ශාක ලොවේ කප්රුක – දහසක් ප්‍රයෝජන සහිත ගස

අප ජීවත් වන වටපිටාවේ ගස්වැල් කොතරම් තිබුණත් පොල් ගස තරම් මිනිසාගේ ජීවිතය හා බැඳි වෙනත් ගසක් නොමැති තරම් ය. ඈත අතීතයේ පටන් ම මිනිසාගේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුවිශාල දායකත්වයක් දක්වන පොල් ගසෙන් අපට කොතරම් ප්‍රයෝජනයන් තිබේ ද කියතොත් එය ‘කප් රුක’ යනුවෙන් ද හැඳින්වේ.

ඊට ප්‍රධානත ම හේතුව නම් පොල් ගසේ සියලු ම කොටස් පාහේ මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා යොදා ගත හැකි වීම යි. විශේෂයෙන් ම එදිනෙදා ආහාරපාන පිළියෙල කිරීමට, වාසස්ථාන තනා ගැනීමට, විවිධ අත්කම් නිර්මාණ කිරීමට වැනි කාර්‍යයන් රැසකට පොල් ගසේ විවිධ කොටස් යොදා ගනී.

පොල් ගසේ ස්වභාවය

තාල වර්ගයට, එනම් අතු නොබෙදෙන ශාක ගණයට අයත් වන පොල් ගස තන්තු මූල පද්ධතියකින් සමන්විත වන අතර එය ‘genus cocos’ කුලයේ පවතින බවට හඳුනාගෙන ඇති එකම ශාක ප්‍රභේදය ලෙස ද සැලකේ. පොල් ගස සාමාන්‍යයෙන් මීටර් 30ක් තරම් උසට වැඩෙන අතර දෙපසට විහිදුණු පත්‍රිකා සහිත පත්‍රවලින් යුතු ය. පොල් ගසේ පත්‍ර වියළී ගිය පසු ඉතා පහසුවෙන් කඳෙන් ගැලවී යයි. පොල් ගසක් සිටුවා වසර 6 සිට 10 දක්වා කාලය තුළ මුල් වරට පල දරන අතර උපරිම පල නිෂ්පාදනයට ළඟා වීමට වසර 15 සිට 20 දක්වා කාලයක් ගත වේ.

සාමාන්‍යයෙන් පොල් ගසක් සිටුවා වසර හතරක් හෝ හයක් වැනි කාලයක් ගත වන විට කහ පැහැති මල් හට ගැනීම ආරම්භ වන අතර පොකුරු ‍ලෙස හට ගන්නා මල් යාන්තමින් අතු බෙදුණු නටුවකට සම්බන්ධ වී පවතියි. පසුව මෙම මල්, පොල් ගෙඩි බවට පත් වේ. අනෙකුත් බොහෝ පලවල මෙන් පොල් ගසේ හටගන්නා පලය බාහිරාවරණය, වධ්‍යාවරණය සහ අභ්‍යන්නරාවරණය ලෙස ස්ථර තුනකින් සමන්විත ය.  බාහිරාවරණය සහ වධ්‍යාවරණය පොල් ලෙල්ල නිර්මාණය කරයි. පොල් ලෙල්ලට ඇතුළතින් පොල් කටුව යනුවෙන් හැඳින්වෙන ස්ථරය පිහිටා ඇති අතර ඒ තුළ පොල් මදය නිර්මාණය වේ. හොඳින් වැඩුණු පොල් ගෙඩියක් කිලෝග්‍රෑමයකට වැඩි බරකින් යුක්ත වේ.

පොල් ගෙඩියක ස්ථර කිහිපය දැක්වෙන දල සටහනක් – Wikipedia.org

පොල් ගසට වැඩීමට අවශ්‍ය සාධක

පොල් ගස වැලි මිශ්‍ර පස ප්‍රිය කරන ශාකයක් වන අතර ලවණ මිශ්‍ර පසක් සහිත ප්‍රදේශවල එය ඉතා හොඳින් වැඩේ. ඉතා හොඳින් හිරු එළිය වැටෙන ප්‍රදේශවල පොල් ගසට වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1,500ත් 2,500ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. පොල් ශාකයක උපරිම වර්ධනය සඳහා ඉහළ අර්ද්‍රතාවක්ද අවශ්‍ය වේ. පර්යේෂණවලට අනුව පොල් ගසට වර්ධනය වීම සඳහා උණුසුම් පාරිසරික වටපිටාවක් අවශ්‍ය ය. ශීත කාලගුණයක් සහිත ප්‍රදේශවල සාමාන්‍යයෙන් පොල් ගස් දැකගත නොහැකි වීමට හා තිබෙන පොල් ගස්වල ප්‍රමාණවත් අස්වැන්නක් නොමැති වීමට හේතුව එයයි.

අවශ්‍ය තරම් උණුසුම් වටපිටාවක් නොමැති බර්මියුඩා වැනි ප්‍රදේශවල පවා පොල් ගස් යම් තරමකට දැකගත හැකි වුවත් ඒවා පල දැරීම අතින් ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. විශාල වශයෙන් වෙනත් ශාකවලින් ආවරණය වී ඇති ස්ථානවල ද පොල් ගස් උපරිම ආකාරයෙන් වර්ධනය වීමක් දක්නට නොලැබේ.

පොල් වගා කරන ප්‍රධාන රටවල්

වසරකට පොල් මෙට්‍රික් ටොන් මිලියන 15ක් පමණ නිෂ්පාදනය කරන ඉන්දුනීසියාව ලොව විශාලත ම පොල් නිෂ්පාදකයා වන අතර දෙවනියට ලොව විශාලතම පොල් නිෂ්පාදනය කරන රට වන්නේ පිලිපිනයයි. දශක ගණනාවක් තිස්සේ වැඩියෙන් ම පොල් නිෂ්පාදනය කරන රටවල් අතර පළමුවැනි ස්ථානයේ රැඳී සිටි පිලිපීනයට 2010 වසරේදී දෙවැනි ස්ථානය දක්වා පහළ බැසීමට සිදු වුයේ එරට තිබෙන බොහෝ පොල් ගස් වයසින් වැඩි වීම සහ විවිධ සුළි කුණාටු හේතුවෙන් පොල් වගාවන්වලට හානි සිදුවීම නිසා යි.

ඒ අනුව 2010 වසරේදී ඉන්දුනීසියාව ලොව විශාලත ම පොල් නිෂ්පාදනය කරන රට බවට පත් වූ අතර එය ලොව විශාලත ම පොල්තෙල් සහ කොප්පරා නිෂ්පාදකයා ද වේ. ඉන්දුනීසියාවේ වගා ඉඩම්වල 25%ක පමණ වගා කර ඇත්තේ පොල් වන අතර එරට සමස්ත ජනගහනයෙන් 25%ත් 33ත් අතර ප්‍රමාණයක් පොල් කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි යෙදේ.

ඉන්දියාවේ කේරලය, තමිල්නාඩු, කර්ණාටක, අන්ද්‍රා ප්‍රදේශ්, ගෝව, මහාරාෂ්ට්‍ර, බටහිර බෙංගාලය සහ ගුජරාටය වැනි ප්‍රදේශවල පොල් වගාව බහුල වශයෙන් සිදු කරයි. ඉන්දියාවේ පොල් සංවර්ධන මණ්ඩලය මෑතක දී සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව තමිල්නාඩු ප්‍රාන්තය එරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් 34%කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. ඊට අමතර ව කර්ණාටක ප්‍රාන්තය 25%කුත්, කේරලය 24%කුත්, අන්ද්‍රා ප්‍රදේශ් 7%කුත් ආදී වශයෙන් එරට සමස්ත පොල් නිෂ්පදනයට දායක වන අතර ඉහත කී ප්‍රාන්තවලට අමතර ව තවත් ප්‍රාන්ත ගණනාවක පොල් වගාව සාර්ථකව සිදු කරයි.

මැද පෙරදිග රටවල් අතරින් ප්‍රධාන ම පොල් නිෂ්පාදනය කරන රට ලෙස ඕමානය හැඳින්විය හැකි ය. පර්සියානු බොක්ක, අරාබි මුහුද සහ රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල ද පොල් වගාවන් දැකිය හැකි ය. ඕමානයේ පොල් වගා පිළිබඳ ව අතීතයේ ජීවත් වූ සංචාරකයෙකු වූ ඉබන් බතුතා ගේ ලිපිවල පවා සඳහන් වේ. වර්තමානය වන විට ඕමානයද ඇතුළු මැද පෙරදිග රටවල මුහුදු වෙරළවල් ආශ්‍රිතව සිදු කරන අලංකරණ කටයුතු සඳහා ද පොල් වගා කිරීම දක්නට ලැබේ. එම රටවල්වල අවශ්‍ය තරම් පොල් ගස් සපයා ගැනීමට නොහැකි වන අවස්ථාවලදී වෙනත් රටවලින් පොල් පැළ ආනයනය කිරීම ද සිදු කරයි. දේශීය ශාකවලට ඇති විය හැකි කෘමි හානි වැනි බලපෑම් පිළිබඳ ව සලකා වැඩුණු පොල් ගස් ආනයනය සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි පැනවීමට මැද පෙරදිග රටවල් ක්‍රියා කර තිබේ.

ඕමානයේ වෙරළ ආසන්නයේ ඇති පොල්ගස්- Pinterest.com

ශ්‍රී ලංකාවද පොල් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙලේ රටවල් අතරින් එකක් වන අතර ලෝකයේ සමස්ත පොල් නිෂ්පාදනයෙන් 15%කට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාව හිමිකම් කියයි. 2017 වසර වන විට මෙරට මුළු ඉඩම් ප්‍රමාණයෙන් 12%ක පමණ එනම් හෙක්ටයාර 409,244ක පමණ පොල් වගා කර තිබේ. බ්‍රිතාන්‍ය යුගයේදී පටන් මෙරට පොල් වගාව පිළිබඳ ව ඉහළ අවධානයක් යොමු වී තිබු හෙයින් පොල් වගාවේ අභිවෘද්ධිය උදෙසා පොල් සංවර්ධන මණ්ඩලය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය වැනි ආයතන කිහිපයක් ද පිහිටුවා තිබේ.

ඉහත කී මැද පෙරදිග සහ ආසියානු රටවලට අමතර ව අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ද පොල් වගා දැකිය හැකිය. අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවල අහඹු ලෙස ඇති වූ පොල් වගා බහුලව දැකිය හැකිය. ඒවා මුහුදු රළ සමඟ පා වී ගොඩට පැමිණි පොල්වලින් ඇති වූ බවට විශ්වාස කෙරේ. ඔස්ට්‍රේලියාවේද උතුරු වෙරළ ප්‍රදේශයට වන්නට පොල් වගා  බහුලව දැකිය හැකි ය.

පොල් ගසෙන් ඇති ප්‍රයෝජන

පොල් ගසේ ඇති සියලු ම කොටස්වලින් පාහේ මිනිසාට විවිධාකාර ප්‍රයෝජනයන් ඇත. මේ හේතුව නිසා ම පොල් ගස කප්රුක යනුවෙන් හැඳින්වේ. සංස්කෘත භාෂාවෙන් කල්ප වෘක්ෂ යනුවෙන් ද පොල් ගස හැඳින්වේ. එහි අර්ථය වන්නේ ‘සිතූ පැතූ සම්පත් ලබාදෙන ගස’ යන්නයි. ඊට අමතරව මැලේ භාෂාවෙන් එය ‘දහසක් ප්‍රයෝජන සහිත ගස’ යනුවෙනුත්, පිලිපීන භාෂාවෙන් ‘ජීවිතයේ වෘක්‍ෂය’ යනුවෙනුත් හැඳින්වෙයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් – Coconut Development Board

පොල් ගෙඩිය තුළ ඇති සුදු පැහැති පොල් මදය ආහාරයට ගත හැකි අතර ඒ තුළ ඇති ‘පොල්වතුර’ යනුවෙන් හැඳින්වෙන දියරය ද පානයක් වශයෙන් යොදා ගත හැකි ය. විශේෂයෙන්ම මේ වන විට බොහෝ රටවල් පොල්වතුර ඇසුරුම් කර වෙනත් රටවලට අපනයනය කිරීම සිදු කරයි. ඒ සඳහා හොඳින් නොපැසුණු පොල් බොහෝ විට යොදාගන්නා අතර පොල් ශාකයේම වෙනත් විශේෂයක් වූ තැඹිලි ගසේ පලය බොහෝ විට මේ සඳහා යොදා ගනී.

ඊට අමතර ව හොඳින් පැසුණු පොල් අඹරා විවිධ ආහාර සකස් කිරීම සඳහා අවශ්‍ය ‘පොල්කිරි’ ලෙස භාවිත කරයි.  ශ්‍රී ලංකාව වැනි රටවල්වල හොඳින් පැසුණු පොල් යොදා ගෙන අපට නැතුව ම බැරි ආහාරයක් වූ ‘පොල් සම්බෝලය’ වැනි ආහාර ද සකස් කරගනී. වියළා ගන්නා පොල්වලින් විවිධ අතුරුපස වර්ග වැනි දේ අලංකරණය සඳහා අවශ්‍ය වන දිසිඳි පොල් (‘Desiccated Coconut’) සහ පිටි කළ පොල්කිරි වැනි දෑ ද නිෂ්පාදනය කරයි.

පොල්වතුර-Indiamart.com

පොල් ගසේ හටගන්නා මල් කැපූ පසු වෑස්සෙන දියර භාවිතා කර පොල් රා, පොල් අරක්කු, පොල් පැණි සහ පොල් හකුරු වැනි දේ නිෂ්පාදනය කරන අතර පොල් ආශ්‍රිත තවත් ඉතා වැදගත් නිෂ්පාදනයක් ලෙස විනාකිරි හැඳින්විය හැකි ය.

පොල් මදය භාවිතා කර නිෂ්පාදනය කරන පොල්තෙල් ආහාර පිසීමේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. ශ්‍රී ලංකාව වැනි රටවල පොල්තෙල් පහන් දැල්වීමට, හිසේ ආලේප කිරීමට සහ විවිධ දේශීය ඖෂධ වර්ග සකසා ගැනීම සඳහා පොල්තෙල් භාවිත කරයි. 

 පොල් ලෙල්ල සහ පොල් කටුව ද බොහෝ කාර්යයන් සඳහා යොදාගනියි. කොහු ලණු කර්මාන්තය සඳහා පොල්ලෙලි අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යක් වේ. විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශ සහ කුරුණෑගල වැනි ප්‍රදේශවල අද ද කොහු ලණු ඇඹරීම සහ කොසු වැනි දේ නිෂ්පාදනය සිය ජීවිකාව කරගත් බොහෝ දෙනෙක් දැකිය හැකි ය.

අඟුරු සකස් කර ගැනීම සඳහාත්, විවිධ අත්කම් නිර්මාණ සඳහාත්, දර ලිප භාවිතයේ දී දර වෙනුවටත්, පොල් කටු භාවිතය ශ්‍රී ලංකාව ඇතුළු පොල් වගාව වැඩි වශයෙන් සිදු වන ආසියානු රටවල බහුල ව දැකිය හැකි ය.

කොහු නිෂ්පාදන- dailynews.lk

පොල් කොළ සහ පොල් ඉරටු ද විවිධ කාර්යයන් සඳහා යොදාගනියි. ඒ අතර විවිධ ඇසුරුම් වර්ග සහ විසිතුරු භාණ්ඩ සැකසීම, ඉදල් වැනි දේ සැකසීම සහ අතීතයේ ජනයා භාවිත කළ පැදුරු වැනි දේ සකස් කිරීම වැනි කාර්යයන් ප්‍රධාන වේ. පොල් ගසේ කඳ කොටස ද ඉතා ශක්තිමත් දැව වර්ගයකි. ශ්‍රී ලංකාව වැනි රටවල නිවෙස් සැකසීමේ දී වහලය සඳහා යොදාගන්නා ප්‍රධාන ම දැව වර්ගය ලෙස පොල් හැඳින්විය හැකි ය.

පොල් ගස හා බැඳී ඇති සංස්කෘතිකමය සහ ආගමික කරුණු

ශ්‍රී ලංකාවද ඇතුළු බොහෝ ආසියානු රටවල සංස්කෘතිකමය සහ ආගමික වශයෙන් පොල් ගසට, විශේෂයෙන් ම, පොල් ගෙඩියට සහ ඒ ආශ්‍රිත නිෂ්ප්දනවලට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ.

  ශ්‍රී ලංකාවේ විවාහ මංගල්‍යයන්වලදී සහ අවමංගල අවස්ථාවලදී (බොහෝවිට අතීතයේ) පොල් ශාකයෙන් ලබාගන්නා ඉතාමත් ළපටි පත්‍ර (ගොප්කොළ) යොදා ගෙන තොරණ වැනි නිර්මාණ සකස් කරයි.අතර මේ සියලු ම අවස්ථාවල දී සහ වෙනත් ඕනෑම සුබ මොහොතක දී පොල්තෙල් යොදාගෙන පහන් දැල්වීම ද සිදු කරයි.

මෙරට බහුතරයකගේ ආගම වූ බුද්ධාගමේ ප්‍රධාන පූජා විධියක් වන පහන් දැල්වීම සඳහා ද පොල්තෙල් යොදා ගනී. විශේෂයෙන්ම වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය වැනි සුවිශේෂී දිනයන්වලදී සිදු කරන පහන් දැල්වීම සඳහා පොල්තෙල් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ දැකිය හැකි ප්‍රධාන අංගයක් වූ දේවාලවල සිදු කෙරෙන පොල් ගැසීම සඳහා ද පොල් යොදාගනී.

හින්දු කෝවිලක පොල් භාවිතා කර පූජාවක් සිදු කරන අයුරු – Dailymirror.lk

 හින්දු ආගමේ ද පූජා විධි බොහොමයක් සඳහා පොල් යොදා ගන්නා අතර විවිධ උත්සව අවස්ථාවලදී පොල් ගෙඩිය වර්ණ ගන්වා යොදා ගැනීම හින්දු සංස්කෘතිය තුළ දැකිය හැකි අංගයකි. හින්දු ආගමේ බොහෝ වැදගත් අවස්ථාවල දී දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ අරමුණින් පොල් ගෙඩියක් බිඳීම දැකිය හැකි ය. හින්දු ආගමේ ධනයට සහ යහපතට අධිපති දෙවඟන ලෙස සැලකෙන ලක්ෂ්මි දේවියගේ ප්‍රතිමාවල ද ඇය පොල් ගෙඩියක් අතින් දරා ගෙන සිටින අයුරු දැකිය හැකි ය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ රටවල ද පොල් හා බැඳුණු සංස්කෘතිකමය කරුණු දැකිය හැකි ය. උතුරු පිලිපීනයේ ජනතාව මළවුන්ට කරන පුජාවක් ලෙස පොල් ගෙඩිය හරි මැදින් වෙන් කොට එම කොටස් දෙක තුළට පැණි රස වන්නට සැකසූ බත් පුරවා පුජා කිරීම සිදු කරති.

මල් වර්ග, සහල් සහ සුවඳ කුඩු පොල් කොළ යොදා ගෙන සකස් කළ ඇසුරුමක බහා පූජා කිරීමේ චාරිත්‍රයක් ඉන්දුනීසියාවේ දැකිය හැකි ය.  ඉන්දියාවේ ද ආගම් භේදයකින් තොර ව හොඳ මාළු අස්වැන්නක් ලබාගැනීමේ අරමුණින් පොල් ගෙඩි මුහුදේ පා කර යැවීමට ධීවරයෝ හුරු වී සිටිති.

කවරයේ ඡායාරූපය- පොල් ගසක ඉහළ කොටස- owlcation.com 

 මූලාශ්‍ර:

www.britannica.com 

www.coconuthandbook.tetrapak.com 

www.cda.gov.lk 

www.sciencedirect.com 

dailynews.lk

Related Articles

Exit mobile version