ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ ඉතිහාසය

80 දශකයේ මුල භාගයේ දී උතුරුකරය තුළ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. දශක 3කට ආසන්න කාලයක් පුරාවට පැවති එම යුද්ධය නිසා වටිනා ජීවිත රැසක් රටට අහිමි වුණා. එම කාලය තුළ ත්‍රස්තවාදීන් සමග ගොඩබිමේ දී කළ සටන්වල දී ශ්‍රී ලංකා යුධ හමුදාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ශ්‍රී ලංකා යුද හමුදාව කොටි ත්‍රස්තවාදීන් සමග සටන් කරන ලද දශක තුන පුරාවටම, යුද්ධ කිරීමට අවශ්‍ය වුණු යටිතල පහසුකම් දියුණු කිරීමේ කාර්යය ඉංජිනේරු සේවා බලකාය වෙත පැවරුණා. 

ඔවුන් අවි ආයුධවලින් යුදබිමේ දී වීරකම් නොදැක්වුවත්, යුද හමුදාවේ වීර සෙබළුන්ට යුද්ධය කරගෙන යාම සඳහා අවශ්‍ය වුණු පරිසරය සකස් කරදීමෙන් සිදුකරන ලද සේවය අමතක කරන්නට බැහැ. ඒ අයුරින් තිරය පිටුපස සිටිමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමක් කළ ඉංජිනේරු සේවා බලකායේ වසර 70කට වැඩි ඉතිහාසය ගැන බොහෝ දෙනෙකු වැඩි යමක් දන්නේ නැහැ. එනිසා මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ ඉතිහාසය යි. 

ඉංජිනේරු සේවා බලකායේ ආරම්භය 

1949 ඔක්තෝබර් 10 වැනිදා ලංකා යුද හමුදාව පිහිටවනු ලැබුවා. ඉන් හරියටම මාස 3කට පසු, 1950 වසරේ ජනවාරි 10 වැනිදා ඉංජිනේරු සේවා බලකාය බිහිවුණා. 

ඉංජිනේරු බලකායේ පළමු ආරක්ෂක සේනා ඉංජිනේරුවරයා වශයෙන් කපිතාන් ඇම්. ඇල්. ඩී. ඒ. පෙරේරා පත්කරනු ලැබුවා. එනිසා ඔහු “ඉංජිනේරු සේවා බලකායේ පියා” වශයෙන් හඳුන්වනු ලබනවා. එසේම එහි මාණ්ඩලික සැරයන් තනතුර ඊ.ඇෆ්.ඩී ලැබ්‍රෝයිට හිමිවුණා. ඉන් වසරකට පමණ පසුව සහකාර ආරක්ෂක සේනා ඉංජිනේරුවරයා වශයෙන් ලුතිනන් ඊ. සී. ජැන්සන් පත්කරගත්තා. එම කාලය වන විට ලංකාව තුළ යුද්ධයක් නොතිබුණත් ඉංජිනේරු සේවා බලකායට විශේෂ රාජකාරි කිහිපයක් පැවරී තිබුණා.

ඇම්. ඇල්. ඩී. ඒ. පෙරේරා (army.lk)

ඉංජිනේරු සේවා බලකායට පැවරී තිබුණු රාජකාරි 

ඉංජිනේරු සේවා බලකායට පැවරී තිබුණු ප්‍රධානතම රාජකාරිය වුණේ ශ්‍රී ලංකා යුද හමුදාව භාවිතා කරනු ලබන විදුලිය, ජල සම්පාදන සහ ජලාපවාහන පද්ධති, ගොඩනැගිලි, මාර්ග ආදී පහසුකම් නඩත්තු කිරීම යි. ගොඩනැගිලි, මාර්ග, ජල සම්පාදන සහ ජලාපවාහන පද්ධති සැලසුම් කිරීම සහ ඉදිකිරීම ද ඔවුන්ට පැවරී තිබුණු රාජකාරියක්. එසේම යුද හමුදාවේ සියලුම වර්ගවල ජනක යන්ත්‍ර, මලාපවාහන පොම්ප, ජල පොම්ප, ඩෙසලීනේෂන් කම්හල්, සහ වෙනත් විදුලි උපකරණ නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම ඉංජිනේරු සේවා බලකායට පැවරී තිබුණු තවත් එක් රාජකාරියක්. 

1958 ශ්‍රී කලබලයේ දී ඉංජිනේරු සේවා බලකාය ක්‍රියාත්මක වුණු හැටි 

1958 වසරේ දී අප රට තුළ සිංහලයන් සහ දමිළයන් අතර කෝලාහලයක් ඇතිවුණා. එම කෝලාහලය නිසා රටේ බොහෝ ප්‍රදේශවලින් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුණා. බොහෝ පිරිසකගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීම ජාතිවාදී කණ්ඩායම් විසින් සිදුකරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්නට ගෙයක් දොරක් නැති පිරිසක් බිහිවුණා. එම අවස්ථාවේ දී ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස ඔවුන් සඳහා තාවකාලික කඳවුරු ඉදිකර ඒවාට අවශ්‍ය වුණු විදුලිය සහ ජලය සපයනු ලැබුවා. එය ඉංජිනේරු බලකාය ආපදා තත්ත්වයක දී මුල්ම වරට ක්‍රියාත්මක වුණු අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා.

1958 සිංහල-දෙමළ කෝලාහලය (Tamil Guardian)

ඉංජිනේරු සේවා බලකායේ දක්ෂතා පුවත්පත් සිරස්තලවලට ගිය හැටි 

1959 වසරේ දී යුගෝස්ලාවියානු ජනාධිපති මාෂල් ටිටෝ ලංකාවේ සංචාරයක යෙදුණා. කොළඹ වරායේ සංචාරයක නිරතවීම සහ එහි සිටි කම්කරුවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයාබැලීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් ඒ වන විට වරායේ සේවය කළ කම්කරුවන්ට ආහාර ගැනීමටවත් නිශ්චිත ස්ථානයක් තිබුණේ නැහැ. එනිසා එවකට අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ ඔලිවර් ගුණතිලක වරායේ ඉංජිනේරුවරයාට නියෝග කරනු ලැබුවේ තාවකාලික ගොඩනැගිලි 5ක් ඉදිකරන ලෙස යි. අග්‍රාණ්ඩුකාරවරයා ගොඩනැගිලි 5ක් ඉදිකිරීමට නියෝග කර තිබුණත් යුගෝස්ලාවියානු ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමට නියමිතව තිබුණු සතියට පෙර සතියේ සිකුරාදා වන විටත් වරාය භූමිය තුළ ඉදිකිරීමක් සිදුව තිබුණේ නැහැ.

කෝපයට පත්වුණු අග්‍රාණ්ඩුකාරවරයා ගොඩනැගිලි පහ ඉදිකිරීමේ කාර්යය ලංකා යුද හමුදාවට පවරනු ලැබුවා. ඒ මොහොතේ දී එම කාර්යය සඳහා අනියුක්ත කෙරුණේ ඉංජිනේරු සේවා බලකාය යි. සති අන්තයේ වෙහෙස මහන්සි වී වැඩකළ ඉංජිනේරු බලකායේ සෙබළුන් අඩි 100X20 විශාලත්වයෙන් යුත් ගොඩනැගිලි 5ක් වරාය භූමිය තුළ ඉදිකරනු ලැබුවා. එම කාර්යය සඳහා ඔවුන්ට වැයවී තිබුණේ පැය 48ක කාලයක් පමණ යි. සඳුදා වරායේ සේවයට පැමිණි කම්කරුවන් පවා ඉංජිනේරු බලකාය ඉදිකරන ලද ගොඩනැගිලි 5 දැක මවිතයට පත්ව තිබුණා. එදා පුවත්පත් කිහිපයකම සිරස්තලය පළ වුණේ ලංකා යුද හමුදාවේ සඳුදා උදය ප්‍රාතිහාර්ය ලෙස යි. එසේම එම වසරේ දී පැවති වරාය සේවක වැඩ වර්ජනය අවස්ථාවේ දී ඉංජිනේරු බලකායේ භට පිරිස් වරායේ සේවයට යොදවනු ලැබුවා.

මාෂල් ටිටෝ ලංකාවට පැමිණි මොහොත (gettyimages)

වසර 71ක කාලයක් තුළ මෙම බලකායේ විකාශනය වුණු අයුරු 

1950 ජනවාරි 10 ආරම්භ වුණු මෙම බලකාය මුල් අවධියේ දී කාර්ය පෙළ ඉංජිනේරු බලකාය යන නමින් හැඳින්වුණා. ඉන් පසුව 1951 වසරේ දී මෙය ලංකා ඉංජිනේරු කාර්ය සේවා බලඝනය යන නමින් හඳුන්වනු ලැබුවා. 1957 වසරේ සිට මෙම බලකායය ලංකා ඉංජිනේරු එකකය යන නාමය භාවිතා කළා. 1991 ඔක්තෝබර් 1 වැනිදා සිට මෙය ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ලෙසින් හැඳින්වුණා. මෙම ඒකකය සඳහා භාවිතා කරන ඉංජිනේරු සේවා බලකාය යන නාමය භාවිතා කිරීම ආරම්භ වුණේ 1999 වසරේ පෙබරවාරි 5 වැනිදා සිට යි. 

ඒ අයුරින් වසර 71ක ඉතිහාසයයක් තිබෙන මෙම බලකායේ මූලස්ථානය පනාගොඩ ප්‍රදේශය තුළ පිහිටුවා තිබෙනවා. එම කාලය තුළ නිත්‍ය බලඇණි 7ක් සහ ස්වේච්ඡා බලඇණි 9ක් මෙම බලකායට එකතු වුණා. එසේම අද වන විට මෙම බලකාය යටතේ ඉංජිනේරු සේවා වෘත්තීය පාසලක්, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපොළක්, සහ ඉංජිනේරු සේවා දැව කර්මාන්තශාලාවක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව ඉංජිනේරු සේවා බලකායට වසර 71ක කාලයක් තුළ විශාල භට පිරිසක් බඳවාගෙන තිබෙනවා.

ඉංජිනේරු සේවා බලකා මූලස්ථානය (army.lk)

ඉංජිනේරු සේවා බලකාය විසින් සිදුකරන ලද කැපී පෙනෙන සේවාවන් 

ගෙවුණු වසර 71ක කාලය තුළ ඉංජිනේරු සේවා බලකාය කැපී පෙනෙන සේවාවන් රැසක් සිදුකර තිබෙනවා. ඊළාම් යුද්ධයේ කළ සේවාවන්ට අමතරව රටේ කෝලාහල සහ වැඩ වර්ජන පැවති ඇතැම් අවස්ථාවන්වල දී මෙම බලකායේ සෙබළුන් කළ මෙහෙය අමතක කරන්නට බැහැ. 

1966 ගෘහස්ත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම  

1966 වසරේ දී අග්නිදිග ආසියානු බොක්සිං තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ සඳහා මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ ගෘහස්ත ක්‍රීඩාගාරයක් සෑදීමට අවශ්‍ය වුණා. එවකට සිටි රජය එම කාර්යය සඳහා රුපියල් 280,000ක මුදලක් වෙන්කර තිබුණා. නමුත් එම අවස්ථාවේ දී කිසිදු ප්‍රධාන ඉදිකිරීම් ආයතනයක් එම කොන්ත්‍රාත්තුව භාරගැනීම සඳහා ඉදිරිපත් වුණේ නැහැ. රජය අපහසුතාවයට පත්ව සිටි ඒ මොහොතේ දී ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීමේ කාර්යය ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකාය වෙත පැවරුණා. එදා මේජර් රාජනාදන්ගේ අධීක්ෂණය යටතේ සිදුවුණු ගෘහස්ත ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු නියමිත කාලය තුළ අවසන් වුණා. එහි දී ඇස්තමේන්තු කර තිබුණු මුදලට වඩා රුපියල් 30,000ක් අඩුවෙන් එම කාර්යය නිමා කිරීමට ඉංජිනේරු සේවා බලකායට හැකියාව ලැබුණා.

1969 විදුලි සේවක වැඩ වර්ජනය අතරතුර සිදුකළ මෙහෙය  

1969 වසරේ දී විදුලිබල දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් වැඩ වර්ජනයක් දියත් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විදුලිය නොමැතිව මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා. එම අවස්ථාවේ දී මෙම බලකායේ භට පිරිස් යොදවා විදුලි ජනක යන්ත්‍ර මඟින් අත්‍යවශ්‍ය ස්ථානවලට විදුලි බලය ලබාදුන්නා. එසේම පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වීම සඳහා අවශ්‍ය විදුලිය ලබාදීමත් මෙම බලකායේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබුවා.

1971 කැරැල්ල අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ආකාරය 

1971 අප්‍රේල් 5 වැනිදා ආරම්භ වුණු ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලත් සමගින් රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වුණා. එදා කැරලිකරුවන් රටේ තිබුණු සමහර ස්ථානවලට පහරදීමට සිටින බව හමුදා බුද්ධි අංශවලට දැනගන්නට ලැබුණා. එනිසා පනාගොඩ ප්‍රධාන ජලපොම්පාගාරය, ලබුගම ජලාශය, අඹතලේ ජල පොම්පාගාරය වැනි ස්ථානවලට ආරක්ෂාව සැපයීමේ වගකීම ඉංජිනේරු සේවා බලකායට පැවරුණා.

එසේම කැරැල්ල නිසා අත්අඩංගුවට පත්වුණු කැරලිකරුවන්ට මෙන්ම කැරැල්ල නිසා විපතට පත්වුණු ජනතාව සඳහා තාවකාලික කඳවුරු ඉදිකිරීමේ කාර්යය පැවරුණේත් ඉංජිනේරු බලකායට යි. එලෙස ඉදිවුණු කඳවුරු සඳහා ජලය සහ විදුලිය සැපයීමත් ඔවුන් අතින් සිදුවුණා. 

1971 කැරැල්ල අතරතුර (Kathika)

එදා සිට ගෙවුණු වසර 50ක කාලය ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය තීරණාත්මක අවස්ථාවන් රැසක දී විශාල සේවාවක් සිදුකර තිබෙනවා. වසර 30ක ඊළාම් යුද්ධයේ දී, රටට ස්වභාවික විපත් පැමිණි සෑම අවස්ථාවක දීම මෙම බලකාය ඉටුකරන ලද මෙහෙය සුළුපටු නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත් වී සිදුකරන ලද සෑම ඉදිකිරීමක දීම මෙම බලකාය විශාල මෙහෙවරක් ඉටුකළා. එනිසා ගෙවුණු වසර 71ක කාලය තුළ මෙරට යුද හමුදාව වෙනුවෙන් සේවය කළ කීර්තිමත් බලකායන් අතරට ඉංජිනේරු සේවා බලකාය ද ඇතුළත් කරන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය- 1958 සිංහල-ද්‍රවිඩ කෝලාහල අවස්ථාවේ ඡායාරූපයක් (gettyimages)

මූලාශ්‍රයන්- army.lk

Related Articles

Exit mobile version