Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිරිමින්ට හොරෙන් සම අයිතිය ඉල්ලූ කාන්තාවෝ

පසුගිය මාර්තු 8 දා අප රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් කාන්තා දිනය සැමරුවා. ඒ අතර දෙල්ගොඩ දී දැරියකට යක්ෂයකු වැසී ඇතැ යි පවසා ඇගේ මව හා අසල්වැසි කාන්තාවක එක්වී වේවැල්වලින් පහර දී මරා දැමීමත්, කාන්තාවකගේ හිස නැති මළ සිරුරක් ගමන් බෑගයක හමුවීමත් සමාජයේ කතාබහට ලක්වුණා. කාන්තාවන්ට වෙන අතවර, වධහිංසා මෙන්ම කොන්කිරීම් ගැනත් නිතර අපට අහන්න ලැබෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවගේ සම අයිතිවාසිකම් සහ ලිංගිකත්වය මත වෙනස් ලෙස සැලකීම පිළිබඳ පෙර කවරදාටත් වඩා අවධානය පළ වෙමින් පවතින බව මාධ්‍ය ලෝකය දෙස බලන විට පේනවා. 

සෙනෙකා ෆෝල්ස් 1848

සෙනෙකා ෆෝල්ස් හමුව චිත්‍ර ශිල්පියකු දුටු අයුරු – representwomen.org

ලෝකයේ කාන්තා අයිතීන් පිළිබඳ  ප්‍රථම ප්‍රසිද්ධ හමුව පැවැත්වුණේ 1848 ජූලි 19-20 දිනවල අමෙරිකාවේ නිව්යෝක්බද නගරයක යි. එය පිටත සමාජයට පෙන්නුවේ කාන්තාවන් පිරිසක් එක්වී පැවැත්වූ තේපැන් සංග්‍රහයක් ලෙස යි. පිරිමි පැමිණ එය කඩාකප්පල් කරාවි යන අදහස නිසා යි එය රහසිගතව පැවැත්වුණේ. 

මේ තේ පැන් සංග්‍රහයේ ප්‍රතිඵලයක් ලෙස, කාන්තා අයිතිවාසිකම් දිනාගැනීමේ ප්‍රථම සමුළුව නිව්යෝක්බද නගරයක් වූ සෙනෙකා ෆෝල්ස්හි වෙස්ලියානු පල්ලියේ දී පැවැත්වුණා. එහි පළමු දිනයට කාන්තාවන් පමණක් සහභාගී කරගත් අතර, දෙවන දිනයට කාන්තා අයිතීන්වලට ගරු කළ පිරිමි කණ්ඩායමක් ද එයට සහභාගි වුණා. එහි එකඟත්වය “සෛනෙකා ෆෝල්ස් සම්මුතිය” කියලා හඳුන්වනවා. එය පසුව ලෝකය පුරා පැතිර යන කාන්තා විමුක්ති ව්‍යාපාරයන්හි තිඹිරිගෙය බවට පත්වුණා. 

පෙර සඳහන් කළ තේ පැන් සංග්‍රහය පවත්වන ලද්දේ සෙනෙකා ෆෝල්ස්හි ජේන් හන්ට්ගේ නිවසේ දී යි. ජේන් හන්ට්ගේ ආරාධනය අනුව එලිසබෙත් කේඩි ස්ටැන්ටන්, ලුක්‍රීෂියා මෝට් සහ ඇගේ සොයුරිය මාර්තා රයිට්, මේරි ඈන් මැක්ලින්ටොක් ඇතුළු කාන්තාවන් මීට සහභාගී වුණා. 

සෙනෙකා ෆෝල්ස් කාන්තා අයිතින් පිළිබඳ සම්මුතිය- Wikipedia.org 

සෙනෙකා ෆෝල්ස් සමුළුව හඳුන්වා තිබුණේ අමෙරිකාව තුළ  කාන්තාවන්ට සමාජ, සිවිල් සහ ආගමික නිදහස උදෙසා එකමුතුවීමක් ලෙස යි. එලිසබෙත් ස්ටැන්ටන්, ලුක්‍රෙෂියා මොට්, කේරි ඒ. කැට් යන කාන්තා ක්‍රියාකාරිනියක් තිදෙනා එයට මූලිකත්වය ගෙන තිබෙනවා. එයට එක්වූ කාන්තාවන් තමා බලාපොරොත්තු වන අයිතිවාසිකම් ගැන එකඟතාවකට පැමිණ එකට අත්සන් තබා ප්‍රසිද්ධ කළා. ඒ කාලයේ එම සිද්ධිය එතරම් වැදගැම්මකට ඇති දෙයක් ලෙස නොසැලකුවත් පසුකාලීනව එය ඓතිහාසික සිද්ධියක් ලෙස සම්භාවනාවට ලක් වෙනවා. 

සෙනෙකා ෆෝල්ස් සම්මුතියට සියවසක් පිරීම සමරමින් නිකුත් කළ මුද්දරය- representwomen.org 

තේ පාටියට පෙර කාන්තා අයිතිවාසිකම් 

මේ සිද්ධියට සියවසකට පෙර අමෙරිකානු කාන්තාවන් කිහිප දෙනෙකු සිය අයිතිවාසිකම් ගැන ලියා තිබෙනවා. හැනා මුවර්, මේරි වෝල්ස්ටෝන්ක්‍රාෆ්ට් සහ ජුඩිත් සාර්ජන්ට් මරේ එහිදී අවධානය යොමු කෙරුවේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් සඳහා කාන්තාවන්ට ඇති අයිතිය  ගැන යි.

1791-1792 කාලයේ මේරි වෝල්ට්ස්ටෝන්ක්‍රාෆ්ට් තීරණ ගැනීමේ දී පිරිමියා පමණක් නොව ස්ත්‍රී හා පුරුෂයන් දෙදෙනාගේම හැඟීම් සහ තර්ක එකට  පිළිගැනීම අවශ්‍ය බවත්, ඒ සඳහා “කාන්තාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම” අවශ්‍ය බවත් කියා සිටි කෙනෙක්. අධ්‍යාපනය, විවාහය, සහ පවුලේ ප්‍රමාණය පාලනය කිරීමට කාන්තාවන්ට අයිතියක් තිබිය යුතු බව එකල පැවසුණා.

කාන්තාවන්ට දිනයක් 

කාන්තා සම අයිතිය ඉල්ලා 18 වැනි සියවසේ විරෝධතා -billofrightsinstitute.org

අද එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය ලොව පුරා සැමරෙනවා. කාන්තාවන්ට සම අවස්ථා අවශ්‍ය බව සෑම වසරකම අවධාරණය කෙරෙනවා. මේ දිනය සැමරීමක් දක්වා එය වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරය හරහා යි. එහි මූලාරම්භය 1908 මාර්තු 8 දා සිදුවෙනවා. ඒ, කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය 16 සේවා මුරය පැය 10ට කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් නිසා යි. ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ඇමෙරිකානු සමාජවාදී පක්ෂය ප්‍රකාශයට පත් කරනවා. 

ක්ලාරා සෙට්කින්- Wikipedia.org

මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතුයැ යි අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් (1857-1933) නමැති ජර්මන් කොමියුනිස්ට් ක්‍රියාකාරිනිය යි. ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ දී යි. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර ඇයගේ යෝජනාව ඒකමතිකව ස්ථිර වුණා.

කාන්තා දිනය සමරමින් 1914 නිකුත් කළ පෝස්ටරයක්- Wikipedia.org

එය පළමු වරට 1911 වසරේ දී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරුණා. ක්ලාරා කාන්තා විමුක්ති සංවිධානවල මුල්ම පුරුකක් ලෙස සැලකෙනවා.

පළමු ලෝක යුද්ධය අවසාන වනතුරු කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව නොතිබූ අතර ඉන්පසුව ලොව බොහෝ රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ද හිමි වුණා. ලොව සියලුම රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදුන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමත් සමග යි. නමුත් මෑතක් වනතුරු සමහර අරාබි රටවල කාන්තාවන් සියලුදෙනාට ඡන්ද අයිතිය හිමිව තිබුණේ නැහැ.

1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් කාන්තා දිනය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබුණා. එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ, “අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු” යන්න ය.

කාන්තා දිනයට නිවාඩු 

රුසියාවේ කාන්තා දින සැමරුමක්- Wikipedia.org 

රුසියාව ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා. මාර්තු 08 දිනය ආසන්න වෙද්දී එම රටවල මල් අලෙවිය දෙගුණයකින් පමණ ඉහළ යන බව වාර්තා වෙනවා. චීනයේ මාර්තු 08 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩු හිමිවෙනවා. එරට රාජ්‍ය කවුන්සිලය එලෙස උපදෙස් දී තිබුණ ද, බොහෝ හාම්පුතුන් එම නිවාඩුව ලබා නොදෙන බව යි වාර්තා පවසන්නේ.

සිඩෝ ප්‍රඥප්තිය

නිදහස අහිමි ඇෆ්ඝන් කාන්තාවෝ – Wikipedia.org

1979 වසරේ දී රාජ්‍ය පාර්ශවයන් 130කගේ ඡන්දයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලුම ආකාරයේ වෙන් කොට සැළකීම් ඉවත් කිරීමේ ප්‍රඥප්තිය” හෙවත් සිඩෝ ප්‍රඥප්තිය (Convention on the Elimination of All Forms of Discrimination against Women) පණගැන්වූවා.

ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් තැබුවේ 1981  ජූලි 17 දා යි.  1993 දී අප රටේ කාන්තා ප්‍රඥප්තිය සම්මත කරගත්තේ සිඩෝ සම්මුතිය මුල්කර ගෙන යි. 1996 වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් 152ක් මෙම සම්මුතිය පිළිගෙන තිබෙනවා. වසර 04කට වරක් පවත්වන සිඩෝ සමුළුව පවත්වන අතර අප රටෙන් ද එයට සහභාගි වෙනවා. 

සිඩෝ ප්‍රඥප්තිය වගන්ති 48කින් සමන්විත යි. එහි සෑම වගන්තියකටම අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ද එකඟ වී සිටිනවා. කාන්තාව හා ගැහැණු ළමයින්ට එරෙහිව සියලුම ආකාරයේ වෙනස්කම්, එනම් රැකී රක්ෂා, තීරණ ගැනීම්, ඉඩම් අයිතිය, ලිංගික හා ප්‍රජනන, අධ්‍යාපන, පවුලේ සිදුවන හිංසනය, දේශපාලන තත්ත්වය ඇතුළුව කාන්තාවන්ට ‍එරෙහි වෙනස් හිංසන ක්‍රම වැනි‍ බොහෝ ක්ෂේත්‍රයන්හි ඇති අවාසි සහගත හා අසමානතා තත්ත්වයන් දුරු කිරීම සිඩෝ සම්මුතියේ අරමුණ යි. 

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය

2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත කාන්තාවන්ට පමණක් සීමා වූ පනතක් ලෙස වැඩිදෙනෙකු සලකනවා. පීඩාවට පත්වන කාන්තාවන්ට පනත අනුව සහන අයැද සිටිය හැකියි. මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් කර ආරක්ෂණ ආඥාවක් ලබාගැනීමට ද පුළුවන්. නමුත් ලැජ්ජාව සහ බිය නිසා ලංකාවේ දී බොහෝවිට එවැනි පීඩාවන් විඳදරා ගැනීමට කාන්තාවක් පුරුදුව සිටිනවා.

කාන්තා ශ්‍රම දායකත්වය

වැඩකරන කාන්තාව ඇගැයීමක් නැහැ-runews.lk

ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව, විවාහය යන්න කාන්තාවන් ශ්‍රම වෙළඳපොල වෙත සහභාගීත්වය අවම කිරීම සඳහා ක්‍රියා කරන්නක් වන බව තහවුරු කර තිබෙනවා. විවාහය, කාන්තාවන් වෙත වැටුප් හිමි රැකියා ලැබීමේ අවස්ථාව සියයට 26ක විශාල අගයකින් අඩු කර ඇති නමුත්, පිරිමින් හමුවේ, එය සියයට 2.5කින් ඉහළ දමා තිබෙනවා.

ආර්ථිකය පුළුල් වෙමින් පැවතිය ද, 2010 දී සියයට 41ක් වූ ශ්‍රී ලාංකික ශ්‍ර‍ම බලකායේ කාන්තා දායකත්වය 2016 වන විට සියයට 36 දක්වා පහත වැටී තිබෙන බව වාර්තා වෙනවා. සැබවින්ම, ලෝකයේ විශාලතම ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව 14 වැනි ස්ථානයේ සිටිනවා.  

වැටුප් පරතරය

ලොව බොහෝ රටවල් මේ වන විට කාන්තා අයිතීන් රැකීමට නීති සම්පාදනය කර ඇති නමුත්, තවමත් කාන්තාවන් සහ පුරුෂයන් අතර සැලකිය යුතු වැටුප් පරතරයක් පවතිනවා. වැටුප් පරතරය අවම කිරීමේ අරමුණින් ලෝකයේ දියුණු රටවල් සම වැටුප් නීති ගෙන ආ අතර, ඇමරිකාවේ සමාන වැටුප් පනත සම්මත කෙරුණේ 1963 දී යි. එංගලන්තය මෙම නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ 1970 සිටයි. එම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව මෙම රටවල ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය මේ වන විට අවම අගයක් ගෙන ඇති බව වාර්තා වෙනවා.

සමාන වැටුප් ගෙවීම සහ ස්ත්‍රී – පුරුෂ ලිංගභේදය මත පදනම්ව වෙනස් වැටුප් ගෙවීම අතර පැහැදිළි වෙනසක් පවතිනවා.  එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබෙනවා.

අපේ කාන්තා අයිතීන්

කාන්තා දිනය දා යුද්ධයෙන් අතුරුදන් තම පුතුන් වෙනුවෙන් හඩ නගන කාන්තාවන්- theleader.lk

කාන්තා ප්‍රඥප්තියක් 1999 මාර්තු 3 දා රජය සම්මත කර තිබෙනවා. එම ප්‍රඥප්තියට අනුව ස්ත්‍රී පුරුෂ  දෙපක්ෂයටම සම අයිතිවාසිකම් හිමිවන බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව කාන්තාවන්ට දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්, පවුල් ඒකකය තුළ අයිතින්, විවාහයට එළඹීමේ අයිතිය මෙන්ම විවාහය අවලංගු කිරීමේ අයිතියත් හිමි වෙනවා. ඒ වගේම ආණ්ඩුව විසින් කාන්තාවක් හෙළා දැකීමට ලක්නොවීමට සහ ආර්ථික සහ සමාජීය වෙනස්කම්වලට ලක්නොවීමට කටයුතු කළ යුතු වෙනවා. මෙම නීති ක්‍රියාත්මක වීමට සහාය දැක්වීමට කාන්තාවන්ට වෙන්වූ වෙනම අමාත්‍යංශයක් ද පවතින්වා. මෙම ප්‍රඥප්තියට අනුව ජාතික කාන්තා කමිටුවක් ද පිහිටවුණා.  නමුත් අප රටේ කාන්තා සම අයිතින් බොහෝ අවස්ථාවල දී නීති පොතට පමණක් සීමා වූ බව යි සමාජය දෙස බලන විට පේන්නේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

worldbank.org

www.bbc.com

childwomenin.gov.lk

කවරය - වැඩකරන කාන්තාවට නැති කාන්තා අයිතින් -slguardian.com

Related Articles