“ඔබ ඔබේ දෑත් අපිරිසිදු කරගැනීමට සූදානම් නම් ඔබට මුදල් ඕනෑ තරම් ඉපයිය හැකිය” යනුවෙන් ඉපැරණි කියමනක් උතුරු එංගලන්ත වැසියන් අතර පවතී. “Where there’s muck, there’s brass” නැමති මේ කියමන ඔවුන්ට පමණක් නොවෙයි, ඕනෑම මිනිසෙකුට ආදේශ කළ හැකි කියමනක්. මිනිසෙකු සොරකම් කරන්නට පෙළඹෙන්නේ ඇතැම් විට දුගීභාවය වැනි හේතු සාධක නිසා බව අප හොඳින් දන්නා කරුණක්. නමුත් මේ ලිපියෙන් roar.lk පාඨක ඔබ වෙත අප කියන්නට සූදානම් වන්නේ විනෝදයට සහ පුරුද්දක් වශයෙන් සොරකම් කිරීමෙහි යෙදුණු ප්‍රංශයේ විශාලතම බැංකු මංකොල්ලයට වග කිවයුත්තා වන ඇල්බර්ට් ස්පැගියාරිගේ අමුතුම කතාවයි.
කුඩා කාලය
1932 වසරේ උපන් ඇල්බර්ට් ස්පැගියාරි යනු කොපමණ උත්සාහ කළත් යහමගට ගන්නට නොහැකි වුණු දරුවෙක්. කුඩා කළ පටන්ම විවිධ සොරකම් වලට ඇල්බර්ට් හසු වූයේ ඔහු සතු වූ සොරකම් කිරීමේ පුරුද්ද කිසි විටෙකත් ඔහුගෙන් නොගිලිහුණු නිසාවෙනුයි. ඇල්බර්ට් හට වයස අවුරුදු තුනක් සපිරෙද්දී ඔහුගේ පියා මිය යෑම හේතුවෙන් ඔහුත් ඔහුගේ මවත් මෙලොව තනි වෙනවා. කාන්තා යට ඇඳුම් සාප්පුවක් පවත්වාගෙන ගිය ඇල්බර්ට්ගේ මව සිය ස්වාමියා මිය යාමෙන් නොබෝ කලකට පසුව දෙවෙනි විවාහයකට එළඹුනත් කුඩා ඇල්බර්ට් තම සුළු පියා කෙරෙහි කිසිදු ඇල්මක් දැක්වූයේ නැහැ. මේ නිසාම ඇල්බර්ට් හට වයස අවුරුදු දාහතක් සපිරෙත්ම ඔහු සිය නිවසින් පිටව යන්නේ එකල ඉන්දු – චීනයේ හෝ චී මින්ට එරෙහිව දියත්ව තිබූ යුද්ධයේ පැරශූට රෙජිමේන්තුවට බැඳීමේ අදහස ඇතිවයි.
තරුණ අවධිය
යුද පිටියේදී දෙවරක් තුවාල ලැබූ ස්පැගියාරි නොබියව සටන් වැදීම හේතුවෙන් ගෞරව බුහුමන්ද ලැබූ දක්ෂ සොල්දාදුවකු ලෙසින් නම් දැරුවා. නමුත් ඔහුගේ පැරණි පුරුදු නම් ඔහුගෙන් ඉවත්ව ගොස් තිබුණේ නෑ. 1953 වසරේ දිනෙක රාත්‍රියේ වියට්නාමයේ හැනෝයි නුවර කිරි හලකට කඩා වැදී එහි තිබූ බඩු බාහිරාදිය සොරකම් කළ ස්පැගියාරි එම වරදට හසුවීමෙන් අනතුරුව සිරගත කෙරුණේ නැවත ප්‍රංශය වෙත එන ඒමෙන් පසුවයි.
1960 වන විට සිර දඬුවම් ලබා ඉන් නිදහස්ව සිටි ස්පැගියාරි තම දිවියේ නවතම පිටුවක් පෙරලීමේ අදහසින් යුතුව සිටියා. හෙදියක සමග විවාහපත් වූ ඔහු ඇය සමගින් දකුණු ප්‍රංශය වෙත ගියේ ස්ථිර පදිංචිය සඳහායි. එහිදී ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ ස්පැගියාරි ඔහුගේම ඡායාරූප හලක්ද විවෘත කළා. ඔහුගේ දක්ෂතාවය නිසා නොබෝ කලකින්ම ජනතාව අතර ජනප්‍රිය වූ ස්පැගියාරි ඉහළ ඉල්ලුමක් ඇති ඡායාරූප ශිල්පියකු ලෙසින් ජනතාවගේ සිත් දිනාගන්නට සමත් වුණා.
“නයිස්” බැංකු මංකොල්ලය
කොපමණ කළත් කූඩැල්ලකු මෙට්ටයක් මත තබන්න බැරි බව කියන්නා සේම ස්පැගියාරිටත් කොපමණ උත්සාහ කළත් පරණ පුරුදු වලින් මිදීමට නොහැකි වුණා. තමන්ගේ පරණ පුරුදු වල නියැලීමට ඔහු පසු වූයේ නොඉවසිල්ලකින්. තමා ජීවත් වුණු ප්‍රංශයේ නයිස් නගරයේ පිහිටා තිබූ සෝශියට් ජෙනෙරාල් (Société Générale) බැංකුවට යටින් නයිස් නගරයේ කාණු පද්ධතිය පිහිටා තිබෙන බව දැනගත් කෙණෙහිම නවතම සැලසුමක් ඔහුගේ සිත තුළ මැවෙන්නට වූයේ පැරණි ස්පැගියාරිගේ චරිතයට ඔහුගේ දිවිය තුළ ඉඩක් ලබ දෙමිනුයි.
මින් ඉදිරියට මේ ලිපිය තුළ ඇති කරුණු ඇතැම් විට හොලිවුඩ් චිත්‍රපටයක තිර පිටපතක් මෙන් ඔබට දැනෙන්නටද පුළුවන්.
මුලින්ම ස්පැගියාරිට අවශ්‍ය වූයේ තමාගේ සැලසුම ව්‍යර්ථ විය හැකි අවස්ථා සොයා බැලීමටයි. ඒ සඳහා ඔහු කළේ බැංකුවේ සේප්පුව තුළ ඇතිවිය හැකි ශබ්ද පිටතට ඇසෙනවාද යන්න සොයා බැලීමයි. බැංකුවේ එක් සේප්පුවක් බද්දට ගත් ඔහු ඒ තුළ මධ්‍යම රාත්‍රියේ නාද වීම පිණිස වයින් කරන ලද එලාම් ඔරලෝසුවක් තැන්පත් කළා. එදින මධ්‍යම රාත්‍රිය වන තුරු බලා සිටි ඔහුට වැටහුණේ සේප්පුවේ ශබ්ද පිටතට නොඇසෙන බවයි. එමෙන්ම ඔහුගේ සැලසුම හෙළි වීමේ වෙනත් ආරක්ෂණ පද්ධතියක්ද බැංකුව තුළ නොමැති බව ඔහු වටහා ගත්තා. සැබවින්ම ස්පැගියාරිට බිය වීමට කරුණක් තිබූයේ නැත. ටයිටැනික් නැව කිසිදා නොගිලෙණු ඇතැයි එහි නිර්මාතෘන් සිතා සිටියා සේම, මෙම සේප්පුවේ නිර්මාතෘන්ද සිතා සිටියේ එම සේප්පුව කිසිදා නොකැඩිය හැකි එකක් බවටයි.
ඉන් අනතුරුව ස්පැගියාරි විසින් මාසෙයිලිස් නගරයේ විසූ පාතාල සාමාජිකයින් පිරිසක් මෙම කර්තව්‍යය සඳහා යොදානු ලැබුවා. 1976 වසරේ වසන්ත සෘතුවේ මාස දෙකක්ම මොවුන් වැය කළේ බැංකුව යටින් දිවෙන කාණු පද්ධතියේ පිරී ඇති මිනිස් බහිශ්‍රාවී ද්‍රව්‍ය ඉවත් කරමින් උමගක් හෑරීමයි. ස්පැගියාරිගේ අණ පරිදි හෑරුණු මෙම උමග දිගින් මීටර් අටක් පමණ වුණා.
එම වසරේ ජූලි මස දහහතර වන දිනට යෙදී තිබූ බැස්ටිල් දිනය හෙවත් ප්‍රංශයේ නිදහස් දිනයත් සමග යෙදුණු තෙදින නිවාඩුවේ සිකුරාදා දින රාත්‍රියේ ස්පැගියාරි ඇතුළු පිරිස විසින් බැංකුවේ මහ සේප්පුව වෙතට කඩා වැදී එහි දොර ඇතුළතින් සීල් කරගනු ලැබූයේ එම දොර පෑස්සීමෙනුයි. සේප්පුව තුළ වූ කුඩා ලොකර් වැනි ආරක්ෂිත සේප්පු 371ක් විවෘත කළ මෙම කණ්ඩායම සේප්පුවෙන් නික්ම ගියේ සඳුදා උදෑසන උදා වෙත්මයි. බැංකුව විසින් ප්‍රතිපත්තියක් වශයෙන් එම සේප්පු තුළ ඇත්තේ මොනවාදැයි නොවිමසන නිසා මෙම ආරක්ෂිත සේප්පු තුළින් පැහැරගත් මුදල් සහ ආභරණ ආදියෙහි මුළු වටිනාකම ප්‍රකාශ කරන්නට ඔවුන්ට හැකියාවක් තිබුණේ ද නැහැ. නමුත් ප්‍රංශ ෆ්‍රෑන්ක් මිලියන 30ත් 100ත් අතර වටිනාකමකින් යුත් ආභරණ සහ මුදල් මෙම කණ්ඩායම විසින් පැහැර ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
සඳුදා උදෑසන බැංකු නිලධාරීන්ට සේප්පුවේ දොර විවෘත කරගත නොහැකි වූ නිසා කම්මල්කරුවන් ගෙනැවිත් සේප්පුව විවෘත කළ විට එම නිලධාරීන්ට දැකගත හැකි වූයේ සේප්පුව තුළ සීසීකඩ විසිරී ගොස් තිබූ ආරක්ෂිත සේප්පු සහ දින දෙකක් තිස්සේ ස්පැගියාරි ඇතුළු කණ්ඩායමේ සාමාජිකයින් විසින් ගත් ආහාර වල ඉතිරි කොටස් පමණයි. සේප්පුවේ ඇතුළත ඔවුන් විසින් “ආයුධ, ප්‍රචණ්ඩත්වය සහ වෛරයෙන් තොරව” (Sans Armes, ni Violence, ni Haine – without weapons, violence or hate) යනුවෙන් ලියා ගොස් තිබුණා.
ඊට සති කිහිපයකට පසුව ලැබුණු ඔත්තුවක් හරහා කණ්ඩායමේ එක් සාමාජිකයකු අල්වා ගත් පොලිස් නිලධාරීන් ඔහුගෙන ලබාගත් කටඋත්තරයක් මත කණ්ඩායමේ සියළු දෙනාව හඳුනා ගත්තා. ඒ වන විට ස්පැගියාරි සිටියේ නයිස් නගරයේ නගරාධිපතිවරයා සමග ඔහුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසින් විදෙස් සංචාරයක නිරත වෙමිනුයි. ඔහු නැවත ප්‍රංශයට පැමිණි වහාම ඔහුව අත්අඩංගුවට ගැනුණා.
තම නඩු දිනයේදී ස්පැගියාරි ඉල්ලා සිටියේ නඩුකාරවරයාව මුණ ගැසීමටයි. නඩුකාරවරයාගේ කාමරයට පැමිණි වහාම එහි ජනේලයක් වෙත දිව ගොස් එය විවෘත කළ ස්පැගියාරි “සුබ ගමන්” (Au revoir) යනුවෙන් හඬ නගමින් ජනේලයෙන් ඉවතට පැන, ඔහු එනතුරු බලා සිටි සහයකයකුගේ මෝටර් රථයක නැගී පැන ගියා. ඉන්පසු කිසි දිනෙක එම පොලිස් නිලධාරීන් ඇල්බර්ට් ස්පැගියාරිව දුටුවේ නැහැ.
විත්තිකරුවා නොසිටියත්, නඩුකාරවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළා. ස්පැගියාරි තම දිවියේ ඉතිරි කාලය දකුණු ඇමරිකාව සහ යුරෝපය අතර ගමන් කරමින් ගෙවා දැමූ අතර, විටින් විට තම බිරිඳව බැහැ දැකීම සඳහා ප්‍රංශයට පැමිනුණා. දිගු කලක් අන්වර්ථ නාමයක් යටතේ ඉතාලියේ දිවි ගෙවූ ස්පැගියාරි 1989 වසරේ ජූනි 8 වනදා මිය ගියේ පෙනහළු පිළිකාවක් හේතුවෙනුයි.
2008 වසරේදී මේ කතාව අලලා (Sans Armes, ni Violence, ni Haine – without weapons, violence or hate) නමින් චිත්‍රපටයක්ද නිපැයුණා. 1977 වසරේදී ස්පැගියාරි විසින්ම කෘතියක් ලියන ලද අතර, එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරුණේ “Sewers of Gold” නමින්. කරුණු කෙසේ වෙතත්, ඇල්බර්ට් ස්පැගියාරි ඇතුළු කණ්ඩායම විසින් සොරාගත් මිලියන 100ක පමණ වස්තුව සඟවා ඇත්තේ කොහේදැයි අදටත් කිසිවකු දන්නේ නෑ. ඔහු 1989 වසරේදි ජීවිතයෙන් සමුගත්තේ ඒ අබිරහස ඉතිරි කරමිනුයි.
ඇල්බර්ට් ගැන කැසැන්ඩ්‍රි ලියූ කථාව
ස්පැගියාරිගේ මේ වික්‍රමයේ පිටුපස සිටි තවත් එක් “මොළකරුවකු” ලෙසින් හැඳින්වෙන ජැක් කැසැන්ඩ්‍රි “නයිස් මංකොල්ලයේ සත්‍ය තතු” (In the truth about the Nice heist) නමින් කෘතියක් 2010 වසරේදී නිකුත් කරනු ලැබුවා. තමාගේ සත්‍ය නාමය නොයොදා “අමීගෝ” නමැති අන්වර්ථ නාමයකින් යුතුව ඔහු මෙම කථාව ලියා ඇති මුත්, මාර්සෙයිලිස් නගරයේ සිටි තමාව මෙම මංකොල්ලය සඳහා යොදවා ගැනීම හරහා තමාටද ස්පැගියාරි මෙන්ම සමාජයෙන් වසන් වී ජීවිතය ගත කිරීමට සිදු වූ බව ඔහු එහි සඳහන් කොට තිබෙනවා.
මේ හේතුවෙන් ජැක් කැසැන්ඩ්‍රි පිළිබඳව දශක තුනකට ආසන්න කාලයක් සැඟවී තිබූ සැබෑ අනන්‍යතාවය හෙළි වී ඇති අතරම, මංකොල්ල කෑමට වරදකරුවකු ලෙසින් ඔහුට එරෙහිව නැවත නඩුවක්ද පවරා තිබෙනවා. මෙම නඩුවෙන් ඔහුගේ නිර්දෝශී භාවය ඔප්පු නොවුනහොත් ජැක් කැසැන්ඩ්‍රි වසර දහයකට පමණ සිරගත කිරීමට ප්‍රංශ නීතියට හැකියාව තිබෙනවා. අපට කළ හැක්කේ කැසැන්ඩ්‍රිගේ නඩුවේ අවසාන තීන්දුව ලැබෙන තුරු බලා සිටීම පමණයි.
කවරයේ ඡායාරූපය – onthisday.com
තොරතුරු උපුටා ගැනීම – onthisday.com වෙබ් අඩවියේ “France’s Biggest-Ever Bank Robbery” ලිපිය ඇසුරිනි.