Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාස්කු ප්‍රහාරයෙන් පුපුරා ගිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

2019 වසරේ අප්‍රේල් 21 වන ඉරිදා දිනය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අමතක නොවන ඛේදනීය දවසක්. මඩකලපුව, මීගමුව, හා කොළඹ පිහිටි පල්ලි කිහිපයක් මෙන්ම කොළඹ සංචාරක හෝටල් තුනක් ද ඉලක්ක කරමින් පුපුරා ගිය බෝම්බ මාලාව හේතුවෙන් විශාල සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය වෙනවා. ඒ හේතුවෙන් ආර්ථිකයට, විශේෂයෙන් සංචාරක කර්මාන්තයට එල්ල වන්නේ මරු පහරක්. 

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම, එම බලපෑම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු ආකාරය, හා එම ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමට රජය විසින් ගත් උත්සාහයයන් පිළිබඳව යි මේ ලිපිය ලියැවෙන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය 

ප්‍රහාරයෙන් අනතුරුව සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දසුනක් (thetimes.)

පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින මීගමුව, මඩකලපුව, හා කොළඹ පිහිටි පල්ලි තුනක පාස්කු ඉරිදා දේව මෙහෙයයන් ඉලක්ක කරගනිමින්, හා එදිනම විදේශීය සංචාරකයන් නවාතැන් ගන්නා කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්ක කරගනිමින් විදේශීය ත්‍රස්ත කල්ලියක්‌ වන ISIS වෙත සහාය පල කරන දේශීය ත්‍රස්ත කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරනවා. මේ ප්‍රහාරයන් හේතුවෙන් විදේශික සංචාරකයන් ඇතුළු සිවිල් වැසියන් 250කට අධික ප්‍රමාණයක් මිය ගිය බවත් තවත් 500කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබූ බවත් වාර්තාවල සඳහන් වෙනවා.

ප්‍රහාරයත් සමගම රජයේ පාසල් හා විශ්වවිද්‍යාල සති දෙකකට වසා දමන ලද අතර දින කිහිපයක් පුරා රාත්‍රී පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. වැරදි තොරතුරු සමාජගත වීම වැලැක්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලා ද දින කිහිපයකට අවහිර කිරීමට රජය කටයුතු කරනවා. ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වීමට ප්‍රහාරයෙන් පසු සති දෙකකට වැඩි කාලයක් ගත වෙනවා.

ආර්ථිකයට එල්ල කළ බලපෑම 

කොළඹ කොටස් වෙළඳපොල ද මේ හේතුවෙන් පසුබෑමට ලක් වෙනවා (adaderana)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වන අතර එහි වැඩිම බලපෑම සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයට බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ප්‍රහාරය එල්ල වීමත් සමගම රජයේ සුරැකුම්පත් වෙළදපොලෙන් විදේශීය ආයෝජන ඉවත් කර ගැනීම විනිමය අනුපාතිකය ඉහළ නැංවීමට සමත් වෙනවා. කොළඹ කොටස් වෙළඳපොල ද මේ හේතුවෙන් පසුබෑමට ලක් වෙනවා. ගුවන් ප්‍රවාහන සේවා, දේශීය ප්‍රවාහන, තොග හා සිල්ලර වෙළඳාම, නවාතැන්, ආහාර පාන නිෂ්පාදන හා සේවා කටයුතු, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර රැසක් මේ හේතුවෙන් අකර්මණ්‍ය වෙනවා. 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 2018 වසරට සාපේක්ෂව අඩු අගයක් (2.3%) වාර්තා කිරීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස ද පාස්කු ඉරිදා ප්‍රහාරය හඳුනාගෙන තිබෙනවා.

සංචාරක කර්මාන්තයට එල්ල වූ මරු පහර 

2018 වසරේ දී සිදු වූ පසුබෑම (cbsl)

2019 වසරේ මුල් කාර්තුවේ, කාර්තුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම සංචාරකයන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. නමුත් අප්‍රේල් මාසයේ සිදු වූ ප්‍රහාරයත් සමග පසුගිය වසරට සාපේක්ෂව සංචාරකයන් ප්‍රමාණය අඩු වූ මෑත ඉතිහාසයේ එකම වර්ෂය ලෙස 2019 වසර ඉතිහාසගත වෙනවා. 2018 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය 2 333 796ක් ලෙස සටහන් වන අතර එය, 18%ක ප්‍රමාණයකින් අඩු වෙමින් 2019 වසරේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලෙස වාර්තා වෙන්නේ 1 913 702ක්. 2018 වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4 381ක් ලෙස දැක්වෙන අතර 2019 වසරේ දී ලද ආදායම 17.7%ක ප්‍රතිශතයකින් අඩු වී ඇමෙරිකානු ඩොලර් මිලියන 3 607ක් ලෙස සටහන් වෙනවා.

ලොව පුරා සංචාරක රටාවන් පිළිබඳව අධ්‍යනය කරන ForwardKeys නම් සමාගම විසින් කළ සමීක්ෂණයක් අනුව, ප්‍රහාරයෙන් දින තුනක් තුළ දී වෙන් කරවාගෙන තිබූ ගුවන් ගමන් ආසන අවලංගු කිරීම 86.2%කින් ඉහළ ගිය බවත් 2018 වසරේ දිනකට පැමිණි සංචාරකයන් ප්‍රමාණය වන 7600 ප්‍රහාරයෙන් මාස දෙකක් තුළ දිනකට 1700 දක්වා පහත වැටුණු බවත් සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන්නේ යුරෝපා මහද්වීපයෙන් වන අතර ආසියා මහද්වීපයෙන් සංචාරකයන් පැමිණීම දෙවැනි වන්නේ යුරෝපයට පමණ යි. පසුගිය වසරේ දී යුරෝපයෙන් මෙන්ම ආසියාවෙන් ද 2018 වසරට සාපේක්ෂව අඩු සංචාරකයන් ප්‍රමාණයක් පැමිණීමට ඒ ඒ රටවලින් (රටවල් 37ක් පමණ) ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳව කළ අවදානම් දැන්වීම් හේතු වී තිබෙනවා.

රජය විසින් ගත් ක්‍රියාමාර්ග 

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා (news.lk)

සංචාරක කර්මාන්තයේ නියැලෙන ලියාපදිංචි දේශීය ආයතන ලබාගෙන ඇති ණය සඳහා අදාළ පොලී මුදල් හා වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට රජය කටයුතු කරනවා. එය 2019 වසරේ මැයි මාසයේ සිට 2020 වසරේ මාර්තු දක්වා බලපැවැත්වෙන ලෙස හඳුන්වා දුන් අතර මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සහන කාලය තවත් දීර්ඝ කර තිබෙනවා. ඊට අමතරව සංචාරක කර්මාන්තයේ නියැලෙන්න සඳහා එවකට ක්‍රියාත්මක වූ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය හරහා “ජය ඉසුර” නම් ණය යෝජනා ක්‍රමය ද ශ්‍රී ලංකා මහ බැංකුවේ “සෞභාග්‍යා” ණය යෝජනා ක්‍රමය ද හඳුන්වා දෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ලෝකය පුරා සංචාරක නියෝජිත ආයතන හරහා මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක යෙදෙනවා. CNN වැනි මාධ්‍ය ජාලා හරහා යුරෝපයේ ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කරනවා.

ඒ අනුව ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් වසරේ අවසන් මාස දෙක වන විට සංචාරකයන් පැමිණීමේ ප්‍රමාණය ඉහළ යන නමුත් 2020 වසරේ මුල සිට මෙරටට දරුණු ලෙස බලපෑම ආරම්භ වූ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නැවතත් සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය දරුණු ආගාධයකට වැටී තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයකින් අනතුරුව සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය යථා තත්ත්වයට පැමිණීමට වඩා දෙගුණයකට ආසන්න කාලයක්, වසංගතයකින් පසු සංචාරක කර්මාන්තය යථා තත්වයට පැමිණීමට ගත වන බව ලෝක විදේශ ගමන් හා සංචාරක කවුන්සිලය (World Travel and Tourism Council) සඳහන් කරනවා.

කවරයේ පින්තූරය -traveldailymedia

මූලාශ්‍රයයන්: 

Cbsl.gov.lk

Cnn.com

Related Articles