මේ ගෙවිලා යන්නේ ලංකාවේ මෝසම් කාලයක්. මේ කාලෙට තද සුළඟ නිසා ගස් වලින් කොළ හැලෙනවා වැඩියි, ඒවාට පාරේ යන මිනිස්සු දාල යන කොළ කඩදාසිත් එකතු වෙලා දවසකට කුණු ටොන් ගාණක් අගනුවර පාරවල් වල එක්රැස් වෙනවා. කොයි තරම් මුදලක් වෙන් කරලා කුණු බාල්දි හැම තැනම තියලා තිබුණත් වාහන වලින් කුණු පාරට දාගෙන යන පුරවැසියෝ කිසිම අඩුවක් නැති රටක් තමයි ශ්‍රී ලංකාව. අපේ රට ගැන අපි කොච්චර ආඩම්බර වුණත් ඇත්ත ඒකයි.
ඉතින් ඒ වගේ පුරවැසියෝ සමාජයේ නම්බුව තියාගෙන ජීවත් වෙන අතරේ එයාලට උජාරුවෙන් යන්න පාරතොට පිරිසිදු කරලා දෙන පිරිස ගැන තමයි අද ලිපියෙන් අපි ඔබට තොරතුරු ගෙන එන්නේ. වැඩි දෙනා අප්පිරියාවෙන් සලකන මේ මිනිස්සුත් අපි වගේම මේ රටේ පුරවැසියෝ…
කොළඹ හතේ විජේරාම මාවතේ ඈතින් තාර පාරේ ඉදලක් ඇතිල්ලෙන සද්දේ ඇහිලා මම ඒ පැත්ත බැලුවා. අවුරුදු 60 කටත් වැඩියි වගේ පෙනුණ මහළු මිනිසෙක් තමයි පාර අතු ගාමින් හිටියේ. වටපිටාවේ තියෙන තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල ඇතුළු ලොකු ලොකු බිල්ඩින් වල සුදු පිරුවට බැබලෙන තාප්ප මැදින් මේ මනුස්සයාගේ පරණ වුණු තැඹිලි පාට ටී ෂර්ට් එක හොඳට කැපිලා පෙනුණා. ළඟදී සවි කරපු දීප්තිමත් වීදි පහන් වලින් රෑ පානේ වුණත් පාර හොඳටම එළිය වෙලයි තිබුණේ. රටේ තොටේ වැදගත් උදවිය පාරවල් පාවිච්චි කරලා ගෙවල් වලට ගියාට පස්සේ දවස පුරා එකතු වුණු කුණු කසල ටික අයින් කරලා ඊළඟ දවසේ උදේටත් පාර පාරක් විදිහට තියා ගන්න වෙහෙසෙන මේ පුංචි මනුස්සයා ගැන තොරතුරු හොයලා බලන්න මම හිතුවේ අපිට නොපෙනී ලොකු සේවයක් කරන පිරිස ගැන ඔබේ අවධානය යොමු කරවන්නයි.
මෙයා නමින් එම්. අමරදාස. පහුගිය අවුරුදු කිහිපයක් පුරාවට මේ පාර කොටස භාරව තිබිලා තියෙන්නේ ඔහුට. අපි ගෙදර ගිහින් හොඳ නින්දක් දාන අතරේ වාහන හිස් වුණු පාර අතු ගාල, පහුවදා එනකොට ලස්සනට තියා ගන්න වෙහෙසෙන්නේ ඔහු වගේ පිරිසක්. වයස අවුරුදු 68ක් වුණු මෙයා මම ලඟට එනවා දැක්කෙත් නැහැ, පාඩුවේ තමන්ගේ රාජකාරියේ නිරත වෙලා හිටියා. මම “සුභ රාත්‍රියක්!” කියලා ඔහුට සුභ පැතුව ගමන් ඉදල අහකට අරගෙන අයින් වුණේ මට යන්න ඉඩ දෙමින්. නමුත් මම නැවතිලා ටිකක් කතා කරන්නයි ඔහු ලඟට ගියේ.
අමරදාස බොහොම වෙහෙස පාටකින් ඉන්න බව මට පෙනුණා. පොඩි විවේකයක් අරගෙන මාත් එක්ක කතාවට වැටෙන්නත් ඔහු ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි. නැවතීමක් නැතිව ඇද වැටෙන වැස්ස වගේම තද හුළඟකුත් තිබුණ නිසා අපි ටිකක් හෙවණ තිබුණු ගහක් යටට ගියා. මේ තමයි ඔහු මට කිව්ව කතාව.
කාලයක් තිස්සේ කරන පිරිසිදු කිරීමේ රැකියාව නිසා දරු මල්ලන් ලොකු මහත් කර ගන්න ඔහුට අමාරු වෙලා නැහැ. අමරදාසගේ දරුවන් දෙන්නම දැන් වැඩිහිටියෝ. එයාගේ පුතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වායුසමන යන්ත්‍ර කාර්මික ශිල්පියෙක් විදිහට රස්සාව කරනවා. එයාගේ දුව විවාහ වෙලා ගෘහණියක් විදිහට ජීවත් වෙනවා.
ඔහුගේ රැකියාව ගඳ ගහන කුණු ඉවත් කරන එක වුණත් ඒ ගැන ඔහු දුක් වෙන්නේ නැහැ. “මහන්සි වෙලා වැඩ කරන්න වුණත් සාධාරණ දේකින් සල්ලි හම්බ කරන එක හොඳයි” කියලා ඔහු කිව්වේ ආඩම්බරයෙන්. දවසකට රුපියල් 750ක් බැගින් සතියේ දවස් පහක් ඔහු මේ අතුගාන රස්සාවේ නියැලෙනවා. අමරදාසගේ වැඩ මුරය පටන් ගන්නේ ප්‍රදේශය භාර එකතු කිරීමේ මධ්‍යස්ථානයෙන්. හවස් වෙලා කරුවල වැටෙන වෙලාවට මධ්‍යස්ථානයට එන අමරදාස තමන්ට භාර කුණු කරත්තය තල්ලු කරගෙන විජේරාම මාවතට එනවා. පාරේ එක පැත්තකින් පටන් අරගෙන තමන්ට අයිති සම්පූර්ණ කොටසම අතු ගාල අස් කරන ඔහු ඊට පස්සේ පාරේ අනිත් පැත්තට මාරු වෙලා ආපහු පටන් ගත්තු තැන දක්වා ඒ පැත්තත් අතු ගාල පිරිසිදු කරනවා.
පහුගිය අවුරුදු පහක හයක කාලය පුරාවට අමරදාසගේ හවස් වරුවයි රාත්‍රී කාලයයි ගෙවිලා ගිහින් තියෙන්නේ මේ විදිහට තමයි. පාරේ දෙපැත්තම අතු ගාලා එකතු වෙන කුණු ටික කරත්තයට දැම්මට පස්සේ ඔහු පාරේ පැත්තකට වෙලා ඉන්නේ නගර සභාවේ කුණු එකතු කරන ලොරිය එනකන්. කරත්තයේ එකතු කරගත්තු කුණු ටික ලොරියට පටවලා ඔහු එකතු කරන මධ්‍යස්ථානයට යන්නේ හිස් කරත්තය භාර දෙන්න. හවස හයට විතර පටන් ගන්න මේ රස්සාව ඉවර කරලා අමරදාස ගෙදර යන වෙලාව එන්නේ පැය හත අටක් ගෙවිලා පාන්දර 2.00 විතර වෙද්දී. වනාතමුල්ලේ ජීවත් වෙන ඔහු පයින්ම ගෙදර ගිහින් නින්දට වැටෙන්නේ පහුවදා හවස් වෙද්දීත් සුපුරුදු රාජකාරියට යන්න බලාගෙන.
වැඩි වෙලාවක් කතාවට වෙන්කලොත් කුණු ලොරිය එන වෙලාව වෙද්දී අමරදාසට තමන්ට හිමි කොටස අතු ගාල ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මමත් ඉක්මනටම ඔහුට සමු දීල පිටත් වුණා. හිස් පාරේ දෝංකාර දෙමින් ඇහෙන ඉදල ඇතිල්ලෙන සද්දේ ඈතින් ඈතට යද්දී මම කල්පනා කරේ අමරදාසගේ ජීවිතය ගැන. යන්න කලින් අහල පහළ කඩයකින් තේ එකක් හරි කෑමට මොනවා හරි අරන් දෙන්නද කියලා ඇහුවාමත් අමරදාස කාරුණිකව ඒක ප්‍රතික්ෂේප කරා. වසර ගණනාවක් පුරාවට මේ වෙලාවට නොකා නොබී ඉඳලා පුරුදුයි කියලයි ඔහු මට කිව්වේ. හැමදාම ගෙදර යද්දී ඔහුගේ භාර්යාව උණුසුම් තේ එකක් හදලා තියෙනවා කියලත් ඔහු කිව්වා. හෙට දවසේ මම මෙහෙ නැතත් අමරදාස හැමදාමත් මේ ජීවන චක්‍රය ගෙවන්න මෙතනටම එන බව මට ආපහු යන අතරේ සිහිපත් වුණා. මේ ලිපිය කියවන කවුරු හරි කෙනෙක් පහුගිය අවුරුදු කිහිපයේදී විජේරාම මාවතේ යන ගමන් වාහනයෙන් හරි බස් එකෙන් හරි මොනයම් දෙයක් හරි පාරට විසි කරලා තියෙනවද? බොහෝ විට ඒක අමරදාසගේ අතින් ඔහුගේ කරත්තයටත්, කුණු ලොරියටත් එකතු වෙලා ඉවත් වෙන්න ඇති. අදටත් විජේරාම මාවත පිරිසිදුව තියෙන්නේ ඔහු හැමදාම කරන මේ රස්සාව නිසයි.
මම දිගින් දිගටම ඇවිදගෙන ගිහින් පිටකොටුවට ලඟා වුණා. මෙතනදී තමයි මට අමරදාස වගේම තවත් කෙනෙක් මුණ ගැහුණේ. අමරදාසට වඩා ටිකක් තරුණ, මැදි වයසේ හිටපු මෙයා එක්ක මම කතා කරන්න හිතුවේ අමරදාස එක්ක කතා කරලා මගේ කුතුහලය වැඩි වුණු නිසාමයි. මුලින්ම ඔහුව පහු කරගෙන යද්දී ඔහු මට සුහදව හිනා වුණා. නමුත් මම ෆොටෝ එකක් ගන්නද කියලා ඇහුවාම ඔහු ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. ටිකක් අමනාප වුණු නිසා මම ටිකක් වෙලා ඔහුත් එක්ක කතා කර කර හිටියා. නමුත් අනන්‍යතාව හෙළි කරනවාට ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා මම ඔහුව X කියලා හඳුවන්නම්.
අමරදාස වගේ පිරිසිදු කරන අයගෙන් වැඩි දෙනෙක්ට තියෙන එකම රස්සාව ඒක වුණත් Xට නම් දවල් දවසේ කරන අමතර රස්සාවකුත් තියෙනවා. ඔහු කොළඹ මහා නගර සභාවේ රැකියාව කරන කෙනෙක්. මේ විදිහට ඔහු රාත්‍රියේ කුණු ඉවත් කරන වැඩේ කරන්නේ තමන්ට ගන්න සිද්ධ වුණු ණය වගයක් ගෙවන්න තියෙන නිසා අමතර ආදායමක් ගන්නයි. X ජීවත් වෙන්නේ කඳාන ප්‍රදේශයේ වුණත් රැකියාව කරන්න ඔහු හැමදාම උදේට කොළඹ එනවා. අතුගාන වැඩේ ඉවර වෙලා X ආපහු ගෙදර යන වෙලාව වෙද්දී ඔහුගේ ළමයින්ව පාසලට ඇරලවන වෙලාවත් ඇවිත්. ඉතින් ඔහු ළමයි දෙන්නා පාසලට ඇරලවලා කෙලින්ම නගරන සභාවේ රස්සාවට පිටත් වෙනවා. විවේකයක් ලැබෙන්නෙම නැති තරම්.
X ටිකක් විමසිල්ලෙන් වටපිට බලලා අතු ගාන අතරේම තමයි මාත් එක්ක කතාවට වැටුණේ. “මම මෙහෙම කතා කර කර ඉන්නවා බොස්ට අහු වෙන්න ඉඩ තියෙනවා” කියලා X මට කිව්වා. මේ “බොස්” කියන්නේ X සහ අමරදාස වගේ අය තමන්ගේ රස්සාව හරියට කරනවාද කියලා පරීක්ෂා කරන්න රාත්‍රී කාලයේ තැනින් තැනට යන නිලධාරියෙක්. “බොස් නැති වෙලාවට පොලීසියේ කට්ටියත් මගේ ගැන අවධානයෙන් ඉන්නේ.” X මේක කියපු විදිහට මට හිතුණා ඉක්මණින් එතැනින් පිටත් වුනොත් හොඳ බව. ඔහුට ස්තූති කරලා මම කතා කරන්න තවත් කුණු එකතු කරන කෙනෙක් සොයන්න පිටත් වුණා.
යන්න කලින් ටිකක් විස්තර දැන ගන්න පුළුවන් තවත් අය ඉන්නවද කියලා X ගෙන් මම අහලා බැලුවා. පිටකොටුවේ ඇතුල් වීදි වල ගොඩක් දෙනා කණ්ඩායම් වශයෙන් කුණු එකතු කරන බව ඔහු මට දැනුම් දුන්නා. යන්න කලින් නිකමට වගේ ෆොටෝ එකක් ගන්නද කියලා ඇහුවාම ඔහු හිනා වෙලා කැමැත්ත දුන්නා.
X වගේ බොහොම අමාරුවෙන් ජීවිකාව ගෙවන පිරිස් මේ වගේ රැකියා වල බහුලව ඉන්නවා. අධ්‍යාපන සුදුසුකම් නැති නිසා ඔවුන්ට වෙනත් රැකියා හොයා ගන්න අපහසුයි. නමුත් ඔවුන් මේ විදිහේ රැකියාවන් කරන නිසා තමයි අනිත් කාටත් වැදගත් රස්සා කරන්න වැදගත් විදිහට යන්න පුළුවන් වෙන්න පාරවල් පිරිසිදුව තියෙන්නේ. X වගේ අය සමාජයේ පැවැත්මට කරන්නේ ලොකු සේවයක්. කම්කරුවෝ කියලා වැඩි දෙනා එතරම් සැළකිල්ලක් නොදක්වන මේ වගේ බොහෝ දෙනා තවත් රැකියා වල ඉන්නවා. කවුරු ඔවුන්ව පහතට දාල කතා කළත් ඔවුන් නැතිනම් මේ සමාජයට ඉදිරියට යන්න හරිම අපහසුයි.
මම ප්‍රධාන පාරෙන් ටිකක් ඉවත් වෙලා ඇවිදගෙන ගියේ ඇතුල් වීදි වලට. ඒ වෙලාවේ ලාවට තිබුණු වැහි පොදට අවට තිබුණු විදුලි ආලෝකය එකතු වෙලා වීදි වල තැනින් තැන වැටිලා තිබුණු කුණුයි ගලාගෙන යන වතුරයි දිලිසුණා. මේ වීදි වලදී මට හමු වුණේ කණ්ඩායමක් විදිහට ඉක්මණින් වැඩ කරන පිරිස්. හැම කෙනෙක්ම වගේ බොහොම කාර්යක්ෂමව කුණු එකතු කරන බව පේන්න තිබුණා. එක්කෙනෙක් කරත්තය තල්ලු කරගෙන යන අතරේ අනිත් කෙනා පාරේ වැටිලා තියෙන කොළ කෑලි, දවටන, හිස් පෙට්ටි එහෙම අහුලලා කරත්තයට දානවා. මේ නිසා ඔවුන්ගේ වැඩ කොටස ඉක්මණින් සිද්ධ වෙනවා.
මේ වීදියකදී මට හමු වුණු කණ්ඩායමක් තමයි උඩින් තියෙන රූපයේ ඉන්නේ. වික්‍රමසිංහයි චන්ද්‍රපාලයි කියලා ඔවුන් තමන්ව හඳුන්වලා දුන්නා. මේ දෙන්නාගෙන් වික්‍රමසිංහ තවම රැකියාවට අලුත්. ගණේමුල්ල ඉඳන් කොළඹ රස්සාවට ඇවිල්ලා තවම සතියයි. වැඩ කරන්න තියෙන කාලය වැඩි වුණත් පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක් කරන්න පුළුවන් වුණු එක ගැන ඔහු සතුටු වෙනවා. කුණු එකතු කරන්නෙක් විදිහට සේවය කළත් EPF / ETF ලැබෙන නිසා තමන්ට ඒ එකතු වෙන මුදල් අවුරුදු කිහිපයකින් ලබා ගන්න පුළුවන් එක තමයි ඔහු මේ රස්සාවට බැඳෙන්න බලපාල තියෙන ප්‍රධාන කාරණාව. (මහනගර සභාවේ සේවකයන්ට වයසට ගියාට පස්සේ තමයි විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ.) වයසින් අවුරුදු 67ක් වෙන චන්ද්‍රපාලත් මේ විදිහට EPF / ETF මුදල් කිහිප සැරයක්ම ලබා ගෙන ආපහු රස්සාව කරන කෙනෙක්.
ටිකක් වෙලා මම චන්ද්‍රපාල එක්ක කතා කර කර ඉන්න අතරේ පාරේ එහා පැත්තේ හිටපු වික්‍රමසිංහ ඈතින් කුණු ලොරිය එනවා කියලා කෑ ගහලා කිව්වා. ඒත් එක්කම චන්ද්‍රපාලත් හිස වනලා පාරේ අනිත් පැත්තට ගිහින් තමන්ගේ ගමන යන්න පටන් ගත්තා. කුණු ලොරිය එන වෙලාවට වැඩේ ඉවර කරලා තිබුණොත් ඔවුන්ට පහසුයි. එහෙම නැතිනම් ආපහු රවුමක් ගිහින් ලොරිය එන තුරු ඔවුන්ට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.
චන්ද්‍රපාලටයි, වික්‍රමසිංහටයි සමු දුන්නාට පස්සේ මමත් කුණු ලොරිය නවත්වලා තියෙන දිහාවට ගියා. පාර අයිනේ නතර කරලා තිබුණු කුණු ලොරියේ බොහොම සැර ආලෝකයක් විහිදුවන පිටුපස විදුලි පහන් දල්වලා තිබුණා. ඒ අවට බොහොම හොඳට එළිය වැටිලයි තිබුණේ.
කුණු ලොරිය අපේ අග නුවර පිරිසිදුව තියා ගන්න ප්‍රධානම යන්ත්‍ර වලින් එකක්. කුණු එකතු කරන අය තමන්ගේ කරත්ත වලට එකතු කරන කුණු සේරම කුණු බැහැර කරන තැන් වලට අරගෙන යන්නේ කුණු ලොරියේ දා ගෙනයි. කුණු ලොරිය විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ කුණු කසල තදට තෙරපලා එක්රැස් කර ගන්න. හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් කුණු ඉතා තදට තෙරපලා ඇතුලට ගන්න නිසා සාමාන්‍ය අත් කරත්ත සීයක විතර කුණු ටික එක ලොරියක් ඇතුලේ ගබඩා කරගෙන ගෙනියන්න පුළුවන්. මේ කුණු ටික සාමාන්‍ය ලොරි වල පටවලා ඉවත් කරා නම් එකම වැඩේට ලොරි කිහිපයක්ම අවශ්‍ය වෙනවා.
දවල් කාලයේ අතුරු සිදුරු නැතිව පිරෙන පිටකොටුවේ හරස් වීදි රෑ වෙද්දී පාලුවට යනවා. ළඟ පාත වෙන කවුරුත්ම නැතත් කුණු ලොරිය ලඟට වෙලා කුණු එකතු කරන මිනිස්සු හය දෙනෙක්ගේ කණ්ඩායමක් මට හමු වුණා. පුදුම හදිස්සියකින් වගේ වැඩ කරන බව පෙනුණු නිසා මම ටිකක් කිට්ටු වෙලා අහලා බැලුවා මේ තරම් හදිස්සියෙන් වැඩ කරන්නේ ඇයි කියලා. “වැස්සක් එන්නයි යන්නේ” කියලා ඔවුන්ගෙන් කෙනෙක් මට කලබලෙන් පිළිතුරු දුන්නා. කියලා කට ගන්නත් කලින් වැස්සක් පටන් ගත්තා.
ඔවුන් වැඩ කරමින් හිටිය කුණු ගොඩෙන් ආපු දුගඳ වැස්ස නිසා ටිකක් අඩු වුණත් ටික වෙලාවක් යද්දී ආපහු තදටම දැනෙන්න ගත්තා. කිසිම කෙනෙක් අත් වැසුම්වත් දාල නෙවෙයි කුණු එකතු කරේ. ගලාගෙන යන අපිරිසිදු වතුරේ ඔවුන් හිටියේ රබර් සෙරෙප්පු විතරක් දාගෙන. වතුරේ පෙඟුණු කුණු අත් වලින් උස්සලා ලොරියට විසි කරද්දී ඒවායින් බේරුණු අපිරිසිදු වතුරෙන් ඔවුන්ගේ ඇඳුම් තෙත් වෙලා තිබුණේ වැස්ස එන්නත් කලින්. මේ මිනිස්සුන්ගේ රැකියා තත්වය මීට වඩා යන්තමින් හරි සෞඛ්‍යාරක්ෂිත කරනවා නම් මොන තරම් දෙයක්ද?
මේ අය මගෙත් එක්ක වැඩිය කතා බහ කළේ නැහැ. හැමෝම තමන්ගේ වැඩ කොටස කඩිසරව ඉටු කළා. ඒත් කවුරුත් වැඩ කරන අතරේම සැරින් සැරේට ඇවිත් මම ගත්තු ඔවුන්ගේ ෆොටෝස් බලලා යන්න අමතක කළේ නැහැ.
පාරේ එක තැනක තියෙන කුණු කසල ටික එකතු කරලා ලොරියට දැම්මාට පස්සේ කුණු ලොරිය ආලෝකය විහිදුවමින් මීටර් කිහිපයක් ඉදිරියට ගිහින් නවත්වනවා. ඒ වන තුරු මද අඳුරේ තිබුණු වීදිය දැන් හොඳට එළිය වැටිලා. ඉතින් ඒ කොටසේ තියෙන කුණුත් එකතු කරලා ලොරියට දාන්න පහසුයි. මේ විදිහට වීදියම පිරිසිදු වෙන තුරු චක්‍රයක් වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
සාමන්‍යයෙන් කෙරෙන්නේ අත් කරත්ත වලට එකතු කෙරෙන කුණු ටික පැයකට වගේ සැරයක් එන ලොරියකින් එකතු කරගෙන යන එකයි. නමුත් මේ ඇතුල් වීදි වල කුණු කෙළින්ම ලොරියටයි පටවන්නේ. මේකටත් හේතුවක් තියෙනවා. සාමාන්‍ය පාරවල් වල එකතු වෙන කුණු ප්‍රමාණය අඩු නිසා අත් කරත්තයක් පිරෙන්න සෑහෙන වෙලා යනවා. නමුත් මේ වීදි වල කුණු කසල විශාල ලෙස එකතු වෙන නිසා සාමාන්‍යයෙන් පාවිච්චි වෙන අත් කරත්තයක් විනාඩි ගාණකින් පිරෙනවා, ඉතින් ලොරියට කෙළින්ම කුණු පටවන එක තමයි සිදු වෙන්නේ. ලොරියේ පිටුපස පිරුණාම හයිඩ්‍රොලික් යන්ත්‍ර ක්‍රියා කරවලා කුණු ටික ඇතුළට තෙරපා ගන්නවා. ඊට පස්සේ ආපහු සැරයක් කුණු එකතු කරගන්න පුළුවන්.
මේ ලිපිය ලියලා මම අදහස් කළේ සමාජයට බොහොම වැදගත් සේවයක් කරන පිරිසක් ගැන ඔබේ අවධානය යොමු කරවන්නයි. කුණු ලොරියක් ලඟින් ගියත් නහය වහගෙන බණින අය බොහෝ දෙනෙක් මම දැකලා තියෙනවා. නමුත් ඇත්තම කතාව ඒ ලොරිය නැතිනම් හැමදාටම අපිට ඉන්න වෙන්නේ නහය වහගෙනම තමයි. ඉතින් පොඩි වෙලාවකට තියෙන අපහසුව ඉවසා ගෙන ඒ මිනිස්සු කරන සේවය අගය කරන්න කියලා ඉල්ලීමක් කරනවා.