“සිලෝන් කුරුඳු” යනු ලෝරේසියේ කුලයට අයත් Cinnamomum zeylanicum නමින් උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන ගසක්. ලංකා කුරුඳු මෙරටට ආවේණික ශාකයක් නිසා, මෙම විශේෂය ලොව වෙනත් කිසිම රටක දැකගත හැකි වන්නේ නැහැ. වියළන ලද කුරුඳු පොත්ත අනාදිමත් කාලයක පටන් ලොව වසඟ කළ කුළුබඩුවක් ලෙස භාවිත වුණා.
කුරුඳුවල ඉතිහාසය ක්‍රි.පූ. 2800 දක්වා දිව යනවා. එය පුරාණ චීන ලේඛනවල “ක්වායි” ලෙස සඳහන් කර තිබෙනවා. පුරාණ රෝමයේ මෝසෙස් තමා ආලේප කළ තෙල් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස කුරුඳු යොදාගත් බව බයිබලයේ දැක්වෙනවා. රෝමානු අවමංගල්යවල දී කුරුඳු පුළුස්සා දමනු ලැබුවේ මළ සිරුරු ගන්ධය දුරු කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් වශයෙන්. පුරාණ ඊජිප්තුවේ පාරාවෝ රජ පෙළපතේ මමී එම්බාම් කිරීම සඳහාත් කුරුඳු යොදාගෙන තිබෙනවා.
සුද්දෝ වහවැටුණු කුරුඳු
14 – 15 වන සියවස් දක්වා බටහිර ලෝකයේ වටිනා කුළුබඩු වර්ගයක් වූ කුරුඳු ප්‍රධාන වශයෙන් යොදාගත්තේ මස් කල්තබා ගැනීමට සහ බැක්ටීරියා වර්ධනය වැළැක්වීමට යි. මේ වන විට සැබෑ කුරුඳු නිෂ්පාදනය කරනු ලැබුවේ ලෝකයේ ශ්‍රී ලංකාවේ පමණ යි. 16 වන සියවසේ දී පෘතුගීසින් ශ්‍රී ලංකාවට පැමිණ කුරුඳු වෙළෙදාම තම අතට ගත්තේ වරායවල බලය ලබා ගැනීමෙන්. ශ්‍රී ලංකාවට ගොඩබට පෘතුගීසි සෙනෙවි ලොරෙන්සෝ ද අල්මේදා තමන්ට දැනුණු කුරුඳු සුවඳ ඔස්සේ ඉව අල්ලමින් කුරුඳු ඉඩම් සොයමින් ගොඩබිම ඔස්සේ ඇවිද ගිය බව කතාවට සඳහන් කරනවා. මේ බව වටහාගත් සිංහල මඟ පෙන්වන්නෝ ඔහුට කුරුඳු ඉඩම් නොපෙනෙන්නට වග බලා ගනිමින් වෙනත් වට මඟකින් ඔහු කෝට්ටේ රජ මාලිගයට කැඳවා ගෙන ගිය බව යි ජනප්‍රවාදවල දැක්වෙන්නේ. ලොරෙන්සෝ ද අල්මේදා එදා ගියේ කෝට්ටේ රජ්ජුරුවන් සොයා නොව වටිනා සම්පතක් වූ කුරුඳු සොයා බවත් සමහරු පවසනවා. අද කොළඹ 7 කුරුඳුවත්ත ලෙස හැඳින්වෙන පෙදෙසේ සිට මරදාන දක්වාම එදා කුරුඳු වතු පැවති බව පුරාණ ලේඛන පරික්ෂා කරන විට පේනවා.
පෘතුගීසි කාලයේ මෙරට සිටි ජොආඕ රිබෙයිරෝ කුරුඳු පිළිබඳව සඳහන් කරන්නේ මෙලෙස යි:
කෝට්ටේ රාජධානියට අයත් ප්‍රදේශ ඉතා ඝන කුරුඳු කැලෑවලින් සමන්විත යි. කුරුඳු ගස් වඩා උස නැත. දිනපතාම වර්ෂාව පවත්නා නිසා ගස්වල පත්‍ර ගිලිහී නොයයි. කුරුඳු කෑලැවල ඇට වැටී නිතර පැළ හටගන්නා හෙයින් ඒවා ශුද්ධ කරන ලෙස ස්වදේශිකයන්ට නීති පනවා ඇත.
වර්ෂ 1658 දී පෘතුගීසින් පරදවා මෙරට මුහුදුකරය අත්පත් කරගත් ලන්දේසීන් කුරුඳු ඒකාධිකාරය තමන්ට ලබාගත්තා. ඔවුන් මුහුදුබඩ පළාත්වල කුරුඳු වගාව නැංවීමට විශාල උත්සාහයක් ගත්තා. මේ නිසා ස්වභාවිකව වැවුණු කුරුඳු වාණිජ බෝගයක් ලෙස බස්නාහිර හා දකුණු මුහුදුබඩ ප්‍රදේශවල වගා කිරීම ඇරඹුවා. වර්ෂ 1766 පෙබරවාරි 14 වන දින කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ ලන්දේසින් අතර අත්සන් කරන ලද උඩරට-ලන්දේසි ගිවිසුමේ, රටේ ඇතැම් වනාන්තරවල කුරුඳු කැපීමට හා සකස් කිරීමට ලන්දේසීන්ට අවසර දී තිබෙනවා. එයට හිලව් ලෙස ලන්දේසීන් විදේශ ආක්රමණවලින් උඩරට රාජධානිය ආරක්ෂා කිරීමට පොරොන්දු වී තිබුණා.
වර්ෂ 1799 සිට 1804 දක්වා මෙරට විසූ ජේම්ස් කෝඩිනර් පියනම ඉංග්‍රීසි පාලන සමයේ කුරුඳුවලට තිබූ වැදගත්කම ගැන ලොකු විස්තරයක් ඔහු ලියූ A Description of Ceylon පොතේ සඳහන් කරනවා. මේ ඉන් කොටසක්:
වගාකරනු ලැබූ විට කුරුඳු ගස මුලින් එන එකම මුල් පද්ධතියකින් අතු රාශියක් මතුවී පෙනේ. අඩි 10ක් ඉක්මවා වැඩෙන්නට පෙර කපාගෙන පොතු ගලවා ගනු ලැබේ. පරිභෝජනයට සුදුසු කුරුඳු වර්ග කිහිපයක්ම කොළඹ වගාකර තිබේ. පැණි කුරුඳු, නයි කුරුඳු, රස කුරුඳු, සුවඳ කුරුඳු, කහට කුරුඳු ඒවා යි. කොළඹ හැරුණු විට මීගමුව, කළුතර, ගාල්ල ප්‍රදේශවලත් කුරුඳු ඉඩම් තිබේ.
තව ද, වර්ෂයකට කුරුඳු බේල් 4000ක් (රාත්තල් 68000ක්) එංගලන්තයට අපනයනය කළ බවත් කුරුඳු වගා කළ හා ඒවායේ වැඩ කළ මිනිසුන් චෝලි නම් කුලයට අයත් වූ බවත් කෝඩිනර් සඳහන් කරනවා.
කුරුඳු සකසන්නේ කොහොමද?
කුරුඳු කැපීමට නියමිත කාලය පැමිණි විට මිනිස් ශ්‍රමය යොදාගනිමින් කුරුඳු දඬු කපා ගන්නවා. එයින් ප්‍රධාන කඳ සහ අතු වෙන්කිරීමක් සිදුවෙනවා. කුරුඳු පොතු වෙන් කිරීමට භාවිත කරන්නේ ඒ සඳහාම වෙන්වූ, කෙළවරෙහි තුඩක් ඇති රවුම් පිහියක්. කපාගත් කුරුඳු පොතු මඳ පවනේ වේලීමක් කර, කුරුඳු කූරු ලෙස සකස් කරනවා.
කූරු සෑදීම ශ්‍රී ලංකාවට සුවිශේෂී වූවක්. කුරුඳු පොත්ත රෝල් කිරීමෙන් කූරු සාදනු ලබන අතර ඒවායින් කිහිපයක් එකට එකතු කර අවශ්‍ය දිගට නළයක් වැනි ව්‍යුහයක් සාදනු ලබනවා. මීට අමතරව කුරුඳු පොතු කැබලි (chips), කූරු (quillings), හෝ ෆෙදරිංස් (featherings) ආකාරවලින් ද දැකගත හැකියි.
කුරුඳු ශාකයේ කොළ, පොතු, සහ මුල්වල තෙල් අඩංගු යි. පොතු තෙල්වල ඇති ප්‍රධාන රසායනිකය සිනමැල්ඩිහයිඩ් වන අතර කොළ තෙල්වල ඇත්තේ ඉයුජිනෝල්.
කුරුඳු වැඩිපුරම භාවිතා කරන්නේ ආහාර පිසීම සහ පිළිස්සීම (Baking) සඳහා යි. කුරුඳු යනු සලාද, රසකැවිලි, බීම වර්ග, සුප්, ඉස්ටූ සහ සෝස් වැනි ඕනෑම ආහාර ද්‍රව්‍යයකට එකතු කළ හැකි කුළුබඩු වර්ගයක්. පොතු කැබලි උණු වතුරේ ගිල්වා සාදාගන්නා කුරුඳු බීම ලතින් ඇමරිකානු රටවල ඉතා ජනප්‍රිය පානයක්. වර්තමානයේ කුරුඳු රස කළ තේ අප රටෙත් ජනප්‍රිය වෙමින් පවතිනවා. කුරුඳු කොළ සහ පොතු තෙල් ආහාර රසකාරකයක් ලෙසත්, සුවඳ විලවුන් කර්මාන්තයේ දීත් ඖෂධ කර්මාන්තයේ දීත් භාවිතා කෙරෙනවා.
අපේ රටේ කුරුඳු වතු
කොළඹ කුරුඳුවත්තට වගේම දකුණේ කුරුඳුගහහැතැප්මටත් ඒ නම ලැබුණෙත් කුරුඳු හින්දා යි. ශ්‍රී ලංකාවේ කුරුඳු විශේෂ අටක් තිබුණත් වාණිජමය වශයෙන් වගා කරනු ලබන්නේ Cinnamomum zeylanicum පමණ යි. ශ්‍රී ලංකාවේ කුරුඳු මුලින්ම ආරම්භ වී ඇත්තේ මධ්‍යම කඳුකරයේ ස්වභාවික කැලෑවල යි. මහනුවර, මාතලේ, බෙලිහුල් ඔය, හපුතලේ, හෝර්ටන් තැන්න ආදී ප්‍රදේශවල කුරුඳු හමුවෙනවා. සිංහරාජ අඩවියේ කුරුඳු වල් දර්ශ හතක් දැකිය හැකියි. වර්තමානයේ මීගමුව සිට මාතර දක්වා වෙරළ තීරය දිගේ සමහර ප්‍රදේශවල කුරුඳු වගා කර ඇති අතර, එය කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත වී තිබෙනවා.
නියම හෙවත් සත්‍ය කුරුඳු ලෙස තවමත් නමක් දිනා සිටින්නේ අපේ රටේ කුරුඳු යි. නමුත් කැෂියා නම් විකල්ප භෝගය එයට ආදේශකයක් ලෙස ලෝකයේ ප්‍රචලිත වී තිබෙනවා. කැෂියා අපේ කුරුඳු තරම් මිල නොවීම නිසා එහි ඉල්ලුම වැඩිවී තිබෙනවා. ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය යන රටවල කැසියා කුරුඳු වගා කරනවා. අද වන විට කැසියා කුරුඳු ලෝක කුරුඳු සැපයුමෙන් සියයට 90ක් අත්කරගෙන සිටිනවා.
ලංකාවේ කුරුඳු සඳහා අතීතයේ පටන් විදේශ රටවලින් විශාල ඉල්ලුමක් පැවතුණු අතර ඒ සඳහා හොඳ වෙළෙඳ වටිනාකමක් ද ලැබුණා. නමුත් අද වෙද්දී මෙරට කුරුඳු කර්මාන්තය විශාල වර්ධනයක් අත්කරගෙන නැහැ. තවමත් බොහෝ තැන්වල වැඩ කරන්නේ පුරාණ ක්‍රමයටම යි.
වර්තමානයේ කුරුඳු වගාවට සහ කුරුඳු සැකසීම් කර්මාන්තයට පුහුණු ශ්‍රමය නොමැතිකම විශාල ගැටලුවක්. ශ්‍රම හිඟය නිසා තැලූම්කරුවන් තම ශ්‍රමය වෙනුවෙන් කුරුඳු ඉඩම් හිමියන්ගෙන් දෛනික වැටුප වෙනුවට ආදායමෙන් ප්‍රතිශතයක් ඉල්ලීමට සමත් වී සිටින බව වාර්තා වෙනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ කුරුඳු ආදායමෙන් 33%ක් ද මාතර ප්‍රදේශයෙන් 50%ක් ද ලබාගැනීමට කුරුඳු තැලූම්කරුවන්ට හැකි වී තිබෙන බව පැවසෙනවා. අප රටේ පවතින වර්තමාන කුරුඳු තැලීම සහ මිටිගැසීමේ ක්‍රමවේදය මීට වසර 350කට ප්‍රථමව ද සිදුකර ඇත්තේ අද සිදුකරන ආකාරයෙන්ම යි.
කුරුඳුවල ගුණ
කුරුඳු භාවිතයෙන් රුධිරගත සීනි මට්ටම අඩුවන අතර රුධිරගත කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් ද අඩුවන බව හෙළිවී තිබෙනවා. මෙම සෞඛ්‍යමය වාසිය ලබාගැනීම සඳහා දිනකට කුරුඳු කුඩු තේ හැඳි භාගයක් පමණ වැඩිහිටියෙකුගේ ආහාරයට එකතු විය යුතු වෙනවා. ඔක්කාරය, බඩ පුරවා දැමීම, පාචනය, ආහාර අරුචිය ඇතුළු උදරාබාධ ගණනාවක් සමනය කරගැනීම සඳහා කුරුඳු භාවිතා කරනු දැකගත හැකියි. කුරුඳුවල පවතින ඇතැම් තෙල් වර්ග ආහාර අංශු විසුරුවා හැරීමට උපකාරී වන අතර, ඛේටය සහ ආමාශයික යුෂ ශ්‍රාවය වීම උද්දීපනය කර ආහාර ජීර්ණය හා පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීම ක්‍රමවත් කරනවා. එමනිසා, ආම්ලික ආහාර පාන ගැනීමේ දී උදරයේ ඇතිවන අපහසුතා වළක්වා ගැනීමට ආහාරය මතට කුරුඳු කුඩු ස්වල්පයක් අවශ්‍ය පරිදි ඉසීම කළ හැකි බව ආහාර හා පෝෂණය පිළිබඳ ඇතැම් විද්වතුන්ගේ මතය යි. උදරාබාධ සමනය කරගැනීම සඳහා ආහාර ගැනීමට පැය භාගයකට පමණ පෙර කුරුඳු කුඩු තේ හැඳි භාගයක් එක් කළ වතුර වීදුරුවක් පානය කළ හැකි බව botanical-online.com වෙබ් අඩවියේ පළවූ ලිපියකින් පෙන්වා දී තිබෙනවා. රුධිර සංසරණය වැඩිදියුණු කිරීමටත් කුරුඳු දායක වෙන බව සොයාගෙන තිබෙන තවත් කරුණක්.
කෙසේ නමුත්, කුරුඳු වුවත් අධිපරිභෝජනය හානිකර විය හැකි බව සිහිතබාගත යුතු යි.