මිනිස් ඇස හා සබැඳි විශේෂ කරුණු

‘ඇස් දෙක වාගේ රැකගන්නම්’ කියා යම් පුද්ගලයෙක් තවකෙකුට පවසන්නේ ඔවුන් තමන් සතු වටිනාම සම්පත ලෙස අනෙකාව රැකගන්නම් යන අර්ථය ඇතිවයි. ඇත්තෙන්ම ඒ සඳහා උපමාව ලෙස ඇස් යොදා ගන්නේ එය මිනිස් සිරුරෙහි ඇති වටිනාම අවයවයක් නිසායි. මිනිසාට පෙනීම ගෙන දෙන මේ අවයවය ඒ සඳහා ඉතා විශේෂ ලෙස හැඩගැසී තිබෙනවා.

බාහිරින් ඇති වස්තුවක සිට පැමිණෙන ආලෝක කදම්භය අක්ෂි කාචය තුලින් ඇතුළු කරගෙන, එහි ප්‍රතිබිම්භය දෘෂ්ඨි විතානය මත නාභිගත කොට පැහැදිලි රූපයක් වර්ණද සමඟින් මොළය වෙත යැවීම සිදු කිරීම සඳහා ඉතා සියුම් ලෙස තැනී ඇති ඇස ඇත්තෙන්ම සොබාදහමේ ප්‍රාතිහාර්යයක්. මේ සඳහා ඇසෙහි පවතින සමහර හැඩගැසීම් හා ක්‍රියාවලීන් එක්වරම විශ්වාස කිරීමද තරමක් අපහසුයි. මිනිස් ඇස පිළිබඳව වූ පහත සඳහන් විශේෂිත කරුණු අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේත් ඒ නිසාමයි.

ඇසෙහි ප්‍රතිබිම්බ නිපදවෙන හැටි

ඇස වස්තුවක ප්‍රතිබිම්බයක් සාදමින් (slideplayer.com)

ඇත්තෙන්ම කණීනිකාව හා අක්ෂි කාචය ඔස්සේ ඇස තුළට ඇතුළු වන ආලෝක කදම්බ එහි දෘෂ්ඨි විතානය මත ප්‍රතිබිම්බය සාදන්නේ යටිකුරුව හා ඉදිරිපස හා පසුපස මාරු වන පරිදියි. ඉන්පසු මොළයට දෘෂ්ඨික ස්නායුව ඔස්සේ මේ පණිවුඩය සංජානනය වන අතර එකෙණෙහිම මොළය මඟින් එම ප්‍රතිබිම්බය උඩුකුරු හා නිවැරදි දිශානතියක් සහිතව සකස් කිරීම සිදු කෙරෙනවා. මිනිසෙකුගේ අක්ෂි මේ ආකාරයට පිහිටා තිබීමෙන් කණීනිකා සිදුරේ තරමට වඩා වැඩි පරාසයක ඇති වස්තූන් දැකගත හැකි වන අතර පර්යන්තයේ (perimeter) ඇති වස්තූන්වල දර්ශනයද හොඳින් සිදු වෙනවා. මිනිස් ඇස මේ ආකාරයට සකස් නොවුණා නම් අපගේ දෘෂ්ඨිය බීම බටයක් තුලින් පෙනෙන වපසරියට සීමා වීමට හැකියාව තිබුණා.

ඇසිපිය ගසන වේගය

සාමාන්‍යයෙන් මිනිසෙකුට එක් වරක් ඇසිපිය ගැසීමට වැය වන්නේ තත්පරයෙන් දහයෙන් පංගුවක් තරම් කාලයක් පමණයි. කෙසේ නමුත් පුද්ගලයෙක් මිනිත්තුවකට කී වරක් ඇසිපිය ගසනවාද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක්කේ එය අයෙකුගෙන් අයෙකුට වෙනස් වන නිසායි. මේ වෙනස කෙසේද යත් එය මිනිත්තුවට වාර දෙකක සිට 50 වාරයක් දක්වා විය හැකියි. වෙනත් ආකාරයකින් කිවහොත් මිනිසෙක් මිනිත්තුවට තුලදී තත්පර 0.2 සිට 5 ක් දක්වා සිටින්නේ සිය ඇස් වසාගෙනයි. අනෙක් විශේෂම කාරණාව වන්නේ මිනිසුන් ඇසිපිය ගැසීමට පටන් ගන්නේ උපතේ සිට මාස 6ක් පමණ ගත වූවායින් පසුව වීමයි.

නිල් ඇස් විකෘතිතාව

yougov.co.uk

ජන වර්ගය හෝ ඡවි වර්ණය කුමක් හෝ වේවා නිල් පැහැති ඇස් ඇති පුද්ගලයින් ඔබ දැක ඇති. මීට වසර 10,000 කට පෙර ලොව එකදු නිල් ඇස් සහිත පුද්ගලයෙකු නොසිටින්නට ඇතැයි පැවසුවහොත් එය විශ්වාස කළ හැකිද? නිල් පැහැ ඇස් ඇතිවන්නේ හිසකෙස්, සම හා නියපොතු මෙන්ම ඇසෙහි තාරාමණ්ඩලයේ වර්ණයත් නිර්ණය කෙරෙන නම් ජානයක් නිසායි. මෙහි ඇති වූ විකෘතිතාවක් නිසා නිල් පැහැ හෙවත් මෙලනින් රහිත තාරාමණ්ඩලයකට හිමිකම් කියන ඇස් ඇති මිනිසුන් ඇති වූ අතර එය මීට වසර 6000ත් 10000ත් අතර ඇතිවූවක් සේ සැළකෙනවා.

ඇසට පෙනෙන වර්ණ

වර්ණ දෘෂ්ඨිය ඇති වන අයුරු (universe-review.ca)

මිනිස් ඇසක් ප්‍රතිග්‍රහණය කරන්නේ මූලික වර්ණ තුන වන නිල්, කහ හා රතු යන වර්ණ තුන පමණයි. යම් වස්තුවක සිට එන ආලෝක කදම්බ ග්‍රහණය කර ගැනීමේ රතු, කහ හා නිල් වර්ණවලට සංවේදී කේතු සෛල මිලියන 7 ක පමණ ප්‍රමාණයක් ඇසෙහි පිහිටා තිබෙනවා. කෙසේ නමුත් මේ වර්ණ විවිධාකාර ලෙස සංයෝජනය වුණු වර්ණ මිලියන 10ක පමණ ප්‍රමාණයක් හඳුනාගැනීමට මිනිස් ඇසකට පිළිවන්. යම් වර්ගයකට අයත් කේතු සෛල නොපිහිටීමෙන් වර්ණ අන්ධතාවය ඇති වෙනවා.

හැඟීම හා කඳුළුවල සංයුතිය

මිනිස් ඇසකින් විවිධ හේතු නිසා කඳුළු පිට වන්නට පුළුවන්. දුක, භීතිය, සතුට, මෙන්ම ශාරීරික පීඩා, වේදනාව, විඩාව වැනි විවිධාකාර හේතු නිසා මිනිසුන් කඳුළු වගුරවනවා. මේ සෑම අවස්ථාවකදීම පිට වන කඳුළු සමාන ලෙස පෙනුණත් ඇත්තෙන්ම කඳුළු පිට වීමට හේතු වුණු කාරණාව අනුව එහි සංයුතියත් වෙනස් වනවා!

Idea Images/Getty Images.

විද්‍යාඥයින් සොයාගෙන ඇති අන්දමට මිනිස් ඇසකින් පිටවන කඳුළු ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3 කට වෙන් කොට දැක්විය හැකියි. එනම් ධනාත්මක හා ඍණාත්මක භාවයන් හේතුවෙන් එන කඳුළු, සාමාන්‍යයෙන් ඇසෙහි තෙතමනය රැකගැනීමට නිරන්තරයෙන් එන කඳුළු හා ඇසට සිදුවන පීඩාවකදී එන කඳුළු වශයෙනුයි.

ඇසෙහි මාංශපේෂි හා ස්නායු

සාමාන්‍ය මිනිස් ඇසක් සෙන්ටිමීටර දෙකහමාරක පමණ පළලකින් යුතු වන අතර බරින් ග්‍රෑම් 28 ක් පමණ වනවා. කෙසේ නමුත් එහි මාංශ පේෂි 6 ක් ඇති අතර මේවා එක්කාසුව ක්‍රියා කොට ඉතා කාර්යක්ෂමව ඇසෙහි චලනයන් පවත්වා ගන්නවා.

මිනිස් ඇසෙහි මාංශ පේෂි (azretina.sites.arizona.edu)

උපතින් අන්ධ පුද්ගලයෙකුට ඇසක් බද්ධ කොට පෙනීම ලබා දීම අපහසු වී තිබෙන්නේ දෘෂ්ටික ස්නායුව ඉතා සංකීර්ණ හා සංවේදී එකක් වීම නිසායි. එසේම විනාශ වූ දෘෂ්ඨි විතාන සෛල නැවත උත්පාදනය කිරීමේ ක්‍රියාවලියත් තවම හරිහැටි අවබෝධ කරගැනීමට විද්‍යාඥයින් සමත් වෙලා නැහැ. කෙසේ නමුත් මේ ක්ෂේත්‍රය පිළිබඳව දිගින් දිගටම පර්යේෂණ පැවැත්වෙනවා.

කුඩා දරුවන් ගේ හැඬුම

අළුත උපන් බිළිඳුන් නිතරම පාහේ හැඟුම්බරව හඬනවා. නමුත් විශේෂම කාරණය වන්නේ මිනිසෙකුගේ උපතේ සිට මාස කිහිපයක් ගත වන තුරු එම හැඬුම්වලින් කඳුළු උත්පාදනය නොවීමයි. කඳුළු ශ්‍රාවී ග්‍රන්ථි නිසි ලෙස විකසනය වී අවසන් වන්නේ උපතේ සිට සති 3-12 කාලයක් ගත වීමෙන් පසුවයි. එතෙක් ඇසෙන් කඳුළු උත්පාදනය වන්නේ ඇසේ තෙතමනය රඳවා ගැනීමට තරම් පමණයි. කෙසේ නමුත් මෙම කාලය තුලදී අර්ධ ලෙස විකසනය වූ ග්‍රන්ථිවලින් භෞතික පීඩනයක් වූ විට නම් කඳුළු නිකුත් වෙනවා.

අන්ධ බින්දුව

මිනිස් ඇසක හරස්කඩක් – මෙහි නිල් පැහැයෙන් රවුම් කර ඇත්තේ අන්ධ බින්දුවයි (personalexcellence.co)

මිනිස් ඇසක ‘අන්ධ’ ස්ථානයක් පිහිටා තිබෙනවා. එසේ සිදුවන්නේ එම ස්ථානයේදී දෘෂ්ටික ස්නායුව දෘෂ්ටි විතානය හා සම්බන්ධ වීම නිසායි. මේ හේතුවෙන් එම ස්ථානයේ කේතු හෝ යෂ්ඨි සෛල පිහිටන්නේ නැහැ. කෙසේ නමුත් මිනිසෙකුගේ අක්ෂි ද්විත්වය සෑදී තිබෙන්නේ එම අන්ධ බින්දු දෙකෙන් ජනනය වන ‘අන්ධ’ ස්ථාන දෙක එකිනෙක නිෂ්ප්‍රභ වන ආකාරයටයි.

අක්ෂි ‘සළකුණ’

මිනිසෙකුගේ එක ඇසක තාරාමණ්ඩලයෙහි විවිධ රැළිති, නැමීම් හා වර්ණවල සුළු වෙනස්කම් තිබෙනවා. මේවා යම් පුද්ගලයෙකුට අනන්‍යයි. මේ නිසා මේවා ස්කෑන් කිරීම යම් අයෙකු නිවැරදිව හඳුනා ගැනීමේ කාර්යක්ෂම ක්‍රමයක් ලෙස, විශේෂයෙන්ම ඉහළ ආරක්ෂාවක් අවශ්‍ය අවස්ථාවල යොදාගන්නවා. මෙය හඳුන්වන්නේ iris scanning යනුවෙන්.

Re_Sky/Shutterstock

හඳුනාගැනීමේ සළකුණක් ලෙස අක්ෂි තාරාමණ්ඩල සලකුණ යොදා ගැනීම ඇඟිලි සළකුණු තාක්ෂණය යොදාගැනීමට වඩා කාර්යයක්ෂ්ම වන්නේ ඇඟිලි සළකුණුවල විශේෂ රටා 40 ක් පමණ දක්නට ලැබෙන විට තාරාමණ්ඩලයෙහි එවැනි විශේෂ ලකුණු 200ක් පමණ අන්තර්ගත වීමයි. ඇසේ සලකුණ යොදා පුද්ගලයෙක් හඳුනා ගැනීමේදී වැරදීමක් සිදු වීමේ සම්භාවිතාව මිලියනයකින් පංගුවක් තරම් වෙනවා.

කවරයේ පින්තූරය -Robert Daly/ Getty Images

Related Articles

Exit mobile version