දූරියන් ගැන නොදත් කතා

ජූනි – අගෝස්තු කාලෙට බස් රථයකින් හෝ පයින් කොළඹ අවට ඇවිදින්න ගිය කෙනෙක් දූරියන් ගන්ධය නිසා මුහුණ ඇඹුල් කරගෙන නැත්තම් ඒ බොහෝම කලාතුරකින්. අග්නිදිග ආසියාවේ රටවලට ආවේණික පලතුරක් වන දූරියන්වලට මැලේ-ඉන්දුනීසියානු භාෂාවන්ගෙන් බිඳී ආ ‘දූරි’ නම් වචනයෙන් ඒ නම ලැබී තිබෙනවා. එහි අර්ථය ‘කටු සහිත’ යන්න යි.

ඇතැම් අය ඉමිහිරි සුගන්ධයකින් යුතු පලතුරක් ලෙස සලකනු ලබන දූරියන් සමහර උදවියට නම් ඉතාමත් අප්‍රසන්න ගන්ධයකින් යුක්ත බව යි කියැවෙන්නේ. මේ නිසා ම ඇතැම් පිරිසක් බොහෝම ආශාවෙන් දූරියන් ආහාරයට ගන්නා අතර ම තවත් පිරිසක් දූරියන් දෙස නොබලා ම එය ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ අනුව විවිධ අය දූරියන් විස්තර කරන ආකාරය ද එකිනෙකට වෙනස්.

sci-news.com

ඈත අතීතයේ පටන් ම ආසියාවේ ප්‍රචලිත පලතුරක් වූ දූරියන් බටහිර ලෝකයට හඳුන්වා දී ඇත්තේ අදින් සියවස් හයකට පමණ පෙර යි. එදිනෙදා ආහාරයට ගනු ලබන දූරියන් විද්‍යාත්මක ව Durio zibethinus යන නමින් හඳුන්වනවා. දූරියන් කන්න කැමති උදවිය ‘ලෝකයේ රසවත් ම පලතුර’ ලෙස හඳුන්වනු ලබන මේ අපූරු පලතුරු ගැන වැඩි දෙනෙක් නොදන්න කරුණු යි මේ.

පලතුරු ලොවේ රජතුමා

අනෙක් පලතුරුවලට සාපේක්ෂ ව ප්‍රමාණයෙන් විශාල දූරියන් ගෙඩි, අග්නිදිග ආසියානුවන් අතර ජනප්‍රිය ‘පලතුරු ලොවේ රජු’ ලෙස යි. චීන ජාතිකයන්ට අනුව පලතුරු ලොවේ රජු සහ රැජින වන්නේ දූරියන් සහ මැංගුස්. ඒ ඒවායේ ඇති එකිනෙකට හාත්පසින් ම වෙනස් ලක්ෂණ නිසා යි. කටු සහිත ලෙල්ලකින් ආවරණය වී ඇති දූරියන් ගෙඩියක් සාමාන්‍යයෙන් අඩියක පමණ විශාලත්වයකින් යුක්ත වෙනවා. එය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් තිහක පමණ බරකින් යුතු වන අතර එහි විශාලත්වය සහ එයට ම ආවේණික ගන්ධය නිසා ම අනෙක් පලතුරුවලට වඩා විශේෂ යි.

දූරියන් සහ මැංගුස් (theculturetrip.com)

දූරියන් ගෙඩිය, එහි වර්ගය අනුව හැඩයෙන් දිගැටි ආකාරයේ සිට වටකුරු ආකාරයට ද ලෙල්ලෙ හි වර්ණය අනුව කොළ පැහැයේ සිට දුඹුරු පැහැයට ද මදයේ වර්ණය මත ළා කහ පැහැයේ සිට රතු පැහැයට ද වෙනස් වෙනවා. පරිභෝජනය කිරීම සඳහා දූරියන් ගෙඩියක් හොඳින් ඉදී තිබීම අත්‍යාවශ්‍ය නැහැ. ඒ අනුව දූරියන් මදය එහි ඉදීම සිදු වෙන විවිධ අවස්ථා අනුව නොයෙක් අයුරින් පරිභෝජනය සඳහා යොදා ගත හැකි අතර එයින් නිකුත් වන ඉමිහිරි සුවඳ බොහෝමයක් අග්නිදිග ආසියාතික ආහාර රස ගැන්වීම සඳහා ද යොදා ගනු ලබනවා. එසේ ම දූරියන් බීජ පිසින අවස්ථාව ද නැතුවා ම නොවෙයි.

ප්‍රභේද රැසක්

දැනට ලෝකයේ දූරියන් විශේෂ 30 ක් පමණ හඳුනාගෙන තිබෙන අතර ඒවායින් 9 ක් ම ආහාරයට ගැනීම සඳහා සුදුසු වෙනවා. නමුත් සියවස් ගණනක් තිස්සේ උසස් තත්ත්වයෙන් යුතු ඵල ලබා ගැනීම සඳහා සිදු කරන ලද ශාඛ බද්ධයන් හේතුවෙන් මේ වන විට දූරියන් ප්‍රභේද 300 ක් පමණ බිහි වී තිබෙනවා. ඒවා සෑම එකක ම පාහේ උසස් තත්ත්වයේ දූරියන් හට ගන්නා අතර සෑම ප්‍රභේදයක් ම එකිනෙකට වෙනස් රසයකින් හා සුවඳකින් යුතු යි.

Wikimedia Commons

දූරියන් බෘෘනායි, මැලේසියාව සහ ඉන්දුනීසියාවට අවේණික පලතුරක් වුවත් වර්තමානයේ දී ලෝකයේ ප්‍රධාන ම දූරියන් අපනයනකරු බවට පත් වී ඇත්තේ තායිලන්තය යි. එහි දූරියන් ප්‍රභේද 200 කට ආසන්න ප්‍රමාණයක් වාණිජමය ලෙස වගා කරන අතර ඒ අතරින් වඩාත් ප්‍රකට දූරියන් ප්‍රභේදය ලෙස Durio zibethinus සැලකෙනවා.

සුපිරි පලතුරක්

healthfitnessrevolution.com

ඇතැම් උදවියට අප්‍රසන්න වුණත් දූරියන් ඉතාමත් ගුණදායක පලතුරක්. එහි අන්තර්ගත වන්නේ සරල සීනි නිසා දියවැඩියා රෝගීන්ට වුණත් සැකයකින් තොර ව දූරියන් ආහාරයට ගැනීමට පුළුවන්. එසේ ම එතරම් බර ආහාරයක් නොවන නිසා එය ජීරණයටත් පහසු යි.

කුඩා දරුවන්ගේ බර අඩුකමෙන් මිදීමට පිළියමක් ලෙස දූරියන් ආහාරයට ගත හැකි අතර එහි අඩංගු කෙඳි සහිත ස්වභාවය හේතුවෙන් මළ බද්ධයට ප්‍රතිකාරක් ලෙස ද දූරියන් යොදා ගනු ලබනවා. මීට අමතර ව සිරුරේ රතු රුධිරාණු නිෂ්පාදනය සඳහා ද දූරියන් ලබා දෙන දායකත්වය ඉහළ යි. එපමණක් නොව හදිසියේ ඇති වන හෘදයාබාධ දුරලීමටත් අධි රුධිර පීඩනය අවම කර ගැනීමටත් දූරියන් ප්‍රයෝජනවත්.

තමන්ගේ රුව අලංකාර ව තබා ගැනීමට කැමති ඕනෑම කාන්තාවක් කැමති යි. නිරන්තරයෙන් ම දූරියන් ආහාරයට ගන්නවා නම් පැහැපත් සමක් මෙන් ම නීරෝගී කෙස් කළඹක් ද හිමි කර ගත හැකි යි. එසේම ඔසප් වේදනාවෙන් දුක් විඳින කාන්තාවන් සඳහා ද දූරියන් ඉතාමත් ගුණදායක යි.

sarirasa.co.id

මේ ආකාරයට සිරුරට වැදගත් වන පෝෂණ සංඝටක බොහෝමයක් දූරියන් හි අඩංගු වුවත් ඇදුම සහ සෙම් රෝගවලින් පීඩා විදින උදවියට නම් දූරියන් එතරම් ගුණදායක නැහැ.

දූරියන් තහනම්!

දූරියන් ගෙඩිවලින් නිකුත් වෙන තියුණු සුගන්ධය නිසා ම තායිලන්තය, ජපානය සහ හොංකොං වැනි රටවල් පොදු ප්‍රවාහන සේවයන් හි දූරියන් රැගෙන යාම තහනම් කර තිබෙනවා. සිංගප්පූරුව මේ තහනම තව දුරටත් දීර්ඝ කරමින් පොදු ප්‍රවාහන සේවයන් හි පමණක් නොව ටැක්සිවල​ පවා දූරියන් රැගෙන යාම තහනම් කර ඇති අතර එහි දී දූරියන් තහනම් බව පෙන්වන දැන්වීම් පවා සුලබ ව දැකිය හැකි යි.

මීට අමතර ව දූරියන් ගන්ධය දින කිහිපයක් පවතින නිසාවෙන් එය ආහාර සැකසීමේ දී යොදා ගැනීම තහනම් කරන ලද ආපණශාලා ද ලෝකයේ නැතුවා ම නොවෙයි.

දූරියන් තහනම්! (Wikimedia Commons)

විස්තර කළ නොහැකි සුවඳක් සහ රසයක්

වසර සිය ගණනක් තිස්සේ ආසියාවට පැමිණි ගවේෂකයන් දූරියන්වලට සුවඳ සහ රසය පිළිබඳ ව තම වාර්තාවල විස්තර කිරීමට උත්සාහ කර තිබුණත් ඒ කිසිවෙකින් දූරියන් නිවැරදි ව විස්තර කර නොමැති බව යි පෙනී යන්නේ. මේ නිසා ම දූරියන්, විස්තර කළ නොහැකි අසමසම පලතුරක් ලෙස ද සැලකෙනවා. දූරියන් රසය සහ සුවඳ බොහෝ දෙනෙක් තුළ ගැඹුරු ප්‍රසාදයක සිට තදබල පිළිකුලක් දක්වා වූ විවිධ හැඟීම් ජනිත කරනවා.

Wikimedia Commons

ක්‍රිස්තු වර්ෂ 1856 දී බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් දූරියන් විස්තර කර ඇත්තේ මේ අයුරින්.

“සේද වැනි සුදු පැහැයෙන් යුතු කුටීර පහක් තුළ ක්‍රීම් පැහැයට හුරු පල්පයක් පිරී පවතින අතර එක් කුටීරයක් තුළ බීජ තුනක් පමණ අඩංගු වෙනවා. මෙයින් ආහාරයට ගත හැක්කේ පල්පයක් වැනි කොටස යි. එහි උකු බව සහ රසය විස්තර කළ නොහැකි යි. දළ වශයෙන් එය කොට්ටම්බා රස ගන්වන ලද කස්ටඩ් වැනි යි. නමුත් ඇතැම් අවස්ථාවල දී එයින් මතු වන්නේ ක්‍රීම් චීස්, ෂෙරි වයින් හෝ ලූනු සෝස් වැනි එකිනෙකට නොගැළපෙන රසයන්. වෙනත් කිසිදු පලතුරක දක්නට නොමැති ආකාරයේ ඇලෙන සුලු මෘදු බව, මේ පලතුරේ ප්‍රණිත බව වැඩි කරනවා. එසේ ම වැඩි වැඩියෙන් දූරියන් කෑමට ගැනීමේ දී එය ආහාරයට ගැනීම නතර කිරීමට ඇති අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩු වී යනවා.”

දූරියන් හැඩැති ගොඩනැගිලි

එස්ප්ලනේඩ් රඟහල (Wikimedia Commons)

සිංගප්පූරු පොදු ප්‍රවාහන සේවයන් හි දූරියන් රැගෙන යාම තහනම් වුවත් සිංගප්පූරුවේ ජාතික පලතුර ලෙස සැලකෙන තරමටම දූරියන් එහි ජනප්‍රිය යි. මේ නිසා ම දූරියන් ගෙඩියක හැඩයෙන් යුතු ගොඩනැගිලි ද එහි දී දක්නට ලැබෙනවා. සිංගප්පූරු ගංමෝය ආසන්නයේ මරීනා බොක්කේ පිහිටා ඇති ‘එස්ප්ලනේඩ්’ රඟහල පිටතින් දිස් වන්නේ දූරියන් ගෙඩියක් ලෙස යි.

2002 වසරේ දී විවෘත කරන ලද මෙය ඇතැම් අවස්ථාවල දී ‘දූරියන් රඟහල’ ලෙස ද හඳුන්වනු ලබනවා.

Cover Image: (thedailymeal.com)

Related Articles

Exit mobile version