‘ඉතිහාසය’ යන වදන සඳහන් කළ සැනින්ම අපේ මතකයට නැගෙන්නේ සියවස් ගණනාවකට පෙර සිදු වූවා යැයි කියමින් ඉතිහාස පන්තියේ ඉගැන්වූ සිද්ධි දාමයක්. නමුත් දශක දෙක තුනකට පමණක් නොව දින කිහිපයකට පෙර සිදුවූ දෑ ද මේ වන විට ඉතිහාසයට එක්ව හමාරයි. ඉතිහාස පන්තියේදී ලෝක ඉතිහාසයේ නම රැඳවූ විවිධ පුද්ගලයන් ගැන නොයෙක් කථාන්තර අපි අහලා තිබෙනවා. ඒ කථාන්තරවල ඇත්ත නැත්ත ගැන විමසීමක් කරන්නයි අපේ මේ සූදානම.
ලොව වටා යාත්‍රා කළ ප්‍රථම පුද්ගලයා ෆර්ඩිනැන්ඩ් මිගැලන්ද?
ක්‍රිස්තු වර්ෂ 1480දී පෘතුගාලයේ වංශවත් පවුලකට උපන් ෆර්ඩිනැන්ඩ් මිගැලන්, ලොව වටා යාත්‍රා කරන ඔහුගේ නාවික චාරිකාව ආරම්භ කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1519 දී ඔහුට වයස අවුරුදු 39 ක්ව තිබියදීයි. ඔහුගේ මෙම චාරිකාවේ අරමුණ වූයේ ඇමෙරිකාව (එනම් උතුරු සහ දකුණු ඇමෙරිකානු මහද්වීප) වටා යාත්‍රා කර පැසිෆික් සාගරය හරහා නැගෙනහිර ආසියාවට ළඟා විය හැකි මුහුදු මාර්ගයක් සොයා ගැනීමයි. මේ කටයුත්ත සඳහා එවකට ස්පාඤ්ඤයේ සිහසුන දැරූ පළමු චාල්ස් රජු (පසු ව මෙතුමා ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයේ පස් වැනි චාල්ස් රජු ලෙස අභිෂේක ලැබුවා) මූල්‍ය අනුග්‍රහය දැක් වූ අතර පළපුරුදු වෙළඳ නාවිකයෙකු වූ ෆර්ඩිනැන්ඩ් මිගැලන්ගේ නායකත්වයේ යටතේ නෞකා 5 කින් සහ නාවිකයින් 270 කින් යුතු බළ ඇණියක් සහිතව මෙම ඓතිහාසික මුහුදු ගමන ආරම්භ කළේ ස්පාඤ්ඤයේ සෙවිල් වරායෙන්.
නමුත් ක්‍රිස්තු වර්ෂ 1521 දී මැක්ටෑන් (පිලිපීනයට අයත් දූපතක්) හි පාලකයාව සිටි ලාපු-ලාපු සමග ඇති කර ගන්නා සටනක් අතරතුර උණ බටවලින් සැකසූ හෙල්ලයක් ඇනීම නිසා ෆර්ඩිනැන්ඩ් මිගැලන් මරණයට පත්වෙනවා. ඒ වන විට මිගැලන්ගේ නායකත්වය යටතේ නාවික බළ ඇණිය සම්පූර්ණ කර තිබුණේ මුළු චාරිකාවෙන් අඩක් පමණක් වන අතර පසුව ක්‍රිස්තු වර්ෂ 1522 දී ජුවාන් සෙබස්ටියන් ඇල්කානෝගේ නායකත්වය යටතේ ලොව වට ගිය චාරිකාව අවසන් කරන්නේ වික්ටෝරියා නම් වූ නෞකාව සහ නාවිකයින් 18 දෙනෙක් පමණයි.
රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළාද?
ක්‍රිස්තු වර්ෂ 54 – 68 දක්වා කාලය තුළ රෝමයේ සිහසුන දැරූ නීරෝ අධිරාජ්‍යයා පිළිබඳ මේ කියමන කවුරුත් අහලා තියෙන එකක්. ‘Domus Aurea’ (මෙහි තේරුම ‘රන්වන් මැදුර’ යන්නයි) නමින් අලංකාර මන්දිරයක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කරන ඉඩමක් අත්පත් කරගැනීම සඳහා නීරෝ අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තු වර්ෂ 64 දී රෝමයේ මහා ගින්න (Great Fire of Rome) ඇරඹූ බවයි එවකට රෝම වැසියන්ගේ විශ්වාසය වුණේ. රෝමය ගිනි ගනිද්දී එයින් සතුටට පත් වූ නීරෝ අධිරාජ්‍යයා වීණාවක් වැයුවා යැයි කතාවක් නිර්මාණය වන්නට ඇති බව ඉතිහාසඥයින් විශ්වාස කරනවා.
නමුත් ක්‍රිස්තු වර්ෂ 64 වන විට වීණාව යනුවෙන් සංගීත භාණ්ඩයක් නිෂ්පාදනයවී තිබුණේ නැහැ. පළමු වීණාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වන්නේ 10 වැනි සියවසේ දී යි. එසේම රෝමය ගිනි ගන්නා අවස්ථාවේදී නීරෝ අධිරාජ්‍යයා සිටියේ රෝම නගරයේ සිට සැතපුම් 30 ක පමණ ඈතින් පිහිටි ඇන්ටියම් නම් නගරයේයි. ඒ අනුව නීරෝ අධිරාජ්‍යයා රෝමය ගිනි තැබුවා යැයි කියන මතය ද බිඳ වැටෙනවා.
පාන් බැරි නම් කේක් කාපල්ලා
ප්‍රංශ විප්ලවය ඇති වූ සමයේ ප්‍රංශයේ සිහසුන දැරූ දහසය වැනි ලුවී රජුගේ බිසව වූ මරී ඇන්ටොනෙට් රැජින, ඇගේ සුඛෝපභෝගී ජීවන රටාව නිසාම මහජනතාව අතර අප්‍රසාදයට පත්ව සිටි බවයි ඓතිහාසික මූලාශ්‍රවලින් පැහැදිලි වන්නේ. නමුත් ඉතිහාසඥයින් පවසන්නේ ප්‍රංශ විප්ලවය හේතුවෙන් සාගින්නෙන් පෙළෙන දුප්පතුන් අරඹයා ඇය සිදු කළා යැයි කියන ‘පාන් බැරි නම් කේක් කාපල්ලා’ නම් ප්‍රකාශය අසත්‍යයක් බවයි.
එයට හේතුව ක්‍රිස්තු වර්ෂ 1766 දී ජීන් ජැක් රූසෝ විසින් ඔහුගේ ස්වයං චරිතාපාදනයේ මේ කියමන පිළිබඳ මුල්වරට සඳහන් කරන්නේ එයට වසර 25 කට පෙර සිදු වූවක් ලෙසයි. එසේම ක්‍රිස්තු වර්ෂ 1766 දී එය පළ වන විට මරී ඇන්ටොනෙට් ඔස්ට්‍රියාවේ ජීවත් වන එකොළොස් හැවිරිදි දැරියක් පමණක් වූ අතර ප්‍රංශ විප්ලවය ඇරඹුණේද එයින් වසර 23 කට පසුවයි. ඒ නිසා ඉතිහාසඥයින් පවසන්නේ ප්‍රංශ රජ පෙළපතට එරෙහිව දුප්පතුන්ව ප්‍රකෝප කිරීම සඳහා විප්ලවවාදීන් විසින් රූසෝගේ ග්‍රන්ථයේ සඳහන් වූ මෙම කියමන යොදා ගන්නට ඇති බවයි.
මීකි මවුස්ව සිතුවම් කළේ වෝල්ට් ඩිස්නිද?
පොඩිත්තන් වගේම වැඩිහිටියන්ද එක සේ ආදරය කරන කාටුන් චරිතයක් තමයි මිකී මවුස්. 1928 වසරේ දී මුල් වරට මීකි මවුස් කරළිය ආවේ ‘Steamboat Willie’ නම් කාටූන් මාලාව හරහායි. එහි මිකී මවුස්ගේ චරිතයට හඬ මුසු කරන්නේ වෝල්ට් ඩිස්නි සමාගමේ නිර්මාතෘ වූ වෝල්ට් ඩිස්නි විසින්. නමුත් මිකී මවුස්ව සිතුවමට නැගුවේ වෝල්ට් ඩිස්නි විසින් නොවන බව ඔබ දැන සිටියාද?
චිත්‍ර ශිල්පයට කවදත් එතරම් දක්ෂතාවයක් නොදැක්වූ වෝල්ට් ඩිස්නි, ඔහුගේ සිතට නැගුණු අදහස සිතුවමට නැගීමට චිත්‍ර ශිල්පියෙක් සොයමින් සිටින අවධියක දී ඔහුගේ පැරණි මිතුරෙක් වූ අබ් ඊආටී ඉවර්ක්ස් (Ubbe Eert Iwerks) නම් ඇමෙරිකානු ජාතික කාටූන් ශිල්පියා තමයි මුල් වරට මිකී මවුස්ව සිතුවමට නගන්නේ. ඉතාමත් දක්ෂ කාටූන් ශිල්පියෙකු වන ඔහු දිනෙකට කාටූන් සිතුවම් 700 ක් පමණ සිතුවමට නැගූ බව යි සඳහන් වන්නේ.
එසේම වර්තමානයේ පවතින ඇනිමේශන් කාටූන් කලාවේ පුරෝගාමියෙක් ලෙස අබ් ඊආටී ඉවර්ක්ස් ව හඳුන්වන්න පුළුවන්.
ඇත්තටම විදුලි බුබුළ නිපදවූයේ තෝමස් අල්වා එඩිසන්ද?
මේ පැනයට දෙන්න පුළුවන් සරල ම පිළිතුර වන්නේ ‘නැහැ’ යන්නයි. මුල්ම වරට අද අපි දකින විදුලි බුබුළුවල හැඩය ඇති විදුලි බුබුළක් නිර්මාණය කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික රසායන විද්‍යාඥයෙක් වූ ශ්‍රීමත් හම්ෆ්‍රි ඩේවි විසින්. ඒ තෝමස් අල්වා එඩිසන් උපත ලැබීමට වසර 45 කට පෙර 1802 දීයි. ප්ලැටිනම් පටියක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඉතාමත් දුර්වල එළියක් විහිද වූ එම විදුලි බුබුළ දැල්වී පැවතුණේ තත්පර කිහිපයක් පමණයි.
ශ්‍රීමත් හම්ෆ්‍රි ඩේවිට පසු ව විද්‍යාඥයින් බොහෝමයක් දිගු කාලයක් ආලෝකය ලබා දෙන විදුලි බුබුළක් නිපදවීමට උත්සාහ කළත් ඔවුන් දිගින් දිගටම අසාර්ථක වුණා. 1878 දී තෝමස් අල්වා එඩිසන් විසින් ශ්‍රීමත් හම්ෆ්‍රි ඩේවිගේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් (නමුත් ප්ලැටිනම් වෙනුවට කාබනීකෘත උණ බට සූත්‍රිකාවක් යොදා ගනිමින්) දිගු කාලයක් පවතින විදුලි බුබුළක් නිපද වූ නිසා එයට හිමි පේටන්ට් බලපත්‍රය ඔහුට හිමි වුණා.
ක්ලියෝපැට්රා ඊජිප්තු ජාතික රැජිනක්ද?
ලෝක ඉතිහාසයේ බිහිවූ රූමත්ම කාන්තාව ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු පූර්ව 51 – 12 දක්වා අතර කාලයේ දී ඊජිප්තුව පාලනය කළ ක්ලියෝපැට්රා රැජිනයි. ඊජිප්තු ජාතිකයන්ගේ ආදරය සහ ගෞරවය ලබා ගැනීම සඳහා මනා ලෙස ඊජිප්තු බස හසුරවමින්, ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාසයන්ට ගරු කරමින්, සෞබ්‍යයට, විවාහයට සහ ප්‍රඥාවට අධිපති ඊජිප්තු දෙවඟනක් වූ අයිසිස්ගේ යළි ඉපදීමක් ලෙස පෙනී සිටි ක්ලියෝපැට්රා සත්‍ය වශයෙන්ම ග්‍රීක ජාතික රැජිනක්.
යුරෝපයේ සහ මැද පෙරදිග බොහෝ රාජ්‍යයන් අත්පත් කර ගනිමින් පර්සියානු අධිරාජ්‍ය ගොඩ නැංවූ මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයා ක්‍රිස්තු පූර්ව 323 දී මිය යාමෙන් පසු ව ඔහුගේ සෙන්පතිවරුන් ඔහු විසින් අත්පත් කරගත් රාජ්‍යයන් බෙදා ගත් අතර ඊජිප්තුව හිමි වූයේ ටොලමි නම් ජෙනරාල්වරයාටයි. ඔහුගෙන් පැවත එන ක්ලියෝපැට්රාට වයස අවුරුදු 18 ක් ව තිබිය දී ඇයගේ පියාගේ ඇවෑමෙන් ඊජිත්තුවේ කිරුළ හිමි වූ අතර ග්‍රීක භාෂාව මුල් බස වූ ඇගේ පවුලේ අයගෙන් මුල්ම වරට ඊජිත්තු භාෂාව ඉගෙන ගත්තේ ද ඇයයි.
මේ ලිපියෙන් ඔබ මේ වෙනතෙක් නොදත් දෙයක් දැනගන්නට ඇතැයි අපි හිතනවා, ඔබත් මේ වගේ තවත් අපුරු තොරතුරු දන්නවානම් comment එකකින් අපිට කියන්න.
මූලාශ්‍ර : brightside.me, en.wikipedia.org, writespirit.net, buzzfeed.com, listverse.com, therichest.com