ඉස්සර කාලේ සිංහල ගම්වල ජන ජීවිතය හා බැඳී පැවතුණ යාතු කර්මවලින් ප්‍රධාන එකක් තමයි ගම්මඩුව කියන්නේ. හැම අවුරුද්දකට සැරයක්ම වගේ ගමක ගම්මඩුවක් නැටීම ඒ කාලෙ සිරිතක්. අද නම් ගම්මඩුවක් පැවැත්වීම කලාතුරකින් තමයි සිදුවන්නේ. ඒ අතර කොළඹ ආශ්‍රිතව සංදර්ශන ආකාරයෙන් පවත්වන ගම්මඩුත් ඉඳහිට පසුගිය කාලෙ දකින්න ලැබුණා.
ගම්මඩුව කියන්නේ…
කේරළයේ වේරමාන්පූර්හි සේරමාන් පෙරුමාල් රජුගේ හිසරදයක් දුරලීමට ගම්මඩුව මුලින්ම පැවැත්වූ බව ජනවහර ගෙනහැර පායි. එනමුත් දෙවොල් මඩු කවිවල දී මුල් ස්වරූපයට දේශීයත්වයක් කාවද්දා දේශීය රජෙකු හැටියටත් ඔහු දක්වනවා.
එකල් පෙර දවසා
සේරමානන් රජුගේ සිරසා
ගිනිජල් ගති රොසා
එදා ගම්මඩු ගන්න එනිසා
ගමක තනන මඩුවක පවත්වන උත්සවය ගම්මඩුව කියන්න පුළුවන්. තනි ගමක හෝ ගම් කීපයක සෙනඟ එකතු වී තනා නිම කරනු ලබන විශාල මඩුවක, එක් රාත්‍රියක් හෝ රාත්‍රී කිහිපයක් පුරා ගම්මඩු උත්සවය පවත්වනවා. දොවොල් මඩු පවත්වන්නේ එක් පවුලකට හෝ එක් ගමකට පමණ යි. නමුත් ගම්මඩුව ගම් කීපයකට සීමාවන විශාල යාතු කර්මයක් ලෙස තමයි පවත්වන්නේ.
උඩරට පෙදෙස්වල ගම්මඩුව විරල යි. බහුලව එය පැවැත්වුණේ පහතරට බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද වැනි පළාත්වල යි. කෘෂි කර්මාන්තය පදනම් කරගත් අර්ථ ක්‍රමයකට ගැලපෙන මේ උත්සව අද ගම්වලින් බැහැරවීමට එක් හේතුවක් විදහට පුරාණ යැපුම් කෘෂිකර්මය තුරන්වීමත් සැලකිය හැකියි.
ගොවිතැන සරු වුණොත් දෙවියන්ට ස්තුති කිරීම ද, වගා හානි වුණොත් ඒ ගැන දෙවියන්ට කන්නලව් කිරීම ද ගම්මඩුවෙන් කෙරෙනවා. ගැමියන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර පැපොල, සරම්ප වැනි වසංගත රෝග පීඩා වළක්වා ගැනීමත් ගම්මඩුවේ එක් අරමුණක්.
පවිත්‍රත්වයේ සංකේතය වූ පත්තිනි දේවිය වෙනුවෙන් බිහිවුණ ගම්මඩුව වෙනත් දෙවිවරුන් සඳහා ද පසුව විවෘත වී තිබෙනවා. ගම්මඩුවේ ප්‍රධාන කපු මහතා කපු පත්තිනි, පත්තිනිහාමි, පත්තිනි මහත්මයා ආදී නම්වලින් තමයි හඳුන්වන්නේ. ඒ ඒ පුද්ගලයන්ගේ රෝග නිවාරණය සඳහා පත්තිනි දෙවියන්ට යාතිකා කරන්නේ ද බෙල්ලේ ආරක්ෂක නූල් බඳින්නේ ද මේ කපු මහත්තය යි.
ගොවිතැනට ආශිර්වාදයක්
ගම්මඩු උත්සවය සශ්‍රීකත්වය හා කෙළින්ම සම්බන්ධ යි. අස්වැන්නේ පළමු කොටස දෙවියන් වෙනුවෙන් වෙන්කොට දී ඊළඟ අවුරුද්ද දක්වා බෝග ආරක්ෂා කොට සරු අස්වැන්නක් ලබාදෙන්නැ යි දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. ගම්මඩුවේ ගිනි පෑගීමත් ප්‍රධාන අංගයක්. එය බාහිර වටපිටාවේ නියං වැනි විපත්, ගැමියන්ට වැළඳෙන ගිනියම් ලෙඩ ඇති කරන අධික තාපය දුරු කරන මෙහෙයක් ලෙස සැලකිය හැකි බව මහාචාර්ය ගණනාථ ඔබේසේකර පවසනවා.
කිරි ඉතිරීම අංගයෙන් අදහස් වන්නේ පලදාව වැඩි කිරීම වගේම ගිනියම් පොළොව සිසිල් කිරීම යි.
සත්පත්තිනි මෑණිවරුන්ට තොරණ හතක්‌ම ගම්මඩුව ඇතුළත තනනු ලබනවා. මේ තොරණ යාගය සඳහා පත්තිනි කෝල්මුර ගායනා කිරීම ද සිදුවෙනවා.
ගම්මඩුව සඳහා මුලින්ම කරන්නේ කප්සිටුවීම නම් චාරිත්‍රය යි. එම කාර්යය සඳහා කපුරාළලා කලින්ම පේ වී සිටිය යුතු යි. එම කාර්යයට නියමිත දින පළමු කරනුයේ තොටමට (තොටුපොළට) ගමන් කිරීම යි. තොටුපොළේ දී ස්‌නානය කර පිරුවට ඇඳගෙන මිල්ල කැපිය යුතු යි. ඒ සඳහා මිල්ල ගසක් ළඟ පාත නැතිනම් පෙරදින ඈතින් හෝ ගෙනැවිත් ඒ අසල තබා තිබිය යුතු වෙනවා. මෙම මිල්ල කපාගෙන ඒම කරන්නේ දර්ශනීය පෙරහැරකින්. මිල්ල කැපීම අවශ්‍ය වන්නේ දෙවොල් දෙවියන් සඳහා ගිනි පෑගීමට යි. මුල් අවධියේ සත්පත්තිනි වෙනුවෙන් දින හතක් තිස්‌සේ පවත්වන ලද ගම්මඩු ශාන්තිකර්මය පසුව දින තුනක් වී මේ වන විට එක් දිනයකට හෙවත් එක් රැයකට පමණක් සීමා වී තිබෙනවා.
දේවකතාව
6 දුම්මල ගසමින් දෙවියන් යදිමින්- serendib.btoptions.lk
දඹදිව ස්‌වර්ණ කුදුප්පර නුවර ශ්‍රී රාමසිංහ රජුට පුතුන් සත්දෙනකු වූ අතර ඔවුන්ගෙන් කෙනෙක් වූ දෙවොල් කුමරු රට වැසියන්ට පීඩා කරන කෘර පුද්ගලයෙකු වුණා. මේ නිසා පිය රජු කළේ සහෝදරයන් හත් දෙනාම නැවක නංවා රටින් පිටුවහල් කිරීම යි. ඔවුන් යාත්‍රා කරමින් පැමිණ ලංකාවේ යම් ස්‌ථානයකට ගොඩබැසීමට උත්සාහ කළා. එහෙත් එවකට ලංකාවේ සමුද්‍රාසන්නයේ බලවත්ව සිටි පත්තිනි දේවිය ගිනි කඳු හතක් මවා ඔවුනට ගොඩබැසීම අවහිර කළා. එවිට ඔවුන් තවත් ස්‌ථාන නවයක්‌ම සොයා ගොස් තිබෙනවා. ඒ ස්‌ථාන නවයේම ගොඩබැසීමට බාධා කරන ලද්දේ පත්තිනි දේවිය යි. අවසානයේ කණ්‌ඩායමේ නායක දෙවොල් ස්‌වාමි තම සහෝදර පිරිස ද මෙහෙයවමින් ගිනි කඳු හතම පාගාගෙන විත් හික්කඩුවට නුදුරු සීනිගමට ගොඩබැස්සා. ඒ අද සමුද්‍රයේ දූපතක් වන සීනිගම දේවාලය පිහිටි තැනට යි. පසුව දොවොල් කුමරු දෙවි කෙනකු ලෙස සැලකීමට පටන් ගත්තා. ඔවුන්ට මෙහි ගොඩබැසීමට ඉඩ ලබා දී තිබෙන්නේ මෙරට ජනතාවගේ රෝග පීඩා නැතිකිරීමේ වරය උඩ බව පැවසෙනවා. ඒ දොවොල් දෙවියන් සහ පත්තිනි දේවිය සිහිකරමින් මේ යාතු කර්මය පවත්වනවා.
මඩු පුරය
7 මඩුපුරයේ නර්තනයේ- serendib.btoptions.lk
ගම්මඩු උත්සවයට පැමිණෙන කාගේත් ඇස යන්නේ මඩු පුරයට යි. මේ පුරය තනන්නේ විශාල පොල් අතු මඩුවක් තුළ යි. ගමේ තැනිතලා ස්ථානයක් ගස්කොළන් කපා ඉවත්කොට පොළොව සමතලා කොට මඩුව තනනවා. මඩුව තනන්නට පෙර සතියකට හො දෙකකට පෙර දෙවියන්ට බාරහාර වී තමයි මඩුව තනන්න පටන් ගන්නේ.
මඩුව සාමාන්‍යයෙන් දිගින් රියන් 60ක් හා පළලින් රියන් 30ක් පමණ විශාල යි. එය පල දෙකක් සේ තනන පොල්අතු පියස්සකින් යුක්ත යි. මඩුවේ මැද කිසිම කණුවක් නැහැ. එහි එක් පසෙකින් තොරණක් සාදනවා. මෙය තොරණ, තොරණ ගේ ලෙස හඳුන්වනවා. කපු මහත්වරුන් ගොක්කොළ, කෙහෙල් පතුරු, ඉරටු, හබරල කොළ ආදිය යොදාගෙන තනන ඉතා අලංකාර පහන් පැල සහිත ස්ථානය තමයි මඩු පුරය කියන්නේ. මේ මණ්ඩපය දෙවියන්ගේ බල ප්‍රදේශය ලෙස සැකකෙනවා. පලාපෙති, වඩිම්බු, ලියපත්, තිරිගිතල ආදී සම්ප්‍රදායික සැරසිලි මෝස්තරවලින් තමයි මෙය අලංකාර කරන්නේ. දේව රූප සැරසිලි කළ තිර මල්අසුන්වල එල්ලිම ද සිරිතක්.
තුන් හුලස් වූ කාඟුල් නමැති සැරසිලි මෝස්කරයෙන් සමන්විත කොටස් දිග පේලියටත් එකකට එකක් ඉහළින් සිටින ලෙසත්, බැඳ ඒ අතරට චතුරස්‍රාකාර ලී පටි තබා එම පටි අතර ඇතුළට කාවදින තරමක ප්‍රමාණයෙන් යුත් අසුන් සකස් කොට මෙය පිළියෙල කෙරේ. මෙය පත්තිනි දෙවියන් ප්‍රධාන දෙවි දේවතාවන් වෙනුවෙන් කැප කෙරෙන පූජා වස්තුවක් ලෙස සැලකේ. අසුන් තුනක් තැනීම සාමාන්‍ය සිරිත යි. මැද තිබෙන ප්‍රධාන මල් ආසනය පත්තිනි දෙවියන් සඳහා යි. මේ තොරණ තුළ නවසි පොල්, තල්, කිතුල්, තැඹිලි, ඉඳි, පුවක් යනාදී ගෙඩි වර්ග ද එල්ලීම සිදුවේ. පත්තිනි අඹය, දුන්න ආදී පූජා භාණ්ඩ එහි තැන්පත් කෙරේ.
(ගම්මඩුව- සිංහල විශ්වකෝෂ උද්ධෘති)
ගම්මඩුවේ අංග
මැල කැපීම, පහන් පූජාව, කාල පන්දම් පිහිටුවීම, පිදේනි දීම, යහන් පිදීම, බිසෝ කප සිටුවීම, තොරන යාගය, පත්තිනි නැටුම, තෙල්මෙ නැටුම, වාහල නැටුම, අඹ විදමන, ආර මැරිල්ල හා මරා ඉපැද්දුම, දොවොල් නැටුම හා මැල පෑගීම, කිරි ඉතිරවීම, ගරා නැටුම, දෙවියන්ට පින් දීම හා දානය එහි අංග යි.
විවිධ පෙදෙස්වල සුළු වශයෙන් මේ අංග වෙනස් වෙනවා. ගම්මඩුවේ මුලින්ම කරන්නේ කහ දියර ඉස මඩුව ශුද්ධ ස්ථානයක් කිරීම යි. පසුව මිල්ල ගසේ දර ගිනි පෑගීමට යොදා ගන්නවා.
කැලේ ගොසින් අමු මිල්ල කපන්නේ
කැලෙ වටවු උඩු වියන් බඳින්නේ
රුලේ පුළුන් ලෙස දුම විහිදෙන්නේ
මැලේ ගසන්නයි දෙවොල් යකුන්නේ
ඊළගය තෙරුවන් වැඳ පහන් පූජා පවත්වනවා. කාල පන්දම් පිහිටුවීම කියන්නේ දෙවොල් දෙවි ප්‍රමුඛ සත් දෙවි කට්ටුව ලංකාවට ගොඩ බැසීම සංකේතවත් කිරීමක්. මේ අතරින් තොරණ යාගය ඉතා වැදගත් අවස්ථාවක්. විසිතුරු තොරණ බැතිමතුන්ට ප්‍රදර්ශනය කෙරෙන්නේ මේ අවස්ථාවේ දී යි. කපු පත්තිනි අලංකාර පත්තිනි ඇඳුමෙන් සැරසී සබයට එනවා. මෙහිදී ඔහු වනිතාවක් මෙන් අලංකාර ආභරණ පැළඳ, කොණ්ඩය බැඳ, පියයුරු කෘත්‍රිමව සකසා, සාරියකින් සැරසී ඉඟසුඟ නටවමින් කාන්තාවක් විදිහට තමයි පාද තබන්නේ. කපු පත්තිනි එතැන් සිට දීර්ඝ නැටුමක යෙදෙනවා. මේ නැටුම තුළින් තමයි පත්තිනි දෙවියන් තොරණ තුළට වඩම කරවන්නේ. සමහර අවස්ථාවල දී කවිවලින් පත්තිනි කතාව විස්තර කෙරනවා. නර්තන ශිල්පීන් හා බෙරකරුවන් සමග සංවාදයෙහි යෙදෙනවා. තොරණ යාගය පසුව පත්තිනි නැටුම බවට පත්වෙනවා. එවිට රඟමඩලේ නටන්නේ පත්තිනි පමණ යි. පත්තිනි නැටුම අවසන් වනවිට අනෙක් නැට්ටුවෝ එකිනෙකා සබාවට නටමින් පැමිණෙනවා. එය හඳුන්වන්නේ තෙල්මෙ නැටුම කියලයි.
වාහල් නැටුම
දැඩිමුණ්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදනවා. මෙහිදී දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරිනවා. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ළංකර එහි සුවඳ මුහුණට ලබාගන්නවා. අනතුරුව මුගුර, අගුරු කබල පොල්මල, කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටනවා. අවසානයේ දුම්මල ගසමින් යකුන් පලවා හරිනවා.
ගරා යක් නැටුම
රෑ පහන් වතතෙක් පැවැත්වූ ගම්මඩුවේ පසුදින උදෑසන පවත්වන ගරායක් නැටුමත් අනිවාර්ය අංගයක්. ඇස්වහ, කටවහ ආදී අපල දුරු කිරීම තමයි ගරා යක් නැටුමෙන් සිදුකෙරෙන්නේ. අලංකාර ගරා යක් වෙස්මුහුණ දමාගෙන ගොරක අතු දෙකක් අතර පන්දලමක හිඳ නටන ගරා යකා හා ගුරුන්නාන්සේ අතර හුවමාරු වන සංවාදය උපහාසාත්මක යි. මෙහිදී කියැවෙන කවි වර්තමානයට ගැලපෙන විදිහට සකස් කරගත් ඒවා. අසභ්‍ය වචන බොහෝමයක් මෙහිදී කියැවෙනවා. ගරායක්ෂයාට පූජා කරන වට්ටියේ කැවුම්, කෙසෙල්, දැලි පිහිය, කන්නාඩිය, පොල්වල්ලක් ආදිය තිබෙනවා. කැවුම හා කෙසෙල් ගෙඩිය අතට ගෙන කරන සංවාදයේ දී ලිංගික සංසර්ග චලනයන් ගෙනහැර පානවා. නමුත් ගමේ කවුරුවත් ඉන් විනෝදයක් ලබනවා මිස කෝපවන්නේ නැහැ. එසේ අසැබි වදන් දොඩන්නේ ඇස්වහ කටවහ දුරු කිරීමට බව ජන මතය යි.