි‍භෝගිකයන් ප්‍රවාහනය කිරීමේ සිය නවත ම ව්‍යාපෘතිය අරඹමිනි. මෙම තෙදින ගගන චාරිකාවට එක්වූවන් අතර ‘හේලි ආකෙනොක්ස්‘ විශේෂ වූයේ ඇය පාදයක් අහිමි ආබාධිත අයකු වූ නිසා ය. කුඩා වියේදි ගොදුරු වු අස්ථි පිළිකාවකින් පාදයක් අහිමි වූ හේලිගේ එක් කලවා අස්ථියක් ටයිටේනියම් ලෝහයෙන් නිර්මිත වූවකි.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ද සිය ‘ආබාධිත සාධ්‍යතා ව්‍යාපෘතිය‘ සඳහා ආබාධිත ගගනගාමියකු බඳවා ගැනීමේ සැලසුමක් ගැන මෑතක දී හෙළි කර තිබිණි. එම තරගයට ම එකතුවී සිටිය ද, මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස් සමාගම අත ගසා තිබෙන්නේ කිසිදු සමකාලීනයකුගේ හිත නොගිය වැඩකට ය. ඒ ආබාධ සහිත ගගනගාමීන්ගේ සහභාගීත්වයෙන්, කක්ෂීය සේම උප කක්ෂීය ගගන චාරිකා ඇරඹීමට ය.

මේරි කූපර් හා සීනා බාරම්
මේරි කූපර් හා සීනා බාරම්  – bbc.com

දෘෂ්‍යාබාධ, ශ්‍රවණාබාධ හා අංගවිකලතා සහිත ගගනගාමීන්ට ඔබින අයුරින් අභ්‍යාවකාශ යානයක ඇතුළත කෙසේ නිර්මාණය විය යුතුද යන්න සොයාබැලීම එහි පළමු අදියර යි. ඒ සඳහා මුලින් ම ආබාධ සහිත ගඟනගාමීන්ට ශුන්‍ය ගුරුත්වයක දී සිරුරේ බර නොදැනී යාම නමැති සංසිද්ධිය අත්විඳින්නට සැලැස්වීමට මිෂන් ඇස්ට්‍රො ඇක්සස්ට අවශ්‍ය විය. සීනා බාරම් ඇතුළු විවිධ  ආබාධ සහිත  අභ්‍යාවකාශගාමීන් දොළොස්දෙනකු පසුගිය ඔක්තෝබරයේ දී ඉතිහාසයේ පළමුවරට පරාවලයික ගුවන් ගමනක නියැළුණේ ඒ අනුව ය.

 

වොමිට් කොමෙට් ශුන්‍ය ගුරුත්ව අත්දැකීම

මේ සඳහා යොදාගත් බෝයිං 727 යානය, පරාවලයික ගුවන් ගමන් සඳහා ම ‘Zero- G Corporation’ නමැති සමාගම විශේෂයෙන් සැකසූවකි. ‘වොමිට් කොමෙට්‘ යනුවෙන් ද ඇතැම්විට හැඳින්වෙන පාරාවලයික ගුවන් ගමනක දී සිදුවන්නේ ගුවන් යානය දැවැන්ත ආරුක්කු හැඩයකට (පරාවලයකට) ගමන් කරවීමකි. ආරුක්කු හැඩයේ උච්චස්ථානය පසුකර යානය යළි නිදැල්ලේ පහළට පතිත වීමේ දි ඒ තුළ සිටින්නන්ට, සිරුරේ බර නොදැනී යාමේ සංසිද්ධියක් අත්විඳින්නට ලැබේ. මෙය අභ්‍යවකාශයේ පවතින ශුන්‍ය ගුරුත්ව තත්වය හා සමාන වූවකි. 

බෝයිං යානය
පරාවලියික ගුවන් ගමනට යොදාගත් බෝයිං යානය  – space.com

 

 ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිඝණක විද්‍යාව හා ගුවන්අවකාශ ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුවියක වන මේරි කූපර් ද, මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස් සමාගමේ මෙම අභියෝගාත්මක මෙහෙයුමට සම්බන්ධ වූ ආබාධිත ගගනගාමිනියකි. ‘Fibular Hemimelia’ නමැති රෝගී තත්ත්වය නිසාවෙන් ඇය උපන්නේ වම් පාදයේ දණහිසින් පහළ කොටසේ අස්ථි රහිත ව ය. පසුකලක දී දණහිසින් පහළ කොටස සැත්කමකින් ඉවත්කොට ඊට කෘත්‍රිම පාදයක් සවි කර ගත් මේරි කූපර් අද පවසන්නේ සිය සිරුරේ ඇය වඩාත් ම ප්‍රිය කරන කොටස සිය කෘත්‍රිම පාදය බව යි.

ශුන්‍ය ගුරුත්ව ව්‍යාපෘතිය සඳහා ආබාධිත ගගනගාමීන් කාණ්ඩ තුනක් යටතේ තෝරා ගැනීමට මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස් සමාගම පියවර ගෙන තිබිණි. ඒ දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත හා රෝද පුටු හෝ කෘත්‍රිම අවයව භාවිත කරන කායික අංගවිකලතා සහිත අය ලෙස වර්ග කරමිනි. මේරි අයත්වූයේ මෙහි තෙවන කාණ්ඩයට ය. ඒ සෑම කාණ්ඩයක ම ගගනගාමීන්ට වගකීමක් පැවරී තිබිණි. ඒ අභ්‍යවකාශයේ දී අත්දකින්නට ලැබෙන ශුන්‍ය ගුරුත්වයේ දී සිය ආබාධිත බව ජය ගැනීමට යොදා ගත හැකි විකල්ප තාක්ෂණ හා හැකියා අත්හදා බැලීමට ය. මේ සඳහා ඒ සෑම ආබාධිත ගගනගාමියකුට ම මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් විශේෂ පුහුණුවක් කල් ඇතිව ම ලැබිණි.

කණ්ඩායම
මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස්හි ආබාධිත ගගනගාමීන් කණ්ඩායම  – space.com

 

දෑස් නොපෙනීම අභ්‍යාවකාශය ජය ගන්නට බාධාවක් නොවේ

මේරි කූපර් සිය පර්යේෂණවලින් උත්සාහ ගත්තේ පාදයක් නැතිව වුව ද, ශුන්‍ය ගුරුත්වයක දී යානය තුළ ආරක්ෂිත ව සැරිසැරීමට හා සිය පිහිටීම ස්ථාවරව පවත්වා ගැනීමට හැකි දැයි සොයා බැලීමට ය. කෘත්‍රිම පාදය ගලවා දමා, යානය තුළ නිදැල්ලේ කරණම් ගැසීමට ලැබුණු මායාමය අවස්ථාව අදට ද මේරි සිහි කරන්නේ පුදුමාකාර ආස්වාදයකිනි. සීනා බාරම් උත්සාහ ගත්තේ ශ්‍රව්‍ය කදම්බ හා ස්පර්ශ සංවේදක ආධාරයෙන් ගමන් කළ යුතු දිශාව සොයා ගැනීමට ය. කම්පන නිකුත් කරන මෙවලම් සමට ස්පර්ශ වන සේ තැබීමෙන් ලැබෙන කම්පන-ස්පර්ශ සංවේදන මඟින් ශබ්ද හඳුනාගැනීමට හැකි ද යන්නද ඔහුගේ අවධානයට ලක්විය. මීට අමතරව බ්‍රේල් ක්‍රමය ශුන්‍ය ගුරුත්වයක දී භාවිත කළ හැකි අන්දම ගැන ද, බාරම්ගේ දෘෂ්‍යාබාධිත අජටාකාශගාමීන් කණ්ඩායම පර්යේෂණ සිදු කළහ.

මේරි කුපර්
මේරි කූපර් සිය කෘත්‍රිම පාදය ඉවත් කරමින්  – bbc.com

 

“ මං හිතාගෙන උන්නේ ශුන්‍ය ගුරුත්වයක දී මාව අන්දමන්ද වෙයි කියලා. දෑසම පෙනෙන්නේ නැති මට පිහිටීම, දිශාව වගේ දේවල් ගැන අවබෝධයක් ලැබුණේ ගුරුත්වය නිස යි. මගේ මුළු ජීවිත කාලයේදී ම මං දැනගෙන හිටිය දේවල් මගෙන් ඈත්වූණාම, මට මාව ම පාලනය කරගන්න බැරි වෙයි කියලා මුලදි හිතුණට, ඇත්තට ම එහෙම වුණේ නැහැ. කොටින්ම මට කිසිම බයක්, සැකක් දැනුණේ නැහැ. මං හිතන්නේ කවදාහරි අභ්‍යවකාශ චාරිකාවක නිරත වෙන්න මගේ අන්ධභාවය බාධාවක් වෙයි කියලා පොඩි හරි අවිනිශ්චිතතාවක් තිබුණා නම් මේ ලබපු අත්දැකීම නිසා ඒකත් දැන් නැතිවුණා.“ මේරි කූපර් කියයි.

 

නාසා ආයතනය අකරතැබ්බයක

සීනා බාරම් එලෙස පවසන්නේ ආබාධිතයන්ට මෙවැනි අවස්ථා ලබා දීම මඟින් අභ්‍යවකාශ තරණ ක්ෂේත්‍රය දැනට මුහුණදෙන අභියෝග රැසක් ජයගත හැකි බව ය. සාමාන්‍ය පුද්ගලයන්ගේ ජීවිත වඩාත් පහසු කර ගැනීමට ද ඉන් හැකියාව ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ‘හැකියාවැති‘ පුද්ගලයන් පමණක් අභ්‍යාවකාශ තරණ ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමේ නාසා ආයතන ප්‍රතිපත්තිය නිවැරදි නොවන බව සීනා මෙන්ම මේරි ද එකහෙළා පවසන කරුණකි. එමඟින් සමස්ත මිනිස් සංහතියටම අසාධාරණයක් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මීට හොඳම උදාහරණයක් ලෙස ඔවුන් දක්වන්නේ 2001 වසරේදි නාසා ගගනගාමි ක්‍රිස් හැඩ්ෆීල්ඩ්ට අභ්‍යාවකාශ චාරිකාවක දී මුහුණ දීමට සිදුවු අනතුරුදායක සිද්ධිය යි.

මෝනා
මෝනා මින්කරා අන්ධබව නොතකා ශුන්‍ය ගුරුත්වයේ නිදහස  විඳිමින්  –  nytimes.com

යානයෙන් පිටතට පැමිණ අභ්‍යාවකාශයේ නිදැල්ලේ ගමන් කරමින් සිටි හැඩ්ෆීල්ඩ්, හිස පැළැඳි, ගගනාගාමීන්ට ම විශේෂිත වූ හෙල්මටයේ වීදුරුව තුළට, පිරිසුදුකාරක දියරයක් කාන්දු වී, දෑස් වේදනාවට පත් ව, පෙනීම අවහිර වූ එම අවස්ථාව එකල ජාත්‍යන්තරයේ පුවත් මැවීමට හේතු වූ සිද්ධියක් විය. එවැනි හදිසි අනතුරකට මුහුණ දිය යුතු ආකාරය ගැන නාසා ආයතනය පර්යේෂණ කර තිබුණේ නැත. සීනා පෙන්වා දෙන්නේ යම්හෙයකින් තමා වැනි දෘෂ්‍යාබාධිත පුද්ගලයන් යොදා ගෙන, ස්පර්ශ සංවේදක හා ශ්‍රවණ කදම්බ ආධාරයෙන් පිහිටීම සොයා ගන්නා අන්දම ගැන කල් ඇතිව අත්හදා බලා තිබුණා නම්, හැඩ්ෆීල්ඩ්ට එම අනතුරට සාර්ථකව මුහුණ දෙන්නට තිබුණු බව යි. ආබාධිත හෝ ආබාධිත නොවන කාට වුව ද හදිසි අවස්ථාවක දී ආරක්ෂාව තහවුරු කර ගත හැකි උපාංග හා තාක්ෂණික විකල්ප තිබීමෙන් සිදුවන්නේ හොඳක් ම මිස නරකක් නොවේ.

එරික් ඉන්ග්‍රම්
එරික් ඉන්ග්‍රම්  ශුන්‍ය ගුරුත්වයේදි  -nytimes.com

 

ස්ටීවන් හෝකින්වත් රෝද පුටුවෙන් නැගිට්ට වූ  ශුන්‍ය ගුරුත්වය

ශුන්‍ය ගුරුත්ව ගුවන් චාරිකාවක නිරත වූ පළමු ආබාධිත අජටාකාශගාමීන් පිරිස වන්නේ මේරි කූපර් හා සීනා බාරම් ඇතුළු පිරිස වුව ද, එවන් අත්දැකීමක් ලැබූ, ආබාධිත කාණ්ඩයට අයත් පළමුවැන්නන් ඔවුන් නොවේ. මෑත කාලයේ සිටි සුපිරි ම භෞතික විද්‍යාඥයකු ලෙස අවිවාදයෙන් සැලකෙන ස්ටීවන් හෝකින් ද, ආබාධ සමඟ වුව ද එවැනි අත්දැකීමක් ලැබීමට වාසනාවන්ත වූවෙකි. 2007 වසරේදි මේ හා සමාන පරාවලයික ගුවන් ගමනක දී ලැබූ ශුන්‍ය ගුරුත්ව අත්දැකීම ඔහු විස්තර කළේ “සිය ජීවිතයේ අත්දැකි වඩාත් ම නිදහස් හා ප්‍රීතිමත්ම මොහොත“ ලෙස යි.

ස්ටීවන් හෝකින්
 ශුන්‍ය ගුරුත්ව අත්දැකීමෙන් අමන්දානන්දයට පත් ස්ටීවන් හෝකින්  –  businessinsider.com

මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස්හි පරාවලයික ගුවන් ගමනට සහභාගි වූ බොහෝ ආබාධිත ගගනගාමීන්ට ද එම අත්දැකීම පොදු ය. ජීවිතය ම රෝද පුටුවකට සීමාවී සිටි  බොහෝ දෙනකුට ජීවිතයේ පළමු වරට, රෝද පුටුවෙන් මිදී, නිදහසේ එහා මෙහා යාමට හැකිවුණේ එදා ය. අනාගතයේ ඉදි වන අභ්‍යාවකාශ යානා, ආබාධ සහිත හෝ රහිත ඕනෑම අයකුට ගැළපෙන පරිදි නිර්මාණය කිරීමට නම් සිදු කළ යුතු නව්‍යකරණ පිළිබඳ තොරතුරු රැසක් ද එමඟින්, මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස් සමාගමට ලැබිණි.

 

“ අපි තේරුම් ගන්න ඕනේ,  කිසිම කෙනෙක් පුද්ගලයෙකු වශයෙන් ආබාධිතයෙක් වෙන්නේ නැහැ. යමෙකුව ආබාධිතයෙක්  කරන්නේ එම පුද්ගලයා ජීවත්වන පරිසරය විසිනුයි.“

            සීනා බාරම්ගේ එම ප්‍රකාශය අනාගතය වෙනස් කිරීමට පෙරුම් පුරන කාට වුව ද සිතා බැලීමට වටිනා යමක් සිහිපත් කර දෙන්නකි.

කවරයේ ඡායාරූපය - කායික ආබාධ සහිත සෙන්ට්‍රා මැසික් ශුන්‍ය ගුරුත්ව අත්දැකීම රිසි සේ විඳිමින් - bbc.com

මුලාශ්‍ර:

“It was magical” –meet the first disabled crew to fly in zero gravity – bbc.com
The mission to break barriers to space travel for people with disabilities - theverge.com
Disabled 'astronauts-in-training' to fly weightlessly with Zero-G this weekend - space.com

Related Articles