Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

8 වන සාක් සිනෙමා උළෙල

සාක් චිත්‍රපට උළෙල මෙවර 8 වන වතාවටත් කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනෙමා ශාලාවේ දී පැවැත්වෙනවා. මැයි මස 22 වෙනි දා ආරම්භ වන මෙය, මැයි මස 27 වෙනි දා දක්වා පැවැත්වීමට නියමිත යි. සාක් සංස්කෘතික කැලැන්ඩරයේ වැදගත්ම තැනක් ගන්නා මෙම සිනෙමා උළෙල පිලිබඳ Roar සිංහල තබන සටහන මේ.

2011 වසරේ ආරම්භ වූ සාක් සිනෙමා උළෙල එතෙක් පටන් නොකඩවා පැවත එනවා. සාක් සාමාජිකත්වය හිමි රටවල් 8ම විසින්, අදාළ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා, ඉදිරිපත් කෙරෙන චිත්‍රපට මේ උළෙලේ දී ප්‍රදර්ශනය වෙනවා. ශ්‍රී ලංකාවේ සාක් සංස්කෘතික මධ්‍යස්ථානය සාක් කලාපයේ ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සැලකෙන නිසා, සාක් කලාපයේම සංස්කෘතික කටයුතු මේ හරහා සිදු කෙරෙන අතර එයට මේ සිනෙමා උළෙලත් අයත්.

සාර්ක්  ලාංඡනය – (ggpht.com)

උළෙලේ සිනෙමාපට ප්‍රධාන කාණ්ඩයන් තුනක් යටතේ ප්‍රදර්ශනය වෙනවා. ඒවා අතරින් මිනිත්තු 30 හෝ ඊට අඩු ධාවන කාලයක් සහිත කෙටි චිත්‍රපට, සහ පැයකට වැඩි ධාවන කාලයක් සහිත වෘත්තාන්ත සිනෙමාපට ප්‍රදර්ශනය වන්නේ තරඟකාරී අංශය යටතේ යි. ඒ යටතේ සෑම රටකින්ම කෙටි චිත්‍රපට දෙකක් හා වෘත්තාන්ත චිත්‍රපට දෙකක් සහභාගී කෙරෙනවා. ඒවා උළෙල අවසාන දිනයේ සම්මානයට පාත්‍ර කරනු ලබනවා. එහි දී පිරිනැමෙන සම්මාන 12 අතර,

– හොදම වෘත්තාන්ත සිනෙමාපටය

– හොදම කෙටි සිනෙමාපටය

– හොදම අධ්‍යක්ෂණය

– හොදම තිර රචනය

– හොදම නළුවා/ නිළිය

– හොදම කැමරාකරණය

– හොදම සංස්කරණය

– හොදම ශබ්ද නිර්මාණය

– හොඳම ස්වීය සංගීත නිර්මාණය, හා ජූරි සම්මාන දෙකක් වෙනවා.

අනෙක් කාණ්ඩය වන්නේ තරඟකාරී නොවන සිනෙමාපට අංශය යි. එය යටතේ සිය රට නියෝජනය කරමින් හොදම සිනෙමා නිර්මාණයක් උළෙලට ඉදිරිපත් කරනු ලබනවා. ලංකාව නියෝජනය කරමින් මෙවර ඒ සඳහා ඉදිරිපත් වන්නේ වසන්ත ඔබේසේකරගේ “ආගන්තුකයා” යි.

ආගන්තුකයා – (films.lk)

මෙම සිනෙමා උළෙලේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ජූරියේ සභිකයන් කිසිවෙක් සාර්ක් රටවල් නියෝජනය නොකිරීම යි. ඒ අනුව මෙවර සිනෙමා උළෙලේ විනිශ්චය මණ්ඩලය ලෙස,

පාඔලෝ බර්ටොලින් නම් සිනෙමා විචාරකයා හා සිනෙමා උළෙල කාර්යය ක්‍රම සම්පාදකයා, බුසාන් ආසියානු සිනෙමා පාසලේ අන්තර්ජාතික සිනෙමා ව්‍යාපාරකරණය පිළිබඳ ආචාර්යය, හා සිනෙමා නිර්මාණකරුවකු වන හන් සන්හේ, සහ නිෂ්පාදකයෙකු, තිර රචකයෙකු හා කැමරාකරුවකු ද වන සම්මානලාභී සිනෙමා අධ්‍යක්ෂක ටිකොයි අග්ලිස් සහභාගී වෙනවා.

මෙවර ඔවුන් තිදෙනා එකතුව “දකුණු ආසියානු නිෂ්පාදකයාගේ භූමිකාව හා රටවල් අතර සම නිෂ්පාදනය” යන මැයෙන් විශේෂ සැසියක් ද සංවිධානය කරනු ලබනවා. ඒ මැයි මස 25 වෙනි දා යි. එය උදෑසන 9 සිට 11 දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ යි. මෙය නොමිලේ පවත්වන අතර ඕනෑම අයකුට සහභාගී වීමට ද හැකි යි.

කලාත්මක සිනෙමා නිර්මාණ බොහොමයක් රටවල් අතර සම නිෂ්පාදනයෙන් නිර්මාණය වනවා. යුරෝපයේ බොහෝමයක් ආර්ට් හවුස් සිනෙමා නිර්මාණ බිහිවන්නේ මේ ක්‍රමය යටතේ යි. මේ ක්‍රමය යටතේ රටවල් දෙකක් එකතු වී නිර්මාණය කරනු ලබන සිනෙමා නිර්මාණවලට, අදාල රටවල් දෙක තුලම වෙළඳපොළක් නිර්මාණය වීම සිදුවෙනවා. ඒ හරහා, ඉන්දියාව හැරුණුකොට, සාක් කලාපීය රටවලට විශාල වෙළඳපොළක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් පවතිනවා.

උළෙලේ අවසාන අංගය ලෙස සිනෙමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්නා වෘත්තාන්ත සිනෙමාපටය නැවත වරක් තිරගත කෙරෙනු ඇති.

මෙම සිනෙමා උළෙලේ ප්‍රධානම අරමුණු අතර,

01 . දකුණු ආසියාතික සිනෙමාකරුවන් අතර සහයෝගය වර්ධනය කිරීම, හා ඔවුන්ට එකතු විය හැකි වේදිකාවක් තනා දීම

  1. ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ට සාමාන්‍යයෙන් නැරඹිය නොහැකි, ලංකාවෙ තිරගත නොවන කලාපීය සිනෙමාපට සිනෙමා අවකාශයක් තුළ නැරඹිය හැකි වීම
  1. සෑම සිනෙමාපටයකට පසුවම පැවැත්වෙන කෙටි සංවාද වලට සහභාගී විය හැකි වීම.
  1. අනෙක් රටවල සංස්කෘතිය හඳුනාගැනීමට මූලාශ්‍රය වීම යන ඒවා වැදගත් වෙනවා.

මෙවර සිනෙමා උළෙලේ වැඩසටහන මෙසේ යි:

facebook.com/SAARC.Cultural.Centre

මැයි 22 දා පස්වරු 5.30ට ආරම්භ වන මෙම චිත්‍රපට උළෙලේ ප්‍රථම චිත්‍රපටය ලෙස ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන “ආගන්තුකයා” ප්‍රදර්ශනය කෙරේ.

මැයි 23 දා පෙරවරු 10.00ට භූතාන චිත්‍රපටයක් වන “SERGA MATHANG”, පස්වරු 1.00ට පාකිස්ථානු “SALUTE”, පස්වරු 4.30ට ඉන්දීය කෙටි චිත්‍රපටයක් වන “GI”, පස්වරු 5.05ට බංග්ලාදේශයේ “KHACHA”, පස්වරු 7.20ට මාලදිවයින් කෙටි චිත්‍රපටයක් වන “STATUS”, පස්වරු 7.35ට භූතාන “HUM CHEWAI ZAMLING” තිරගත කෙරේ.

මැයි 24 දා පෙරවරු 9.30ට මාලදිවයින් කෙටි චිත්‍රපටයක් වන “BITHUFANGI”, පෙරවරු 10.15ට මාලදවයින් “HAHDHU”, පස්වරු 1.00ට බංග්ලාදේශ කෙටි චිත්‍රපටයක් වන “DAAG”, පස්වරු 1.30ට පාකිස්ථානු “SHANAKHT”, පස්වරු 4.00ට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන “28”, පස්වරු 6.00ට ඉන්දීය  “KSHITIJ”, පස්වරු 8.00ට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටයක් වන “FIRE OF LIFE”, පස්වරු 8.30ට පාකිස්ථානු චිත්‍රපටයක් වන “CHAIN AYE NA” ද තිරගත කෙරේ.

මැයි 25 දා පෙරවරු 11.30ට බංග්ලාදේශ චිත්‍රපටයක් වන “AKHI & HER FRIEND”, පස්වරු 2.00 ට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටයක් වන “මට නම් ඇහුනා”, පස්වරු 2.30ට ඉන්දියානු “BISORJON” පස්වරු 3.00ට මාලදිවයින් චිත්‍රපටයක් වන “4426”, පස්වරු 8.00ට පකිස්ථානයේ “BLIND LOVE” තිරගත වනු ඇත.

මැයි 26 දා පෙරවරු 10.00ට බංග්ලාදේශ කෙටි චිත්‍රපටයක් වන “KALO MEGHAR VELA”, පෙරවරු 10.45ට ඉන්දියානු “POORNA”, පස්වරු 12.30ට පකිස්ථානු “VERNA”, පස්වරු 3.30ට බංග්ලාදේශ චිත්‍රපටයක් වන “HELDA”, පස්වරු 6.30ට ඉන්දියානු කෙටි චිත්‍රපටයක් වන “THE WATERFALL”, පස්වරු 7.00ට ශ්‍රී ලාංකික “බහුචිතාවාදියා”ප්‍රදර්ශනය කෙරේ.

මැයි 27 දා පස්වරු 6.00ට සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ.

සිනෙමා උළෙලේ සංවිධාන කටයුතු හා සම්බන්ධ ධනුෂ්ක ගුණතිලක මහතා සමඟ කරන ලද සංවාදයක් ඇසුරෙනි.

කවරය – www.facebook.com/SAARC.Cultural.Centre

Related Articles