Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ සුරාබදු නීතිය අපට බලපාන හැටි

ලංකාවේ බල පැවැත්වෙන සුරාබදු නීතිය පිළිබඳව මෑතක අති විශාල කතිකාවතක් ගොඩ නැගුණේ කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල් වල සේවය කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද හැකි වන පරිදි නෛතික අවසරය ලැබීම හරහායි. මුදල් ඇමතිවරයා විසින් 2018 අංක 03 දරන අති විශේෂ ගැසට් පත්‍රය (Extraordinary Gazette notification) මගින් ජනවාරි මස 11 වනදා පනවනු ලැබූ මෙම නීතිය ඉන් සතියකට පසු, එනම් ජනවාරි 18 වනදා ජනාධිපතිවරයා මගින් ඉවත් කොට, පැරණි නීතියම පනවනු ලැබූයේ 2018 අංක 04 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගිනුයි. මේ ආන්දෝලනාත්මක පෙරලිය නිසාම රටේ බොහෝ දෙනා මෙම සුරාබදු නීතිය පිළිබඳව තතු විමසා බලන්නට පෙළඹුනු නිසාවෙන්ම roar.lk පාඨක ඔබ වෙත ශ්‍රී ලංකාවේ පවත්නා සුරාබදු නීතීන් පිළිබඳව හැඳින්වීමක් කිරීමටයි අපේ මේ සූදානම.

i.ytimg.com

ඉතිහාසය

මෙරට සුරාබදු නීතිය 1912 වර්ෂය දක්වා ඈතට දිව යන්නක්. බ්‍රිතාන්‍ය පාලකයින් විසින් 1912 අංක 08 දරන සුරාබදු ආඥා පනත පනවනු ලැබූ අතර, එම ආඥා පනත 1913 වර්ෂයේ ජනවාරි පළමුවැනිදා පටන් බලාත්මක වුණා. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ පටන් 1948 වසරේ ශ්‍රී ලංකාව යටත් විජිත භාවයෙන් මිදෙන තුරු පනවන ලද අණ පනත් හැඳින්වෙන්නේ ආඥා පනත් යන නමින්). මෙම ආඥා පනත පනවනු ලැබුවේ සුරාබදු ආනයනය කිරීම, අපනයනය කිරීම, ප්‍රවාහනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රෙගුලාසි හා නීති පැනවීමට මෙන්ම ඒවා අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම උදෙසායි. කාන්තාවන්ට සුරා සල් තුල සේවය කිරීම මෙන්ම සුරා සල් වලින් මත්පැන් මිලදී ගැනීම යනාදිය වළකනු ලැබුවේද මේ හරහායි.

www.punjabtribune.com

මොනවද මේ “මත්පැන්”

මේ ආඥා පනතේ අර්ථ නිරූපණයන්ට අනුව ස්ප්‍රිතු, වයින් ස්ප්‍රිතු, වයින්, රා, බියර් සහ මධ්‍යසාරයෙන් සමන්විත් හෝ, මධ්‍යසාර අඩංගු දියර මෙන්ම, සුරාබදු ආඥා පනතේ කාර්යයන් ඉටු කිරීමේ අවශ්‍යතාවය සඳහා අමාත්‍යවරයා විසින් මත්පැන් යැයි ප්‍රකාශ කරනු ලබන ඕනෑම ද්‍රව්‍යයක් මත්පැන් යනුවෙන් හඳුන්වනු ලබනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන අන්දමට, සංවර්ධනය, සුබසාධනය, සමාජ ආරක්ෂාව සැලසීම, සැර මත්පැන් විකිණීමට වඩා අඩු මධ්‍යසාර සැරක පිහිටි ධාන්‍ය මත්පැන් අඩු මිලකට විකිණීමට උනන්දු කරවීම මෙන්ම නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් වෙළෙඳපොල වෙත ගෙන එනු ලැබීම වැළැක්වීම සඳහා අවශ්‍ය සුරාබදු නීති ක්‍රියාත්මක කිරීම සුරාබදු සම්බන්ධයෙන් පවත්නා රාජ්‍ය ප්‍රතිපත්තිය වනවා.

www.southernminn.com

මත්පැන් ආනයනය, අපනයන සහ ප්‍රවාහනය කිරීම

සුරාබදු ආඥා පනතේ තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ මෙම මාතෘකා තුන වෙනුවෙනුයි. මත්පැන් ආනයනය සහ අපනයනය කිරීම සඳහා මෙම ආඥා පනත හා/ හෝ රේගු ආඥා පනත මගින් පනවා ඇති බදු හා අනෙකුත් ගාස්තු ගෙවීමකින් තොරව එවැනි ආනයනයක් හෝ අපනයනයක් කිරීම නීති විරෝධී වන බව ආඥා පනතේ 10 සහ 11 වගන්ති ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම, ආනයන කිරීම්, අපනයනයන් සහ ප්‍රවාහනය කිරීම් සඳහා අවසර පත්‍රයක් ද ලබා ගත යුතු වනවා. මෙම අවසර පත්‍රය හරහා එසේ රැගෙන යා හැකි හා රැගෙන ආ හැකි උපරිම මත්පැන් ප්‍රමාණය විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් දන්වනු ලබනවා. එම අවසර පත්‍රය මුළු ශ්‍රී ලංකාව පුරාම බල පැවැත්වෙන්නක් හෝ යම් ප්‍රදේශයකට/ ප්‍රදේශ කිහිපයකට පමණක් බල පැවැත්වෙන්නක් වන්නටත් හැකියි. විවිධ ගනුදෙනු වල ස්වභාවයන්ට අනුව මේ වන විට බලපත්‍ර වර්ග 45ක් නිකුත් කෙරෙන අතර, ඉන් සෑම බලපත්‍රයක් සඳහාම නියමිත ගාස්තුවක් පවතිනවා. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන එවැනි අවසර පත්‍රයක් නොමැතිව මත්පැන් ප්‍රවාහනයෙහි යෙදීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.

www.sundaytimes.lk

මත්පැන් ළඟ තබා ගැනීම

සුරාබදු ආඥා පනතේ සිව්වන පරිච්ඡේදය වෙන් වන්නේ මත්පැන් නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධ නීති වෙනුවෙනුයි. ඊට අනුව, වයස අවුරුදු 21ට අඩු ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට ප්‍රසිද්ධ ස්ථාන වල මත්පැන් ළඟ තබා ගැනීම තහනම් වනවා. වයස අවුරුදු 21ට වැඩි පුරුෂයකුට නම් පෞද්ගලික ස්ථානයක මත්පැන් ලීටර් 7.500ක් ළඟ තබා ගැනීමට අවසර හිමි වන අතර, වයස අවුරුදු 21ට වැඩි ස්ත්‍රියකට පෞද්ගලික ස්ථානයක ලීටර 1.500කට වඩා වැඩි මත්පැන් ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර හිමි වන්නේ නෑ.

මත්පැන් නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමේ නීති පැනවීමට විෂය භාර අමාත්‍යවරයාට ඕනෑම අවස්ථාවක නීතියෙන් ඉඩකඩ ලබා දී තිබෙනවා.

නීති කඩ කරන්නන් සඳහා පැනවෙන දඬුවම්

සුරාබදු ආඥා පනත යටතේ පවත්නා සියළුම වැරදි ඇප ලබාගත හැකි වරදවල් වනවා. (සාමාන්‍යයෙන් සිර දඬුවම වසර තුනක් ඉක්මවනවා නම් එය ඇප ලැබිය නොහැකි වරදක් වන අතර, සිර දඬුවම වසර තුනට අඩු නම් එය ඇප ලබා ගත හැකි වරදක් වනවා). ආඥා පනත යටතේ සෝදිසි කළ යුතු වරදවල් සඳහා උපරිම දඩය වනුයේ රු: 100,000/- නැතහොත් එක් වර්ෂයක කාලයක් සඳහා දීර්ඝ කල හැකි එක් එක් අන්දමේ සිර දඬුවමයි. පුද්ගලයෙකු වරදකරු කලායින් පසුව එම වරද නැවත වරක් කළහොත් එම වරද නැවත කල එක් එක් දිනකට රු: 10,000/- බැඟින් දඬුවමකට යටත් වනවා.

www.lankabusinessonline.com

සුරාබදු බලපත්‍රධාරීන් විසින් සිදු කරන ලද වරදවල් බලපත්‍රයේ කොන්දේසි කඩ කිරීමේ විෂය සීමාව යටතට වැටෙන අතර, සුරාබදු කොමසාරිස්ට සමථ ගාස්තුවක් පැනවීමෙන් එවැනි වරදවල් සමථ කිරීමට බලය පවතිනවා. මෙම මුදල රු: 500,000/- දක්වා වැඩි විය හැක්කේ ඒ වරදෙහි බරපතල කම අනුවයි. වරද බරපතල වූ විට බලපත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හැකියාව පවතිනවා.

මහේස්ත්‍රාත් උසාවි වල සංක්ෂිප්ත නඩු විභාගයකින් හෙවත් ලඝු කාර්ය පටිපාටියකින් යුත් නඩු විභාගයකින් (Summary trial) පසුව වරදකරු වූ පුද්ගලයාට රුපියල් දශ ලක්ෂයකට වැඩි නොවූ දඩයක් ගෙවීම හෝ මාස හයකට වැඩි නොවූ කුමන අන්දමේ දඬුවමකට හෝ නියම වීම හෝ සිදු වනවා. අදාළ අමාත්‍යාංශයේ ලේකම් හෝ සුරාබදු කොමසාරිස් ජනරාල්ට මේ ස්ථානයේ වරදවල් සමථ කිරීමේ ගාස්තුවක් පැනවීමෙන් සමථ කිරීමට බලය හිමි වන බව වත්මන් අර්ථ නිරූපණයයි.

කවරයේ ඡායාරූපය – wtop.com

තොරතුරු උපුටා ගැනීම – ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඇසුරින් සහ 1912 අංක 08 දරන සුරාබදු ආඥා පනත ඇසුරිනි.

Related Articles