මී පැණි කියන්නේ ඉතා වටිනා දෙයක් වගේම අද වන විට ඉතාම මිල අධික දෙයක්. නමුත් මී පැණිවල වැදගත්කම ඉතා අතීතයේ සිටම මිනිසුන් දැන සිටි බවට බොහෝ සාධක හමුවෙනවා. ඒ අනුව මී පැණි වගේම මී මැස්සා ගැන මිනිස් වර්ගයාගේ මුල් යුගයේ සිටම දැන සිට තියෙනවා. මී මැස්සා ස්වභාවිකවම කැලෑ ආශ‍්‍රිතව බදින ලද මී වද ආදී මානවයා විසින් සොයාගෙන ඒවායේ පැණි ආහාරයක් ලෙස ගෙන තිබෙනවා. එපමණක් නොවෙයි, පුරාණ ඊජිප්තු වාසීන් මළ සිරුරු ආවරණය කිරීමටත් මී පැණි වගේම මී ඉටි ද යොදාගෙන ඇති බවට සාක්ෂි තියෙනවා. එය අනාවරණය වන්නේ ඔවුන්ගේ සොහොන් කොත්වලින් හමු වී තිබෙන’’මමී” වලිනුයි.
ඊජිප්තු වැසියන් ගෘහස්ථ මී මැසි පාලනය පටන්ගෙන තිබුණේ මීට වසර 2000 කට පමණ පෙර බවටයි අනාවරණය වන්නේ. පිදුරු වලින් සාදා ගන්නා ලද කේතු ආකාර භාජන සහ සිදුරු සහිත ලී කොට ඔවුන් ඒ සඳහා යොදා ගෙන තිබෙනවා. ඒ අනුව අද ලංකාව ඇතුළු තවත් රටවල් මී මැසි පාලනය සිදු කළත් එහි ඓතිහාසික ආරම්භයේ අයිතිය හිමි වෙන්නේ ඊජිප්තු වැසියන්ටයි.
මී මැස්සා පැණි නිපදවීම
ශාක පුෂ්ප තුළ තිබෙන මධු කෝෂ සහ පුෂ්පමය නොවන ශාක කොටස් වලින් ලබා ගන්නා පිනිමය ද්‍රාවණ මී මැස්සාගේ ආහාර මාර්ගයේ දී ජීර්ණයට පත් වී නිපදවනු ලබන සරළ සීනි අඩංගු සාන්ද්‍ර සීනි ද්‍රාවණය මී පැණි ලෙස හදුන්වයි. මී පැණි නිපදවීමට මී මැස්සා ශාකවලින් මෙන්ම කුඩිත්තන් වැනි සතුන් විසින් පිට කරනු ලබන පැණි රස ශ‍්‍රාවයන් ද ප‍්‍රයෝජයට ගන්නා බව අනාවරණය වී ඇත. එලෙස මී මැස්සා ආමාශය තුළට රැස්කර ගන්නා සංකීර්ණ සීනි සහිත සීනී ද්‍රාවණ ආමාශය තුළදී ඉන්වටේස් එන්සයිමය මඟින් සීනි සරළ සීනි බවට පරිවර්ථනය කරනු ලබයි.
ඖෂධීය ගුණ
මී පැණි ඉතාම ඖෂධීය ගුණයෙන් යුක්ත ආහාරයකි. එය ශරීර ශක්තිය ඉක්මණින් වර්ධනය කරයි. එමෙන්ම ආහාර මාර්ගයේ තුවාල, ආමාශයේ තුවාල, උගුරේ ආබාධ සුව කරයි. ළදරුවන්ගේ ප‍්‍රතිශක්තිය වර්ධනය, පිළිස්සීම් හා තුවාල සුව කිරීම, ශ්වසනපද්ධතියේ රෝග නිවාරණයට, අතීසාරය, පාචනය වැනි රෝග නිවාරණයට, සන්ධි රෝග, පීනස් රෝග, හෘදයාබාධ නිවාරණයට සහ බැක්ටීරීයා හා දිලීර නාශක ගුණයෙන් ද යුක්ත වේ.
මී ඉටි
අතීතයේ සිටම මී ඉටි ද විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නා බැවින් මී ඉටි සඳහා ද පවතින්නේ විශාල ඉල්ලූමකි. මී ඉටි නිපදවනු ලබන්නේ මී මැස්සාගේ උදරයේ යටි පැත්තේ පිහිටා ඇති ඉටි ග‍්‍රන්ථි මගිනි. මී වදය බැදීම සඳහා මෙම ඉටි උපයෝගි කරගනු ලබයි. මී වද කැබලි හිරු එළියේ හෝ හුමාලය මගින් උණුකර මී ඉටි නිස්සාරණය කරගනු ලබයි. පිරිසිදු මී ඉටි ලා කහ පැහැතිය. අපිරිසිදු ද්‍රව්‍ය එකතු වු විට එය අඳුරු පැහැයක් ගනී. රූපලාවාන්‍ය ආලේපන නිෂ්පාදනයට, බතික් කර්මාන්තයට, වඩු කර්මාන්තයට, තීන්ත වර්ග සෑදීමට, සපත්තු පොලිෂ් නිෂ්පාදනයට, ඉටිපන්දම් නිෂ්පාදනයට ආදියට මී ඉටි යොදා ගැනේ. මී ඉටිවල විශාල දාම වලින් යුතු මේද අම්ලවල ස්ථර අඩංගු වේ. මේ හැරුණ විට කාබනික අම්ල, හයිඩ්‍රෝ කාබන් හා ඇල්කොහොල් වර්ග අඩංගු වේ.
පරාග
මී මැස්සන් විසින් එක්රැස් කර රැගෙන එන පරාග ද ඖෂධීය ආහාරයක් ලෙස මිනිසා ප‍්‍රයෝජනයට ගනු ලබයි. මී මැසි පෙට්ටියට ඇතුල් වන ස්ථානයට විශේෂයෙන් සකස් කරන පරාග උගුලක් සවිකිරීමෙන් මී මැස්සාගේ පාදවල, ඇති පරාග වැටීමට සලස්වනු ලබයි. එම පරාග එකතු කර අධි ශීතකරණ වල වියළා බෙහෙත් කරල් ආකාරයට සකස් කර අලෙවි කිරීම සිදු වේ. එම පරාගවල ඇති එන්සයිම ආහාර රුචිය වැඩි කිරීම, මන්ද පෝෂණය දුරලීම මෙන්ම ආමාශ හා වකුගඩු රෝග වලට යොදා ගැනේ. එමෙන්ම එය නීරක්තිය ද දුරලන අතර ප‍්‍රතිජීවක ගුණයෙන් යුක්ත වේ.
ඉතිහාසය
මී මැස්සන්ගේ ජාන පිළිබඳව සිදු කර තිබෙන පර්යේෂණ වලින් තහවුරු වී තියෙන්නේ මීට වසර දස ලක්ෂයකට පමණ පෙර මී මැස්සන් අප‍්‍රිකාවේ සිට දකුණු යුරෝපයට සහ නැවත එහි සිට උතුරු යුරෝපයට සංක‍්‍රමණය වී ඇති බවයි. ක‍්‍රි.ව. 1600 දී පමණ ඇමරිකාවට පැමිණි සුදු ජාතිකයින් යුරෝපයේ සිට මී මැස්සන් එහි රැගෙන ගිය බවට වාර්තා වෙනවා. ලෝකයේ බොහෝ රටවල මී මැසි පාලනය සඳහා යොදා ගන්නේ ‘එපීස් මෙලිෆෙරා‘ නම් මී මැසි විශේෂය වේ. ‘එපීස් සෙරානා‘ විශේෂය ආසියාතික රටවල මී මැසි පාලනයට යොදා ගන්නා අතර වර්තමානයේ ‘මෙලිෆෙරා‘ විශේෂය හඳුන්වා දී ඇත. කෙසේ වෙතත් ලංකාවේ මී මැසි පාලනයට යොදා ගන්නේ එපීස් සෙරානා ඉන්ඩිකා නැමති උප විශේෂයක් පමණකි.
මී මැසි පෙට්ටිය නිර්මාණය වීම
මී වද අතර නිශ්චිත පරතරයක් තිබෙන බව අවබෝධ කරගෙන ඊට අනුරූප රාමු සහිත මී මැසි පෙට්ටිය නිර්මාණය වන්නේ 1851 දී ය. ඒ ලොරෙන්සෝ ලැන්ග්ස්ට්‍රොත් නම් ඇමෙරිකානු පූජකවරයා විසිනි. මේ සොයා ගැනීම මී මැසි පාලනය ජනප‍්‍රිය කර්මාන්තයක් බවට පත් කරන්නේය. එම උපකරණය ආධාරයෙන් මී මැස්සන්ට වද බැමට එහා මෙහා කළ හැකි රාමු තිබීම නිසා මී මැසි ජනපදයේ පැටවුන් බෝ වන කොටසට හානි නොකර පැණි ඉවත් කර ගැනීමට හැකියාව ඇති වේ.
දුම් ගැසීමේ උපකරණය
ඉන් පසු 1875 දී ඇමෙරිකානු ජාතික එම්. ක්වින්බි සහ ටී. එෆ්. බින්ග්හම් විසින් දුම් ගැසීමේ උපකරණය නිපදවනු ලබයි. එමෙන්ම 1865 දී ඔස්ට්‍රියානු ජාතික එෆ්. හරුස්කා විසින් කේන්ද්‍රාභිසාරි පැණි නිස්සාරකය නිපදවනු ලබයි. මී පැණි කර්මාන්තය අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනයට එම සොයා ගැනීම් පිටුවහල් වේ. පසුකාලීනව විශ්ව විද්‍යාල මඟින් සහ විවිධ පුද්ගලයින් විසින් ද මී මැසි පාලනයට අයත් නවීණ උපකරණ තව තිවත් දියුණුවට ලක් කර තිබේ. මේ සියල්ල ජාත්‍යන්තර බිඟු පාලන පර්යේෂකයින්ගේ සංගමය බිහි වීම දක්වා වර්ධනය වෙයි.
ලංකාවේ මී මැසි පාලනය
ශ‍්‍රී ලංකාවේත් මී පැණි පිළිබඳ තියෙන කතාව ඉතා ඈත අතීතය දක්වා විහිදෙනවා. මෙරට ආදිවාසීන්ගේ දඩයම් අතර ප‍්‍රධාන ස්ථානයක් මී වද දඩයමටත් හිමි වී තිබෙනවා. ඔවුන්ගේ ආහාර අතර මී පැණි ද ප‍්‍රධාන වී තිබෙනවා. පසුකාලීනව අපේ රටේ මිනිසුන් ලබු කැට, කල, සිදුරු සහිත ලී කොට වැනි දේ යොදා ගෙන ගෘහ ආශ‍්‍රිතව මී මැසි පාලනයේ යෙදීම ආරම්භ කර තියෙනවා.
මී මැසි පෙට්ටිවල මී මැසි පාලනය මගින් මී පැණි ලබා ගැනීම ශ‍්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කර ඇත්තේ කුරුණෑගල පදිංචිව සිටි මුදලි සැමුවෙල් ජයතිලක යන අය විසිනි. ඔහු 1881 වසරේ දී ආසියාතික සංගමයට ශ‍්‍රී ලංකාවේ මී මැසි පාලනය සම්බන්ධයෙන් දේශනයක් ද කළ බවට වාර්තා වේ. පසුව 1904 දී ජේ. හාවර්ඩ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද ලංකා ගොවි කර්මාන්ත සමිතියේ සාමාජිකයින් වූ ඊ. අර්නස්ට් ග‍්‍රීන්, ඇම්. ෂැන්ක්ස්, සී ඩ‍්‍රිබර්ග්, හර්බට් කැම්බල්, ඒ.පී. ගුණතිලක යන අය ද මී මැසි පාලනය සම්බන්ධව විශේෂ උනන්දුවක් දැක් වූ බව සඳහන් වේ. ඔවුන් අතුරින් ඒ.පී. ගුණතිලක මහතා 1916 වසරේ දී මී මැසි පාලනය පිළිබඳ ග‍්‍රන්ථයක් ද සකස් කර එය පාසැල් ගුරුවරුන්ටත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය අතරත් නොමිලේ බෙදා දීම සිදු කර ඇත.
ඔම කාප වකවාණුව වන විට කළගෙඩි, කොටන් වෙනුවට යුරෝපයේ භාවිතා කරන ලද දිග අඟල් 10 1/2, පළල අඟල් 5 1/4 ක් සහ සම්මත උසකින් යුතු වූ ලී පෙට්ටි මී මැසි පාලනයට යොදා ගෙන ඇත. සියනෑ කෝරළයේ නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි අත්තනගල්ල, වතුරගම ප‍්‍රදේශ වල ද මී මැසි පාලනය ආරම්භ කර ඇත්තේ එම යුගයේ දී ය. 70 දශකයේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් ද පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද මී මැසි සංවර්ධන ඒකකය පිහිටුවනු ලබන්නේ 1971 වසරේදීය.
මී මැසි පාලනය ඇතැම් අයට විනෝදාංශයක් වගේම එය අමතර ආදායමක් සොයා ගත හැකි කර්මාන්තයක්. එය ස්වයං රැකියාවක් ලෙස සිදු කරන බොහෝ දෙනෙක් සිටිනවා. මී මැසි පාලනය කියලා කියන්නේ මී මැස්සන් ඇති කිරීම මඟින් මී පැණි සහ මී ඉටි ඇතුළු මී මැස්සන් විසින් නිෂ්පාදනය කරන ද්‍රව්‍ය මිනිසාගේ පරිභෝජනය වෙනුවෙන් යොදා ගන්නා විද්‍යාත්මක ක‍්‍රමවේදයටයි. සාර්ථක මී මැසි පාලනයක් කරන්න නම් එහි විද්‍යාත්මක පදනම ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒ වගේම එයට ප‍්‍රායෝගික පුහුණුව ද අවශ්‍යයි.
මූලාශ්‍ර
http://www.aloelf.com/bee-honey/ancient-history-of-bee-honey/