මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන යුරෝපා මානව හිමිකම් යාන්ත්‍රණය

මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම සහ නඟා සිටුවීම සඳහා වූ අන්තර්ජාතික විධිවිධාන වලට අමතරව කලාපීය විධිවිධාන රාශියක් හඳුනාගෙන තිබේ. එම විධිවිධාන මඟින් මානව හිමිකම් නඟා සිටුවීම මෙන්ම මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ ඊට ගරු කිරීම ඉහළ තත්ත්වයකට යොමු කිරීම අපේක්ෂා කරයි. කලාපීය විධිවිධාන වල සාර්ථකත්වය මානව හිමිකම් උල්ලංඝනය වීම සහ උල්ලංඝනය වීමට ආසන්න වීම යන අවස්ථා වලදී ඊට කාර්යක්ෂම අයුරින් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මත පදනම් වේ. යුරෝපා මානව හිමිකම් යාන්ත්‍රණය මෙවැනි එක් සාර්ථක කලාපීය විධිවිධානයකි.

මානව හිමිකම් සඳහා වන යුරෝපා විධිවිධාන දෙවෙනි ලෝක යුද සමයේ සිදු වූ මහා පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හඳුනා ගනී. මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, සහ බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපා නෛතික ක්‍රියාවලියේ පදනමයි. යුරෝපා මානව හිමිකම් යාන්ත්‍රණය සහ එහි විධිවිධාන ප්‍රධාන ආයතන තුනක් මත පදනම් වේ.

  • යුරෝපා කවුන්සිලය

මෙය සාමාජික රාජ්‍යයන් 45 කින් සමන්විත වේ.

  • යුරෝපයේ සහයෝගිතාව සහ ආරක්ෂාව සඳහා වන සංවිධානය

මෙය සාමාජික රාජ්‍යයන් 55 කින් සමන්විතයි.

  • යුරෝපා සංගමය

මෙය සාමාජික රාජ්‍යයන් 25 කින් සමන්විතයි.

මානව හිමිකම් පිළිබඳ වන යුරෝපා ලේඛන

Image Credit: archieve.eap-csf.eu

මානව හිමිකම් පිළිබඳ වන යුරෝපා ලේඛන ගණනාවක්ම වේ.

  • මානව හිමිකම් සඳහා වන යුරෝපා සම්මුතිය (1950)
  • යුරෝපා සාමාජීය වරපත්‍රය (1961)
  • කෲර වධහිංසා, අනෙකුත් අමානුෂික ක්‍රියා සහ අවමන් සහගත සැලකීම් පිටුදැකීම සඳහා වන යුරෝපා සම්මුතිය (1987)
  • Helsinki පනත (1975)
  • කලාපීය හෝ සුළුතරයේ භාෂා සඳහා වන යුරෝපා වරපත්‍රය (1992)
  • ජාතික සුළුතරයේ සුරක්ෂිතතාව සඳහා වන සම්මුතිය (1994)
  • යුරෝපා සංගමයේ මූලික හිමිකම් පිළිබඳ වරපත්‍රය (2000)

මානව හිමිකම් සඳහා වන යුරෝපා සම්මුතිය

Image Credit: edoc.coe.int

යුරෝපා කවුන්සිලයේ මානව හිමිකම් සම්බන්ධව ඇති ප්‍රධාන ලේඛනය වන මෙය 1950  වර්ෂයේදී සම්මත කරගනු ලැබූවකි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් මෙම සම්මුතියෙහි අන්තර්ගත වේ. මෙම සම්මුතිය වෛකල්පිත ලේඛන 13 කින් සමන්විතයි. ඒ අතරින් 6 සහ 13 යන ලේඛන ක්‍රියාවට නැඟෙන්නේ නැත. 11 වන වෛකල්පිත ලේඛනය මානව හිමිකම් සඳහා වන යුරෝපා කොමිසම ස්ථාපිත කිරීමත්, මානව හිමිකම් සඳහා වූ යුරෝපා අධිකරණය මානව හිමිකම් සඳහා වන යුරෝපා ස්ථාවර අධිකරණය වශයෙනුත් වෙනස් කිරීම පදනම් කරගනු ලැබූවකි.

යුරෝපා සාමාජිය වරපත්‍රය

1961 වර්ෂයේදී සම්මත කරගනු ලැබූ මෙම වරපත්‍රය ආර්ථික හා සාමාජීය හිමිකම් අන්තර්ගත වූවකි. නමුත් එය යුරෝපා සම්මුතිය තරම්ම වැදගත් ලේඛනයක් නම් නොවේ. ආරම්භයේ සිටම දුර්වල සහ අකාර්යක්ෂම ලේඛනයක් වූ මෙය දෙවරක්ම සංශෝධනයට ද ලක්ව ඇත. ඒ 1988 සහ 1995 වර්ෂ වලදීය. එම සංශෝධන වල ප්‍රතිඵලයක් වශයෙන් වෛකල්පිත ලේඛනයක් මත පදනම්ව සාමූහිකව පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය පුද්ගලයන්ට ලැබී ඇත.

කෲර වද හිංසා, අනෙකුත් අමානුෂික ක්‍රියා සහ අවමන් සහගත සැලකිලි පිටුදැකීම සඳහා වන යුරෝපා සම්මුතිය

1987  වර්ෂයේදී සම්මත කරගනු ලැබූ මෙය මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් ලේඛනයක්. මෙම සම්මුතිය හරහා එහි අරමුණු පදනම් කරගනිමින් කමිටුවක් ද ස්ථාපිත කර ඇත. අධීක්ෂණ සේවා ද ක්‍රියාවට නැඟෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ඉදිරිපත් කර ඇත්තා වූ කෲර වදහිංසා පිටුදැකීම පිළිබඳ සම්මුතියට අදාළව 2002 වර්ෂයේ දී ඉදිරිපත් කරනු ලැබූ වෛකල්පිත ලේඛනය මඟින් ද මීට සමාන යාන්ත්‍රණයක් ගොඩනඟා තිබෙනු දැකගත හැකියි.

ජාතික සුළුතරය සුරක්ෂිත කිරීම සඳහා වන යුරෝපා සම්මුතිය

මෙම සම්මුතිය යුරෝපය තුළ සුළුතරයේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු වර්ධනය වීමේදී ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සම්මත කරගනු ලැබූවකි. සම්මුතියට අනුව ජාතික සුළුතරයේ හිමිකම් ආරක්ෂා කිරීමට එක් එක් රාජ්‍යයන් බැඳී සිටී. එමෙන්ම ඔවුන්ගේ සංස්කෘතිය සහ අනන්‍යතාව වර්ධනය කරගැනීම සහ පවත්වාගෙන යාම පිණිස ඉඩප්‍රස්ථා සැලසීම ද මේ මඟින් සිදු වේ.

මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය

Image Credit: frontnews.eu

යුරෝපයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ප්‍රධානම යාන්ත්‍රණය වන්නේ මෙයයි. යුරෝපා කවුන්සිලයේ සියලු සාමාජික රාජ්‍යයන් විසින් එහි තීන්දු පිළිගනු ලැබේ. යුරෝපා අධිකරණයේ විනිසුරන්ගේ සංඛ්‍යාව යුරෝපා කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන්ගේ සංඛ්‍යාවට සමාන වන අතර සෑම විනිශ්චයකදීම ජාතික ව්‍යවස්ථාවන් අවබෝධ කරගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගනී. නමුත් විනිසුරන් පත් කරනු ලබන්නේ නිපුණත්වය මතය.

රාජ්‍යයන්ගෙන් ඉදිරිපත් වන පෙත්සමක් යුරෝපා අධිකරණයේ අධීක්ෂණය සඳහා භාජනය වීමට පහත කොන්දේසි සපුරා තිබිය යුතුයි.

  • මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතියේ සහ වෛකල්පිත ලේඛන මඟින් සහතික කර ඇති අයිතිවාසිකමක් උල්ලංඝනය වී තිබීම.
  • පෙත්සම්කරු හෝ පෙත්සම්කරුවන් අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට ලක්ව තිබීම.
  • දේශීය පිළියම් වල සහ එහි කාර්යක්ෂමතාවයේ අසම්පූර්ණත්වයක් තිබීම.
  • දේශීය පිළියම් වල නිෂ්ඵලතාවයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී යුරෝපා අධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කර තිබීම.

පෙත්සම් පිළිගැනීම විනිසුරන් හත් දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් මඟින් සිදු කරයි. අධිකරණයේ තීන්දුව අවසාන තීරණය වන අතර අවශ්‍ය නම් අභියාචනා කිරීමේ හැකියාව ද පවතී.

අධිකරණයේ තීන්දු රාජ්‍ය පාර්ශව බැඳීමකට ලක් කරන්නක් වන අතර සිදුව ඇති හානිය සඳහා වන්දි ගෙවීමට නිර්දේශ කිරීමට ද බලය ඇත. අධිකරණයේ තීරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ඇමතිවරුන්ගේ කමිටුව මඟින් සිදු කරයි. එහිදී ඔවුන් හට පැවරෙන ප්‍රධාන කාර්යය වන්නේ අධිකරණයේ තීන්දු ක්‍රියාවට නැඟීම අධීක්ෂණය කිරීමයි.

මෙම ආයතනය මේ වන විට මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වන්නේ ඊට ඉදිරිපත් වන පෙත්සම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබීමයි.

යුරෝපා සංගමයේ මානව හිමිකම් ප්‍රතිපත්තිය

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපා සංගමයේ පොදු නෛතික ක්‍රමයේ මුඛ්‍ය සංකල්පයයි. මේ ‍මඟින් මානව හිමිකම් ප්‍රජා නීතියේ සාමාන්‍ය මූලධර්ම වශයෙන් ගොඩනඟා ඇති අතර දේපල පිළිබඳ අයිතිය, සමාගමයේ නිදහස සහ ආගමික හෝ සමානාත්මතාවයේ මූලධර්මය ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

කවරයේ කතාව- frontnews.eu

මූලාශ්‍ර

http://www.endvawnow.org/en/articles/391-regional-treaties.html

https://www.humanrights.ch/en/standards/ce-treaties/

http://www.humanrights.is/en/human-rights-education-project/complaints-procedures-of-the-international-human-rights-supervisory-bodies/how-to-bring-a-complaint/european-court-of-human-rights

http://www.ohchr.org/EN/Issues/ESCR/Pages/RegionalHRTreaties.aspx

Related Articles

Exit mobile version