80 දශකයේ මුල භාගයේ දී උතුරුකරය තුළ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. එම කාලසමය තුළ ත්රස්තවාදීන් සමග ගොඩබිමේ කළ සටන්වල දී ශ්‍රී ලංකා යුධ හමුදාව සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළා. එහිදී කැපී පෙනෙන සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් විශේෂ බලකාය, ශ්‍රී ලංකා යුධ ඉතිහාසය තුළ බිහිවුණු වීර සෙබලුන් කිහිපදෙනෙකුම බිහිකළා. ඒ අතරින් ජෙනරාල් මහේෂ් සේනානායක, මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි, කර්නල් ෆස්ලි ලාෆීර්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ වැනි විරුවන් ඉතා ප්‍රසිද්ධ යි.
විශේෂ බලකාය ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මතුවුණු හැටි
1983 වසරේ දී පමණ ඇවිලී ගිය ඊළාම් යුද්ධය ඉන් වසර 2කට පමණ පසුව වඩාත් දරුණු අතට හැරුණා. විදෙස් ආධාර ලැබීම නිසා කොටි සංවිධානය වඩාත් ශක්තිමත් වෙමින් පැවතුනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් නවීන පන්නයේ අවි ආයුධ යොදාගෙන හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ලකරන්නට පටන් ගත්තා. එසේම ඔවුන් සටන්වල දී දියුණු ගරිල්ලා ක්‍රම අනුගමනය කළා.
ශ්‍රී ලංකා යුධ හමුදාවට කොටි ත්රස්තවාදීන් සමග සටන් කිරීම ප්‍රබල අභියෝගයක් වුණු හෙයින්, එදා ගරිල්ලා සටන් ක්‍රම මනාව ප්‍රගුණ කළ බලකායක අවශ්‍යතාවය මතුවුණා. 1985 වසරේ දී පමණ විශේෂ බලකාය බිහිවන්නේ ප්‍රතිඵලයක් වශයෙන්.
විශේෂ බලකාය ආරම්භ වීම
1985 වසරේ දී මේජර් ගාමිණී හෙට්ටිආරච්චි යටතේ ක්ෂණික විහිදුම් බලකාය (RDF) නමින් සාමාජිකයන් 38 දෙනෙකුගෙන් සමන්විත කුඩා ඒකකයක් නිර්මාණය වුණා. එම බලකායට ෆස්ලි ලාෆීර්, අජිත් පෙරේරා, රොහාන් විජේසිංහ වැනි දක්ෂ රණවිරුවන් ඇතුළත්ව සිටියා. එම බලකායට අයත් වුණු භටයන්ට ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ දී මූලික පුහුණුව ලබාදුන්නා. ඉන්පසුව මෙම පිරිසට පුහුණුවීම් ලබාදුන්නේ විදේශීය උපදේශකයන් ගෙන්වා යි. පසුකලෙක බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මඟපෙන්වීම යටතේ මෙම බලකායේ භට පිරිස 38 සිට 68 දක්වා වැඩිකරනු ලැබුවා.
පිරිස් බලය වැඩිවීමෙන් පසුව, මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ පහසුව සඳහා මෙම බලකායේ පිරිස චාලි, බ්රාවෝ, සහ ඇල්ෆා ලෙස කුඩා කණ්ඩායම් තුනකට වෙන්කරනු ලැබුවා. එම කුඩා කණ්ඩායම්වල අණදෙන්නන් ලෙස ක්‍රියාකළේ රොහාන් විජේසිංහ, ෆස්ලි ලාෆීර්, සහ අජිත් පෙරේරා යන නිලධාරින් තිදෙනා යි. ක්‍රමයෙන් විහිදී ගිය බලකායේ නම 1986 වසරේ දෙසැම්බර් මාසය වන විට “විශේෂ බලකාය” නමින් වෙනස් කරනු ලැබුවා. එදා සිට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් විශේෂිත සේවාවක් කළ මෙම බලකායට ප්‍රධාන රාජකාරි කිහිපයක් පැවරී තිබුණා.
විශේෂ බලකායට පැවරුණු රාජකාරි
මෙම බලකායට පැවරී තිබුණු ප්‍රධානතම රාජකාරි බවට පත්වුණේ බුද්ධි තොරතුරු රැස්කිරීම සහ ප්‍රහාර එල්ලකිරීම යි. මේ රාජකාරිවලට සතුරන්ගේ ප්‍රධාන කඳවුරු පිළිබඳව තොරතුරු, සතුරන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු, ඔවුන්ගේ අවිආයුධ සඟවා තබා තිබෙන ස්ථාන පිළිබඳව තොරතුරු, ප්‍රධාන සන්නිවේදන මධ්‍යස්ථාන පිළිබඳව තොරතුරු සැපයීම ඇතුළත්වුණා. එසේම සතුරන්ගේ ප්‍රධාන නායකයන් සහ කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීම ද මොවුන්ට පැවරුණු රාජකාරියක්.
සාමාන්‍යයෙන් මෙම බලකායේ සෙබලුන් මෙහෙයුම් සඳහා යොදවනු ලැබුවේ අට දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් ලෙස යි. බිම් බෝම්බ ඇටවීම, සතුරා වළදමා ඇති ආයුධ සොයාගැනීම, තුවාල ලැබූ භටයන්ට ප්‍රතිකාර කිරීම, සංඥා පිළිබඳව සොයාබැලීම වැනි රාජකාරි සඳහා මේ සෑම කණ්ඩායමකම පුපුරණ ද්‍රව්‍ය, සංඥා, සහ වෛද්‍ය වැනි අංශ සම්බන්ධයෙන් මනා දැනුමක් තිබුණු භටයන් ඇතුළත්කර තිබුණා. භටයන් කුඩා කණ්ඩායම් වශයෙන් මෙහෙයුම්වලට යැවීමට ප්‍රධානතම හේතුවක් වුණේ සතුරාට කුඩා කණ්ඩායමක් පහසුවෙන් සොයාගැනීමට තිබුණු අපහසුකම නිසා යි.
මුල් යුගයේ දී මෙම බලකායේ සෙබලුන් මුහුණදුන් අභියෝග
80 දශකයේ අග භාගය වන විට අපගේ යුධ හමුදාවන් සතුව නවීන සංඥා උපකරණ තිබුණේ නැහැ. එම නිසා අපේ හමුදාවන් භාවිතා කළ පණිවිඩ හුවමාරු යන්ත්‍රවල රහස්‍යභාවය අවිනිශ්චිත තත්ත්වයක තිබුණා. එසේම එම යන්ත්‍රවලින් පණිවිඩ හුවමාරු කිරීමට හැකිවුණේ කි. මී. 15ක උපරිම සීමාවකට පමණ යි. එම නිසා සෙබලුන් අදාළ සීමාවෙන් එපිටට ගිය විට මූලස්ථානය සමග සම්බන්ධතා ඇණහිටියා. හදිසි අවස්ථාවල දී සම්බන්ධතා බිඳවැටීම නිසා සෙබලුන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා.
සෑමවිටම සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වුණු විශේෂ බලකායේ සෙබළුන් සතුරාට නොදැනෙන සේ ප්‍රහාර එල්ල කිරීමට පුරුදුව සිටියා. නමුත් එකල අපගේ හමුදාවන් සතුව හඬ නොනැගෙන සේ ප්‍රහාර එල්ලකළ හැකි ආයුධ තිබුණේ නැහැ. එම නිසා තීරණාත්මක මෙහෙයුම්වල දී විශේෂ බලකායේ සෙබලුන් අපහසුතාවයට පත්වුණා. ඊළඟට මෙම සෙබලුන් මුහුණදුන් විශාලතම අභියෝගය වුණේ ගමන් මාර්ගය සොයාගැනීමේ ගැටලුව යි. අද මෙන් එදා GPS තාක්ෂණය නොතිබුණු නිසා සෙබලුන් ගමන්මඟ සොයාගැනීමට පරිමාණ සිතියම් භාවිතා කළා. නමුත් එම සිතියම් 100% නිවැරදි නොවුණු නිසා ඔවුන් විවිධ අකරතැබ්බයන්ට මුහුණ දුන්නා.
විශේෂ බලකාය පුළුල් වුණු හැටි
කොටි සංවිධානය තව තවත් පුළුල් වන විට ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ හමුදාවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා. මෙය සැලකිල්ලට ගත් හැමිල්ටන් වනසිංහ යුධ හමුදාපතිවරයා එකල හමුදාවේ සිටි තවත් දක්ෂ සෙබලුන් පිරිසක් විශේෂ බලකායට අනියුක්ත කළා. එම යුගයේ දීම විශේෂ බලකා පුහුණු පාසලක් ආරම්භ කර, එයට 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බඳවාගෙන මින්නේරිය කඳවුරේ දී විශේෂ පුහුණුවක් ලබාදුන්නා. ඉන්පසු එම කණ්ඩායමෙන් 135 දෙනෙකු විශේෂ බලකායට බඳවාගත්තා. මෙසේ දිගින් දිගටම සිදුවුණු බඳවාගැනීම් නිසා 80 දශකය අවසන් වන විට සෙබළුන් 500 දෙනෙකු පමණ විශේෂ බලකායට අනියුක්තව සිටියා. පසුව විශේෂ සේවා බලකාය යටතේ නිර්මාණය වුණු සුවිශේෂී බලකායන් කිහිපයක් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.
1) ස්නයිපර් කණ්ඩායම- 1990 වසර
2) කිමිදුම් කණ්ඩායම- 1994 වසර
3) දිගු දුර විහිදුම් බලකාය- 1996 වසර
පරම වීර විභූෂණ සම්මානය ලබාගත් විශේෂ බලකා විරුවන්
ශ්‍රී ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ සෙබලෙකුගේ හෝ නිලධාරියකුගේ වීරත්වය උදෙසා පිරිනැමෙන ඉහළම හා ගෞරවාන්විතම සම්මානය වන්නේ පරම වීර විභූෂණ පදක්කම යි. මෙරට යුධ හමුදා ඉතිහාසය තුළ පරම වීර විභූෂණ සම්මානය ලබාගත් විශේෂ බලකායේ වීරෝදාර රණවිරුවන් පස්දෙනෙකු හමුවනවා. පහත දක්වා තිබෙන්නේ ඔවුන් එම සම්මානය දිනාගැනීම සඳහා පෑ හපන්කම්.
කර්නල් ෆස්ලි ලාෆීර්
1996 ජූලි 18 වැනිදා කොටි ත්රස්තවාදීන් මුලතිව් කඳවුරට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එම දරුණු ප්‍රහාරය මැඩපැවැත්විම සඳහා ත්‍රිවිධ පහර නම් හදිසි මෙහෙයුමක් දියත් කළා. ඒ සඳහා අපගේ යුධ, නාවික, සහ ගුවන් හමුදාවන් සහභාගි වුණා.
සතුරාගේ ප්රහාරයන් හමුවේ නොසැලුණු ලාෆීර් ඇතුළු පිරිස හෙලිකොප්ටර් මඟින් ඉතාමත් අසීරුවෙන් සතුරාගේ භූමි ප්‍රදේශයට ගොඩබැස්සා. ඒ අතරේ කොටි ත්රස්තවාදීන්ගෙන් එල්ලවුණු දරුණු ප්රහාරයන් හමුවේ තුවාල ලැබූ ලාෆීර් එම තුවාල ද නොතකා තම සගයන් දිරිමත් කරමින් සතුරාට ප්‍රතිප්‍රහාර එල්ල කළා. එදා සිය දිවි පරදුවට තබා සටන් කළ මෙම වීරයා අවසානයේ දී මරුවාට පරාජය වුණා. නමුත් ඔහු කළ වීරකම වෙනුවෙන් 1996 ජූලි 19 පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා.
මේජර් ලලිත් ජයසිංහ
දිගු දුර මෙහෙයුම් සඳහා විශේෂ දක්ෂතාවයක් දැක්වූ නිලධාරියෙකු වුණු ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මාසයේ දී තීරණාත්මක මෙහෙයුමකට සහභාගි වුණා. එහිදී සිදුවුණේ ජයසිංහ ඇතුළු පිරිස සූක්ෂමව සතුරාගේ බල ප්‍රදේශය තුළ කි. මී. 40ක් පමණ දුරකට ගමන්කර ප්රහාරයන් එල්ලකිරීම යි.
පළමු මෙහෙයුම සාර්ථක වුණු නිසා ඔවුන් දෙවන ප්‍රහාර මාලාවත් එල්ලකළා. නමුත් එම ප්‍රහාරයට කොටි ත්රස්තවාදීන් එල්ලකළ ප්‍රතිප්‍රහාර හමුවේ ජයසිංහ විරුවා තුවාල ලැබු නමුත් ඔහු සිය වේදනාවන් නොතකමින් තම සහෝදර සෙබළ පිරිසට අභීත නායකත්වයක් ලබාදුන්නා. නමුත් අවසානයේ දී ඔහුගේ හිසට වෙඩි වැදීම නිසා මරණය සිදුවුණා. මෙසේ මෙම රණවිරුවා යුද බිමේ දී පෑ වීරත්වය නිසා 2012 මැයි 19 වැනිදා පරම වීර විභූෂණ සම්මානය හිමිවුණා.
මේජර් කේ. ඒ. ගමගේ
2009 අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සතුරාව නන්දිකඩාල් ප්‍රදේශය තුළ සිරකර තැබීමට අපගේ යුද හමුදාවන්ට හැකියාව ලැබුණා. නමුත් ඒ වන විට කොටි ත්රස්තවාදීන් මිනිස් පවුරක් සාදාගෙන හමුදා භට පිරිස් ඔවුන් වෙත ඒම වළක්වා තිබුණා. සිරවී සිටි සිවිල් ජනතාව බේරාගැනීම සඳහා පස් බැම්මක් බිඳ දැමීමට සිදුව තිබුණා.
මේජර් ගමගේ ඇතුළු කණ්ඩායම සූක්ෂමව කලපුව හරහා ගොස් පස් බැම්ම බිඳ සිවිල් වැසියන් බේරාගනිද්දී ත්රස්තවාදීන් ප්‍රහාර එල්ලකළා. නමුත් ගමගේ රණවිරුවා සිය අවසන් හුස්ම වා තාලයට මුසුකරන තුරුම අභීතව සටන්කරමින් හැකිතරම් සිවිල් වැසියන් ප්‍රමාණයක් බේරාගත්තා. ඔහු එදා පෑ දස්කම නිසා 2012 මැයි 19 වැනිදා පරම වීර විභූෂණ සම්මානය හිමිවුණා.
කෝප්රල් චන්ද්‍රසිරි බණ්ඩාර
2009 වසරේ පෙබරවාරි මාසය පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්රස්තවාදීන් අතර දරුණු සටන් ඇවිලී තිබූ සහමය්ක්. කොටි ත්රස්තයන් වෙඩි නොවදින තහඩුවලින් ආවරණය කරන ලද රථයක පුපුරණ ද්‍රව්‍යය පුරවාගෙන හමුදා භට පිරිස් දෙසට එන ආකාරය චන්ද්‍රසිරි බණ්ඩාරට නිරීක්ෂණය කරන්නට ලැබුණා. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු චන්ද්‍රසිරි බණ්ඩාර රණවිරුවා RPG අවියක් වාහනය දෙසට එල්ලකළා. නමුත් එය හරිහැටි වාහනේ නොවැදුණු නිසා රථය දිගටම ඉදිරියට පැමිණියා. ඒ තීරණාත්මක මොහොතේ දී යළි RPG අවියක් ගත් චන්ද්‍රසිරි බණ්ඩාර එය කොටි ත්රස්තවාදීන්ගේ වාහනය දෙසට එල්ලකළා. නමුත් එම අවස්ථාවේ දී වාහනය සහ චන්ද්‍රසිරි බණ්ඩාර අතර එතරම් දුර ප්‍රමාණයක් තිබුණේ නැහැ. එම නිසා ඔහු සමගම වාහනය පුපුරා ගියා. එහි දී චන්ද්‍රසිරි බණ්ඩාරට ජීවිතය අහිමිවුණත් සිදුවීමට ගිය විනාශය වැළකී ගියා. මෙම රණවිරුවා යුද බිමේ දී පෑ එම වීරත්වය නිසා 2012 මැයි 19 වැනිදා පරම වීර විභූෂණ සම්මානය හිමිවුණා.
ලාන්ස් කෝප්රල් කේ. චන්දන
2008 ජූලි මාසයේ දී මාන්කුලම්හි සිදුවුණු දිගු දුර මෙහෙයුම් ක්රියාන්විතයකට චන්දන රණවිරුවා සහභාගී වුණා. ඔවුන්ගේ කණ්ඩායම කොටි නායකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්කර ආපසු එන ගමනේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරුවුණා. එදා හයදෙනෙකුගෙන් සමන්විත වුණු චන්දන ඇතුළු කණ්ඩායම ප්‍රතිප්‍රහාර එල්ලකළත් එහි දී චන්දන තුවාල ලැබුවා. ඒ මොහොතේ දී මෙම රණවිරුවා සිය අවසන් මොහොත වන තුරු සටන්කළේ තම සගයන්ට ආරක්ෂිත ස්ථානයක් කරා යාමට අවස්ථාව හිමිකර දෙමින්. චන්දන රණවිරුවා එහි දී පෑ දස්කම නිසා 2012 මැයි 19 වැනිදා පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා.
විශේෂ බලකායෙන් බිහිවුණු එකම හමුදාපතිවරයා
1983 ජූනි 23 වැනිදා ඉංජිනේරු බලකායට එක්වුණු මහේෂ් සේනානායක 1989 වසරේ දී විශේෂ සේවා බලකායට අන්තර් රෙජිමේන්තු මාරුවක් ලබාගත්තා. පසුව ක්‍රමයෙන් හමුදා සේවයේ ඉහළට ගිය මහේෂ් 2017 ජූලි 4 වැනිදා හමුදාපතිවරයා වශයෙන් උසස්වීමක් ලැබුවා. වසර 2ක් පමණ එම නිලයේ රාජකාරි කළ මහේෂ් සේනානායක 2019 අගෝස්තු 21 වැනිදා විශ්‍රාම යන විට ජෙනරාල් නිලය දක්වා උසස් වී සිටියා.